කුස්සියේ බඩු ලයිස්තුව ගන්න කලින් මේ කරුණු ගැනත් හිතන්න

ගෘහණියක් හැටියට කුස්සියට ඕනෙ කරන බඩු සහ දැනට තියෙන අඩුපාඩු ගැන හොඳාකාරකව ම දන්නෙ ඔබ. මාසයක දී කුස්සියේ අවශ්‍යතා වෙනුවෙන් ඔබට වියදම් කරන්නට හැකි මුදලත් ඔබ දැනගත යුතුයි. මාසෙ පඩිය පිරිමහගන්න හැටි මින් පෙර ස්මාර්ට් ලේඩි ලිපි මඟින් දැනටමත් දැනුවත් සිටින ඔබට අද අපි කියන්න යන්නේ මාසෙට අවශ්‍ය කරන කුස්සියෙ බඩු ලයිස්තුව මිළ දී ගන්න කලින් ඔබ අනිවාර්යයෙන් ම මතක තබාගන්න ඕනෙ කරුණු කිහිපයක්.

ගෘහනියක් හැටියට දැනටමත් ලබා ඇති අත්දැකීම් සිහිපත්කරන්න

විවාහ වෙලා අලුතින් ම ගෙදර දොරේ වැඩකටයුතු පටන්ගත්ත කාලේ නම් ඔබේ අතින් වැඩිපුර බත් උයා, ඉවත දමන්නට වූ වාර ඕනෑ තරම් ඇති. එකවර එකම විදියේ එළවළු වර්ග ගෙනැවිත් උයන්නත් කලින් නරක් වෙලා විසිකරල දාපු අවස්ථා කොතෙකුත් ඇති. ඒත් දැන් ඔබ දවසකට එක් වේලකට ඔබේ ගෙදර සාමාජිකයන් ගණන අනුව උයන්න ඕනෙ කරන හාල් ප්‍රමාණයත්, ඒ අනුව මාසයකට වැය වන හාල් ප්‍රමාණයත් හොඳින් ම දන්නවා. තේ හදන්න කොයිතරම් සීනි, කිරිපිටි, තේ‍ කුඩු ඕනෙ වෙනවද, ලුණු, කහ, පරිප්පු, අල, ලූණු වගේ දේවල් කොපමණ ප්‍රමාණයක් මාසෙකට වැය වෙනව ද, සබන්, රෙදි සෝදන කුඩු, ෂැම්පු, පොල් තෙල් වගේ හැම අවශ්‍යතාවයකම ප්‍රමාණය සහ ඒවායේ අත්‍යවශ්‍යභාවය ගැන දැන් ඔබට ම අත්දැකීම් ඇති. මේ අත්දැකීම් සියල්ල ඔබට කුස්සියට මාසයකට අවශ්‍ය සහ අත්‍යවශ්‍ය වන බඩු ලයිස්තුගත කිරීමේ දී සිහිපත් කරන්න.

ප්‍රමුඛ අවශ්‍යතා නිවැරදිව හඳුනාගන්න

කුස්සියෙ බඩු එකක්වත් ප්‍රමුඛ නොවන ගණයට ඇතුළු කරන්න බැරි තරම් අවශ්‍යයි. ඒත් සාර්ථක ගෘහණියක් මුදල් කළමනාකරණය ගැනත් අරපරෙස්සම ගැනත් හිතන්න ම ඕනේ. සමහරවිට ඔබට ගිය මාසයේ සබන් කුඩු පැකට් 3ක් වැය වුණේ ඔබේ නොපරිස්සම නිසා වෙන්න පුළුවනි. පොල් තෙල් අරපරෙස්සමෙන් පාවිච්චි කළා නම් මේ මාසයට තවත් ප්‍රමාණයක් ඉතිරි කරගන්නට තිබුණා වෙන්නත් පුළුවනි. අවශ්‍යතාවල ප්‍රමාණයට මුදල් වැය කරන්න කාටවත් බැහැ. මොක ද ආර්ථික විද්‍යාවෙදි හොඳින් ම කියනවනනේ, අවශ්‍යතා අසීමිත බව. ඒ නිසා ඔබට මාසයක දී කුස්සියෙ බඩු වෙනුවෙන් වියදම් කරන්න හැකියාව තියෙන මට්ටම හරිහැටි හඳුනාගන්න. ඒ අනුව අවශ්‍යතා අතරින් ප්‍රමුඛ අවශ්‍යතාවලට මුදල් වියදම් කරන්න.

