“මිස්ට කාශ්‍යප ට විසිටර් කෙනෙක්”
යනුවෙන් දුරකතන රිසීවරය ඔස්සේ ඇසුණ පිළිගැනීමේ නිලධාරිනිය ගේ හඬ කාශ්‍යප තුළ දෙදරීමක් ඇති කරවන ලදී. රිසීවරය දුරකතනය මත තබා අතින් නිකට පිරිමදිමින් ඔහු මොහොතක් කල්පනා කළේ ය. ඒ කම්පන තරංගය ඈතකට පා වී තුනී ව යන්නට කාලය ගන්නා බවක් පෙනෙන්නට තිබිණ. කාශ්‍යප අසුනෙන් නැගිට ගත්තේ ‘වෙන දෙයක් වුණාවේ’ වැනි සිතකිනි. ඔහු නැගිට ගත් පාරට පුටුව වේගයෙන් රවුමක් කැරකී ගියේ ය.
තව දුරටත් මේ ප්‍රශ්නයත් එක්ක ඔට්ටුතාන් කළ නො හැකි බව ඔහු දනී. කාශ්‍යප ගෙදරින් අභිනික්මන් කරන්නට තීරණය කළේ හිත තද කර ගෙන ය. ආරාධනා හා සෞභාග්‍යා අතරේ ඔහු ගේ සිත ඔංචිල්ලාවක් සේ දෝලනය වෙන්නට පටන් ගෙන දැන් ටික කාලයකි. ඒ අතරේ දියණිය බිඟුනි හා තෙමස් බිළිඳු පුතු සඳයුරු ඔහු ව ආරාධනා ගේ පැත්තට අදිනා ලදී. නමුත් සෞභාග්‍යා ගේ පසට ඔහු ඇදී ගියේ ඊට වඩා බලයකින් යුතුව ය. එය වූ කලී අතර මගක දී අත් හැරී ගිය ඔහු ගේ ප්‍රේමය ය. ජීවිතයේ යම් මතු දිනෙක යළිත් ඇයට සමීප වීමේ අවස්ථාවක් උදා වෙතැයි ඔහු කිසි දා සිතුවේ නැත. ඒ අවස්ථාව උදා වෙත්දී එයට පිටු පාන්නට තරම් හයියක් ඔහු ගේ හිතේ වූයේ ද නැත. එය වූ කලී දිග කතාවකි.
කාශ්‍යප පිළිගැනීමේ අංශය වෙත කල්පනා බරිතව පියවර නැගුවේ ය. ඔහු ගේ සපත්තු අඩි ටෙරාසෝ බිම මත වැදී නැගුවා වූ හඬ ඔහු ව ම බියපත් කරවනා ලදී. කාශ්‍යප බලාපොරොත්තු වූවා සේ ම අසුනක හරි බරි ගැහී වාඩි වී සිටියේ සිය අභිමානවත් පියානන් ය.
“මොකද්ද මනුස්සයො මේ නාඩගම…තමුං මොකද දවස් දෙකක් තිස්සෙ ගෙදර ආවෙ නැත්තෙ…මොන ගුබ්බෑයමකද රිංගල ඉන්නෙ…ගෙදර ගෑනු දරුවො ඉන්නව කියල අමතක වෙන්න තරං තමුන්ට හම්බ වෙච්ච චිංචිමානවිකාව කවුද…”
“තාත්තෙ එන්නකො. අපි ඉස්සරහ කැෆේ එකට ගිහිං කතා කරමු”
තාත්තා ගේ පාලනයක් නැති කට ගැන බියක් සැබවින් ම කාශ්‍යප ට දැනිණ. පෞද්ගලික දිවියෙහි මොනවා කෙසේ සිදු වී ද කාර්යාලය තුළ ඒවා කටගැස්මක් වෙනවා දකින්නට ඔහු කැමති නැත. ගජධීර ද දනි පනි ගා නැගිට ගත්තේ මෙතැන ඔහු ට කට ඇර කතා කරන්නට බැරි බව ඉවෙන් වාගේ දැනුණ නිසා ය. පාර පැන කැෆේ එකේ කෙලවර උද්‍යාන මේසයකට ගිය කාශ්‍යප, තේ දෙකක් ඇනවුම් කළේ ය.
“මොකද්ද මිනිහො අර ළමය අර කියන කතාව…තමුං කිව්වයි කියන්නෙ ඒ කෙල්ලගෙන් වෙන් වෙන්න ඕනයි කියල…මොන ගායක් හැදුණද මේ හදිස්සියෙ…අනික…පිරිමි කමට ඔය මොනා මොනා හරි හුටපට ඇති වුණා කියමු…ඒව පවුල් කඩා ගන්න තරං හේතු කර ගන්නෙ මොන බූරුවද…බැලන්ස් එකේ හැම දේම කර ගන්න ගමන් පවුලට මුල් තැන දීගෙන ඉන්න ඉගෙන ගනිං දැන්වත්. අපිට හරක් ම ස් කන්න ඕන වුණා කියල හරක් ඇති කරල ම රා ගෙන කන්නෑ මිනිහො”
කාශ්‍යප ඒ සියල්ල අසා සිටියේ බිම බලා ගත් වන ය. ඒ අසා සිටීමෙන් පස්සේ හෙතෙම හිස ඔසවා පියා දෙස කෙළින් බැලුවේ ය.
“ආරාධනාව එහෙම රවට්ටන්න මට ඕන නෑ තාත්තෙ. ඒක නිසා මං එයාගෙන් ඩිවෝස් වෙනව. හැබැයි මං දරුවො දෙන්න වෙනුවෙන් ඉස්සරහටත් මගෙ වගකීම් යුතුකම් ඉෂ්ට නොකර ඉන්නෙ නෑ. ආරාධනා කියන්නෙ මේක දරා ගන්න බැරි තරං දුර්වල ගෑනියෙක් නෙවෙයි. ඒ වගේම…තව දුරටත් මට මාවම රවට්ටගෙන බොරු මවාපෑමක් ඇතුළෙ ජීවිතේ කියල හිතා ගෙන ජීවත් වෙන්න ඕන නෑ”
“එහෙමද එහෙනං…දැනගනිං උඹ…කවදාවත් උඹට දික්කසාදෙ දෙන්නෙ නෑ. පුළුවන් දෙයක් කරපංකො එහෙනං”
වේගවත් ව නැගී සිටි ගජධීර අවන්හලෙන් නික්මුණේ කඟවේනෙකු සේ ය.
දික්කසාදය කියනා නීතිමය රැහැනින් මුදා, ආරාධනා කෙරේ ගජධීර පවුල තුළ වන බන්ධනය බිඳ හෙළිය නො හැකි බව ගජධීර මැනවින් දැන සිටියේ ය. ඔහු ගේ පපුව රිදෙන්නේ එබැවිනි. ගජධීර පවුල ම එක මිටින් ගත් සජීවී වස්තුව ආරාධනා ය. ඇය අහිමි වෙනවා කියන්නේ මුළු පවුල ම ඉසිරී විසිරී යන එකට යයි සිතෙත්දී ගජධීර ට වාවා ගත නො හැකි ය.
“මූගෙ ලෑස්තිය කෙල්ලව දික්කසාද කරල දාන්න. දෙකට ගණන් කර ගන්න බෑ වගේ හිටියට කාශ්‍යප ලේසි පුතයෙක් නෙවෙයිනෙ මැණිකෙ. අර කෙල්ලට අපි කොහොමද කටක් ඇරල කියන්නෙ ඌ දික්කසාදෙ ඉල්ලනව කියල”
යහන මත උඩුකුරුව වැතිර පපුව පිරිමදිනා ගමන් ගජධීර සිය බිරිය වෙතින් විචාලේ ය. ඇය වරල පීරා ගෙඩියක් කොට ගෙල මුලට බඳිමින් විත් වියන් ඇඳ කොනක හිඳ ගත්තා ය.
“ඔය කිව්වට කාලෙත් එක්ක ඕව නොකෙරී තියෙන්න පුළුවන් පුතාලගෙ තාත්තෙ. ඔයා කලබල නොකර ඉන්න. ඔය කියන විදිහට කාශ්‍යප එදාම ඔය දික්කසාද කතාවත් ආරාධනා ට කිව්වද දන්නෙ නෑ. අපි බලමුකො උන්දා එහෙම දෙයක් කියාගෙන එයිද මේ ගෙදරට කියල. එදාට මං කතා කරන්නෙ කන් දෙකේ ඇඟිලි ගහ ගන්න. පුතාලගෙ තාත්ත නෙවෙයි මමයි කතා කරන්නෙ”
රාජිකා මැණිකේ ඒ අන්තිම ටික කියා ගත්තේ උගුර යටිනි. ඇගේ හිත හොඳට ම රිදෙමින් තිබිණ. ආරාධනා දරුවන් දෙදෙනා තුරුලු කොට ගෙන යහනේ ගුලි වී සිටිනයුරු මීට මොහොතකට පෙර දුටු ඇගේ පපුව පිච්චී ගියේ ය. දවස පුරා හඬා වැටීම නිසා ඇය හොඳට ම හෙම්බත් වී සිටින්නී ය. මේ උභතෝකෝටිකය කොහොම විසඳන්න ද කියා ජීවිතයෙන් අත්දැකීම් ලත් රාජිකා මැණිකේ ට වුව තේරෙන්නේ නැත.
ආරාධනා පුරුදු පරිදි ම උදෑසන අවදි වූවා ය. වෙනදාට උදෙන් ම නැගිට කෑම පිසින්නේ කාශ්‍යප ට බත් මුල් දෙක තනා දෙන්නට ය. ඔහු කඩ කෑම ප්‍රිය කරන්නෙකු නොවේ. ඒ නිසා පාන්දර අවදි වීම ආරාධනා විසින් සිදු කරන ලද්දේ කන් කෙඳිරි ගෑමකින් තොර ව ප්‍රියතම කටයුත්තක් සේ ය.
“මේක උදේ එක මේක දවල් එක හොඳේ”
බත් මුල් දෙක හැමදාමත් වෙන් කොට පෙන්වමින් ඇය එසේ කියන්නී ය. දවල් ට කුකුළු මස් හෝ මාළු කරියක් අනිවාර්යයෙන් බත් මුලෙහි වේ. උදේ බත් එකට හැමදාමත් ඇය බිත්තරයක් තම්බා හෝ ඔම්ලට් දමා තබයි. ඒ බිත්තරය කහ මදය දැඩි වන සේ තම්බන්නේ නැත. එය දියාරු ගතියකින් අඩ තැම්බීමක් ද නොකොට, ඒ දෙක අතර මැද තත්වයක තබා ගන්නට ආරාධනා දක්ෂ ය. තද තැඹිලි පාටට මොළොක් ලෙස පවතින බිත්තරයක් හෝ ලූණු මිරිස් පදමට දැමූ ඔම්ලට් එකක් සමග උදේ බත් පතට අල බැදුමක්, කරවල බැදුමක්, පොල් සම්බලයක් හෝ සීනි සම්බලයක් එකතු කරන්නට ඇය උත්සාහ කරන්නී ය.
“අනේ ඔය තරං මොකටද…දවල් ට උයන ඒවගෙන්ම තියන්න පුතේ”
කියා රාජිකා මැණිකේ කිහිප වරක් ම ආරාධනා ට පවසා තිබේ. ඇය එතකොට අමුතු විදිහේ සිනහවක් පාන්නී ය.
“අනේ දෙපාරම එක ම දේවල් කන්න අප්පිරියනෙ අම්මෙ. මං චුට්ටක් උදෙං නැගිටිනව වගේද එයා දවස පුරාම මහන්සි වෙනවනෙ. බඩ පිරෙන්න බත් ටිකක් කන්න ඕනනෙ පිරිමියෙක් වුණාම”
උයා පිහා බිඟුනිව පාසල් යන්නට සූදානම් කරමින් ආරාධනා ද පාසල් යන්නට සූදානම් වන්නී ය. ඇයට උපාධිධාරී ගුරු පත්වීමක් ලෙස ජීව විද්‍යාව ඉගැන්වීමේ අවස්ථාව හිමි වූයේ විවාහයට පෙර ය. දෙවන දරු උපත සිදු වන තුරු ම ඇගේ දෛනික ජීවිතය ගත වූයේ මෙසේ ය. සඳයුරු වෙනුවෙන් වසරක් ම නිවාඩු ගන්නට ආරාධනා බලාපොරොත්තු වූවා ය. එහි අවසාන භාගය වැටුප් රහිත වී ද මුදල් වලට වඩා සිය දරුවන් හා පවුල අගනේ බව ඇය හදවතින් විශ්වාස කළා ය.
“උදේට උයන්න ඕන නෑ. බබත් එක්ක නිදි මරල මරල උදේ පාන්දර නැගිටින්න එපා. ටික දවසක් එළියෙං කෑම ගන්නව”
සඳයුරු බිහි වූවාට පස්සේ දිනක් කාශ්‍යප ඇයට එසේ කීවේ ය. ආරාධනා ඒ යෝජනාවට එකඟ වූයේ හිතේ කැමැත්තකින් ම නොවේ. කාශ්‍යප ගේ පෙරැත්තය හින්දා ය. නමුත් ඔහු එවන් යෝජනාවක් කළේ ආරාධනා ගේ වෙහෙස ගැන සිතා ම නොවන බව දන්නේ කාශ්‍යප ය. ආරාධනා ගේ ගර්භණී සමයේ අවසාන දින වල ගෙදරින් කෑම ගෙන නො ගිය අවස්ථා වල සෞභාග්‍යා සමග පිටත අවන්හලක හමු වී එක් ව දිවා ආහාර ගන්නට හෙතෙම පෙළඹුණේ ය. එය වූ කලී රසබර හමු වීමකි. දෙවන වතාවට ඔහු ට සෞභාග්‍යා හමු වූයේ ඒ කාලයේ ය.
වතුර කේතලය ගොජ දමමින් උතුරන්නට විය. මුළුතැන්ගෙයි නො උස් පුටුව මත හිඳ ආරාධනා එදෙස ඔහේ බලා සිටියා ය. සිය යුග දිවිය හා බැඳුණු නොයෙකුත් සිදුවීම් ඇගේ සිතිවිලි කැඩපත මත ඇඳි ඇඳී මැකෙන්නට විය. ආරාධනා නො දැන ම ඇගේ කොපුල් තලා දිග කඳුළු වැල් දෙකක් ගලා යමින් තිබිණ.
මුළුතැන් ගෙය වෙත පැමිණෙමින් සිටි රාජිකා මැණිකේ, නතර වී කම්පාවෙන් ඇදෙස බලා සිටියා ය.
“මං තේ ටික හදන්නං පුතේ. ඔයා ගිහිං දරුවව ඉස්කෝලෙ යන්න ලෑස්ති කරන්නකො”
කඳුළු ගැන කතාවක්වත් නො කළ රාජිකා මැණිකේ තේ සෑදීමට අවශ්‍ය අඩුම කුඩුම ලං කොට ගත්තා ය.
“මං දුවව ඉස්කෝලෙට දාල එනකල් පුතාව බලා ගන්න අම්මට පුළුවන්ද…”
“මොකද දරුවො මට බැරි…ඒ වුණාට ඔයා යන්න ඕන නෑ. කවීශ්වරට කතා කරල යවමු”
“අනේ ඕන නෑ අම්මෙ. ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවේනෙ. මං ටැක්සි එකක් දාං ගිහිං දූව දාල එන්නං. කාශ්‍යප මොන හිතකින් මේ දේවල් අත් ඇරල ගියාද කියල මට හිතා ගන්න බෑ තාම”
ආරාධනා පහත් වී ගවුම් සායෙන් ඇස් දෙක ම පිස දා ගත්තා ය. යළි නො හඬන්නෙමැයි කී වතාවක් සිතී ද ඉබේට ම කඳුළු ගලනා එක නතර වන්නේ නැත. ආරාධනා හිත හයිය කෙල්ලක බව දැන සිටිය ද මේ ඇය තනිව මහ මග යැවිය යුතු මොහොතක් නොවේ යි රාජිකා මැණ්කේ ගේ ගැහැනු ඉව අනතුරු ඇඟවී ය.
“මං කතා කරන්නංකො කවීශ්වරට. ගෙදරට ඔහොමවත් වැඩක් කරන්න බැරිද…මේ වගේ වෙලාවකවත්…”
“ඒ වුණාට බැඳපු මිනිහෙක් වගේ ළමයි ඉස්කෝල වලට අරං යන්න කියන්න බෑනෙ අම්මෙ. ඒක හරි නෑනෙ”
“හරි හරි මං ගිහිං දාන්නං”
නැන්දම්මාත් ලේලියත් දෙදෙනා ම හැරී බැලුවේ පිටුපසින් ඇසුණ කවීශ්වර ගේ හඬට ය. ඔහු දොර උළුවස්ස මත නිදි ගැට කඩමින් සිටියේ ය. තඹ පාට ගන්වන ලද ඔහු ගේ මෝස්තරයකට කැපූ කොණ්ඩය අපිළිවෙලට අවුල් වී තිබිණ. ඔහු ගේ එක කනක කරාබුවකි. පිළිවෙලට අත් දිගට කමිස හා කලිසම් හැඳි වැදගත් පෙනුමකින් සමන්විත කඩවසම් පියෙකු ගේ මෝටර් රථයෙන් පාසලට ගිය බිඟුනි, ඊට හාත්පසින් වෙනස් පෙනුමක් ඇති බාප්පා සමග පාසල ළඟදී දකිනා එක එහි ගැවසෙන අයට කෙසේ පෙනේවිද කියා ආරාධනා ට සිතා ගත නො හැකි ය.
“මං මේ අලාම් එක තියල නැගිට්ටෙත් කෙල්ලව ගිහිං දාන්න. මං බැඳල කියල හිතයි වගේනං ඉස්කෝලෙ ළඟ ඉන්න අම්ම කෙනෙක්වත් දාගන්න බැරි වෙන එකක් නෑනෙ”
ඔහු ගේ කතාවට ආරාධනා ගේ මුවගට සිනහවක් ආවේ ය.
“උඹ ඉතිං එහෙමත් කරන්න බැරි නැති බඩුව තමයි”
රාජිකා මැණිකේ වචන වලින් දමා ගැසුවා ය. කවීශ්වර වචනක් හෝ නො කියා ඔහු ගේ මග් එකට වත් කරනා ලද කිරි කහට එක ගෙන මුළුතැන්ගෙයින් ඉවත් ව ගියේ ය.
“අයිය ඔය පිස්සු විකාර අත්ඇරල ගෙදර එනකල් විතරයි ඔය රාජකාරිය පවරන්නෙ. නැත්තං ඉතිං ඕක යවන්න සුදුසු තැනක් නෙවේ කියල මං නොදන්නව නෙවෙයි”
අම්මා ගේ ඒ ආඩපාලිය අසන්නට කවීශ්වර එහි සිටියේ නැත. ආරාධනා දිගු සුසුමක් හෙළුවා ය. අම්මා තවමත් ඉමහත් බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටිනුයේ ලොකු පුතා ගෙදර එන තුරා බව ආරාධනා දනී. නමුත් ඔහු එතැයි දැන් ඉතින් ඇයට නම් සිතිය නො හැකි ය. කාශ්‍යප කියන්නේ ඒ විදිහට සිය තීන්දු වෙනස් කරනා පුද්ගලයෙකු නොවේ. ඔහු එනවා නම් එන්නට තිබුණේ ඊයේ ගජධීර ඔහු මුණ ගැහෙන්නට ගියාට පස්සේ ය. දැන් ඉතින් ඔහු එතැයි බලා සිට තේරුමක් නැත.
ආරාධනා ට ඒ බව තේරුණත්, මින් ඉදිරියට ඇය කුමක් කළ යුතු ද කියා තවමත් වැටහීමක් නැත්තේ ය. මේ වූ කලී ඇය සිහිනයෙන් හෝ සිතූ දෙයක් නොවේ. ඈ සිය කැදැල්ල තැනුවේ සුළං කපොල්ලක කියා තවමත් විශ්වාස කර ගත නො හැකි තරම ය. නමුත් කාශ්‍යප කියන්නේ තව දුරටත් ඇයට හිමි වස්තුවක් නොවේ. මේ මන්දිරය තව දුරටත් ඇය රැඳී සිටිය යුුතු තැනක් ද නොවේ. කාශ්‍යප ට වෙන් වීමක් අවශ්‍යයි කියනවා නම් නික්ම යනවා මිස කුමක් කරන්න ද? ඒ අසීරු පියවර තැබිය යුත්තේ කොතැනින් පටන් ගෙන දැයි සිතෙත්දී ආරාධනා ගේ පපුව පැලෙන්නට ආවේ ය.