අසාධාරණයට එරෙහිව සටන් වදින රෝස පාට කල්ලිය

ගුලාබ් ගැන්ග් Gulab Gang  ගැන අසා තිබෙනවාද? Gulab Gang යන්නෙහි තේරුම රෝස  කල්ලිය යන්නයි. ඔවුන් ඉන්දියාවේ දරිද්‍රතාවයට සහ  පීඩනයට එරෙහිව සටන් වදින කණ්ඩායමකි. මෙම කණ්ඩායමට නායිකාත්වය දෙන්නේ සම්පත් පාල් දේවී (Sampat Pal Devi) ය. ඇය ඉන්දියාවේ  උත්තර් ප්‍රදේශයේ  ජීවත්වන කාන්තාවන්ගේ සංවිධානයක් වන Gulab Gang ගොඩනැංවූ අතර මේ වනවිට ඔවුන්ගේ සාමාජිකත්වය ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.

ළමා විවාහ, ස්ත්‍රී කළල ගබ්සාව, ලිංගික අපචාර සහ දෑවැදි ඉල්ලා හිංසා කිරීම ආදී දෛනික ප්‍රශ්න සඳහා මැදිහත්වන ඉතාම දුප්පත්, කුලහින කාන්තාවන්ගෙන් සැදුම්ලත් මෙම රෝසපාට කල්ලිය ඔවුන්ගේ ප්‍රශ්න විසදාගැනිමට ඔවුන්ටම ආවේණික ක්‍රමයක් අනුගමනය කරනවා. තම ආරක්ෂාව සඳහාත්, අපචාරකයින්ට පහර දීම සඳහාත් දිගු උණ බට තමා යන තැනට ‍රැගෙන යන අතර සාමකාමී ලෙස ගැටළුව විසඳීමට උත්සාහ කරන අතර එය අසාර්ථක වුවහොත් අදාල අපචාරකයාට පොලු වලින් පහරදීමත් මොවුන් සිරිතක් කර ගෙන තිබෙනවා. මෙම සංවිධානයේ නිල ඇඳුම ලෙස රෝස පැහැ සාරි ඇඳීම නිසා රෝස කල්ලිය යන නම භාවිතා වෙනවා.

වර්තමානයේදී සමාජ අයුක්තිය සහ අසාධාරණයට ලක් වූ ගැහැනුන් වෙනුවෙන් පමණක් නොව සියලුම දෙනා වෙනුවෙන් සමාජ අසාධාරණයට එරෙහිව සටන් වදින රෝස කල්ලිය ඔවුන්ගේ නියෝජිතයන් දේශපාලයට ද පිවිස මැතිවරණයටත් ඉදිරිපත් කර තිබෙනවා.

ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලැබෙද්දී මෙම කාන්තා සංවිධානයට “රෝස සාරි විප්ලවය” (Pink Sari Revolution) යන නම පට බැඳිණි. මේ ඇසුරින් විවිධ කලා නිර්මාණ ද සැකසිණි. පත්‍රකලාවේදිනියක වන අමානා ෆොන්ටනෙල්ලා ඛාන් (Amana Fontanella-Khan) විසින් රචිත “රෝස සාරි විප්ලවය” (Pink Sari Revolution: A Tale of Women and Power in India) කෘතිය ඒ අතුරින් විශේෂයි. එම කෘතිය ඇසුරින් නාට්‍යයක් ද නිර්මාණය කෙරිණි. එහි පිටපත රචනා ‍කළේ පූර්ව නරේශ් වන අතර අධ්‍යක්ෂණය එංගලන්තයෙහි උපන් ඉන්දියානු මුල් ඇති සුබා දාස් (Suba Das) ගෙන්ය. මෙම කණ්ඩායම අළලා සැකසුණු, ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන මධුරි ඩික්සිත් සහ ජූහී චව්ලා විසින්  ප්‍රධාන චරිත දෙකට පණ පොවන Gulab Gang  චිත්‍රපටය 2014 දී ඉන්දියාවේ තිරගත වූ අතර මෙහි අධ්‍යාක්ෂණය  සුමික් සෙන් ගෙනි.

අවියෙන් හෝ ප්‍රචණ්ඩත්වයෙන් ගැටළු විසඳීමට නොහැකි නමුත් දුකට සහ විපතට පත් කාන්තාවන් හට නීතියෙන් ද පිළිසරණක් නොවන තැන ස්වශක්තියෙන් නැඟී සිටිනා අයට ගුලාබ් ගැන්ග් පිළිසරණකි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles