කලබල ජරමර දෙවසර – terrible two

කලබලයි ජරමරයි මාවයි වෙන්කරන්න බැරි බව දැනගෙන නම් ගොඩක් කල්. හැබැයි මේ තරම් ජරමරයක් මගේ ගාව තිබුනේ නැති තරම්.

මගේ හිතවතියක් දෙපාරක්ම මතක් කරපු, නමුත්, ඒ කාලේ හොඳටම අවුල්වෙලා තුශ්නිම්භූත වෙලා හිටපු කාලයක් නිසාත්, ඒවාට පිළියම් නොදැකපු නිසාත් මම මොකුත් ලියන්න හිතුවේ නැහැ.

මොකද මගේ පුතා, අවුරුදු එකයි මාස දහයේ වගේ ඉඳන් “ටෙරිබල් ටූ -terrible two” වල ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තා. (දැන් දෙකයි මාසයක්)සාමාන්‍යය තරමට දඟ වුනත් වැඩි කලබලයක් නොකරන දරුවෙක් වුනු එයා එක පාරටම වෙනස්වීම මමත් අමාරුවෙන් ගානකට ගත්තු ජීවිතේ උඩු යටිකුරු කරන්නක් වුනා. මෙන්න මේ දේවල් තමයි එයා කරන්න ගත්තේ සහ කලින් ඉතා කලාතුරකින් ඇරෙන්න නොකලේ.

🔺සිදුවූ දේ🔺

🔹දෙයක් ඉල්ලුවාම ඒකම ඕනේ වෙන එක. අවධානය වෙනස් කලත් වැඩක් නැහැ හූ තියලා අඬන්න ගත්තා. ඒක අතට දුන්නා කියමු. ඒත් ඒකේ මොනාහරි අඩුවක් එයා දකිනවා.

Ex: රතු පාට කැබ් එක නිල් වෙන්න ඕනේ.

🔹අධික ක්ෂණික කෝපය

අතේ තියෙන දේ විසිකරන එකත්, මේසේ උඩ තියෙන දේවල් විසිකරන එකත් පටන්ගත්තා. හේතු බොහොම සරලයි නැත්තම් අපිට නොතේරෙන ඒවා.

Ex :
-එයා යවන කාර් එකක් හරියට ගමන් නොකිරීම.

-වෙන පොඩි බබෙක් එයා ආස දෙයක් ගැනීම. කණ්ඩායම් හැඟීම හෝ මිත්‍රශීලී බව පුතාගේ නැත්තටම නැතිවෙලා තිබුනා. මගේ ඇඟේම තමයි.

🔹දෙයක් කරන්න ගියාම සීමාවක් නැතිකම.

එළියට ⁣ගියොත් පැය දෙක තුන එන්නේ නැහැ. නානවා නම් වතුරෙන් ගන්න බැහැ. බෙරිහන් දීම උපරිම.

🔹ආසාවෙන් බලපු පොතපතින් ඈත්වීම.

ඒවා බලන්න ගත්තාම ඉවසීමක් නැතිව ගියා. ඉක්මනට පිටු පෙරළලා එයා දුවනවා.

මේ හැමදේටම විරෝධය පාන එක බිම දිගාවෙලා කරන වෙලාවන් තිබුනා.

හැබැයි මම මුල ඉඳන්ම මේ ගැන කියෙව්ව නිසා වැඩිය කලබල වුනේ නැහැ. හේතු මෙහෙමයි.

🔘 මේ සියලු කලබල විනාඩි පහකට වඩා තිබුනේ නැහැ.

එකම එක දවසක් බයිසිකලයක ප්‍රශ්නයක් නිසා විනාඩි විස්සක් විතර සැරින් සැරේ ඇඬුවා,දැඟලුවා. ඒ ඇරෙන්න සියල්ල සාමාන්‍යයයි.

🔘බබා එයාටම හිරිහැර කරගන්නේ නැහැ.

කලාතුරකින් මගේ කන්නාඩිය අැදලා පොළොවේ ගැහුවා, කොණ්ඩෙන් ඇද්දා හැබැයි බබා ඔලුව ගහගන්නවා වගේ තමන්ටම හිංසා කරගන්න ගියේ නැහැ.

🔘එයා කරපු කලබැගෑනිය, mess එක, කේන්ති නිවුනාම අස්කරන්න එයා ඉදිරිපත්වුනා.

එක්තරා විදිහකට එයා එයාගේම කෝප මූල ගැන කණගාටුවුන බව මම ඒකෙන් දැක්කා. සම්පූර්ණ අස් නොකලත් මම එයා විසි කරපු යමක් අහුලනකොට තව එකක් දෙකක් හරි ගෙනත් දෙන්න එයා ඉදිරිපත්වුනා. එයාට ඒ වරද නිවැරදි කරගන්න අවස්ථාවක් බව එයා දැනගෙන හිටියා. ඒ වගේම අපිට පහර දුන්නා නම් සමාව ගත්තා. අතගෑවා.

🔺වැඩිහිටි අපේ වැරදි🔺

මුල් දිනවල මමත් බබා එක්ක තරහා ගත්තා. මට කිසිම වැඩක් කරගන්න බැරි තරමට එයා කලබැගෑනි ගොඩක් එකවර ඇතිකරගත්තා. ගැහුවේ නැතත් මම කියවන්න ගත්තා,මේක මට කරදරයක් කියලා. ඒකෙන් බබා තවත් පීඩනයට පත්වුනා කියලා මට දැනුනේ නැහැ. ඒත් වුනේ ඒකම තමයි.

අනිත් දේ මම ඒ දවස්වල වැඩි හරිය මගේ අම්මලා එක්ක හිටියේ. බබා දැනගෙන හිටියා මම එපා කියපු දෙයක් එයාට තව අය හරහා කරගන්න පුළුවන් බව. ගොඩක්ම සීයාව මඩවනවා එයා. ඉතින් මේ තත්වය නිතරම වෙන්න ඒකත් බලපෑවා.

🔺පාලනය කලේ කොහොමද?🔺

මේකට මම ගොඩක් දේ කියෙව්වා. මේ සම්බන්ධ හොඳ සිංහල ලිපි බොහොමයක් මුහුණුපොතේ තියෙනවා. මගේ මනෝ විද්‍යා උපාධිධාරී මිතුරියගෙන් ඇහුවා. නිතර නිතර මගෙන් සිදුවෙන වැරදි අඩුකරගත්තා.

🔘පුතාගේ කෝපයට නිහඬ ප්‍රතිචාර දැක්වීම.

⁣සරලවම බොහොම කූල් පිට ඉන්න එක. මම කෑගැහුවේ නැහැ. එපා කිව්වේ නැහැ. මම මට පහසු විදිහට හිටියා. ඒකෙන් එයා අධෛර්යමත් වුනා එකම නරක වැඩේ එක දිගට කරන්න. මොකද එයාගේ ප්‍රධාන අරමුණ වෙච්ච අවධානය ගැනීම ඉටුවෙන්නේ නැහැ.

🔘පුතාගේ tantrum අවස්ථා මගේ පාලනයට ගැනීම.

අම්මා,තාත්තා ළඟම හිටියත් මේ අවස්ථා පාලනය එන්න එන්නම අමාරු වෙනකොට මම කලේ ඒක තනියෙන්ම කළමනාකරණය කරන එක. මගේ ලේසියට මුලින් මම පොඩි උත්සාහයක් දැරුවත්, පසුව දැනුනු දේ තමයි පුතා ඉන් තවත් මුරණ්ඩු වෙන බව. මොකද අපි තිදෙනාගෙන් කෙනෙක් අනිවාර්යෙන් එයාට ඕනේ දේ දෙන බව එයා විශ්වාස කරමින් හිටියා. ඒ නිසා මා වෙත පාලනය රඳවාගන්න මම තීරණය කලා.

බබා එහෙම කෝප වුනාම මම එයාව අපිට වෙන්වුනු කාමරයට,නැත්තම් එළියට එක්කන් ගිහින් බොහොම සැහැල්ලුවෙන් එයා එක්ක මම ඉන්න බව අඟවලා තුරුල් කරගෙන ඉන්නවා. කිරි දෙනවා. කතාවක් කියන්න ගන්නවා. වාහන ටිකක් අරන් එයාට පේන්න සෙල්ලම් කරන්න ගන්නවා. ඒකෙන් එයා සන්සුන් වෙනවා ඉක්මනින්. සම්පූර්ණ සන්සුන් වුනාම විතරයි මම අනිත් අය ගාවට පුතා එක්ක යන්නේ.

🔘 පොරොන්දු සහ විශ්වාසය

පුතාට වසර දෙක සම්පූර්ණ වෙන්න ආසන්න නිසා සතියකට දින තුන හතරක්,දිනකට පැය බාගයක් පමණ එයා ආසා දෙයක් Youtube බලන්න දෙන්න මම පටන්ගත්තා.

පටන්ගැන්මේ දී මම කියනවා අම්මි කියන වෙලාවට පුතා මේක මට දෙන්න ඕනේ කියලා. පොරොන්දු වෙනවා ද අහනවා. එයා “promise” කියලා තදින් මගේ අත අල්ලාගන්නවා.මමත් පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම එයාට ආසා දේ මේ වෙලාව වෙනතුරු බලන්න දෙන බවත්, එයා මම කියන වෙලාවට දුන්නාම ආපහු දවසක ⁣බලන්න දෙන බවත්.

වේලාව ළං වෙනකොට ඒක මතක්කරනවා. අන්තිමම තැන දී පුතා ටිකෙන් ටික මට ෆෝන් එක ආපහු දෙන්න පටන්ගත්තා. මුලින් නම් ඇඬුවා. දැනුත් ඉඳහිට විරෝධතා තියෙනවා. ඒත් ඒ සියල්ලටම වඩා පුතාට promise එක වැදගත් බව එයා ඔප්පු කරමින් යනවා.

එයා සීමා රහිතව කරන්න යන හැමතැනකදීම මම මේ සීමා දාලා මම ම ඒ සියල්ල එයාට දෙන්න තීරණය කලා. එළියට යාම වෙන කෙනෙක් එක්ක ගියත්, මම එතනට ගිහින් ආපහු එන වෙලාව මතක් කලා. පුතා promise එක තියන එක දිගටම කලාම,

Ex : උදේ එළියට ගිහින් මම කියන වෙලාවට ඇතුලට එනවා.

මම පොරොන්දු වෙනවා එහෙම ක⁣ලොත් හවසට ආපහු එක්ක යන බව. මම අනිවාර්යෙන් එය කරනවා. වැස්ස වැනි දෙයක් නිසා කරන්න බැරි වුනොත් සමාව ඉල්ලන එකත් මම කරනවා.

ඒක ලොකු විශ්වාසයක් එයා තුළ ගොඩනැගුවා වගේම එයාත් වැදගත් පුද්ගලයෙක් බව එයාටම හිතෙන්න ලොකු රුකුලක් වුනා. මොකද මමත් එයාත් දෙන්නාම පොරොන්දු රකිමින් හිටියා. ඒවා ඉටු නොවුනොත් සමාව ගන්න එක මම කලා. එයා ඒක තාම නොකලත් දිනක ඒක කරන බව විශ්වාසයි.

🔘දරුවා වැදගත්බව ඔහුට දැන ගැනීමට සැලැස්වීම

Temper tantrums වල මූලිකම දෙයක් තමයි “අවධානය”. පුතා සෙල්ලම් කරන වෙලාවට මම නිකමට පොතක් හෝ ෆෝන් එක ගන්නකොට එයාට තරහා යනවා.

මම අවසර ඉල්ලුවා. මට වැඩක් තියෙන බව කියනවා. ටිකකින් ඔහු හා සෙල්ලමට සම්බන්ධවෙන බවට පොරොන්දු වෙනවා. ටික ටික ඔහු ඒ ගැන කලබලවීම නතර කලා. මට මගේ වැඩ කරගන්න ඉඩ දුන්නා.

නානකොට බේසමේ වතුර හැලීම,සෙල්ලම් බඩු එකතු කරගෙන බේසම එක්ක ගෙතුලට ගෙන ඒම කියන සියල්ල පුතාටම භාරදුන්නා. ඉන් ඔහු වගකීම් ගන්න පුරුදු වුනා.”ආනේ බබා තනියෙන් නානවා. ඔක්කොම අස්කරනවා. මට හරියට උදවු කරනවා.” කියනකොට එයාට නාලා වතුර එක්ක දිගටම නටනවාට වඩා මගේ අගය කිරීම සහ මට උදවුකරනවා කියන හැඟීම වැදගත්. හරි හැපි! ඉතින් මට දැන් එයාව නානකොට ඇතුලට ගන්න අමාරු නැහැ.

නිසි වෙලාවට ගෙතුලට ඒම, ⁣ගීත බැලීම නැවැත්වීම ගැන මම නිතර ප්‍රශංසා කලා. තාත්තිට,සීයාලාට,අත්තම්මලාට නිතරම මම විසින්ම ඔහු හොඳ දරුවෙක් බව කීම ඔහුට මහත් වැදගත් බවක් ⁣දුන්නා. ඔහුට අවශ්‍යය වුනු අවධානය වඩාත් යහපත්ව ලැබෙන නිසාම ටික ටික පුතාගේ tantrums අඩුවුනා.

දැන් ඉඳහිටක මිස ඒවා එන්නේ නැති තරම්.

🔘යලිත් පොතපත වෙත

ඉවසිල්ල අඩුකම විසින් නවතපු පොතපත මම සමීප කලේ කතා කීමෙන්ම තමයි. පුතාව සම්බන්ධ කරගෙන කතා කීම, එයාව ඒ පොතේ චරිතයක් ලෙස කීම නිසා එයා දැනගත්තා එයා වෙනුවෙන්මයි මේ සියල්ල කියන එක.

Ex: තම්බලීනා කතාවේ කුමාරයා ගේ නම ඩිලේන් 😊 දැන් මම කියන්න කලින් එයාම ඒවා කියනවා.

මේ සියල්ල නිසා එයා නිවසට එන අමුත්තන් හා වඩාත් යහපත්ව හැසිරෙන්න ගත්තා. ළඟදී නම් මගේ වැඩිහිටි ඥාතී යුවළක් බොහොම ආද⁣රයෙන් අතින් අල්ලාගෙන කෑම මේසයටම ගෙනවිත් වාඩි කරවන්නට තරම් පුතා සංවේදී දරුවෙක් බවට පත්වෙලා තිබුනා. ඉතාමත් ප්‍රවේසමින් “අත්තම්මාට අමාලුයි ද?”, “බලාගෙන පරිෂ්ෂමින්” කියමින් ඔහු වැඩිහිටියෙක්ගේ වගකීම් ගනිමින් කාර්යබහුල වුනු එදා මම සියල්ල ඉදිරියේ ඔහුට ප්‍රශංසා කලා.

මට තවමත් අපහසුවුනේ පුතාව සම වයස් දරුවන්ට හුරු කරවීම. එයාට ඉන්නෙම එයාට වඩා ලොකු අය. ඉතින්, එයත් කාලය සමඟ play group එකකට දමා කරන්නට බලාපොරොත්තු වෙනවා.

එහෙම තමයි ඉතින් මමත් නරක දෙවසරත් සාම ගිවිසුමකට අත්සන් තැබුවේ. මෙය කඩින් කඩ කඩ වීම සිදුවීම ඉතා සාමාන්‍යයි. නමුත් තත්වය පාලනය වීම යහපත්.

වෙන්න අම්මලාට, මේ වයස ළඟ ළඟ එන අම්මලාට වඩාත්ම අගතියට පත් කොටස වෙන මේ වයසේ බට්ටෝ ඉන්න අම්මලාට මෙයින් දෙයක් ගන්නට ඇතිනම් සතුටක්!

ඔබට සාමය පතනවා!

මම,
පියුමි කාවින්දි