යුතුකම්

අසේල ආභරණ අලෙවිසැලෙන් එළියට ආවේ නොසන්සුන් වූ හිතින්.ඒත් රසිකා නම් හිටියේ සතුටින් ඉපිලෙමින්

” ඔයාට හිතෙන්නේ නැද්ද රසිකා අපි ජුවලරි වලට වියදම් කළා වැඩියි කියලා ?”

” මොකක්ද අනේ ? wedding එකක් ගන්නෙ ජීවිතේටම එක පාරයිනෙ ? ඒකට ලෝබකම් කරලා වැඩක් තියෙනවද ? “

” අපිට මීට වඩා දේවල් තියෙනවා වියදම් කරන්න. ඔයාට ඩ්‍රෙසින් වලටම ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න යනවා “

අසේල මෝටර් රථයට නැග්ගා. විවාහයේ බර හිස මත තියෙන නිසා දැන් ඔහු ඉන්නේ විඩාවට පත් වෙලා.රසිකා හිතන හිතන විදිහට මුදල් වියදම් කිරීම අසේලගේ හිතට එකතු කළේ තවත් බරක්

” going away එකට ලස්සන ෆ්‍රොක් එකක් අඳින්නයි මම හිතන් ඉන්නේ අසේල “

” ඒ උනාට මම නම් කැමති ඔයා kandyan එකෙන්ම එළියට බහිනවට “

” මොකක්ද අනේ ටිකක් අලුත් විදිහට හිතන්නකෝ . ෆ්‍රොක් එකක් ඇන්දම කොච්චර ලස්සනද ? අනික අද කාලේ හැමෝම කරන්නේ එහෙම “

විවාහයට කටයුතු සූදානම් කරන කරන කොට අසේලත් රසිකාත් අතර මතගැටුම් බොහෝමයක් තිබුණා.බොහොම සාමාන්‍ය පවුලක තරුණියක්වුන රසිකාට ඕන උනේ විවාහ මංගල්‍ය උත්සවය ඉතා ඉහළින් සමරන්න

” අම්මා මට තව ලක්ෂ දෙකක් විතර ඕන වෙයි වැඩිපුර “

රසිකා කිව්වේ හවස ගෙදර ආව වෙලාවෙ

” ලක්ෂ දෙකක් ? ඒ මොකටද ළමයෝ ?”

” ඇයි අනේ වෙඩින් එකට කලින් ෆේෂල් කරන්න තියෙනවා. ඒව මට විතරක් කරන්න බැහැනේ. bridsmaid ල හතර දෙනාටත් කරන්න ඕනේ නේ “

” මම ඔයාගෙන් අහන්න හිටියේ. bridesmaid ලා හතර දෙනෙක් වැඩි නැද්ද ? ඒ ළමයි හතර දෙනා දාන කරාබුවේ සපත්තුවේ ඉඳලා අපි එපැයි වියදම් කරන්න “

” ඔයත් නිකන් අසේල වගේ වෙලානෙ අම්මේ. මට ඕනේ මගේ wedding වෙඩින් ෆොටෝ එක පිරෙන්න කට්ටිය ඉන්නයි. එතකොට කොච්චර ලස්සනද අනේ “

රසිකා කතා කළේ නොරිස්සුමෙන් මූණ අකුලගෙනයි

” මටයි තාත්තටයි පුළුවන් හැටියට තමයි මේකට වියදම් කරන්නේ. ඒ වුණාට තාත්තා කියන්නෙත් අනවශ්‍ය වියදම් ගොඩක් ගොඩ ගැහිලා කියලයි. ඔයාගේ දෑවැද්දටත් තාත්තා ගෙදරට ඕන කරන ලී බඩු හැදෙව්වා.ඒවටත් ලක්ෂ ගානක් ගියා නේ “

” ඉතින් මම කිව්වෙ නැහැනෙ ලී බඩු හදන්න කියලා. ඔයාලනේ අනවශ්‍ය වියදම් කරලා තියෙන්නේ “

රසිකා ජංගම දුරකථනයක් අරගෙන ඇඳේ ඇල වුනා.දුරකථනයේ ගබඩා කරගෙන තියෙන විවිධ පන්නයේ මනාලියන්ගේ ඡායාරූප එකතුව ඇය දිග ඇර ගත්තා. කීප වරක්ම මංගල ඇඳුමේ ස්වභාවය වෙනස් කලත් රසිකා එයිනුත් සෑහීමකට පත් වෙලා තිබුණෙ නැහැ

” හෙලෝ නිලන්ති.මම රසිකා “

රසිකා ඊළඟ ඇමතුම ගත්තෙ ඇඳුම් නිර්මාණ ශිල්පිනියට

” අනේ ඩියර් මගේ සාරි පොට තිබ්බ විදිය වෙනස් කරන්න ඕනේ ටිකක්.මම ඔයාට ෆොටෝ කීපයක් වට්සැප් කරන්නම්. ඒක බලන්නකො. මම හෙට ඔයාව හම්බවෙන්න එන්නම් “

එහෙම කියලා දුරකථන ඇමතුම විසන්ධි කරපු රසිකා දෑස් පියාගෙන විවාහ මංගල උත්සවය ගැන හීන මවන්න පටන් ගත්තා.

” අපිට ඉන්නෙ එක දරුවනේ සුමනා. එයාට ඕන හැටියට ඕක කරල දෙමු “

රසිකාගේ අනවශ්‍ය වියදම් ගැන සුමනා ගුණසේනට පැමිණිලි කළේ බලාගෙන ඉන්න බැරිම තැන

” එහෙමයි කියලා හිතන හිතන විදිහට විසි කරන්න අපිට කොහෙ තියෙන සල්ලියක්ද ගුණේ ? රස්සාවක් කරන්නේ නැති නිසා මෙයාට සල්ලි වල අගේ තේරෙන්නේ නැහැ. අනේ මන්ද අසේල කොහොම ඉහ ගහයිද කියලා ඉස්සරහට “

සුමනා එහෙම කියනකොට රසිකාගේ අනාගතය ගැන තරමක බියක් ගුණපාලට දැනුනා

” මගේ අනිත් බැංකු පොතේ සල්ලි වගයක් තියෙනවා ,අපි ඒ ටික අරගෙන කෙල්ලගෙ වැඩ වලට වියදම් කරන්න දෙමු “

” අපි අර වැඩේට අරන් තියපු සල්ලි ද ? “

” ඔව්.ඒකට ඉතින් ඔය ඕන උන වෙලාවක කාගෙන් හරි ණයට ගන්න පුළුවන්නේ . දරුවාගේ වැඩේ එපැයි සුමනා මුලින්ම කරන්න .අනික අසේලගේ බිස්නස් වලට රසිකාත් උදව් කරන්න ඉන්න එකේ අපිට උවමනා වුණොත් කීයක් හරි ඉල්ලගන්න පුලුවන් වෙයිනේ “

“මොනා උනත් මම නම් කැමති නැහැ ඔයා ඒ සල්ලි අරගන්නවාට “

සුමනා අකමැති උනත් ගුණසේන ඔහුට අයත් වෙනත් බැංකු පොතක ඉතිරි කර තිබූ මුදල් සියල්ලම අරගෙන රසිකාගේ වැඩ වලට වියදම් කරන්න දුන්නා

” රසිකාට ඔය දේවල් ගැන වැඩිය තේරුමක් නැහැ පුතේ. wedding එකෙන් පස්සේ ගෙදර වියදම් ගැන පවා ඔයා හොයලා බලනවා නම් තමයි අපි උනත් කැමති “

යන එන වෙලාවක අසේල ගෙට ගොඩ උනාම සුමනා කිව්වේ අසේල කියන්නේ පරිණත මනසක් තියෙන තරුණයෙක් නිසා

” රසිකා ට මේවයෙ බරක් පතලක් තේරෙන්නේ නැහැ අම්මේ. එයාට ඕන හොඳම විදිහට මේක කරන්න.ඒත් wedding එක කරන්න ඕනේ අපිට පුළුවන් විදියට කියන එක නම් එයා තේරුම් ගන්නේ නැහැ “

අසේල ඉන්නේ , රසිකාගේ හැසිරීම පිළිබඳව අපැහැදීමෙන් කියලා සුමනාට දැනුනා.ඒ නිසා කතාව එතනින් නතර කරන්න ඇය හිතුවා

කෙසේ හෝ රසිකාට උවමනා උන විදිහට අධික මුදලක් වැය කරමින් ඇයගෙත් අසේලගේත් විවාහ මංගල උත්සවය පැවැත්වුනා. දෙපාර්ශවයේම නෑදෑයන් බොහෝ පිරිසකුත් එයට එකතු වුණා.විවාහයෙන් මාස ගණනාවක් ගත උනත් රසිකා ඇගේ දෙමව්පියන්ව බලන්න ගෙදර ආවේ ඉදහිටයි.

” දූට අපිව අමතකම වෙලා ගිහිල්ලා නේද සුමනා ? “

දවසක් හවසක ගුණසේන කිව්වේ කම්පාවෙන් වගේ

” එයාට ඉතින් වැඩ ඇති.අසේලගේ බිස්නස් වලට උදව් කරනවා කිව්වනේ”

” කොහොමහරි ඉතින් එයාට ආස වුන විදිහට අපි එයාගේ කටයුත්ත කරලා දුන්නනේ.මට ඒ ඇති “

ගුණසේන කතා කළේ පපුව අත ගාන ගමන්.ඔහුගේ හිතේ මොකක්දෝ දුකක් තැවරිලා තියෙනවා කියලයි සුමනට හිතුණේ. පහුවදා එළිවෙනකොට ටිකෙන් ටික වැඩි වුනා පපුවේ කැක්කුමක් නිසා ගුණසේන ව රෝහල් ගත කරන්න සිද්ධ වුණේ ඒ අතරේදී.

” තාත්තාට පරීක්ෂණ වගයක් කරන්න තිබුණා.එයාව කොහොමත් පපුවෙ අමාරුවට බෙහෙත් බිබී නේ ළමයො හිටියේ “

රෝහලේ කොරිඩෝවක වාඩිවෙලා හිටපු සුමනා ඉදිරියෙන් පේන දැඩි සත්කාර ඒකකය දිහා බලාගෙන අසේලට කිව්වා. මොකක්දෝ බර හැඟීමක් එක්ක රසිකා හිටියේ නිහඬව මයි

” ඉතිං ඒ පරීක්ෂණ ටික කරේ නැත්තේ ඇයි අම්මේ ?”

” ඒකට සල්ලි වගයක් එයා ඉතුරු කරගෙන හිටියා.මොකද දොස්තරල කියල තිබුනේ ඉක්මනට ඒ පරීක්ෂණ ටික කරවලා පපුවේ අමාරුව ගැන බලව ගන්න කියලයි. දුවගේ කටයුත්තට සල්ලි අඩුපාඩුවක් වුන වෙලාවේ එයා වියදම් කරේ ඒ සල්ලි ටික “

සුමනා එහෙම කියනකොටම රසිකාගේ දෑස් වල හිර වෙලා තිබුණු කඳුළු කඩාගෙන වැටුණා.පිටට නොපෙන්නුව තාත්තාගේ ආදරය මොනතරම්ද කියලා රසිකාට ජීවිතයේ පලවෙනි වතාවට දැනුනා. දෙමව්පියන් වෙනුවෙන් කලයුතුව තිබූ තමන්ට මගහැරුණු යුතුකම් කරන්න දැන් ප්‍රමාද වැඩියි කියලා ඇයට හිතුනා

” අරකට මේකට වියදම් කරන්න සල්ලි ඉල්ලුවාට , මම ඉල්ලන ඉල්ලන වෙලාවට තාත්ත සල්ලි දුන්නෙ කොහොමද කියලා මට තව හිතන්න තිබුණා “

රසිකා තමන්ටම කියා ගත්තා

ජීවිතයත් මරණයත් අතර සටන් කරපු ගුණසේන මධ්‍යම රාත්‍රීය එළඹෙන කොට මෙලොව හැර ගියා.රසිකාගේත් සුමනා ගේත් විලාපය රෝහලේ කොරිඩෝව පුරා පැතිරී යන කොට අසේලගේ හිතට දැනුණේ එකම එක සිතුවිල්ලයි

” කවදාවත් දෙමව්පියන්ව මග ඇරගන්න හොඳ නැහැ “

More Stories

Don't Miss


Latest Articles