(අ)හිමි සිහින – 23

“බබෙක් හදන්නේ නැද්ද අනේ?”

රට්ටු ඒ ප්‍රශ්නය අහන දවස කවදම හරි කසාද ගෑනියෙකුට උදාවෙනවා.ඒ ප්‍රශ්නෙ මටත් උදා වූ දවසක් ආවා.කසාදෙට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට මගේ අම්මා තාත්තා වගේම නෑදෑයොත් අසංකගේ නැදැයෝත් අපෙන් ඒ ප්‍රශ්න අහන්න පටන් ගත්තා.හිතවතුන්ටත් කටවල් පියාගෙන ඉන්න බෑ.ඒ අය වදකාර ප්‍රශ්න හාර හාර මගෙන් අහන්න පටන් ගත්තා.

“ඒ ප්‍රශ්නෙ මහ පුදුම වේදනාවක්.දිගටම ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා දීලා ආතතිය හැදුණු අය,දුක දරාගන්න බැරි අය අපෙන් උදව් පතා එන අවස්ථා ඕනෑ තරම්..”

ස්මාර්ට්ලේඩි සමූහයට ලැබෙන නිර්නාමික පණිවිඩ ගැන සිහි කරමින් කණ්ඩායමේ ලියන්නිය මට කියනවා.සමාජයෙන් එල්ල වන දැඩි පීඩාව උහුලාගන්න බැරුව වේදනාත්මක කතා ලියලා එවන සහෝදරියන්ගේ අකුරු මමත් කියවනවා.” දැන් දරුවෙක් හදන්න හොඳ කාලේ නේද?” රටේම මිනිස්සු මගෙන් එහෙම අහපු දවස මටත් එතකොට මතක් වෙනවා.

“එහෙම අහන උදවියටව්මම නම් දුන්නේ හරි ජොලි උත්තරයක්..”

මම කියන්නේ හිනාවෙන ගමන්.දරුවෙක් නැද්ද ඇහුවම “මේ දවස්වල හදන ගමන් ඉන්නේ” වගේ උත්තර දීලා අහන මිනිස්සුන්ට කට උත්තර නැති කරන ජාතියේ තරුණ කෙල්ලෝ මගේ මිතුරියන් බවට පත්වෙලා ඉන්නවා.හැබැයි මං දීපු උත්තරේ ඊටත් වඩා නිර්මාණශීලි සිනා උපදවනසුළු එකක්.

“අපේ උරුමක්කාරයා මෙහෙ ඉපදෙන්න තාම මැරිලා නැතිව ඇති අනේ..පොඩ්ඩක් ඉන්නකො එයා නිස්කාංසුවේ මැරෙනකම්..”

අපි ඔක්කොම බෞද්ධ මිනිස්සු.අපේ ආගමට අනුව කෙනෙක් ඉපදෙන්න නම් කලින් ආත්මේ අවසන් වෙලා තියෙන්න ඕන.ඉතින් මගේ තර්කය හරි.අපේ උරුමක්කාරයා තාම මැරිල නැතුව ඇති.එයා ඉපදෙනකල් අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා.බෞද්ධ ආගමට අනුව ඒ කතාව කිසිම වැරැද්දක් ඇති කතාවක් නෙමේ.

“තාම ඒ උරුමක්කාරයා හැරමිටි ගහ ගහා ඔයාලට හදිස්සි උනාට මොනව කරන්නද?”

මම එහෙම කියලා බේරෙනවා.මවක් විය යුතු බව සිහිපත් කරන්න එන අය මගේ ඒ විහිළුවට හිනා වෙලා කට පියා ගන්නවා.

නමුත් ඒ ප්‍රශ්නය කිසිම දවසක කිසිම ගැහැනියකගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි කියලා මතක තියාගන්න.සමහරු ඒ දේවල් අහන්න හිත රිද්දන්න.සමහරු අහන්නේ ඇත්තටම ආදරෙන්.ඒත් ඒ මොන විදියෙන් ඇහුව වුණත් තුවාලය සහිත ගැහැනිය ඒ කතා නිසා විඳවනවා.මඳසරු බව හෝ මොනයම් ශාරීරික ගැටළුවක් වෙන්න ඇති කියලා හිතාගෙන මට වෛද්‍යවරු නිර්දේශ කරපු කවුරුත් ඒ දේවල් කරේ හොඳ හිතින් බව මම දන්නවා.නමුත් මං ඒ අයට කවදාවත් කට ඇරලා නොකියපු සරල කාරණාවක් තිබුණා.

“දරුවෙක් බිහිවෙන්නෙ රෝස කැලෙන් නෙමෙයි..”

කිසිම ලිංගික ජීවිතයක් නැති ගැහැනියකුට සහ මිනිසෙකුට දරුවෙක් ලැබෙන කිසිම ඉඩක් තිබුණෙ නෑ.නමුත් අසංකත් මමත් අතර කිසිම ලිංගික සම්බන්ධයක් නැති බව මම කාටවත්ම කිව්වේ නෑ.එහෙම කියලා උඩ බලාගෙන කෙළ ගහ ගැනීමේ අවශ්‍යතාවයක් මට නොතිබෙන්න ඇති.සමහර වෙලාවකට දරුවෙකු ගැන අප්‍රමාණ ආශාවක් ඇති වුණත් නොලැබෙන ලිංගික සතුට ගැන මටත් ඒ තරමට වේදනාවක් තිබුණෙ නෑ.

අවුරුදු දහතුනේ ඉඳලා අවුරුදු විසි එක වෙනකම් සුධාරකගේ වෙලා හිටපු කාලය පුරාම මට ලැබුණේ ආදරය.රාගය මුසු බැඳීමක් අපි අතර තිබුණෙම නැහැ.කතා කරන්න තැනක් ඇත්තේ ම නැති කොට මාව හෝටල් කාමරයකට රැගෙන ගිය අවස්ථාවක වුණත් ඔහු ළඟ තිබුණෙ ආදරය විතරයි.පුංචි කෙල්ලෙක් එක්ක ආදරය විතරක් ඉන්න ඔහු හිතාගන්න ඇති.සරාගී දවස් ඉස්සරහට එනතුරු ඉවසන්න ඇති.ඒ නිසාම වැලඳ ගැන්මක් සිප ගැන්මකට එහා ගිය අත්දැකීම් මට තිබුණෙ නැහැ.අසංකගෙන් කිසිම දවසක ලිංගික සතුටක් ලැබුණේ නැතත් ඒ මිහිර වෙන තැනකින් හොයන්න මට උවමනා වුණේ නැහැ.

ඇත්තටම එහෙම වුණේ පතිවෘත්තාව රකින්න මට තිබුණු ඕනෑකම ද නම කැත කර ගන්න තිබුණු බය ද කියල මං තවම හිතනවා.නමුත් ඒ එකක්වත් නෙමෙයි හේතුව.වෙන ආදරවන්තයෝ නෙවෙයි.මම පණ දෙවැනි කරලා ආදරය කරන මිනිසාව හොයාගෙන යන්නවත් මට ඕනෑ වුණේ නෑ.මං ඉන්න ඇත්තෙ හිම කන්දක් වගේ මිදිලා.හිරු රශ්මියක් හොයාගෙන දියවෙලා යන්න මට කිසිම විදියකින් ඕනෑකමක් තියෙන්න නැතුව ඇති.

“මේ කතාවේ එක තැනකදි මගේ දුව කියලා දුවෙක් ගැන කිව්වා කියවන අයට මතක ඇති..”

දරුවකු නොමැති වීමේ ශෝකය ගැන කියමින් ඉන්න මට ලියන්නියගෙන් ආයෙමත් බාධාවක්.

“ජීවිතේ හැමදාම එකම විදියට නෑ කියලා අපිව කියවන අය දන්නවා ඇති.”

මම ඇයට උත්තර දුන්නේ එහෙමයි.ජීවිතේ මේ මොහොතට වඩා ඊළඟ මොහොත මොනතරම් වෙනස් ද? දරුවකු නැති ගැහැනියක් විදියට ඒ දවස් වල මම මානසික පීඩා වින්දා.නමුත් මගේ මේ මොහොත වෙනස්.

ජීවිතය කියන්නෙත් අන්න එහෙම දේකට!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles