රාත්‍රි හතට පමණ මම නවාතැනට පැමිණියෙමි. ඇඳුම් උණා දමා උණුසුම් ජලයෙන් නා ගත්තෙමි. ආහාර පිරියක් නොවූ නිසා රාත්‍රී ආහාරයට යමක් සකසන සැලැස්මක් මට වූයේ නැත.
විදුලි පහන් නිවා දමා මම ඇඳට වැටුණෙමි. යහනේ පසෙක වන කුඩා කබඩ් එක තුළ ඇති ජංගම දුරකථනය අතට ගත්තෙමි. එය පණ ගැන්වූයෙමි.
මහේල අරන්දර නම් වූ ප්‍රේමවන්තයා, අසේකා පණ්ඩිතරත්න නම් වූ ප්‍රේමවන්තිය වැලඳගෙන උන්නේ දුරකතන තිරයේය. දෙදෙනාගේම උවන මත වූයේ අතිශය ආදරණීය සිනහවකි. අසේකා උන්නේ හිස ඔසවා මහේල දෙස බලාගෙනය.
බිත්තියේ සිතුවම් කොට තිබූ ඔහුගේ සේයාරුව දෙස බලාගෙන අසේකා පණ්ඩිතරත්න ට හඬා වැටෙන්නට සිදු විය. මගේ පපුවේ ඉතා තද අගිස්සක දරා ගත නොහැකි රිදුමක් දැනේ.
මෙලෙස කීවාට මේ අසේකා අන් කිසිවෙකු නොවේ මමය. දැන් ඔබ දන්නේය. තවදුරටත් මෙය ඔබට සඟවන්නට මටද හැකියාවක් නැත්තේය. මහේල අරන්දර මීට වසර හයකට පෙර මගේ ප්‍රේමවන්තයාව උන්නේය. ප්‍රේමවන්තයා උන්නේය කියනවාටත් වඩා දයාර්ද්‍රම , මැජික්මය, ප්‍රහර්ෂණීයම, උන්මාදනීයමය හැඟීම් කප්පරක් එකිනෙකට වෙනස් සාන්ද්‍රණ වලින් මා මතට හෙලූ මිනිසාව සිටියේය කීම නිවැරදිය. අපායක උන් මා දිව්‍ය ලෝකයක තැබූ මිනිසා කීම වඩා නිවැරැදි ඌණ පූර්ණයකි.
~ ~ ~ අතීතයට ~ ~ ~
මම අතිශය කලබලකාරී පැයකට පසුව නිවෙසට යෑමට පාරට පැමිණියේ එක දිගට අම්මාගෙන් පැමිණි ඇමතුම් නිසාය. අම්මට ඉන් පසුව ගත් එක ඇමතුමකට හෝ ඕ පිළිතුරු දුන්නේ නැත. ඒ නිසාම මම උන්නේ අතිශය කලබලයකය.
ඇඟලුම් කර්මාන්තශාලාවේ තත්ව කලමනාකරන අංශයට ඉල්ලා අස්වීම ලබා දීම ගැන මට දැනෙන්නේ සැහැල්ලුවකි. එහෙත් ඒ සැහැල්ලුව නිදහසේ විඳින්නට ඉඩක් නැත්තේ අම්මාගේ මඟ හැරුණු ඇමතුම් විසි දෙක නිසාය.
ජංගම දුරකථන උරහිසත් කනත් අතරේ වන සේ රඳවාගෙන මම අත් බෑගයෙන් බස් රථය සඳහා වන මුදල් ගන්නට මම සූදානම් වෙමින් උන්නෙමි. අම්මගේ ජංගම දුරකථනය නාද වෙමින් තිබුණද, ඇය එයට පිළිතුරු නොදීම නිසා මා උන්නේ නොසන්සුන් වෙමිනි.
එක්වරම මහා හඬක් නැඟුණි. ජංගම දුරකථනය මා අතින් ගිලිහී ගියේය. මම දෑතින්ම දෙසවන් වසාගෙන කෑ ගැසුවෙමි. කිසිවෙකු පැමිණ මා පසෙකට රැගෙන යනු දැනුනි.
“මේ ළමයි ෆෝන් කනේ ගහගෙන පිස්සෝ වගේ එහෙ මෙහෙ දුවනවා… පැත්තක ……………… “
කවුරුන් හෝ එලෙස පවසා කෑ ගසනු ඇසුණි. මම නොසෙල්වීම උන්නා මිසෙක ඇස් හරින්නට හෝ සිහියක් වූයේනැත.
“ඔය ළමයාට කරදරයක් වුණේ නෑ… ඇස් ඇරලා බලන්න….”
කාරුණික නමුත් දැඩි හඬකින් එලෙස ඇසුනාට පසු මම දෑස් විවර කලෙමි. එක් වර කිසිවක් පැහැදිලිව පෙනුනේ නැත. මම දෑස් පිය කිහිපවතාවක්ම සැලුවෙමි.
නිල් පැහැ කමිසයක් හැඳ උන් තරුණයෙක් පදික වේදිකාවේ හිඳගෙන උන්නේය. අසල තිබු දොඩම් පුරවාතිබූ කරත්තයක් පෙරළී දොඩම් ගෙඩි පාර පුරා විසිරී ගොස් තිබුණි. කිහිප දෙනෙක් කාණුවට වැටී තිබූ මෝටර් බයිසිකලයක් පිටතට ගන්නට සූදානම් වෙමින් ඉන්නවා පෙණුණි. මම යළි මා අසල උන් කාන්තාව දෙස බැලුවෙමි.
” මොන සිහියෙන්ද ආවේ ?”
අසල සිටි පිරිමියෙක් මගේ ඇඟට කඩා පැන්නේ ඇය කිසිවක් පවසන්නට් හෝ පෙරය.
“අනේ සමාවෙන්න .. අම්මා එක දිගට්ම කෝල් කරලා… දැන් එයා ආන්සර් කරන්නේ නෑ.. මම මේ එයා ට කෝල් එකක් ගන්න ගමන් ආවේ…”
මම ඒ පිරිමියාගෙන් සමාව අයැද්දෙමි. ඔහු කවුරුන් දැයි කියා හෝ මම දැන උන්නේ නම් නැත.
එහෙත් ඒ පිරිමියා පසෙකට ඇවිද ගියේ මට බැණ වදිමිනි. මම ජංගම දුරකථනය සෙව්වෙමි. කිසිවෙකු එය ඇහිඳ දුන්නේය. මම අත් බෑගයද ඇහිද ගත්තෙමි. කිසිවෙකු හෝ දෙස නොබලා එක එල්ලේම ඇවිද ගොස් යාබදව තිබූ තැනකින් පාර පැන්නෙමි. බසයේ එල්ලී ගත්තෙමි.
අසුනට වැටූනු වහාම සිතා බැලීමකින් තොරවම ඇස් දැවටුණේ පදික වේදිකාවේ හිඳ උන් තරුණයා වෙතටය. කිසිවෙකු ඔහුට නැගිටින්නට උදව් වෙමින් තිබුණි. මම ඉතාම නිර්දය ලෙසින් අවස්ථාව මඟ හැර ආවෙම්.
ඊළඟ මොහොතේම අම්මාගෙන් පැමිණි ඇමතුම ඒ සිදුවීමේ බර මගේ හිතෙන් ඉවතට කර දැම්මේය.
” කොහෙද ළමයෝ ඉන්නේ ? කොච්චර කෝල් කරාද ? අය්යා කරදරයක පැටලිලා සුදූ … ඉක්මනට ගෙදර එන්න … ”
එවෙලෙහි හිතට දැනුණ බරේ තරමින් පෙර සිදුවීම අමතකම විය. අර තරුණයා ගැන වූ මතකය යටපත්ම විය.
අය්යලා නංගිලාගේ බර දරනව වෙනුවට මට වූයේ අය්යාගේ බර දරන්නටය. පාසැල් කාලයේ දැනුම් තේරුම් ඇති කාලයේ පටන් අය්යගේ පෙම්වතියන්ගේ හුට පට විසඳන්නට සිදු විය. අය්යා පාසැල හැර ගියාට පසු කියා වෙනසක් වූයේද නැත. අය්යා උපාධිය සම්පූර්ණ කරන කාලයේ කියා වෙනසක් වූයේ නැත. එහෙත් අම්මාට අය්යාගේ වරදක් පෙනුනේද නැත.
ඉන් පසුව අය්යා ගේ රැකියා සෙල්ලම පටන් ගත්තේය. පරිඝණක ආශ්‍රිතව අය්යාට තිබූ සහජ හැකියාවත් උපාධිය අවසන් කිරීමත් නිසා අය්යා උන්නේ රැකියා වෙළඳපොළ සමඟ ඕනෑ තරමින් තරඟ කරන්නට හැකි කමිනි. ඒ නිසාම ඔහු ඉතා ඉක්මනින් රැකියා ස්ථාන මාරු කලේය. ඒවාට බලපෑ හේතු හරිහැටි නොදන්නවා වූ නමුදු ඒ බොහෝ අවස්ථා වලට ස්ත්‍රී සම්බන්ධතා ගෑවී තිබූ බව මට කනින් කොනින් අසන්නටද ලැබුණි.
එහෙත් ඒ ගැන අම්මාට කියන්නට තරම්, අම්මා සහ මා අතර සමීප විස්වාසයක් වූයේ නැත. ඒ නිසාම අම්මා ඒ ගැන දැනගන්නට විදියක්ද වූයේ නැත. අය්යගේ සෙල්ලක්කාර ජීවිතය ගැන වගක් නොවූ අම්මා අය්යාව “මමාස් බෝයි” සංකල්පයෙන් රැක බලාගන්නට උත්සාහ කලාය.
අවසාන වතාවේ අය්යා පැටලී තිබුණේ කෙසෙල් කොටයකය. අය්යාගෙන් මුදල් ගරා ගන්නට සැලසුම් කරමින් ඔහු සමඟ සම්බන්ධතාවය ගොඩ නඟාගෙන තිබූ තරුණිය ඇගේ පෙම්වතාද සමඟින් අය්යාව බිය ගන්වන්නට පටන් ගෙන තිබුණි. ඇය අය්යාගෙන් ඉල්ලා උන්න්නෙ ලක්ශ විස්සකි. අය්ය සතුව වූ ලක්ශ දොළහට ඉතිරි ලක්ශ අට ලබා දෙන්නට වූයේ මටය.
සන්තකයේම වූ සියල්ල සුරා දමා අය්යට සල්ලි දුන්නාට පසුවවත් හිතේ නිදහසක් ලැබුණේ නැත.
“උඹ ඔච්චර ලක්ශ ගාණක් උණ්ඩි ගහගෙන අපෙන් කකා හිටියානේ…”
අම්මා මට ඇණුම් පද කීම ඇරඹුවාය. සරසවියෙර් උන් පලමු වසරේ සිටම රැකියා කරමින් උපයා ගත් මුදලට එක් වූයේ පසුව ලැබුණ රැකියාවෙන් ඉතිරි කරගත් මුදලය. ඊට අමතරව තාත්තා අප හැරයන්නට පෙර මට දුන් කර මාලයද මම උගස් කලෙමි. එහෙත් අම්මා මට සලකන්නට ගත්තෙ අමුතුම විදියකින් ය.
“දැන් මාසේ වියදමට වැඩිපුර කීයක් හරි දෙන්න සුදූ.. මට මේ වතු පිටි වලින් ලැබෙන එව්වාගෙන් මේ ඔක්කොම කරන්න බෑ.. අනෙක පඩි නඩි බේරුවම එහෙමට ගානක් අතට එන්නේත් නෑ…”
අම්ම ඊළඟ මාසයේ සිටම එලෙස පවසන්නද පටන් ගත්තාය.
“තමුසේට සල්ලි තියෙනවා නේ.. මගේ කාර් එකේ ලීසින් එක දානවකෝ සුදූ ඈ…”
අය්යාද මා පෙළමින් උන්නේය.
මසකට ලක්ශ දෙකකට ආසන්න වැටුපක් ලැබුනද ඉතිරියක් ගැන සැලසුම් හෝ කරන්නට මට ඉඩක් නොලැබුණේ ඒ අනුවය. අවුරුදු විසි පහක් වෙද්දී මා ඉතා වෙහෙසී රැකියා කරමිම් උන්නද, මට කියා යමක් ඉතිරි වූයේ නැත.
අය්යා සහ අම්මා මට එලෙසින් සලකද්දී මම ජීවිතය හුදෙකලා ඉමකට ගෙන යෑම වෙනුවෙන් සැලසුම් සකසා ගත්තෙමි.
අද දිනයේ කරමින් උන් රැකියාව අත් හරින්නට තීරණය කලේ එහි පළමු පියවර ලෙසය.
| අපේක්ෂා ගුණරත්න |