රමොන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලබන ලාංකීක දිරිය කත

ශ්‍රී ලංකාවේ කාන්තාවක් පළමුවරට පිලිපීනයේ රමොන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලබන්නීය. Ramon Magsaysay සම්මානය ආසියාවේ නොබෙල් සම්මානය ලෙස විරුදාවලිය ලබා තිබෙන අතර ආසියාතිකයෙකු හට ආසියාවේ ලබාගත හැකි ඉහළම ගෞරව සම්මානය ලෙස සැලකේ.

මෙම දිරිය ලාංකීක දියණිය ගෙත්සි ෂන්මුගම් නම් වන්නී ය. ඇය මේ සම්මානයට පාත්‍ර වී තිබෙන්නේ යුද්ධයෙන් වඩාත්ම අවදානමට පත් වන්නන් වන කාන්තාවන් හා ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන් කරන ලද ආදර්ශමත් කාර්යයන් හා ඇපකැප වීම් නිසා ය. ත්‍රස්ත අර්බුද පවතින කලාපවල නිර්භීතව සිය මෙහෙවර කිරීමද එහිදි ඇගයීමට ලක් වු බව රැමන් මැග්සයිසේ සම්මාන පදනමේ සභාපති කාමෙන්ෂියා ඇබෙලා පවසන්නීය.

82 වැනි වියේ පසුවන ගෙත්සි ෂන්මුගම් මහත්මිය ගුරිවරියක ලෙස සේවය කර ඇති අතර ඇය මානසික උපදේශකවරියක් ද වන්නීය. තමන් බිම් මට්ටමේ වැඩකරුවකු බව නිහතමානී ලෙස පෙන්වා දෙන ගෙත්සි ඇයට හිමි වන රමෝන් මැග්සේසේ සම්මානය ජාතියට හිමි එකක් බව පවසන්නීය.

යුද්ධය ආරම්භ වීමෙන් පසුව ෂන්මුගම් මහත්මිය ඉතා දුෂ්කර තත්වයන් යටතේ අවතැන් වූ වැඩිහිටියන්ට හා ළමයින්ට උපදේශනය සැපයීමේ නිරත වූ අතර සිය අත්දැකීම් පාදක කරගෙන පොත් පිංචක් ද පළ කර ඇත. අවතැන් වූවන්ටත්, විශේෂයෙන් ම අවතැන් වූ ළමයින්ටත්, ළමා සොල්දාදුවන් වීමේ අවදානමට මුහුණ දුන් ළමයින්ටත්, වීදි දරුවන්ටත්, උපදේශන, අධ්‍යාපන, පුනරුත්ථාපන, පෝෂණ ආදී වැඩසටහන් දියත් කොට ඇති ඈ ඒ හා සම්බන්ධ උපදේශිකාවක් ලෙස පෙර පාසල් ගුරුවරියන් ඇතුළු නව පරපුරට මගපෙන්වීම ද ලබා දී ඇත.

ලංකාවේ ෂන්මුගම් මහත්මියට අමතරව මෙවර සම්මාන ලාභීන් අතරට ජපානයේ ඉතිහාසඥයෙකු වන Yoshiaki Ishizawa, ඉන්දුනීසියාවේ ආදී වාසි ජනයා වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ Abdon Nababan, සිංගප්පුරු ව්‍යාපාරිකයෙකු වන Tony Tay, පිලිපීනයේ නීතිඥ Lilia de Lima සහ පිලිපීනයේ Educational Theater Association ආයතනය එක්ව තිබේ.

1957 වසරේදී ගුවන් අනතුරකින් මියගිය පිලිපීන ජනාධිපති Ramon Magsaysay අනුස්මරණය කිරීම නිමිත්තෙන් Ramon Magsaysay සම්මාන උළෙල පැවැත්වේ. මෙවර Magsaysay සම්මාන ලාභීන් හට සම්මාන ප්‍රදානය කිරීම මෙම අගෝස්තු 31 වන දින පිලිපීනයේ මැනිලා නුවරදී සිදු කිරීමට නියමිතය. සමාජ සේවිකාවක ලෙස ගෙත්සිගේ දිගුකාලීන භූමිකාව රැමොන් මැග්සේසේ සම්මානයෙන් ඇගයීමට ලක් වීම ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයකි.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles