සති අන්තයේ Dinner එකට ඉන්දියන් මෙනු එකක්..

සති අන්තේ රෑට ගෙදර අයට වෙනස් රසට රහ කෑම වේලක් හදලා දෙන්න හැම ස්මාර්ට් ගෘහණියක්ම කැමතියි. අපි ඔබට ලේසියෙන් හදා ගන්න පුලුවන් Menu අරන් එන්න හිතුවේ ඒ නිසා.
අද රෑ කෑම ටිකක් සරලව මෙහෙම හදලා බලමු..

අල පරාටා 

පරාටා හදන්න අවශ්‍ය දේවල්.

  • පාන් පිටි කෝප්ප 2
  • ලුණු තේහැදි 1
  • බටර් මේස හැදි 1
  • වතුර
  • පොල්තෙල්

හදන්නේ මෙහෙමයි..

  • මේ ද්‍රව්‍ය ටික භාජනයකට දමා කවලම් කර වතුර ටික ටික දමා ගුලියක් ආකාරයට හදාගන්න.
  • විනාඩි 8-10 පමණ හොදින් නීඩ් කර පොල්තෙල් උඩින් තවරා පැය 1/2පමණ වසා තබන්න.

පිරවුම මෙහෙම හදමු..

අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ මේවා-

  • අල ග්‍රෑම් 200
  • බී ළූණු 1
  • කරපිංචා රම්පා
  • සුදුළූණු 
  • ඉගුරු
  • ගම්මිරිස් 
  • ලුණු 
  • කෑලි මිරිස් 

හදා ගන්නේ මෙහෙමයි..

  • අල තම්බා පොඩිකරගන්න.
  • කුඩාවට කපාගත් බී ළූණු ,කරපිංචා, රම්පා, සුදුළූණු ,ඉගුරු තෙම්පරාදු කර ලුණු ,ගම්මිරිස් සහ කෑලි මිරිස් රස අනුව දමා පොඩිකරගත් අල ටික දමා කවලම් කරගන්න.
  • දැන් සාදාගත් පිටි ඩෝ එක කුඩා බෝල සාදා රොටි ආකාරයට තුනී කරගන්න.
  • එහි මැදට සාදාගත් අල පිරවුමෙන් ටිකක් තබා නැවත බෝලයක් ලෙස සාදා නැවත  රොටි ආකාරයට තුනී කරගන්න.
  • දැන් රත් වූ තැටියක තබා රොටියේ දෙපස තෙල් ගාමින් දෙපැත්ත දමා පුලුස්සා ගන්න.


අල පරාටා සූදානම්..


බිත්තර කරිය.

අවශ්‍ය දේවල්:

  • තම්බා මඳක් පලා ගත් බිත්තර
  • තලා ගත් ඉඟුරැ සුදුළූණු
  • කපාගත් රම්ප කරපිංචා
  • අමුමිරිස් කරදමුංගු සහ කරාබුනැටි
  •  කුරැඳු
  • මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, බැදපු තුනපහ කුඩු
  • ගොරකා
  • මිටිකිරි කෝප්පයක්
  • තෙල් ටිකක්
  • රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

  • මුලින්ම තෙල් ටික රත් කර තලාගත් ඉඟුරැ සුදු ළූණු බැදෙන්න හරින්න.
  • එයට කුරැඳු පොත්ත, කරදමුංගු සේර කරාබුනැටි ද එකතු කරන්න.
  • කපාගත් ළූණු, රම්ප කරපිංචා, අමුමිරිස්ද එකතු කරන්න.
  • එයට මිරිස්කුඩු, ගම්මිරිස්, තුනපහ, කහ ද එකතු කරන්න.
  • ගොරක ද එකතු කරන්න.
  • හොඳින් මිශ්‍ර කරන්න.
  • බිත්තර තම්බා යන්තමින් පැල්මක් දමා එයට එකතු කරන්න.
  • උකු මිටිකිරි එක් කර මඳ ගින්නේ පිස ගන්න.


මේ වගේ කෑමකට ඒ ආරයටම ඩ්‍රින්ක් එකක් තිබ්බොත් තවත් අපූරුයි. අපි මසාලා ටී එකක් හදා ගමු.

මසාලා ටී

අවශ්‍ය දේවල්:

  • තේ කොළ තේ හැදි 2-3
  • කරදමුංගූ සහ කරාබු නැටි
  • කුරුඳු
  • ඉඟුරු
  • සීනි
  • කිරි පිටි
  • වතුර

සාදා ගන්නා ආකාරය:

  • කිරි පිටි හා සීනි හැර අනෙකුත් සියළුම දේවල් භාජනයකට දමා ගෙන එයට වතුර එකතු කර  ලිප තබා ගන්න.
  • එය විනාඩි කිහිපයක් නටවා ගන්න.
  • ඉන් පසු අවශ්‍ය පරිදි කිරි පිටි හා සීනි එකතු කර සාමාන්‍ය ආකාරයට තේ එක සාදා ගන්න.
  • කුළු බඩු පෙරා ඉවත් කර රස විදින්න.

සති අන්තයේ රාත්‍රියට වෙනස් කෑම වට්ටෝරු හදා ගන්න හැටි අපි හැම සති අන්තයකදීම ඔබට කියනවා. රසවත් කෑම හදලා පවුලේ අය සතුටින් පුරවන ගෘහණියක් වෙන්න ඔබට සුබ පැතුම්.

Related Articles

Don't Miss


Latest Articles