~ ~ ~ අතීතයට ~ ~ ~
අයියාට ඇප ලැබුණාට පසු පලමු තර්ජනය මට ලැබුණි. මම වහාම ඒ පණිවිඩය මහේලගේ වට්සැප් ගිණුමට යැව්වෙමි. සැනින් ඇමතුමක් ලැබුණි.
” කොයි වෙලේද ඔය ?”
” හවස එවලා තියෙන්නේ … මම දැන් දැක්කේ….”
” ඒකනේ අසේකා කියන්නේ… ඩේටා ඔන් එකේ තියාගෙන ඉන්නෙපැයි.. මම එන්නම් දැන්…”
මහේල කලබලව උන්නේය. එහෙත් මට එතරමේ කලබලයක් දැනුනේ නැත. අයියාට මෙහි පැමිණ මා පැහැරගන්නට හැකි යැයි මහේල සිතනව විය යුතුයැයි මට සිතෙන තරමට ඔහු කලබලව උන්නේය.
” මේ දැන් එහෙම එන්න ඕනි නෑ… අනෙක පහල අපාර්ට්මන්ට් එකේ අය ඉන්නවා..”
” කට වහගෙන ඉන්නවා අසේකා.. දොර වහගෙන ඉන්න .. මම එනවා…”
පැය භාගයක් ගත වෙන්නට පෙර මහේල මා සොයා ආවේය. විවෘතව තිබූ කේ එෆ් සී අවන්හලක බෑගයක් එක් අතක විය. මට සිනහ නැඟිණි. රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා වාදනය කලා යැයි කියන්නට ඇත්තේ නීරෝ මොහු වන් අයෙකු නිසාය.
” ඌ උස්සන් යන්න ආවොත් ඌ එක්ක හැප්පෙන්න මගේ ඇඟට හයිය තියෙන්න එපැයි … සල්ලි කියලා බැලුවේ නෑ බකට් එකක්ම ගෙනාවා.. මට බිරියානි ලාර්ජ් එකක්.., තවුසේ ඉතින් මේ මළ ජරා ස්නැකර්ස් එක විතරනේ කන්නේ … “
මහේල නවාතැනට කඩා වැදුණේ එලෙසම පවසමිනි. අපි කඩවත කේ එෆ් සී එකට යන්නට පටන් ගත්තේ කුස පුරවාගන්නට පමනක් නොවේ. මහේල අරන්දර ඉදිරියේ හිඳගෙන, ඔහු ලාර්ජ් බිරියානි එකක් අවසාන වන තෙක් කෑම මට සෑහෙන වෙලා බලාගෙන සිටීමට ප්‍රිය දර්ශනයක් විය. ඉඳහිට එක් හැන්දක පිරවූ බිරියානි බත් මගේ මුවටද ඔබන්නට මෙන් විත්, යළි එය ඔහුගේ මුවටම ඔබාගෙන, අපූරු සමච්චල් සිනහවක් මට පාන අරන්දර කොලුවාගේ මුහුණ ඔබද දැකිය යුතුයැයි මම විශ්වාස කරමි.
කඩවත කේ එෆ් සී එකෙන් උස්සාගෙන ආ බෑග් මලු මේසය මත තැබු මහේල මගේ දෙකොපුල් මත ඉතා ඉක්මන් හාදු කිහිපයක් තිව්වේය.
” සීතලයි .. බය වුනාද ?”
“නෑ…”
” දැන් බය වෙන්නෙපා .. ඌ ආවොත් අද මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා අසේකා.. අනේ සත්තයි ආයේ ඔයා දිහා හැරිලා බලන්න නොහිතෙන්න මම ඌට නෙලනවා…”
මහේලගේ කෝපය ඔහුගේ හඬෙහි පමණක් නොව අංග චලනයන්ගෙන් ද පැන්නේය. මම මහේලව ඇදගෙන අසුනකට වැටුනෙමි. ඔහු ගේ දෑතින්ම අල්ලා ගත්තෙමි.
” අයියා එක්ක රණ්ඩු කරගන්නෙපා මහේල… එයාට යන්න දෙමු අපි …. මං ආයේ එයාලා කියන දේවල් නිසා මාව අවුල් කරගන්නේ නෑනේ …”
” ඔයාට විශ්වාස ද අසේකා ? ඔයා කලබල වෙන්නේ නෑ කියලා ? “
මහේලගේ හඬ පුරාම අවිශ්වාසය විය. මම අයියා විසින් පටලන කිනම් හෝ උගුලකට හසු වේය යන බය ඔහුගේ හඬෙහි අඩු නැතිවම විය.
” ඔයා ඉන්නවනේ දැන් .. මොන දේ වුනත්, මම ඔයාට කියන්නම් … අපි ඒගොල්ලොගෙන් ඈතට වෙලා ඉමු. අම්මගෙන්, අයියාගෙන්, තාත්තා ගෙන් හැමෝගෙන්ම …”
මම අවසානය මඳක් බර කලෙමි. එහෙත් මහේල ඉන් සැනසුන වගක් පෙනුනෙ නැත.
” කාලා ඉමු …!”
අවිශ්වාසය වෙනුවෙන් තර්ක කිරීම නවතා අප කුස පිරෙන්නට ආහාර ගත්තෙමු. කුකුල් ගාත කිහිපයක් ගිල දැම්මෙමු. මහේල ගෙනැවිත් තිබු බීම බෝතලය පසෙකලා මගේ ශීතකරණ යේ වූ බියර් කෑනයක් දෙකට බෙදා ගත්තෙමු.
” මං හරි ආදරෙයි අසේකා.. අපි ඉක්මන්ට බඳිමුකෝ …”
මහේල මා වැලඳගෙන කීවේය. මටද එය අතිශය මහා පරිමාණයෙන්ම අවැසිව තිබුණි. මහේල සමඟ ගොඩ නඟන කුඩා නිවෙස්නක සිහිය, හීනෙන්ද මට විස්තර කල හැකි තරමේ විය.
මහේලගේ වත් පොහොසත් කම් ගැන දැනගත්තාට පසුවද නිවෙස්නේ කුඩා කම මගෙන් ගිලිහුණේ නැත.
මට පමණක් නොව අප දෙදෙනා ට අයිති නිවෙස්නක් වෙනුවෙන් මහේල අරන්දර නම් වන මගේ ප්‍රාණ සම පිරිමි සිත තුළඳ අතිශය රෝමාන්තික සැලසුම් රැසක් ඇති වග මම එදින දැන ගත්තෙමි.
” මං ඔයා එක්ක ගෙවන ජීවිතයක් ගැන හරි ලෝබයි අසේකා…
මට පිස්සු හැදිලා නෑ හරිද.. මට කියන්න ඕනි ඔයා මට කොච්චර දැනෙනවාද කියලා.. මං හැමදාම රෑට ඔයාට මේවා කියන්න සැලසුම් කරනවා කොහෙද ඉතින් ඔයා වෙන වෙන කතන්දර ඇදගන්නවනේ…
උදේ ඉඳන් මා එක්ක දැවටි දැවටි ඉඳල ගිහින් රෑට ලියලා, පහුවෙනිදා මගේ මේසේ උඩට ඔයා එවන ලියුම් – සටහන් ජාති මාව අමුතු හිස්ටීරියාවක තියවනවා.. ඒවා වින්ටේජ්.. පිස්සුවක් …
ඔයාගේ පතොක් පිස්සුවට එයාර් ප්ලාන්ට් පිස්සුවට මාත් හරි ආස වෙලා…
ඔයා හින්දාම මං ආදරෙන් බලා ගෙන පෝච්චියක් පුරවන්න හදන පතොක් බෝලේ ලස්සන මලක් පිපෙන දවසක අපි දෙන්නටම ඒ මල බලාගෙන කෝපි එකක් බොන්න පුළුවන් වේවිද කියලා මම අදත් හිතුවා….
මෙහෙන්ම උස්සගෙන ගිහින් වේලලා ආයේ මටම දෙන මල් , කෝටු කොල කෑලි, විච්චූරණ පාට ගැලපිලි……… ඒවාට මං ලෝබයි…
මන්දා අසේකා… මං මේ බීලා වෙරිවෙලා එහෙම නෙවෙයි හරිද ? බියර් බාගෙකට පුළුවන් ද අසේකා මහේල අරන්දර ව වෙරි කරන්න ….
ඔයා අස්සෙන් ඒ එක එක කෝලම් දකිද්දි මට ලස්සන බබෙක් පේනවා.. ඔයා ඒ බබාගේ අම්මා… මං තමා ඒ අම්මාගේ මනුස්සයා, බබාලාගේ තාත්තා… ඒක කොච්චර ලස්සනද අසේකා …..
ඔයා අපේ ඉවෙන්ට්ස් වලට ඔෆිස් එකේ උන් එක්ක එකතු වෙලා හදන ජාති වගේ අමුතු අමුතු වැඩබිමක් ඒම අපේ ගෙදරක තියේවි නේද.. ඒ ගේ වටේම බිත්ති වල චිත්‍ර ඇදලා, මැටි වැඩ කරලා, සෑහෙන්න පොහොසත් ළමයෙක් ඉපදේවි….
ඔයාට එයාට සිංහක කියා දෙන්නත් පුලුවන්.. මං ඉංග්‍රීසි , හින්දි, ජපන් කියලා දෙන්නම් ….. කියවන්න දෙන්නම්…
ඒම කොණ්ඩේ බොකුටු බොකුටු මම තරම්ම උසසසම උසසස කොලු පැටියෙක් උපන්නොත් ඒම ඌව සෑහෙන්න ලොකු මනුස්සයෙක් විදියට පොහොසත් කරවලා අපිට ලෝකෙට පවරලා දෙන්නත් පුලුවන්..
කැට තියන්න පුලුවන් ආදර හීන පේනවා අසේකා ….
මං සෑහෙන උමතුවකින් ආදරේ කරන එකම ගෑණි ඔයා කියලා මං කැට තියලා කියනවා..
ආයේ වෙන තැනක මට මෙච්චර ප්‍රේමයක් නඩත්තු කරන්න බැරිවේවි …”
මහේල ගේ කියවීම අවසන් වන විට මගේ නෙත් දාර දිගේ කඳුලු වැක්කෙරෙන්නට ගත්තේය. මම ඔහුගේ කොපුල් දෝතින්ම ගෙන ඉම්බෙමි. හඬ හඬා ඉම්බෙමි
ඒ ප්‍රේමණීය හීන වලට අත්වාරුවක් වෙන්නට මට වචන ගැලපුණේ නැත. ඒත් ඒ හැම හැඟීමකම තනි රකින්නට මට හැකිවග පමණක් හැම හාදුවකම දවටමින් මම හැකි හැම තැනකම පොරොන්දු තිව්වෙමි.
| අපේක්ෂා ගුණරත්න |