ඔබේ දැනුම පොතට.. ශ්‍රී ලංකාවේ කුළුබඩු

0
779

කුළුබඩු නිෂ්පාදනය සහ වෙළදාම සඳහා ශ‍්‍රී ලංකාවට ඉතා හොඳ ඉතිහාසයක් ඇත. තවද, කුළුබඩු වෙළඳාමේදී ලාංකික කුළුබඩු වලට ඉතාමත් ඉහළ ඉල්ලූමක් පෙර අපර දෙදිගම පැවතියේ ශ‍්‍රී ලංකාවේ වගාකර සකසන ලද කුළුබඩු වල ඇති විශේෂිත වූ රසය, සුවඳ සහ ඉහළ ගුණාත්මක තත්ත්වය නිසාවෙනි. අදටත් ලොව කුරුඳු නිෂ්පාදනය කරන රටවල් අතුරින් විශාල වශයෙන් සත්‍ය කුරුඳු ලෝක වෙළඳපලට සපයන්නේ ලංකාවයි. සත්‍ය කුරුඳු යනු, ලෝක වෙළඳපලේ ඉහළම ඉල්ලූමක් ඇති ලංකාවට ආවේණික වූ නමුත්, ඉන්දියාව, වියට්නාමය වැනි වෙනත් රටවලත් වගා කරනු ලබන කුරුඳු වර්ගයයි. වෙනත් චීන සම්භවයක් ඇති කුරුඳු වර්ගද ලෝක වෙළදපලේ දැකගත හැකිවේ.  ලෝක වෙළඳපලට අවශ්‍ය ප‍්‍රමාණයෙන් 90% ක් පමණ මේ සත්‍ය කුරුඳු සපයනු ලබන්නේ ශ‍්‍රි ලංකාවයි. කුරුඳු, ගම්මිරිස්, කරාබු, කරඳමුංගු, සාදික්කා සහ වසාවාසි ශ‍්‍රි ලංකාවෙන් අපනයනය වන කුළුබඩු අතර ප‍්‍රධාන තැනක් ගනී.

කලකට පෙර ලෝක වෙළඳපලට ලාංකික කුළුබඩු සැපයීම ප‍්‍රමාණවත් නොවන තරමට ඉල්ලූමක් තිබුණි. නමුත්, පසුගිය වර්ෂ කීපයක් ඇතුළත ලාංකික කුළුබඩු වලට ඇති ඉල්ලූම සහ ලැබෙන මිළ පහළ මට්ටමකට වැටී ඇත. විශේෂයෙන් මින් වසර කිපයකට පෙර ලංකාවෙන් කුළුබඩු ආනයනය කරන රටවල් අතර ප‍්‍රධාන තැනක් ගන්නා ලද්දේ මහා බි‍්‍රතාන්‍යය, මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, කොලොම්බියාව, පෙරූ වැනි රටවල්ය. කෙසේ වුවද, ශ‍්‍රී ලාංකිය කුළුබඩු පිළිබඳව මෙම රටවල් තබා ඇති විශ්වාසය මදක් අඩු වී ඇති අතර, මෑතක සිට බොහෝ කුළුබඩු සඳහා ඉන්දියාව ප‍්‍රධාන ගැණුම්කරු බවට පත්වෙමින් සිටී. මෙහිදී විශ්වාසය යනු, කුළුබඩුවල තත්ත්වයයි.  නෙළීමේදී, සැකසීමේදී, අසුරා ගබඩා කිරීමේදී සහ ප‍්‍රවාහනයේදී ඉතා සෞඛ්‍යාරක්ෂිත බවක් සහ ඉහළ ගුණාත්මක බවක් මෙම රටවල් බලාපොරොත්තු වන අතර, ඒ බව තහවුරු කරන HACCP,  GMP, ISO  වැනි සහතික තිබීම එම රටවල් මඟින් සොයා බලනු ලැබේ. නමුත්, තවමත් අපේ රටේ මුළු කුළුබඩු නිෂ්පාදනයම වාගේ කරගෙන යනු ලබන්නේ ගෘහාශ‍්‍රිතව ඉතා සම්ප‍්‍රදායික ලෙසයි.

