නොදැන කෙරෙන වැරදිවලින් මූණ බේරගන්න

හැම කාන්තාවක් ම තමන්ගෙ රුව ලස්සනට තියාගන්න හුඟක් කැමතියි. ඒත් සමහර කාන්තාවන් තමන්ගෙ රූපලාවන්‍යය ගැන තීරණ ගන්නා අවස්ථාවල දි ආලේපන වර්ග, සත්කාරක ක්‍රම, ඖෂධවර්ග භාවිතය ආදියේ දී නිවැරදි අවබෝධයක් නොමැතිව ම ඒවාට පෙළඹෙනවා. මේ නිසා වැඩියෙන් ලස්සන වෙන්න ගිහින් අන්තිමේ දි තමන්ට තිබුණු ස්වභාවික ලස්සනත් විනාශ කරගන්නා කාන්තාවනුත් ඉන්නවා. ඉතින් රූපලාවන්‍ය කටයුතුවල දී නොදැනුවත්කමින් ඔබේ මුහුණට සිදුවන වැරදි ගැන දැනගන්න උනන්දුවෙන හැම කාන්තාවකට ම මේ කරුණු ඉතා වැදගත් වන බව නිසැකයි.

මුහුණට ආදරය කරන්න

  • වයස්ගතවන්නටත් පෙර ඔබේ මුහුණෙහි සම එල්ලාවැටෙන්නට නොදී තරුණ පෙනුම එක සේ පවත්වා ගන්නට නම් හැමදේට ම කලින් හැමකෙනාට ම වඩා ඔබේ ම මුහුණට ආදරය කරන්න. මුහුණේ කලින් කලට මතුවන කුරුලෑ, ලප, සමේ වෙනත් ආසාදන, දූවිලි නිසා වන ආසාත්මිකතා, ආදිය ගැන නිරන්තර ව පරීක්ෂාකාරීව සිටින්න.
  • ඔබේ මුහුණ සෝදන විට දෑත් උඩුඅතට වන සේ පිරිමදිමින් සෝදන්න. දිනපතා උදෑසන ඔබ මුහුණට ලබාදෙන නිවැරදි සම්බාහනය මේ හරහා සිදුවෙනවා. තුවායෙන් මුහුණ පිසදැමීමේදීත් පහළට පිසදැමීම නුසුදුසුයි.
  • මුහුණේ ක්‍රීම් ‍ආලේප කරනවිට මුහුණේ පහළට ඇතිල්ලීම නිවැරදි වන්නේ නැහැ. ඒ වගේ ම  ප්‍රමිතියකින් තොර වෙළඳපොළේ පවතින මුහුණු ආලේප දුටු පලියට මිළ දී ගෙන මුහුණේ ආලේපනය කොහෙත් ම සුදුසු නැහැ. ඔබේ මුහුණේ සමෙහි ස්වභාවය හොඳින් අවබෝධ කරගන්න. රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් ඒ ගැන නිවැරදි විශ්වාසනීය තහවුරුවක් ලබාගන්න. අනතුරුව නිවැරදි සත්කාරක ඔසු සහ ස්වභාවික ආරක්ෂණ ක්‍රමවේද භාවිත කරන්න..
  • මේක්අප් කිරීමක දී සෘජුව ම මුහුණට මේක්අප් කිරීම වෙනුවට ක්ලෙන්සර් කර අනතුරුව, ටෝනර් යොදාගැනීමෙන් පසු මේකප් කිරීමෙන් මේකප් සමට උරාගැනීම වළක්වාගැනීමට හැකියි.
  • මුහුණේ කුරුලෑ තිබෙනවිට ක්ලීන් අප්, ස්ක්‍රබ්, ෆේෂල් වැනි සත්කාර නොකළ යුතුයි. පිම්පල් ට්රීට්මන්ට කර ඉන් පිම්පල් ඉවත්කරගැනීමෙන් සම යථාතත්වයට පත්කරගැනීමෙන් පසුව එවැනි සත්කාරවලට යොමුවෙන්න.
  • උණුවතුරෙන් මුහුණ සේදීමත් වියළි සමක් හිමි යුවතියකට හිතකර වන්නේ නැහැ. තෙල් සහිත සමක් හිමිනම් මඳ රස්නය සහිත වතුරෙන් මුහුණු සේදීම හිතකරයි.

ඇස් ඉල්ලන තරමට නින්ද දෙන්න

කාර්යබහුල සමාජයක ජීවත්වන අද කාලේ යුවතියන් බොහෝ දෙනෙකුට තමන්ගෙ දෑස් ගැන නම් හිතන්න ම වෙලාවක් නැහැ. කොහොම වුණත් ඔබේ මුහුණට ඔබේ දෑසින් ලැබෙන ශක්තිය අසීමිත බව මතක තියාගන්න. මුහුණේ ප්‍රබෝධමත්බව ඇතිවන්නේ දෑස්වල දීප්තියෙනුයි.

ප්‍රමාණවත් පහසු නින්දක් ලබා නොගැනීම, රාත්‍රී කාලයේ වැඩිවේලාවක් රූපවාහිනී, දුරකථන, පරිගණක සමඟ ගතකිරීම, දැඩි අවිවේකීබව ඔබේ දෑස්වලට වෙහෙසකර අත්දැකීමක්. ඇස්යට කලුවීමටත් එය බලපානවා.මේ නිසා ඇස් ඉල්ලන තරමට නින්ද ලබාදීමෙන් සහ දෑස නිවැරදිව පිරිමැදීම, ඇස් යට කලුවීම වළක්වන ස්වභාවික ප්‍රතිකාරක ක්‍රම යොදාගැනීම ආදියෙන් ඔබේ දෑස් හදවතින් ම පරිස්සම් කරගැනීම ඉතා වැදගත්.  ඒ වගේ ම ඔබ යොදාගන්නා ඇස් ආලේපන, ඇහිබැම සකස් කිරීමේ ක්‍රමය, ආදියත් වඩාත් ආරක්ෂාකාරී සහ නිවැරදි වීම අතිශයින් වැදගත්.

දෙතොල නොකී දේ තේරුම්ගන්න

දෙතොල් නිසා මුහුණට ලැබෙන පෙනුමත් අතිශයින් වැදගත්. සිහින් දෙතොලක් හිමි යුවතියන් වගේ ම තරමක් පුළුල් දෙතොල් ඇති යුවතියන් ද අපි අතරේ ඉන්නවා. සමහර යුවතියන්ගේ දෙතොල්වල පැහැය උපතින් ම අඳුරු වන අතර සමහර අයගේ කිසිම ආලේපනයක් නොයොදාම දෙතොල් රෝස පැහැයෙන් යුක්ත වනවා. සියල්ලට ම පෙර ඔබේ දෙතොල්වල ස්වභාවය නිවැරදිව හඳුනාගන්න. දෙතොල් වියළි නම් ඒ වෙනුවෙන් අවශ්‍ය රූපලාවන්‍ය සත්කාර සිදුකරන්න. විශේෂයෙන් ම ලිප්ස්ටික් නිරන්තර ව භාවිත කිරීමේ දී දෙතොල් අවපැහැවීම වළක්වාගැනීමට ලිප් බාම් එකක් මුලින් භාවිත කර අනතුරුව ලිප්ස්ටික් ආලේප කරන්න. ලිප් ග්ලොස්වර්ග භාවිතයේ දීත් එය ඔබේ මුහුණට, සමට කෙතෙක් හිතකර ද ගැළපේ ද යන්න ගැන නිවැරදි ව තහවුරු කරගන්න.

මූණ ම එළිය කරන කොණ්ඩයක් තියාගන්න

ඔබේ මුහුණේ පෙනුම වඩාත් ඔප් නැංවෙන්නේ මුහුණට ගැළපෙන කොණ්ඩයකුත් ඔබට තිබුණොත් පමණයි. නිරෝගී ව දීප්තිමත් ව ඔබේ හිසකෙස් පවත්වාගැනීමත් මේ නිසා අතිශයින් ම වැදගත්.

නාන විදිය – ‍කොණ්ඩයට ෂැම්පු පමණක් නොයොදා අනිවාර්යෙන් ම කන්ඩිෂනර් කිරීම ද කළ යුතුයි.  කන්ඩිෂනර් නොයෙදීම නිසා කොණ්ඩයට කුණු දූවිලිවලින් වගේ ම හිරු එළියෙන් හානි සිදුවෙනවා. කෙස්වලට තෙල්, හෙයාර් ක්‍රීම් වර්ග යොදා දින කිහිපයක් තබාගැනීමත් ඔබේ කෙස් කළඹට හිතකර වන්නේ නැහැ.

හිසකෙස් වියලන විදිය – නෑමෙන් පසු දිගු වේලාවක් හිස තුවායකින් ආවරණය කර තැබීම  නිසා හිසකෙස් අකාලයේ සුදුවීම, හිසේ කැක්කුම් සෑදීම, සෙම් තත්වයන් වර්ධනය වීම, වැනි අහිතකර ප්‍රතිඵල රැසක් අත්විය හැකියි

පීරන විදිය – නෑමෙන් පසු හිසකේ නිසි පරිදි වියළාගන්නට පෙර කොණ්ඩය පීරන්නට යාමෙන් ඔබේ කෙස් ගැලවී යාම අධිකවිය හැකියි. නෑමෙන් පසු කෙස් ගස මුල මෘදුවීමක් සිදුවන අතර තෙතමනය තිබෙද්දීම මෘදු හිසකේ පීරීම කෙස්ගසේ ආරක්ෂාවට ඉතා අහිතකරයි. දිගු හිසකෙස් පීරීමේ දී බොහෝ දෙනෙක් එය සිදුකරන්නේ ඉහළ සිට පහළටයි. එහෙත් නිවැරදි ක්‍රමය වන්නේ පහළ සිට ඉහළට හිසකේ පිරීමයි.

කොණ්ඩය කපන විදිය – ඔබ කොණ්ඩය කපන යුවතියක් නම් ඔබේ මුහුණේ හැඩයට ගැළපෙන කොණ්ඩා මෝස්තරය හඳුනාගෙන කොණ්ඩය කැපීම ද කළ යුතුයි. මුහුණට ගැන නොසිතා වෙනත් අය කරන විදිය අනුකරණය කිරීමෙන් කොණ්ඩා කැපීම ඔබ අවලස්සන කරන්නට හේතුවිය හැකියි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles