“වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..”
ඈත දුරු රටක, දිවා රැ නොබලා වෙහෙසවෙමින් තමන් මේ කටයුතු කරන්නේ ඒ වසන්තය හැකිතාක් ඉක්මනින් මෙහි ගොඩනගන්නටය.
පරිස්සමෙන් මෙරට එද්දී ගෙන ආ මල් පැලවල බීජයන් දැන් තැනින් තැන වපුරා අවසානය. දිනෙන් දින දිය ලමින් බලාහිඳින්නේ එ මල් පැල ගස් ලෙස වැඩී, මලුත් සෙවණත් සුවඳත් සදන තුරු ය.
තම හුරුපුරුදු දේශය වුනාට ආදරය කරන සැමියාගෙන් වෙන්ව තම රටේ වුව තනිවම කල් ගෙවීම විවාහක කතකට අපහසු බව මිහික සදෙව් දෑලබණ්ඩාර ගේ අදහසයි.
“ආදරේ තියෙන්නෙ හිත අස්සෙ හංගගෙන ඉන්න නෙවි. ආදරේ කියන්නෙ හැම තැනම වපුරල, අන්තිමේ ඒ ආදරේ කියන බීජ වලින් හටගත්ත ගස්, වැල්, මල්, කොල දිහා බලල සතුටු වෙන්න පුලුවන් හැඟීමකටල්. ඒ වගේම කවදහරි ඒ මල්, ගස්, කොල මැරිල ගිය දවසට ඒ දිහා බලල ජීවිතේ කියන්නෙ මේ තමයි කියල වේදනාවෙන් වුණත් ඉවසගන්න හැඟීමකට”
ආදරය මෙය බව කියා දුන්නේ චරිත්‍රා ය. ආදරය යනු සතුටට කියන තවත් වදනක් බව කියාදුන්නේ චරිත්‍රා ය.
ආදරයේත්, ප්‍රේමයේත් ඇදුරුතුමිය ඇයයි. පිරිමියෙකු ලෙස මුලින්ම ශරීරයෙන් බැඳුණේත්, ඒ ඔස්සේ නිවුණේත්, දමනය වුණේත් ඇය නිසාවෙනි.
ඉතින් ඈත් වී ආදරය කරන්නේ කෙසේද?
චරිත්‍රා මුණ ගැසුනේ අහම්බයකිනි.
මුහුණු පොතේ වයිරල් වුණු ලිපියක් ඔස්සේ ඇරඹි දැන හැඳුනුම්කම මිතුදමකුත් අනතුරුව ප්‍රේමයකුත් වී අවසානයේ බිරිඳ වන්නටත් වසර දෙක තුනක කාලයක් අවැසි විය.
මන බඳනා සුලු රුවකුත්, දිගුවන් අක්බඹරු කෙස් වැටියකුත්, ආලේපන නොතැවරූ සුන්දර රුවකුත් යට සැඟවුණු මනස්කාන්ත, විචිත්‍රවත් හිත දැන් තමාගේ ය.
සිතින් ලංවී හිඳින්නී ගතින්ද ලං කරගන්නට තවත් සුළු කාලයක් බලා හිඳින්නට වුව, එය දරාගත නොහැක්කක් නොවේ. මේ සියලුදේම ගොඩනගන්නෙ තමන් සහ ඇයත් දෙදෙනාම සතුටින් සිටින ලොවක් තනන්නටය.
පවුලේ එකම පුතු වූ මිහිකගේ ජීවිතය අරක් ගෙන සිටින කාන්තාවන් දෙදෙනෙකුය. එකක් කුඩා කල සිට පුතුව තම ලෝකයේ රජු බවට පත් කරගෙන හුන් අම්මාය. දෙවනුව අම්මා සමව අපරිමිත ප්‍රේමයකින් තමාව වැළඳගත් චරිත්‍රා ය.
පාසල් යන වියේ දඟකාර තරුණයෙකු වූ කාලයේදීත්, විශ්ව විද්‍යාලයේදී උගත්, කඩවසම් තරුණයකු ව හිඳි කාලයේදීත් නොමද කාන්තා ආකර්ෂණය ලැබුණද සිත නතර වූයේ චරිත්‍රා ළඟ පමණකි.
මිහිකට අනුව චරිත්‍රා හා තමන් බැඳුණේ දෛවයෝගයකිනි.
කුඩා කවි එවමින් ආදරය ප්‍රකාශ කරන්නට බොහෝ තැත් දැරූ සොඳුරු කෙල්ලක, තම උපන්දිනයදා මැදියම් රැයේ අමතමින් “මිහික මම ඔයාට නොසෑහෙන්න ආදරෙයි” කියූ මොහොත මිහිකට අදටත් සොඳුරු ය.
විවාහ වූ අලුතම බිරිඳගෙන් වෙන්වී ඈත රටක රැකියාවකට ඒම තරුණ සැමියෙකුට කෙතරම් නම් වේදනාවක් ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ මල් පිපෙන කාළයයි. මල් පොහොට්ටු බඳු ආදරයේත්, සරාගයේත් සොඳුරුතම බලාපොරොත්තු පිපෙන්නට වෙර දරන කාලයයි. ඉතින් මල් පොහොට්ටු දරා හිඳින ගසකට, එ මල් පුබුදුවන්නට වසන්තය අද ඒයා, හෙට ඒය යැයි මග බලමින් හිඳීම අපහසුය.
මෙරට කාල වේලාව ලංකාවේ වේලාවට වඩා හෝරා කිහිපයකින් ප්‍රමාදය.
වැඩ ඇරී නිවසට විත් ඇඟ පත දොවා, තේකක් බොමින් හෝ යමක් කන අතරවාරයේ චරිත්‍රා හා එදිනෙදා තොරතුරු කතා බස් කරන විට ලංකාවට රෑ නවයේ හෝරාව එළඹේ.
උදෑසනම කාර්‍යාලයට බසයෙන් ගොස් වැඩ රාජකාරි දහක් මැද සිරවී හිඳ නැවත බසයෙන්ම නිවස පැමිණෙන විට හොඳ පණ ගොසින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙම දියුණු රටවල තිබෙන ගමනාගමන පහසුකම් තවමත් ලංකාවට ආගන්තුක ය. එබැවින් කෙතරම් මහන්සි වුව, ආ විගස ඇඟ පත සෝදා කතා බස් කරන්නට ඇති සියල්ලම කතා බස් කර ඇයව හැකිතාක් ඉක්මනින් නින්දට යවන්නට මිහික නිරතුරුවම කටයුතු කරයි.
පෙරදා රැයේත් ඇය සමග දොඩමළු වන්නට නොහැකි වූයේ රෑ වනතුරු කාර්‍යාලයේ වැඩ රාජකාරියක් අතර සිරවන්නට ඇයට සිදු වූ බැවිනි.
“මැණික මොනවද කරන්නේ?”
යැයි කෙටි පණිවිඩයක් තැබුවේ කිහිපවරක් දුරකතන ඇමතුම් දුන්නද ඇය ඇමතුවේ නැති බැවිනි.
“තාම වොශ් දාලා ඇවිත් නැතුවැති” යැයි සිතමින් බැල්කනියෙන් පිටතට විත් පෙනෙන ඈත නගරය දෙස බලා සිටියේ එක් අතක තේ කෝප්පයද රඳවා ගනිමිනි.
මේපල් ගස් වල ලා රත් පැහැ මුසු වූ තැඹිළි පැහැ ලා දලු නැවත හෙමි හෙමින් හිස ඔසවන අයුරු මෙතැන් සිට බලන විට පෙනේ. හැන්දෑවේ ලා රන් පැහැ කෙඳි වලින් වියූ දැලකින් නිල් පැහැ අහස් කුස වැසී ගොසිනි.
මේපල් ගස් මත වැටී ඇති බැසයන හිරුගේ රන් පැහැ කිරණ මිහිකට මතක් කරන්නෙ අතරින් පතර ලා රන් පැහැයෙන් වර්ණ ගන්වා ඇති චරිත්‍රා දිගු අක්බඹරු කෙහෙ රැළි ය.
ඒ කෙහෙ රැළි මතින් සිත රැගෙන යන්නේ ඇයගේ සුදු මුදු කෙහෙ රැළි වලින් ආ සුවඳ විඳගත් ප්‍රේමණීය විරාමයන් වලට ය.
වෙහෙසකර හෝරාවකට පසු ඇයගේ හිස කේ මත ඇඟිලි යවමින් ඇඳ මත වැතිර උන් සරාග සිහිනයන්වල අද්දරටය.
තමා මෙහි පැමිණ ඉන්නේ හදවතින් උමතු වූ සදානන්ද කල සරාග සුවඳ විජිතයක් තම මව් බිමේ තනිකරමිනි.
සුදු පැහැ වලාකුලු වේගයෙන් වේගයෙන් නිවෙස් බලා යනු ඉහළින් පෙනෙන අතර පහලින් මහ මාර්ගය අතුරු සිදුරු නොමැතිව රාජකාරි අවසන්ව නිවෙස් බලා යන මිනිසුන්ද, රාත්‍රී වැඩ මුර සඳහා එළියට බට මිනිසුන් ගෙන්ද, කෝපි අවන්හල් වල කාල වේලා ගත කරන්නට දෑත් පටළා යන පෙම්වතුන්ගෙන්ද පිරී ඇත.
තනිකමේ වෙලී හිඳින මෙබඳු නිමේෂයන් හිදී චරිත්‍රා මෙරටට ආ පසු ගෙවන්නට හැකි ප්‍රේමණීය නිමේෂයන් පිළිබඳ සෞන්දර්‍යාත්මක සිතුවිලි ද, මහ මග එකට තුරුලු වී කෝපි හලක් කරා යන චිත්ත රූපයන්ගෙන්ද මනස පිරේ.
නිල් පැහැ අහස කෙළවරකින් යාන්තම් සඳ පළුවක් දිස් වන්නේ දැන් හොඳටෝම සැඳෑ වී ඇති බව පවසන්න මෙනි. තවමත් දුරකතනය නිහඬ ය. වට්සැප් ඔස්සේ යැවූ පණිවිඩය කියවූ සළකුණක්ද නොපෙනේ.
නැවතත් දුරකතනය ගෙන ඇමතුමක් තැබුවද එකී ඇමතුම එපසින් නවතාලූයේ එයත් සමගම එයට හේතුව ඇමිණූ කෙටි පණිවිඩයක් ද එවමිනි.
“මීටින් එකක්. පැයකින් ගන්නම්”
පහලට ගොස් පාර දිගේ අඩි දෙක තුනක් ඇවිද්ද විට හමුවන “ඇඹුල” ලංකාවේ කෑම කඩයෙන් බත් හෝ ඉඳි ආප්ප පාර්සලයක් ගෙන ඒමට පැයක් හොඳටෝම වැඩි ය.
වෙනදට නම් සුදු බත් ටිකකට, කැරට් බොංචි ටිකක් කපා දමා තනා ගන්නා එලවලු බතකට, පරිප්පු ටිකක්, සොසේජස් බැදුමක් එක්කරගන්නා නමුත් අද කම්මැලි දවසකි.
වෙනසකටත් එක්ක ඇඹුලෙන් සුදු හාලේ බතට තැනූ පරිප්පු තෙම්පරාදුවත්, අඹ මාලුවත්, කරවල බැදුමත් රස බලන්නට සිතුණි.
අම්මා සාදන පොළොස් බොරය සහ හාල් මැස්සන් බැඳුමේත්, පරිප්පු හොද්දේත් රස මතක් වෙන්නේ මේ වෙලාවටය. කුඩා අවදියේ සිටම අම්මාගේ සුරතලා ලෙස හංවඩු ගැහී උන්නද අම්මාගේ ආදර සෙවණැල්ල යට මිහික ඉවුම් පිහුම් ගැන උගත් දෑ බොහෝ ය.
කෙතරම් උයන්නට දස්කම් පෑවද අම්මාගේ අතින් සෑදෙන කෑමක රසට සම කරන්නට කිසිවක් තමන්ට හදන්නට බැරි බව මිහික දනී.
ඉතින් ඇඹුලෙන් යමක් ගෙන කෑම මනසින් හෝ ලංකාවට යෑමට මග විවර කරයි.
“අද නම් මල්ලි අලුත්ම කෑමක් තියෙනව”
“මොනාද අක්කෙ?”
“පොල් සම්බෝලයි, පරිප්පු, පීකුදුයි එක්ක රෝස් පාන්. මල්ලි කැමති නම් බත් කන්නත් ඇහැකි”
“ආව එකේ මම පාන් කෑල්ලක් කාලම යන්නම් අක්කෙ. අවන් එක හදාගත්තද?”
“අනේ ඔව් මල්ලි එදා මල්ලි දුන්න නම්බර් එකට මම අරගත්ත ඊට දවස් තුනකට පස්සෙ ඇවිත් හදල දුන්නට මොකෝ අපේ රුචිර හිටියේ නෑනෙ පාන් ටිකක් හදාගන්න මිනිහ ආවෙ අද”
ඇඹුලෙ හිමිකාරිය වන ලසන්ති අක්කා පැවසුවේ මැටි පිඟානකට පොල් සම්බල් සහ පරිප්පු දමා ඒ මත්තට බොරේට හැදූ පීකුදු එක්කාසු කර පාන් සමගද මේසය මතින් තබමිනි.
ලංකාවේ රහට කන්නට බොන්නට එන්නේ ලංකාවේ මිනිසුන් පමණක්ම නොවේ.
ලාම්පුවලින් ආලෝක කරන ලද පරණ තාලේ විදියට හැදූ ඇඹුලේ කෙලවර මේසයන්හි අසුන් ගෙන ලංකාවේ තේ කෝප්පයක් තොලගාමින් ලැවරිය හෝ වැලිතලප කෑල්ලක් රස බලන සුදු යුවතියකි.
තවත් පසෙක පොල් කිරිත් ලුනු මිරිසුත් සමග අනාගෙන පිට්ටු කන ඉන්දියන් ජාතිකයෙකි.
දිවඟට දැනෙන මිහිර බොජුන් රසයට ජාති, ආගම් බේද නසාලන්නට ඇත්තේ පුදුමාකාර අත්ගුණයකි.