සිනහවෙන් හා දිරියෙන් ලොව දිනූ චීන දියකිඳුරිය

ඔලිම්පික් රන් සිහිනයක් යනු ක්‍රීඩක දිවියේ හිණිපෙත්ත අතර එය සුළුපටු සිහිනයක්ද නොවේ. නමුත් සැමවිටම පදක්කමක් යනු ජයග්‍රහනයක්ද නොවේ. රන් පදක්කමක් දිනා නොගත්තද Rio Olympics හි ආදරණීයම ක්‍රීඩිකාව බවට පත්වුණු Fu Yuanhui ගැන සටහනක් තැබිය යුතුවන්නේ ඇගේ හැසිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනි.

Fu 20 හැවිරිදි චීන ජාතික පිහිනුම් ක්‍රීඩිකාවකි. චීන රජය සිය ඔලිම්පික් කණ්ඩායම දැඩිසේ පාලනය කරන බව ලොවට නොරහසකි. රන් පදක්කම අහිමි වූ චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රසිද්ධියේ හඬා වැටීම මෙයට හොඳම නිදසුනකි. මීට හාත්පසින්ම වෙනස් මගක් ගන්නා Fu සිය නිරතුරුව පියකරු සිනහවකින් සැරසී සිටින අතර අන් අය අනුකරණය නොකරන තමාගේම පෞරුෂයකට උරුමකම් කියන්නීය. නිතරම විනෝදයෙන් සිටින ඈ ක්‍රීඩාවේ යෙදෙන්නේ සතුටිනි. බොහෝ දෙනා ඇය හඳුනන්නේ සිනහවෙන් චීන රජයට අභියෝග කල තරුණිය කියායි.

fu-yuanhui-chinese-swimmer-rkr-1024x538

රියෝ 2016 දී ද මාධ්‍ය අවධානය ඇය වෙත බෙහෙවින් යොමු විය. 100m පසුපස ආර තරගයේ දී ප්‍රබල තරගයක් ලබා දුන් ඇය උත්සුක වූයේ උපරිමයෙන් තරගයේ යෙදීම විනා පදක්කමක් ගැනීම නොවේ. තරගය අවසානයේ ලෝකඩ පදක්කමක් ඈ දිනා ඇති බව මාධ්‍යෙව්දිනියක් පවසනතෙක් ඈ නොදත්තාය. ඇය පදක්කමක් දිනූ බව දැනගත් විට පළකල අව්‍යාජ හැඟුම් වලින් ලොවම කුල්මත් කෙරිණි. ඇගේ අව්‍යාජ සිනහව සියල්ලන්ගේ හදවත් වලට ගෙන ආවේ සතුටකි.

ඇගේ 4x100m medley රිලේ ඉසව්ව සැමගේ අවධානය නැවත දිනාගති. ඒ තරගයට පසු සිදුවූ සිදවීමක් හේතුවෙනි. මෙම ඉසව්වේදී 4වන ස්ථානයයි චීන ජාතික පිල හිමි කරගත්තේ.  තරගය අවසන්වී සුළු මොහොතකින් ඇය පිහිනුම් තටාකය පිටුපස වේදනාවෙන් සිටිනු දුටු චීන මාධ්‍යෙව්දිනිය විමසා සිටියේ ඇය අසනීපයෙන්ද යන්නයි. එයට Fu දුන් පිළිතුර වූයේ පෙර දා සවස ඔසප්වීම ඇරඹුණු හෙයින් ඇය අධික මහන්සියකින් සහ වේදනාවකින් පසුවන බවයි. තව දුරටත් අදහස් ප්‍රකාශ කල ඈ සිය කණ්ඩායමේ සාමාජිකාවන්ගෙන් සමාව භජනය කලේ ඔසප්වීම නිදහසට කරුණක් නොවන බවත් මීටත් වඩා ‍ධෛර්යයෙන් පිහිනිය යුතුව තිබූ බැව්ය.

අනවශ්‍ය ලෙස වෙනත් හේතු දක්වමින් සත්‍යය වසන් නොකල Fuගේ සෘජු ප්‍රකාශය චීන මාධ්‍ය තුල සහ සමාජ ජාලා වෙබ් අඩවි තුල උණසුම් ප්‍රතිචාරයක් ලැබිණි. බටහිර මාධ්‍ය පවා මින් පුදුමයට පත්වූයේ බටහිර ක්‍රීඩිකාවන් පවා මෙය පිළිගැනීමට මැලිවන කරුණක් හෙයිනි. ඇගේ ප්‍රකාශය හුදු නිදහසට කාරණාවක් නොවී විවෘත ප්‍රබල කතිකාවකට මගපාදන ලදී.

සංස්කෘතික දුර්මත හේතුවෙන් ගැහණු දරුවන්ට ක්‍රීඩාවේ යෙදීමට තවම නොදෙන සමාජයන්ට Fu ලබාදෙන්නේ ප්‍රබල පණිවුඩයකි. එසේම ඔසප් වේදනාව හේතුවෙන් දෛනික කටයුතුවල පවා යෙදීමට මැලිවන කාන්තාවන්ට ඇය දුන්නේ කදිම ආදර්ශයකි. Fu වේදනාව කාන්තාව දුර්වල කරයි යන දුර්මත මත බිඳහෙලමින් කාන්තාවක් ලෙස නොඅඩුව තිබිය යුතු ධෛර්ය මනාව ප්‍රකට කළාය.

ක්‍රීඩාවක අගය පවතින්නේ ලබා ගන්නා පදක්කම් ප්‍රමාණය හෝ බිඳහෙලන වාර්තා මතම නොවේ. බොහෝ දෙනා වර්තමානයේ ක්‍රීඩාවන් දකින්නේ ධනය උනනා උල්පත් ලෙසයි. නමුත් ක්‍රීඩාවේ ජීව ගුණය එතැනට වඩා දුර ඈතය. ක්‍රීඩාවේ යෙදීමෙන් තමන් ලබන සතුට, කැපවීම, ධෛර්ය මානව හිතවාදී බව යනාදිය ක්‍රීඩාව ඔපවත් කරයි. Fu වර්තමාන පරම්පරාවට දෙන හොඳම පණිවුඩය කාන්තාවක්වීම ක්‍රීඩාවට බාධාවක් නොවනවා මෙන්ම කාන්තාවකට සෘජුව අදහස් ප්‍රකාශ කිරීමට කිසිම බාධාවක් නොමැති බවයි.

අනෙකෙකුගේ සෙවනැල්ල නොවී සිය සැබෑ ස්වරූපයෙන් සතුටින් නැගී සිටීමට හැකිබව Fu නැවත නැවතත් අපට පසක් කරවයි. ක්‍රීඩාවෙහි හෝ වේවා, ඔබ නිරතවන ක්‍රියාව සතුටින් අත්විඳිය නොහැකි නම් එය අවාසනාවක්ම නොවන්නේද?

CphAa77XEAAV_EF– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles