තාරකා උන්නෙ පිච්චි පිච්චි.
ඒ වේදනාවේ ගිනි දැල් පත්තුවුනේ හිත ඇතුලෙම විතරක් වුණාට තාරකාට පෙනුනෙ තමන්වයි, දරු පැටව් දෙන්නවයි, මුලු ගෙදරයි ඒ ගින්නෙ පිච්චෙනවා වගේ.
මොන්ටිසෝරි යන කවිත පුතා බත් කන ගමන් බත් ඇට මුලු මේසෙ පුරාම ඉහිරවල.
උදේ ඉඳන් නැහුනට මොකෝ තාරකාට තාම හරියට මූණක් කටක් හෝදගන්නවත්, හරියකට බඩට දෙයක් දාගන්නවත් පුලුවන් උනේ නෑ.
ඒ අස්සෙන් අලුත ඉපදිච්ච හිමරු බෙරිහන් දිදී අඬනවා. දවල් කෑම හදල අහවර වෙලා කුස්සිය අස් කර කර උන්නු තාරකා ඔක්කොම වැඩ මග දාලා දුවන් ගියේ අඬන පුතාව නලවන්න.
දාඩියට ඇඟ ඇලෙද්දි තමන්ට තමන්වම අප්පිරියයි වගේ තාරකාට දැනුනෙ.
“එහෙම එකේ අසන්තට මාව එපා වෙච්ච එක අහන්න දෙයක්ද”?”
අඬන හිමරුව අතෙන් වඩාගෙන නලව නලව ඉද්දි ඇස්වලින් වැක්කිරිච්ච කඳුලු වලට ඔහේ කම්මුල් දිගේ බේරිල යන්න දීල තාරකා කල්පනා කරා.
“ඔයාට මාව මතකද?”
තාරකා ඊයෙ රෑ අසන්තගෙන් එහෙම ඇහුවේ හිත අස්සෙන් හැමදේම දරාගෙන ඉන්න බැරිම වෙච්ච තැන.
ඇස් ගෙඩි දෙක නලලට අරන් ආව අසන්ත තාරකා දිහා බලාගෙන හිටියෙ මොකද්ද තමන් කියන්න ඕන කියල හිතාගන්න බැරුව.
“මන් අහන්නේ ඔයාට මාව මතකද?”
“ඇයි ඔයා එහෙම අහන්නේ?”
ඒ ප්‍රශ්නෙ එක්ක අඬාගෙනම ඇඳ ළඟ බිම වැටිච්ච තාරකා වක්කරපු කඳුලු ගංගාවේ සීතලට තමයි අසන්ත ආයේ මේ ලෝකෙට ආවෙ.
“මොකද්ද තාරි ප්‍රශ්නේ?”
“ඇයි අසන්ත මාව මෙහෙම ගණන් ගන්නෙ නැතුව ඉන්නේ?” කඳුලු පිරිච්ච ඇස් අසන්ත දිහාට හරවල තාරකා එහෙම ඇහුවා.
“මොනවද ඔයා මේ කියන්නේ?”
“ඔයාට මං කියල කෙනෙක් ඉන්නව කියලවත් මතකද? මම උදේ නැගිට්ට වෙලේ ඉඳල දාසියක් වගේ ඔයාගෙයි ලමයි දෙන්නගෙයි වැඩ කරනවා. මම කෑවද බිව්වද කියලවත් ඔයා කවදාවත් අහල බලල තියෙනවද? අඩුම ගානෙ ඔයා වැඩ ඇරිල ගෙදර එද්දි කෑම මේසෙ උඩ කෑම තියන්න මම කොච්චර නැහෙනව ඇතිද කියල ඔයාට හිතෙනවද?
ඒ මුකුත්ම නෙවෙයි අඩුමගානෙ මම ඔක්කොම වැඩ ඉවර කරල රෑ නිදියන්න ආවමවත් ඔයා ඉස්සර වගේ මගෙ ඔලුවවත් අතගානවද? ඔයාට මාව පේනවද අසන්ත?අහ්, කියන්න, අනේ කියන්නකො අසන්න? ඔයාට මාව පේන්නෙ නැද්ද? මගෙ වේදනාව පේන්නෙ නැද්ද?”
කොණ්ඩෙ කඩාගෙන, මූන කඳුලු වලින් පොඟව ගෙන පිස්සියක් වගේ ඇඳ ලඟ බිම වාඩිවෙලා උන්නු තාරකා දිහා අසන්ත බලාගෙන හිටියෙ හිතාගන්න බැරුව.
ඒ වෙලාවෙ තමයි අසන්තට තේරුම් ගියේ තමන්ගෙ බිරිඳ දැන් බිරිඳක් විතරක්ම නෙවෙයි ඇය අම්මා කෙනෙක් වග.
මට සමාවෙන්න කියන උත්තරේ මේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි කියන එක අසන්තට නොතේරුණා නෙවෙයි. ඒ වගේම එවෙලෙ කලබල වෙලා අඬ අඬ උන්නු තාරකාටත් තමන්ගෙ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඕනත් තමන් බවම නොතේරුණා නෙවෙයි.
ඒ විදියට තමයි තාරකා මගෙ ලඟට ආවෙ.
“මම හිතන්නෙ අසන්තට දැන් මාව එපා වෙලා, එයා හරි ඉක්මනට වෙන කෙනෙක්ව හොයා ගනීවි”
තාරකා කතාව පටන් ගත්තෙ එහෙම.
“ඇයි ඔයා එහෙම හිතන්නේ?”
“මමයි අසන්තයි බැන්දෙ යාලුවෙලා. බඳින්න කලිනුත් බැඳපු මුල් කාලෙත් මම හරිම ලස්සනට ඇන්දා. මම ගෙදර හරිම පිලිවෙලට තියාගෙන හිටියා. ඒත් දරුවො දෙන්න ලැබුණට පස්සෙ මට හැමදේම තනියෙන් කරගන්න අමාරු උනා.
අම්මල ඉන්නෙ ගමේ හන්දා එයාලට ඇවිත් අපිත් එක්ක ඉන්න පුලුවන් කමක් නෑ. බබාලා ලැබිච්ච අලුත අම්මල මාසයක් දෙකක් නැවතිල ඉන්න ආවට දිගටම ඒක කරන්න බෑනෙ”
තාරකා මෙච්චර දවසක් හිත අස්සෙ හිරකරගෙන හිටපු කතාව මගෙ ඉස්සරහ දිග ඇරියෙ ඒ විදියට.මම නිහඬව අහගෙන හිටියා එයාට එයාගෙ කතාව කියාගෙන යන්න ඉඩ දීලා.
“ඉස්සර වගේ ලස්සනට අඳින්න පලඳින්න, ගෙවල් නීට් එකට තියාගන්න ගමන් බබාගෙ වැඩ කරන්න මට හරි අමාරුයි. ඉස්සර ජොබ් එකයි ගෙදරයි දෙකම මම මැනේජ් කරගත්තෙ කොහොමද කියල මට හිතාගන්නවත් බැ.
උදේ නැගිට්ට වෙලේ ඉඳල මම සර්වන්ට් කෙනෙක් වගේ රෑ වෙනකම් වැඩ කරනවා. මට රෑට විතරයි ඇඟ පතවත් හෝදගන්න වෙලාවක් ලැබෙන්නෙ. මම වොශ් දාලා ඇඳට එන්නෙ අසන්ත එක්ක ටිකක් කතා කරන්න කියල හිතාගෙන. ඒත් මම එන හැම දවසකම එයා ගොරව ගොරව නිදි”
“ඔයා අසන්තගෙන් ඒ ගැන ඇහුවෙ නැද්ද? ඔයාට උදව් කරන්න කියල ඉල්ලුවෙ නැද්ද?”
“මම එහෙම ඇහුවනම් එයා දෙන උත්තරේ මම දන්නවා”
“මොකද්ද?”
“එයා කියාවි එයා දවස තිස්සෙම ඔෆිස් එකේ වැඩ කරල එයාට මහන්සි කියලා. එයාට මට ආයෙ ගෙදර ඇවිල්ල උදව් වෙන්න විදියක් නෑ කියල කියාවි.
මම මාස ගාණකින් හරියට සෙල්ෆ් කෙයා කරල නෑ. හරියට ඇඳල පැලඳල නෑ. ආසාවට දෙයක් කාලා නෑ. හරියට නිදාගෙන නෑ. කොටින්ම කවුරුවත් මට කොහොමද කියලවත් අහල නෑ. මෙහෙම ජීවිතයක් වැඩක් තියෙනවද?”
අම්මා කෙනෙක් කියන්නෙ ශක්තිමත් කෙනෙක්. දරුවෙක් කුසේ ඉන්නව කියල දැනගත්ත දවසෙ ඉඳලම දරුවෙක් බිහි කරල උස් මහත් කරන තුරුම අම්මා කෙනෙක්ට මොනතරම් නම් කැපකිරීම් කරන්න වෙනවද? මොනතරම් ශක්තිමත්ව ඉන්න වෙනවද?
ඒත් අම්මා කෙනෙක් කියන්නෙ ඉතාම සංවේදී චරිතයක්. තමන්ගෙ දරු පවුල වෙනුවෙන් විතරක්ම නෙවෙයි මවක් වූ අලුත තමන්ට විඳින්න වන ශාරිරීක මානසික අපහසුතා නිසා ඕනම අම්මා කෙනෙක් මනසින් ඉතාම සංවේදීව ගත කරන කාලයක් තමයි මේ.
විවාහ වෙච්ච අලුත තමන්ගෙ ලස්සන, සුන්දර, තරුණ බිරිඳගෙන් බලාපොරොත්තු වුන ආදරය, ලස්සන, පිරිසිඳුකම, පිලිවෙල ඒ විදියටම දරුවෙක් ඉද්දි දකින්න ටිකක් අපහසු වෙන්න පුලුවන්.
අතීතයේදි නම් දරුවෙක් හම්බ උනාම උදව් උපකාර කරන්න තමන්ගෙ සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලගෙන් උදව් ලැබෙන විස්තෘත පවුලක අපි ජීවත් වුනාට වර්තමාන ආර්තික ගැටලු එක්ක අපි ගොඩක් ඉන්නෙ න්‍යෂ්ටික පවුලක් ඇතුලෙ.
ඉතින් තමන්ගෙ වැඩ තමන්ගෙ පවුලෙ කීප දෙනා එක්ක එකතුවෙලාම කරගන්න වෙන අවස්තා වැඩියි. එතනදි තමයි න්‍යෂ්ටික පවුලක වුනත් පවුලක් කියන හැඟීම එළියට මතුවෙන්නෙ.
පවුලක් කියන්නෙ මිනිස්සු කීප දෙනෙක්ගෙ එකතුවක්නේ. ඉතින් ප්‍රශ්න ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
ඒත් මේ වගේ ප්‍රශ්න ඇතිවන තැනකදි අපි කරන්න ඕන හොඳම, පළමු දේ තමයි එකිනෙකා සමග කතා බස් කරන එක.
තාරකාටත් අසන්තටත් මම දීපු උත්තරෙත් ඒක.
තමන් සිත ඇතුලෙ හදාගත්ත ප්‍රශ්න ලෝකයක් ඇතුලෙ වෙන වෙනම මේ ප්‍රශ්නෙ දිහා බලන එකෙන් වෙන්නෙ ප්‍රශ්නෙ විසඳෙන එක නෙවෙයි ඔඩු දුවන එක. මගේ ඒ පිළිතුර එක්ක අසන්තයි, තාරකායි දෙන්නට දෙන්න තමන්ගෙන් වුණ අඩුපාඩු, සිතෙන් ඈත්වීම් ගැන කතා කරා. ඒ ඔස්සේ දෙන්නටම පුලුවන් වුනා මේ ප්‍රශ්නෙ මෙච්චරවත් දුර එන්න හේතුවුනේ ප්‍රශ්නයක් තිබුණා කියල දැනගත්ත වෙලේ එකිනෙකා සමග හරියට කතා බස් නොකිරීම කියන එක බව.
ඒ තේරුම් ගැනීම එක්ක තාරකා අසන්ත පවුල ආයෙමත් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, ගෞරවය, සැලකීම සහ උපදේශන සහය ඔස්සේ සුන්දරව ගොඩ නැගෙන්න පටන් ගත්තා.
පවුල් ජීවිතයක් ඇතුලෙ අපිට බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා.
සමහර ප්‍රශ්න ඇත්තටම ඉතාම කුඩා ප්‍රශ්න.
ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න අපි කරන්න ඕන එකිනෙකා සමග කතා බස් කිරීම පමණයි.
සමහරවිට අපි යම් ප්‍රශ්නයක් වෙලාවට හිත ඇතුලෙන් ගොඩක් දේවල් හිතනවා. ඒත් අදාල පාර්ශ්වය සමග ප්‍රශ්නෙ ගැන කතාකරන්නෙ හරිම අඩුවෙන්.
එතනදි වෙන්නෙ වචනයකින් දෙකකින් විසඳගන්න තිබුන ගැටලුවක් දුර දිග යෑම පමණයි.
ඉතින් හැම තිස්සෙම මතක තියාගන්න, ප්‍රශ්නයක් වුන මොහොතක මුලින්ම හොඳින් කතා බස් කරන්න. එකිනෙකාට විවෘත වෙන්න. අදහස් බෙදාගන්න.
ඒ ඔස්සේ හැම ප්‍රශ්නෙකටම සාධාරණ විසඳුම් හොයාගන්න ඔබට පුලුවන්කම ලැබේවි.