නාස්තිවීම් වළක්වාගන්න

කුස්සියෙ වැඩකටයුතුවල දී සිදුවන පුංචි පුංචි අතපසුවීම් නිසා සමහරවිට ඔබේ බ්ලෙන්ඩරය, රයිස්කුකරය, ශීතකරණය ක්‍රියාවිරහිත විය හැකියි. ඒ වගේම අපරීක්ෂාකාරීව, නොසැලකිල්ලෙන් කටයුතු කළොත් ඔබේ මුලුතැන්ගෙයි ඇති වීදුරු බඳුන්,මැටි බඳුන්, පිඟන් කැඩී බිඳී යා හැකියි. නිවැරදිව, නිසි කලට එළවළු වර්ග මස් මාලුවර්ග ශීතකරණයේ තැන්පත් කරන්නට අපොහොසත් වුවොත් ඒවා එකවර නරක් වී යා හැකියි. ගෑස් ලිප නිවන්නට අමතක වුවොත් නිකරුණේ ගෑස් වැය වී යාම පමණක් නොවෙයි, නිවස තුළ හදිසි අනතුරු පවා ඇතිවිය හැකියි. පවුලේ සියලු දෙනාගේ සෞඛ්‍යයට හිතකර අයුරින් පිරිසිදුව, සැලකිල්ලෙන් ඉවුම් පිහුම් කටයුතු නොකළොත් හිටිහැටියේ මතුවිය හැකි යම් යම් ආසාත්මිකතා හෝ වෙනත් රෝගී තත්වයන් නිසා අනපේක්ෂිත මුදල් වැයවීම්වලට මුහුණ දෙන්නට සිදුවේවි. ජල කරාමය නිසියාකාරව නොවැසුවොත් ඔබ දන්නෙම නැතිව එන මාසෙ වතුර බිල වැඩිවේවි. නිවසේ ඇති අනවශ්‍ය විදුලි බල්බ් නිවා දමන්න අමතක වුණොත් විදුලි බිල වැඩිවේවි. මේ දේවල් පාලනය කරගන්නට ඔබ අපොහොසත් වුණොත් බඩු ලයිස්තුව විශාල වුණත් ඒ වෙනුවෙන් ඔබට වැයකරන්න අඩු මුදලක්වත් ඉතිරි කරගන්න බැරි වේවි. මේ නිසා ගෙදර දොරේ නාස්තිය වළක්වාගන්නට පවුලේ සියලු දෙනා ම සහාය කරගැනීමේ ලොකුම වගකීම ගෘහනිය හැටියට ඔබ දැරිය යුතුමයි.

ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතය හැකිතාක් සීමාකරගන්න

බැංකුවලින් ඔබට ලබාදෙන ණය කාඩ්පතකින් සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිළ දී ගැනීම ඉතා පහසු කටයුත්තක්. එහෙත් ඒ අයුරින් ඔබ බඩු මිළ දී ගන්නා අවස්ථාවේ දී පසුම්බියේ මුදල් වැයවන බව ඔබට නොදැනෙන නිසා ම අනවශ්‍ය මිළ දී ගැනීම්වලට ඔබ යොමුවීමේ වැඩි ඉඩක් තිබෙනවා. මේ නිසා විශේෂයෙන් ම පරිභෝජන අවශ්‍යතා ඉටුකරගන්නා විට හැකිතාක් අතැති මුදල් පමණක් යොදාගැනීම වඩාත් යෝග්‍ය විය හැකියි.

අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකරන භාණ්ඩ මිළ දී ගැනීමේ දී ඉතා සැලකිලිමත් වන්න

වට්ටම් ලබාදීම, එකක් ගත් විට තවත් එකක් නොමිළේ ලබාදීම වැනි අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකරන භාණ්ඩවල ගුණාත්මකභාවය, කල් ඉකුත්වීමේ දින, නිෂ්පාදිත තොගයෙහි දෝෂ, පැවතීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙන නිසා එක්වරම මතුපිටින් පෙනෙන වාසිය ගැන සිතා එවැනි භාණ්ඩ මිළ දී ගැනීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ.

භාණ්ඩවල ප්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න

ඔබ මිළ දී ගන්නා භාණ්ඩවල ප්‍රමිතිය, ගුණාත්මකභාවය, පිරිසිදුබව, නැවුම් බව, කල් ඉකුත්වන දිනයන්, එහි ඇති පෝෂණීය වටිනාකම, භාවිත කළ හැකි වාර ගණන, වෙළඳපොළේ අදාළ භාණ්ඩයට ඇති වෙනත් ආදේශක සහ ඒවායේ මිළගණන්, ආදී සියල්ල කෙරෙහි සුපරීක්ෂාකාරී වෙන්න.

ක්ෂණික ආහාර, කලින් පිසින ලද ආහාර, කෘතිම රසකාරක බහුල ආහාර මිළ දී ගැනීම නතර කරන්න

කොතරම් කාර්යබහුල ගෘහනියක් වුවත් ක්ෂණික ආහාර පුරුදුවලින් පවුලේ සාමාජිකයන් වළක්වාගැනීමේ වගකීම ඔබ අමතක කරන්න එපා. බඩු ලයිස්තුවේ අමතකවීමෙන් හෝ එවැනි ආහාරවර්ග ඇතුළත්ව ඇත්නම් ඒවා කපාහරින්නට දෙවරක් හිතන්න එපා.

මේ කරුණුවලට අමතරව කුස්සියේ බඩු ලයිස්තුව සූදානම් කරගැනීමේ දී සැලකිලිමත් විය යුතු මීට අමතර තවත් බොහෝ කරුණු  ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ නිසා සාර්ථක ගෘහනියක් හැටියට ඔබ සතු ශක්තිය පවුලේ සියලු දෙනාට ම අවබෝධ කරවන්නට මේ සියලු කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට තවත් ප්‍රමාද වෙන්න එපා.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles