සීත මාරුතේ -42

මම නතර වී ධාරා ගේ අතක් අල්ලා ගතිමි. ඇගේ ඇස් වලින් ගලා යන කඳුළු වලට වග කිව යුතු මා ය යන වේදනාත්මක සිතිවිල්ල කටු තුඩකින් හදවත පහුරු ගාන්නට විය. මම වෙව්ලන හඬින් ඈ ඇමතුවෙමි.

“අක්ක…”

ධාරා ඉක්මනින් සිය අතැඟිලි වලින් කඳුළු කොපුල් පිස දා ගනිමින් ක්ෂණික සිනහවක් නගා ගත්තා ය. 

“පිස්සු අනේ මට. ඒව නිකං ගෑනු කමට එන කඳුළු. ඒත් මට ඔයා එක්ක කතා කරන්න ඕන. අභිශේක් එක්ක ඔයාගෙ අෆෙයා එකක් තියනව කියල මං හිතුවෙම නෑ”

මගේ ඇස් බිමට හැරවිණ. ඇයට මේ සියල්ල කෙසේ පෙරපර ගලපා කියන්න ද? මමත් මුණිවර ට පෙම් කළෙමි. ඇය ද ඔහු ට පෙම් කළා ය. අප දෙදෙනා ගෙන් කවුරුන් හරි ද කවුරු වැරදි ද කියා කියන්නට මා දන්නේ නැත. අප දෙදෙනා ගෙන් වැඩිපුර ඔහු ට ආදරේ කවුද කියා දැන ගන්නට තරාදියකට දමා කිරා මැන බලන විදිහක් මා දන්නේ නැත. අප දෙදෙනා ගෙන් කවුරුන් නික්ම යා යුතු ද කවුරු ඔහු ළඟ නතර විය යුතු ද කියා කෙසේ නම් තීරණය කරන්න ද?

“එදා රෑ මං ඔයාගෙ රූම් එක ළඟට ඇවිත් කතා කළා. ඒත් දොර ඇරුණෙ නෑ. පහුවදා උදේ මං රූම් එකේ දොර අරිනකොට ම ඔයා අභිශේක් ගෙ රූම් එකේ ඉඳල යනව දැක්ක”

මට දැනුණේ පොළොව පලා ගෙන හැංගෙන්නට තරම් ලැජ්ජාවකි. ඇය මේ වෙත්දීත් මා ගැන කෙසේ සිතා ගෙන සිටිනවා විය හැකි ද?

“අක්ක මිස්අන්ඩස්ටෑන්ඩ් කරන්න එපා. අපි එළි වෙනකල්ම බැල්කනි එකේ කතා කර කර හිටියෙ”

මා සුදු මැලි වෙමින් ඉන්නට ඇත. නමුත් ධාරා මගේ කම්පනය වටහා ගෙන වාගේ මුදු ලෙස මා අතකින් අල්ලා ගත්තා ය.

“මන්දි…ඔයා එයාට ආදරේ නං ඔයා එයා එක්ක බැල්කනි එකේ හිටියද බෙඩ් එකේ හිටියද කියන එක කාටවත් අදාල නෑ. දැට්ස් යුවර් ඕන් මැටර්. මට කියන්න ඕන ඒ ගැන නෙවෙයි. අභිශේක් ඇයි මාව රිජෙක්ට් කළේ කියල දැනුයි මට තේරෙන්නෙ”

“මේක එයාගෙ වරදක් නෙවෙයි. මමයි එයාට ආදරේ කළේ. ඒ ආදරේ නිසා මමයි එයා බෑ කියද්දිත් කොහොම හරි මිස්ට් ෆීල්ඩ් එකේ වැඩට ගියේ. ඊට කලින් එයා ඔයාව මැරි කරන්න කැමැත්ත දීල තිබුණ කියල මං දැනං හිටියෙත් නෑ”

“කොහොම හරි ඔයා ඉස්සර වුණා”

ඇය කඳුළක් අතරින් සිනහ වූවා ය. පපුව පැලී යන්නට ආසන්න වේදනාවක් මම අත්විඳින්නට වීමි. 

“මමයි ප්‍රපෝසල් එක ආපු වෙලේ පස්ස ගැහුවෙ. එදා මං ආවනං…එහෙම නැත්තං එහෙ ඉද්දිම ප්‍රපෝසල් එකට කැමති වුණානං…එහෙනං එයා මගේ. ආපු ගමං මං එයාට පිස්සු වැටිල ආදරේ කරන්න පටං ගත්තා. ඒත් එතකොට එයාගෙ හිත ඔයා ළඟ”

“එයා මට ආදරෙයි කිව්වෙ ඒ රෑ”

“මං ඔයත් එක්ක තරහ නෑ මන්දි”

ඒ මහ මග ම ඇය මා වැළඳ සුබ පැතුවා ය. ඒ වැළඳ ගැනීම තුළ ඈ සිය සන්තාප සයුර සන්සුන් කර ගැනීමේ උත්සාහයක් දැරුවා කියා  සිතමි. 

“ඒත් මාර දුකයි”

“මටත්..”

“මං දන්නව ඔයා හරිම ස්වීට් ගෑනු ළමේක්. ඒකයි එයා මාව එපා කියල ඔයාව සිලෙක්ට් කර ගත්තෙ”

“එහෙම හිතන්න එපා”

“මට මේක මැනේජ් කර ගන්න පුළුවන්”

“මාව තේරුං ගත්තට පිං”

අප දෙදෙනා ගේ ම ඇස් වල තිබුණේ එක පිරිමියෙකු නිසා උපන් කඳුළකි. නමුත් ඒ එක පිරිමියා නිසා කෙස්වලු පටලා ගන්නේ නැතිව අප අපව තේරුම් ගැනීමේ සැනසිල්ල මගේ පපුවේ විය.

අප කතා කරමින් අරමුණකින් තොර ව පාර දිගේ ඇවිද යත්දී මුණිවර ගේ ජීප් රථය බොරලන්ද දෙසට ධාවනය වෙමින් තිබී අප ළඟ නතර වූයේ ය. මමත් ධාරාත් අපේ ම මුහුණු දෙස බලා ගත්තේ යමක් සිතා ගත නො හැකි ව ය.

“කොහෙද මේ යන්නෙ…”

ඔහු ඇහුවේ තදිනි. 

“ම්..මං මන්දිලගෙ ගෙවල් පැත්තට ගියා…අපි ඉතිං කතා කර කර පාර පැත්තට ආව”

“මන්දාකිණී ගෙදර යන්න…පාරවල් වල රස්තියාදු ගහන්නැතුව”

“හරි හරි. මං ඔයාගෙ මන්දාකිණී ව ගිලින්නෑ”

හදවත මැද්දේ බෝම්බයක් පිපිරී ගියා බඳු කම්පනයක් මට දැනිණ. මුණිවර මදෙස බැලුවේ ද ප්‍රශ්නාර්ථයෙනි. ඇය ‘ඔයාගෙ මන්දාකිණී’ යන්න බර කොට කීවා කියා සිතමි.

“චුට්ටක් කතා කළා විතරයි”

ධාරා ඒ අන්තිම ටික කීවේ අහිංසක ව ය. මුණිවර ගේ පිරිමි හිත ඒ හුරතල් ස්ත්‍රී ලක්ෂණ කෙරේ සැබවින් ම ආශක්ත නො වන්නේ දැයි මට තේරුම් ගත නො හැකි විය.

පසු දා සිට මිස්ට් ෆීල්ඩ් හි වැඩ කටයුතු යළි සුපුරුදු පරිදි ඇරඹිණ. එහි ඒ තරම් විසල් පිරිත් පිංකමක් පැවති බව හෝ එහි සේවකයන් ගාල්ලෙහි විනෝද සවාරියක් ගොස් රැයක් ගත කොට පැමිණි බව හෝ හඳුනා ගත හැකි සලකුණකුදු නැති වන සේ කවුරුත් වැඩට යොමු වී සිටියහ. මම උදේ ම මල් ඕඩර සූදානම් කළෙමි. ලොකු තාත්තා සියලු අංශ වෙත ගොස් වැඩ කටයුතු පිරික්සා බැලුවේ ය. ඊළඟට මම අලුත් ඇඳුම් මෝස්තර නිර්මාණයක් ගැන අවධානය යොමු කරමි. පේෂ කර්ම ශාලාවට හා ඇඳුම් මසනා ස්ථානයට ගොස් ඒ කටයුතු විපරම් කරමි. 

ඉන් පසු දෙතුන් දිනක් ගත වී ද ධාරා මිස්ට් ෆීල්ඩ් වෙත ආවේ නැත. එය මගේ හිත ට වදයක් වූයෙන් මම ඇය ට දුරකතන ඇමතුමක් ගත්තෙමි.

“මං කොළඹ ආව මන්දි. ටිකක් ඇවිදල කරල මොනාද දැං කරන්නෙ කියල හිතල බලන්න ඕන. ඔයා මං ගැන වොරි වෙන්න එපා”

ඇය ඉතා සාමාන්‍ය ලෙස කීවා ය. ධාරා ඉක්මනින් ම හිත හදා ගනු ඇතැයි සිතන්නට ඒ අනුව මම කැමති වීමි. එය හුදෙක් මගේ ම හිත හදා ගැනීමක් ද කියන්නට දන්නේ නැත. සමහර විට අපි අපේ ම ආත්මයෙන් අපේ වැරදි හංගා ගෙන නිවැරදි කරුවන් සේ ජීවත් වන්නට උත්සාහ කරමු. කෙසේ වෙතත් ඒ මානසිකත්වයෙන් ඈත් වෙනු වස් මා කළේ හැකි තාක් වැඩ කරනා එක ය.

මහනුවර නගර ශාලාවේ අරඹන ලද සාප්පුවේ අලෙවි කටයුතු හොඳින් සිදු වෙමින් තිබුණෙන් එවැනි ම සාප්පුවක් බණ්ඩාරවෙල හා නුවර එළිය ආශ්‍රිතව ද අරඹන්නට මුණිවර ගේ අදහසක් තිබිණ. අපේ සේවක පිරිසෙන් ඒ අවශ්‍යතා පිරිමසා ගත හැකි නිසාවෙන් අපි ඒ ආරම්භ කරන්නට නියමිත සාප්පු වෙනුවෙන් ද සූදානම් වන්නට වීමු. 

“අර මිස්ට් ෆීල්ඩ් වලින් හොරකං කරල නුවර එළියෙ ෆ්ලවර් ශොප් එකට ගෙනිච්ච මල් ප්‍රමාණයක් තියෙනවනෙ. කොහොමත් හොටේල්ස් වලට යවන්නෙ ලොකු ම මල්නෙ. එතකොට අර ඉතුරු වෙන මල් වලින් අපිට පුළුවන්නෙ ෆ්ලවර් අරේන්මන්ට්ස් කරල..මං කියන්නෙ බොකේස් හදල…ඔන්ලයින් සේල් කරන්න…”

ලොකු තාත්තා හා මුණිවර ඉදිරියේ මම අලුත් යෝජනාවක් කළෙමි. ඔවුන් දෙදෙන මුහුණෙන් මුහුණ බලා ගත්හ.

“ගිෆ්ට් එකක් විදිහට මල් දෙන එක අලුත් ට්‍රෙන්ඩ් එක. අපිට පුළුවන්නෙ අපේ වෙබ් සයිට් එක යූස් කරල ඒ ට්‍රෙන්ඩ් එකෙන් ප්‍රයෝජන ගන්න…මං කියන්නෙ…ඒක ඔන්ලයින් ගිෆ්ට් ශොප් එකක්. අපි ෆ්ලවර් බොකේ එකත් එක්ක ගිෆ්ට් අයිටම් එකක් වුණත් ඩිලිවර් කරනව. අපිට පුළුවන් චොක්ලට්ස් කේක් වගේ දෙයක් වුණත් ඩිලිවර් කරන්න. අපේ සයිට් එකේ දාන්න ඕන අපි හදන කේක් වල ඩිසයින්ස්…ඒ වගේම බොකේස් වල ඩිසයින්ස්. එතකොට අර පොඩියි කියල අපතේ දාන මල් වලිනුත් ලස්සන වැඩක් වෙනව. කොහොමත් අපේ ලොරි ඩේලි මල් අරං යනවනෙ. අපිට පුළුවන් ඒ ලොරි වලම අර දේවලුත් ඩිලිවර් කරන්න”

“අම්..”

මුණිවර මේසයෙහි ඉදිරියට නැඹුරු වී හරි බරි ගැහුණේ ය.

“ඉට්ස් අ බ්‍රිලියන්ට් අයිඩියා. ඔන්ලයින් ගිෆ්ට් ශොප්. වාව්..අපි ඒක කරමු”

මුණිවර ගේ මුහුණේ මා දකින්නට ආශා හිරු මඬලක් වන් සිනහව පිපිණි. ඒ අනුව ඒ සඳහා අවකාශයක් මිස්ට් ෆීල්ඩ් පරිශ්‍රයේ ප්‍රධාන පාරට මුහුණ ලා වීදුරු මුහුණතක් සහිත ව ඉදි කෙරිණි. මල් සැකසුම් කිරීමේ ලා හසල දැනුමක් ඇති සේවකයෙකු මුණිවර සොයා ගෙන තිබුණේ ය. 

එදා ගාල්ලේ ගොස් පැමිණි දා ට පසු දා ධාරා ගෙන් සමු ගත්තා ට පස්සේ හවස අපි, ගෑනු ළමයින් ඇවිදින්න යන්නට සූදානම් වීමු. නමුත් අම්මා ඒ ගැන කැමති වූයේ නැත.

“දුවාට පාරවල් ගානෙ ඇවිදින්න එපා කියල නේද තියෙන්නෙ…අපි දන්නවද අර මිනිස්සු සද්ද නැතුව හිටියට මොනා හිතේ තියං ඉන්නවද කියල”

ඇගේ කතාවෙහි සත්‍යතාවයක් ඇති බව දැන සිටිය ද ඊට එකඟ වන්නට මට ඕනෑ වූයේ නැත.

“පොලිස් කම්ප්ලේන් එකක් දාලනෙ තියෙන්නෙ. ඒ මිනිස්සුන්ට බයේ මට මෙහෙම අත පය අකුලගෙන ගෙට වෙලා ඉන්න පුළුවන් ද අම්ම. අනික අපි හතර දෙනෙක් ඉන්නවනෙ”

අප්පච්චි පාසලේ සිටි නිසා අම්මා ගේ විරෝධය නො තකා හෝ එදා අපි පිටතට ගියෙමු. මුණිවර ප්‍රේමය ප්‍රකාශ කළ බවත් ධාරා ගේ සිදුවීමත් මා ඔවුන් ට කීවේ ඒ වෙලාවේ පයිනස් කැලෑවක් ඉදිරියේ බයිසිකල් නවතා ගෙන ය. කෙල්ලෝ විවිධ හරස් ප්‍රශ්න නගන්නට ප්‍රීති ඝෝෂා නගන්නටත් වූ අතර ධාරා ගැන මා කණගාටු විය යුතු නැත ය වන්න ඔවුන් ගේ ඒකමතික තීරණය විය.

“එයාට මොළයක් තියන නිසානෙ එයා ඒ චැප්ටර් එක ක්ලෝස් කළේ. පව් තමයි. එහෙමයි කියල මොනා කරන්නද..”

“මුණිවර සිං රාජ්පුත් ට ආගම ජාතිය මාරු කරල එහෙනං දෙන්නවම බැඳ ගන්න තමයි වෙන්නෙ”

“මට හිතා ගන්න බෑ ජූජකය කොහොම ඒක මෙයාට කියන්න ඇද්ද කියල. පොඩ්ඩක් කරල පෙන්නනවකො”

කෙල්ලෝ හඬ නගා සිනහ වූහ. ඒ වුණත් ධාරා ගැන මා පෙළු සිතිවිලි වලින් මිදෙන්නට මට හැකි වූයේ ඔවුන් නිසා ය. 

මුණිවර කෙරේ වන ප්‍රේමය ප්‍රකාශ කරන්නටත් දරා ගන්නටත් මට තිබූ හොඳ ම මග වැඩ කිරීම ය. මගේ සිහින සිතිවිලි, ඔහු ගේ ව්‍යවසායකත්වය තවත් පුළුල් කරනා හේතුවක් කර ගන්නට ප්‍රේමය නිසා මට හැකි විය. මල් සැකසුම් ගැන ශිල්පීය ක්‍රම නො දැන සිටියා ට, මුණිවර සොයා ගෙන තිබි ශිල්පියා නිසා ඒ ශිල්පීය දැනුම ද මඳක් උකහා ගන්නට මම සමත් වීමි. ඒ අනුව මගේ මල් සැකසුම් කිහිපයක ඡායාරූප සඳහා ඕඩර කිහිපයක් ම ලැබී තිබුණේ ය. මම විශාල ආශාවකින් මල් සැකසුම් කළෙමි. වීදුරු මුහුණතක් ඇති මල් කඩේ ඉදිරිපිට ප්ලාස්ටික් බාල්දි වල බහා ලූ මිස්ට් ෆීල්ඩ් මල් වලින් පිරුණේ ය. ඒ මල් වලින් මම හිත ආශා කළ සැකසුම් කළෙමි. අන්තර්ජාලය ඔස්සේ සේ ම සාප්පුවට පැමිණීමෙන් ද මල් ගන්නට ඉක්මනින් ම පාරිභෝගිකයෝ ඇති වූහ.

මිස්ට් ෆීල්ඩ් මට සදෙව් ලොවක් වූයේ ය. උදේ සිට හවස් වන තුරු මම ආදරයත් එක්ක එහි සැරුවෙමි. දවසක් මා මල් සැකසුමක සිටියදී මුණිවර එහි විත් උස් ස්ටූල් එකක් මා සමීපයට ඇද එහි හිඳ ගත්තේ ය.

“අම්…කතා කරන්න පුළුවන්ද දන්නෑ නේද මැඩම්…”

මගේ දෙතොල් සිනහවකට තෙරපිණ. උදේ සිට හවස් වන තුරු මගේ කාර්ය බහුලත්වය නිසා බොහෝ විට මුණිවර ට මා තනි කර ගත නොහැකි වන්නේ ය. ඔහු ඒ ගැන වරක් මැසිවිලි ද නැගුවේ ය.

“මට මේ ඔක්කෝම වැඩ වලට වර්කර්ස්ල ගන්න පුළුවන්”

“හ්ම්”

මම අලුත් ලිලී මලක් ගෙන සැකසුමෙහි තබන්නට ගියෙමි. මුණිවර මා අතින් මල් මිටිය උදුරා මේසය මත තැබුවේ ය. මා ඔහු දෙස බලන්නට ඇත්තේ ඇස් වල දඟකාර සිනහවක් තියා ගෙන ය.

“හැබැයි මට ටිකක් කතා කර කර ඉන්න වෙන කවුරුවත් හොයා ගන්න බෑ”

මම නිකට මේසය මත තබා දෑස් ඔසවා ඔහු දෙස බැලීමි. ඒ ඇස් වල තරවටුවක් විය. මා හිතා මතා ම ඔහු මගහරිමින් සිටි බව මට සිහි විය. ඇතැම් විට ඒ පිරිමියෙකු විසින් ප්‍රේමය විමසන ලද ගෑනු ළමයෙකු ගේ හදක දෙගිඩියාව තුළනය කිරීම සඳහා ස්ත්‍රී හෝමෝන විසින් ම දක්වන්නා වූ ප්‍රතිචාරයක් වන්නට ද පුළුවන. එය වූ කලී පලා යාමේ ප්‍රතිචාරයකි. මුණිවර වෙතින් ශාරීරික ව පලා ගිය ද මා ඔහු වෙනුවෙන් ඔහු ගේ දේ වෙනුවෙන් කැප වෙමින් මනසින් ඔහු සමග ම සිටියෙමි. නමුත් මගේ මානසික තත්වය ඔහු ට පහදා කියන්නට තරම් දිරියක් මට වූයේ නැත. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content