මෙවැනි ගෘහාශ‍්‍රිතව කරනු ලබන කුළුබඩු සැකසීම්වල සෞඛ්‍යාරක්ෂිත බව ප‍්‍රමාණවත් නොවන බව නොරහසකි. මේ හේතුව නිසා, සැකසීමෙන් පසු ගබඩා කරන කාලයේදී විවිධ පුස් වර්ග වර්ධනය දැකගත හැකිවේ. මෙලෙස අවසාන නිෂ්පාදනයේ සෞඛ්‍යාරක්ෂිත බව අඩුවීම ලෝක වෙළදපලේ ඉල්ලූම අඩුවීමට මෙන්ම මිළ පහත යාමටද එක් හේතුවක් ලෙස සැලකිය හැකිවේ. විශේෂයෙන් ඉහත සඳහන් කළ යුරෝපා සහ ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව වැනි බොහොමයක් රටවල් ශ‍්‍රි ලංකාවෙන් කුළුබඩු ආනයනය කරනු ලබන්නේ ආහාරමය අවශ්‍යතාවන්ට වඩා විවිධ ඹෟෂධ, රූපලාවණ්‍ය නිශ්පාදන සහ පළිබෝධනාශක නිශ්පාදනය සඳහායි. එමනිසා අපේක්ෂිත ප‍්‍රමාණයෙන් කාබනික සංඝටක අදාළ කුළුබඩුවෙහි තිබීම මෙම නිෂ්පාදකයන් බලපොරොත්තු වේ. එමනිසා, සැකසීමේදී කුළුබඩුවල පවතින මෙවැනි වැදගත් සංඝටක විනාශ නොවීමට වගබලා ගැනීම වඩා වැඩි ඉල්ලූමක් පවත්වා ගැනීමට වැදගත් වේ.

කියවන්න :  හරියට අත් සෝදන්නේ කොහොමද?

ඒ කෙසේ නමුත්, සාදික්කා සහ වසාවාසි අවශ්‍ය ප‍්‍රමාණයට මේරීමට පෙර නෙළාගැනීම ඉතා සුලබ කටයුත්තකි. නියමිත කලට පෙර අස්වැන්න නෙළා ගැනීම නිසා කුළුබඩුවෙහි අපේක්‍ෂිත රසය නොමැතිවන අතර, තිබිය යුතු ප‍්‍රමාණයෙන් රසායනික සංඝටකද අඩංගු නොවනු ඇත. විශේෂයෙන් පසුගිය සිංහල අළුත් අවුරුදු කාලයේ අප මාතලේ කල ක්ෂේත‍්‍ර චාරිකාවකදී දැකගත හැකිවූයේ, ඉතාමත් දළු තත්ත්වයේ ඇති සාදික්කා සහ වසාවාසි විකිණීමට ඒවා මිළදීගන්නා ස්ථාන වෙත පැමිණෙන වගාකරුවන්ය. උත්සව සමයේ වියදමට අවශ්‍ය වන මුදල් සොයා ගැනීමට බොහෝ දෙනා දළු සාදික්කා කඩා ඉතාමත් අඩු මිළකට ගැණුම්කරුවන්ට විකිණීම ඉතා සුලබ දසුනක් විය.

ලෝක වෙළඳපලට කුළුබඩු සපයන වෙනත රටවල් සැලකූ කල ඉන්දියාව, වියට්නාමය වැනි රටවල් මහා පරිමාණයෙන් නවීන තාක්‍ෂණයද භාවිතා කරමින් කුළුබඩු වර්ග වගාකරන අතර, නිෂ්පාදනය අධික නිසා අඩු මිළකට විශාල කුළුබඩු ප්‍රමාණයක් ලෝක වෙළඳපලට සපයනු ලබයි. නමුත් ශ‍්‍රි ලංකාව සැළකූ කල මෙරටින් කුළුබඩු අපනයනය කරන්නන් හට ඒවා ලබා දෙන්නේ සුළු පරිමාණ වගාකරුවන් සහ සකසන්නන්ය. නමුත්, මහා පරිමාණ නිෂ්පාදකයින් නිසා ලෝක වෙළඳපල මිළ ගණන් පහළ බැසීම හේතුවෙන් සාම්ප‍්‍රදායික මෙවලම් භාවිතයෙන් සුළු පරිමාණයෙන් ව්‍යාපාර කරගෙන යනු ලබන ලාංකික කුළුබඩු නිෂ්පාදකයින් ඉතා අසීරු තත්ත්වයට පත්වී ඇත. ශ‍්‍රි ලාංකික කුළුබඩු සඳහා ලෝක වෙළඳපලෙන් ඉහළ මිලක් ලබා ගැනීමට හැකි එක් ක‍්‍රමයක් වන්නේ, ඒවාට වෙනත් වටිනාකමක් එක්කිරීමයි. උදාහරණයක් ලෙස, කුළුබඩු කුඩු වශයෙන් සකස් කර, ඉතා උසස් ලෙස ඇසුරුම් කර සහ වඩා ආකර්ෂණීය ලෙස වෙළඳපලට යැවීම දැක්විය හැකියි.

කියවන්න :  කොරෝනා කාලයේ මානසික සෞඛ්‍ය යහපත් වෙන්න නම්...

තවද, අප කල පර්යේෂණ වලින් පෙනීගොස් ඇත්තේ ඇතැම් කුළුබඩු වර්ග යොදා ගනිමින් කෘමි විකර්ෂක සහ පළිබෝධ නාෂක නිෂ්පාදනය කළහැකි බවයි. ඇතැම් කුළුබඩු වල නිස්සාරක මඟින් මිනිසාට රෝග ඇතිකරන ලිස්ටීරියා, සැල්මොනෙල්ලා, ශිගෙල්ලා වැනි රෝග කාරක බැක්ටීරියා ඉතා සාර්ථකව මර්ධනය කරන බව අපගේ පර්යේෂණ තහවුරු කර ඇත. එසේම නොයෙක් එළවළු සහ පළතුරු වලට රෝගකාරක වන ඇස්පෙර්ගිලස් සහ ෆූසාරියම් වැනි දිලීර හොඳින් මර්ධනය වන බවද නිරීක්‍ෂණය වී ඇත. මෙවැනි සොයා ගැනීම් වලින් පෙනී යන්නේ මෙරට කුළුබඩු යොදාගනිමින් විවිධ පළිබෝධනාශක, ඖෂධ වර්ග ඉතා සාර්ථකව නිෂ්පාදනය කල හැකි බවයි. විශේෂයෙන් මෙවැනි නිෂ්පාදන පරිසරයට හිතකාමී අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කළ හැකි නිසා විදේශ ගැණුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම ඉතා ඉහළ මිලක් ලබාගැනීමටත් හැකියාව ඇත. මක්නිසාදයත්, පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා ලෝකය පුරා ඉතා ඉහළ ඉල්ලූමක් පවතින බැවිනි. ශ‍්‍රි ලංකාවෙන් කුළුබඩු ආනයනය කරන බොහෝ රටවල් ඒවා අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් ඉතා ඉහළ වටිනාකමක් ඇති ඉහත සදහන් කල වැනි බොහෝ නිෂ්පාදන කරනු ලබයි.

එමනිසා, ලාංකික කුළුබඩු ආහාරමය අවශ්‍යතා සඳහා අපනයනය කරන අතරතුරම, මෙවැනි නිෂ්පාදනත් මෙරටදීම නිශ්පාදනය කර අපනයනය කළ හැකිනම් කුළුබඩු වලින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය නැවතත් ඉහළ දැමීමට හැකි මාර්ඟයක් පාදාගැනීමට හැකිවනු නොඅනුමානය. නමුත් ඒ සඳහා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට අදාළව පර්යේෂණ කරන පිරිස්, ආහාර විද්‍යා සහ තාක්ෂණය විෂයන්ට මෙන්ම පෝෂණයට අදාළව පර්යේෂණ කරන පිරිස් ද එක්ව කටයුතු කිරීම වාසිදායක වන අතර, ජාත්‍යන්තර වෙළඳාම සහ ආහාර වෙළඳාම පිළිබඳව දැනුමක් ඇත්තන්ගෙන්ද අදහස් ලබා ගැනීමෙන් ලෝක වෙළඳපලට වඩාත් ගැලපෙන සාර්ථක නිෂ්පාදනයක් සකසා ගැනීමට හැකිවනු ඇත.

සටහන ඉවෝන් ප‍්‍රනාන්දු