සාරිය අඳිනවා නම් ඔබ දැනගතයුතුම දේවල් මෙන්න

සාරි නිතර අඳිනවා නම් ඒ පිලිබඳව යම් මූලික අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍යයි. බලන්න මෙම කරුණ ඔබේ කාර්ය බහුල දිවිය තුල එදිනෙදා සාරි ඇඳීමේ පිළිවෙතට පහසුවක්වේද කියා…

රාජකාරියට, එදිනෙදා ගමන් බිමන්වලට සාරියක් තෝරා ගනිද්දී හැම වෙලේම සැහැල්ලු සාරියක් තෝරාගන්න මතක තියාගන්න. වැඩ රාජකාරි අතරේ සාරිය ඔබට කරදරයක් නොවිය යුතු නිසා බරින් අඩු, අයන් කිරීමට පහසු සාරියක් තෝරාගන්න. ඔබ හැඩගැන්වෙන්නේ සාරියකින් නම් ඔබේ ඇඟට ඇලෙන, පිම්බෙන ගතිය අඩු සාරියක් තෝරාගැනීම උචිතයි.

සාරියක් මිලදී ගන්නා විට ඔබේ අවශ්‍යතාව හොඳින් හඳුනාගත යුතුය. ඔබ සාරිය මිලදී ගන්නේ එයින් ඔසරියක් ඇඳීමට නම් සාරියේ පල්ලුව තරමක් පළලට සිටින සේ තෝරා ගැනීම සුදුසුය. එසේ නොමැති නම් සාරිය වටේ බෝඩරය අඟල් පහක් පමණ පළලකින් යුතු සාරියක් තෝරා ගත යුතුය. ඔබ සාරිය මිලදී ගන්නේ සාරියක් ඇඳීමට නම් මේ පිළිබඳ එතරම් සැලකිලිමත් විය යුතු නොවේ.

ඔසරියකින් හැඩ ගැන්වෙනවා නම් හෑන්ඩ්ලූම්, රෝ සිල්ක් වැනි සාරි වර්ගයක් තෝරාගන්න. එයින් ඔබේ ඇඟේ හැඩය හොඳින් ඉස්මතු කොට දැක්විය හැකියි. ඔගෙන්සා, කල්කටා සිල්ක් වැනි සාරි වර්ගවලින් ඔසරිය අඳිනවා නම් එයින් ඔබේ ඇඟේ හැඩය ඉස්මතු කරලා දක්වන්න තරමක් අපහසුයි. සිල්ක් සාරියක් ඔසරියක් විදියට අඳින විට ඇඟට ඇලෙන නිසා ඇඟේ හැඩය හොඳින් කැපී පෙනෙනවා. සාරි විලාසිතා අතර නෙට් සහ ලේස් රෙද්දෙන් නිමැවුණු සාරි වර්ග දක්නට ලැබෙනවා. නෙට් රෙද්දකින් ඔසරිය අඳිනවා නම් එය made-up ක්‍රමයට සකස් කරගැනීම පහසුවක් වේවි. සාරියක් අඳිනවා නම් pleats ටික අයන් කලොත් වඩාත් පහසු වනු ඇත.

සාරි සෝදන්නේ නැතිව dry clean කළ හැකි නම් වඩාත් සුදුසුයි. මිල අධික සාරි බොහෝවිට dry clean කිරීම පමණක් කලයුතු ඒවා වේ. සාරිය මිලදී ගන්නා විට ලැබුණු ආවරණයේම තවදුරටත් සාරිය තබන්න එපා. එය හැන්ගර් එකක එල්ලා තබන්න. එසේ නොවුණහොත් කාලයත් සමඟ ඔබේ සාරියේ ඇති වර්ණයන් වෙනස් වේවි.

ඔබ නිතර දෙවේලේ සාරිය අඳින කාන්තාවක් නම් සාරියේ පොට ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. සාරියේ පොට විලුඹ මට්ටම දක්වා දික් වූ විට එය ඔබට පහසු වේවි. නමුත් විලුඹ මට්ටමෙන් පහළට සාරි පොට දික්වන විට එය පෑගෙන්නට බලාවි. සාරිය සඳහා අඩි උස පාවහන් පලඳිනවා නම් සාරිසාරි ය අඳින විටම එය පලඳින්න. අනතුරුව ඔබේ උසට ගැළපෙන අයුරින් සාරියේ පොට සකස් කරගන්න.

හැමදාම සාරි අඳින ඔබට මෙම කරුණු අනිවාර්යයයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles