බිඳෙන හිත.

පාරමී රෑ මැද්දේ ඇහැරුණේ පුරුද්දට වගේ.දසුන්ගේ දුරකථනය හොයාගෙන ඇඳෙන් බැස්ස පාරමීට ඒක හොයන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා.අන්තිමට දසුන්ගේ ෆෝන් එක හමු වුණේ සාලේ සෝෆා එක්ක අස්සේ තිබිලා.නොසැලකිල්ලෙන් එතැන දාලා ඇවිත් කියලා සාමාන්‍ය කෙනෙකුට හිතුණත් පාරමීට එහෙම හිතුණේ නෑ.

“මේක මෙතන දාන්න ඇත්තේ මොකක් හරි හොර කෝල් එකක් ආවොත් මට නෑහෙන්න..”

එහෙම හිතපු පාරමී දසුන්ගේ මැසේන්ජර් ඇප් එක පැත්තට ගියා.කිසිම විශේෂයක් නෑ.ගෑනු කෙනෙක්ට කියලා චැට් කරලා තිබ්බේ දසුන්ගේ ඉස්කෝලේ යාලුවෙක්.

“අනේ මචෝ මෙන්න මේකට ලයික් එකක් දාහං..තරගයක්.”

එච්චරයි.දසුන් ඒකට ස්ටිකර් එකකින් ප්‍රතිචාර දක්වලා තිබුණා.වට්ස් ඇප් වලත් කිසිම සැකයක ලකුණු නැහැ.”මේ මනුස්සයා හොර අඹුවන්ගේ මැසේජස් මකනවා ඇති.” පාරමී හිතුවේ කේන්තියෙන්.කෝල් ලොග්ස් චෙක් කරනකොට “සාවිත්‍රි- මහරගම බ්‍රාන්ච්” කියලා අංකයක් තියනවා.ඔය තියෙන්නේ!! දෙන්නම් බැටේ කියලා පාරමී හිතා ගත්තා.

“හෙලෝ මිස් සාවිත්‍රි..”

පහුවදා උදේම පාරමී කළේ ඒ නම්බර් එකට කෝල් කරන එක.දසුන්ගේ වාහනේ ගේට්ටුවෙන් එළියට යනකොටම පාරමී සාවිත්‍රිට කෝල් කළා.

Young couple arguing

“අනේ අයිම් බිසි නව්.පස්සේ ගන්න දරුවෝ.”

අනිත් පැත්තෙන් ආවේ එහෙම හඬක්.

“දරුවො…ඇයි මම බබා කියලද එයා හිතාගෙන ඇත්තෙ.කොහොමත් මම බබා කියල හිතාගෙන තමයි මුං නටනව ඇත්තේ.”

පාරමී ඊළඟට දසුන්ලගේ ආයතනයේ මහරගම ශාඛාවේ ස්ථාවර දුරකථනයට සම්බන්ධ වුණා.සාවිත්‍රි මෙනෙවිය ඉල්ලා සිටියා.

“මිසිස් වේරගම අද පර්සනල් වැඩකට නිවාඩු දාලනෙ..”

පාරමීට ඇති වුණේ සැකයක්.බයක්.ඇය වහාම දසුන්ගේ කාර්යාලයට ඇමතුමක් ගත්තා.

“මිස්ට වීරසේකර?”

දසුන් ඉන්න බව කියපු පිළිගැනීමේ නිලධාරිනියක් ඔහුව සම්බන්ධ කරන්න කලින් ඇය වහාම ඇමතුම විසන්ධි කළා.ඒත් මේ සාවිත්‍රිට හොඳ දෙකක් කියන්න ඇයට අවශ්‍ය වුණා.

“අද මිසිස් සාවිත්‍රි වේරගොඩගේ හස්බන්ඩ්ගේ අවුරුද්දේ දානේ.එයා ඔෆිස් එකේ නැහැ..”

ඒ ඇමතුම එක්ක පාරමීට උතුර දකුණ මාරු වෙන්න ගත්තා.දසුන්, සැමියා මිය ගිය කාන්තාවක් එක්ක සම්බන්ධතාවයක් පටන් අරන්.පාරමී අඬාගෙන ගත්තු දුරකථන ඇමතුම අහගෙන හිටිය ඇගේ අම්මා කිව්වේ එකම එක වාක්‍යයක් විතරයි.

“වංචාකාර පිරිමි විස්වාස කරන්න එපා කියල මං කිව්වේ ඕකයි..”

මෙතැනින් එහාට අම්මාගෙන් යමක් අහන්න බෙදා ගන්න බෑ.අම්මා අවුරුදු ගාණක අතීතයට ගිහින් බනින්න සාප කරන්න පටන් ගන්නවා.පාරමී කුලී රියක් කැඳෙව්වේ ඒ තරම් නොයන නිවසකට යන්න.

ඇගේ ජීවිතය තුළ ඇය මුලින්ම දැන ගත්තු වංචාකාර පිරිමියා ළඟට යන්න.!!

පාරමී කුලී රිය පිටුපස අසුනට වෙලා ඉකි ගහමින් ඇඬුවා.නොදන්නා රියදුරා දෙතුන් වතාවක් ඇය දිහා බැලුවත් ඇය කළේ අඬන එක.ඒ අතර අතීතයට පාවෙන එක.

“ඒ චමලි එක්ක මට සම්බන්ධයක් නෑ නේත්‍රා.විකාර කියවන්න එපා.”

තාත්තා ඒ දවස්වල ඔලුවේ අත් ගහගෙන කියපු හැටි පාරමී සිහි කළා.අම්මා ඒ හැම වතාවකම ගෙදර බඩු පොළොවේ ගහමින් කෑගැහුවේ උගත් ගැහැනියක් නොකිය යුතු වචන කියමින්.

“දෑහැට නොපෙනී පලයං යන්න..”

තාත්තා ගෙදරින් ගියා.දික්කසාදය ලබා ගත්තා.ඒ වගේම චමලි ආන්ටිව කසාද බැන්දා.පාරමී අදටත් ඒ දේවල් සිහි කරන්නේ අප්පිරියාවෙන් වගේම කේන්තියෙන්.

“අම්මා වගේ නැතුව ඉවසීමෙන් ජීවිතේට මූණ දෙන්න.”

විවාහය දවසේ තාත්තා පාරමී වැලඳගෙන කිව්වේ එහෙමයි.

“දසුන් ඔයා වගේ වෙන හෝටල් හොයන් නෑ..”

ඒක දුවෙකුට තාත්තා කෙනෙකුට කියන්න තරම් කතාවක් නෙවෙයි.ඒත් පාරමී තමන්ගේ ජීවිතේ ලස්සනම දවසේ එහෙම කියන්න පසුබට නොවුණු කෙල්ලක්.

“මට දසුන්ව ඩිවෝස් කරන්න ඕන..ඒ මිනිහට හොර ගෑනියෙක් ඉන්නවා..”

පාරමී තාත්තගේ ගෙදරට ගොඩ වුණේ එහෙම කෑගහගෙන.පැත්තක ඉඳන් බලන් ඉන්න චමලි ආන්ටි දැක්කම ඇගේ කේන්තිය ඉහවහා ගියා.

“ඔයාට වගේම එයාටත් හොර ගෑනියෙක් ඉන්නවා..”

චමලි ආන්ටිට මතු වුණේ සිහින් හිනාවක්.විවෘත මුළුතැන්ගෙයට වෙලා තේ හදන ඇය කෝප නොගැනීම ගැන පාරමීට පුදුමයි.නමුත් මෙතන ඉන්නේ අම්මා නම් පිඟන් කෝප්ප අහසට ඉගිලෙන්න ඉඩ තිබ්බා.

“කවුද ඒ ගෑනු ළමයා..”

තාත්තා අහන්නේ සන්සුන්ව.

“මිනිහා මැරිච්ච ගෑනියෙක්.”

උගත් යුවතියක් විදියට සමාජගත වුණත් දූ කතා කරන හැටි ගැන තාත්තාට දැනෙන්නේ ලැජ්ජාවක්.නමුත් ඔහු ඉවසන්න තීරණය කළා.

“වේරගොඩ කියල ගෑනියෙක්..දසුන්ලගෙ ඔෆිස් එකේ”

පාරමී කිව්වේ නොසැලකිල්ලෙන්.

“වේරගොඩලගෙ දුවද? ඒ ළමයා මැරීඩ් නෑ පුතේ.ඔයාටත් බාලයි.ඒත් එහෙම දරුවෙක් අනියම් සම්බන්ධෙක පැටලෙන් නෑ.”

තාත්තා කියන්නේ කල්පනාකාරීව.නමුත් ඇගේ සැමියාගේ දානයේ කතාව ගැන ආයතනය කියපු හැටි තාත්තාට කියන්න පාරමී වග බලා ගත්තා.

“මොනවද දරුවෝ මේ කියන්නෙ.මිසිස් සාවිත්‍රි එක්ක කොහොමද දසුන් පුතා යාලු වෙන්නෙ.ඒ ඔයාලගෙ තාත්තාගෙ බැච් මේට් කෙනෙක්.දසුන්ගෙ ප්‍රමෝෂන් වැඩකට මේ දවස්වල තාත්තා උදව් කරනවනෙ.ඒකට තමයි සාවිත්‍රි උදව් කරන්නෙ.ඔයා ඉන්නේ ලොකු පැටලීමක..”

චමලි ආන්ටිගේ හඬ ආවේ තේ කෝප්පයක දුම් අතරින්.පාරමී ඒ කතාව පිළිගන්න ලෑස්ති නෑ.ඒත් ඇය දුන්නු අංකයට ඇමතුමට සම්බන්ධ වුණු සාවිත්‍රි “අනේ අර්ජුන,දරුවගෙ වැඩේට මම උපරිම සපෝට් කරනව හොඳේ..”කියන හඬ ඇහෙනකොට පාරමීට පොළොව පලාගෙන යන්න හිතුණා.

“පුතේ,මට අම්මා බේරා ගන්න බැරි වුණා.එයාගේ අනවශ්‍ය සැකය අපේ පවුල විනාස කරා.ඒත් මට ඔයාට එහෙම වෙන්න දෙන්න බෑ..”

තාත්තා පාරමී තුරුළු කරගත්තේ එහෙම කියාගෙන.

“දැන් දූට විසි හතක්නෙ.ඒ සිදුවීම වෙනකොට ඔයා අවුරුදු දහතුනක විතර පොඩි දුවෙක්.ඒ නිසා මං ඔයාට මේ කතාව කියන්නෙ.අම්මා මට චෝදනා කරනකොට මං තාත්තා එක්ක කිසිම සම්බන්ධයක් තිබ්බෙ නෑ.ඒක අම්මා ඔලුවෙන් හදා ගත්තු දෙයක්.ඒත් අන්තිමට මං කොහෙවත් නැති ඩිවෝස් නඩුවකත් පැටලුනා..”

චමලි කියද්දී පාරමී ඇය දිහාම බලාගෙන හිටියා.තාත්තා තමන්ට අනියම් සම්බන්ධයක් නැති බව කියමින් දිවුරපු අතීතය ඇයට මතක් වුණා.අම්මා ඉන්නේ සැකයෙන්.පාරමී ගැන වුණත් අම්මා මොනතරම් සැක කරනවාද?දසුන්ගේ සම්බන්ධය දැනගත් දවසේ ඉඳන් පාරමීගේ ඔසප් දින ගණන් කරමින් “අවලමේ ගිහිං ළමයි හදාගෙන” කියලා අම්මා බනින හැටි පාරමී සිහි කළා.දසුන් එක්ක කායික ඇසුරක් පටන් ගන්න පෙරම අම්මා එහෙම බනිද්දී පාරමීට සිය දිවි නසා ගන්න පවා හිතුණු හැටි ඇය සිහි කළා.

“අපි හින්දා වෙච්ච නින්දාවයි ඒ ගැන කිසිම සාප කිරිල්ලක් නැතුව දරා ගත්තු හැටියි හින්දා මං ආන්ටිව මැරි කළේ.ඒත් ආන්ටි තීරණය කළා දරුවෙක් නොහදන්න.දූගේ හිත රිදෙයි කියන බයට.”

තාත්තාගේ හඬ ඇහෙනකොට චමලිව වැරෙන් වැලඳ ගන්න පාරමීට ඕනෑ වුණා.

“මහ ලොකුවට ගිහිං අල්ලගෙන තියෙන්නෙ වඳ ගෑනියක්..”

අම්මා අපහාස කරන හැටි පාරමීට මතක් වුණා.

“දෝණි,මේ නම්බර් එක අයිති මනෝ උපදේශනය කරන කෙනෙක්ට.ගිහින් එයාව මුණ ගැහෙන්න.මං දසුන්ටත් කතා කරන්නම්.අපි ඔය අනවශ්‍ය සැකේ හදා ගමු.අම්මා වගේ මගෙ පුතාත් ජීවිතේ පුරා දුක් විඳින්න ඕන නෑනෙ..”

තාත්තා ආයේම පාරමීව වැලඳ ගත්තා.පාරමී තාත්තාට තුරුළු වුණා.අම්මාගේ ඇහෙන් දකිනවට වඩා ලෝකය ලස්සනයි.ඇයට හිතුණා.

More Stories

Don't Miss


Latest Articles