(අ)හිමි සිහින -216

හැමෝගෙම ජීවිත කතා එකිනෙකට වෙනස්.ඒවා කවදාවත් ඒකාත්මික වන්නේ නැහැ.බොහෝවිට මට මුණගැසී ඇති අයගේ ජීවිත කතා ඇසූවිට මගේ කතාවේ මා වින්ද දේවල් සැපතක් බව වඩ වඩාත් තහවුරු වෙනවාකවදාවත් ජීවිතය ආපස්සට කිසිදා නිවැරදි කරගත නොහැකි සමහර ජීවිත කතා තිබෙනවා.ඒවා සිදුවන්නේ අප සංසාරේ කරන්නට යෙදෙන කුසල් අකුසල් හා කර්ම ශක්තිය මතයි.ඒ හැම ජීවිතකතාවකටම අනන්‍යතාවක් හා පෞද්ගලිකත්වයක් තිබෙනවා.

සුධාරක ගේ ජීවිත කතාව වෙනමම එකක්.එය ඔබ දන්නවානම් ඔබේ පපුව පැලී යනු ඇති.හතර වසරේ සිට ගෙදරින් පිටමංකල කුඩා දරුවෙක්.දරුවන් නැති තම නපුරු නැන්දා ලඟට යැවුනු දරුවෙක් කුසට අහරක් හෝ නොලැබ ඇගේ නිවසේ බැලමෙහෙකම් කල සැටි..ඔහු ජීවිතයේ දරුණු ලෙස තමන්ගේම උන් අතින් රැවටුන හැටි..
අනේක දුක්ඛ දෝමනස්සයන් විඳගෙන රට ජාතිය දිවිහිමියෙන් රැක්ක හැටි.තමන්ගේම උන්ගේ සාහසික සැලසුම් නිසාම අකාලයේ ජීවිතයෙන් සමුගත් හැටි…ඒක වෙනමම කතාවක්. එහි පංගුකාරියක වූ මා ඔහු වෙනුවෙන් කල කිසිවකට ලැබෙන නින්දා අපහාස පවා කනකට නොගන්නේ හා ඒවා තඹයකට මායිම් නොකරන්නේ ඒ නිසා.

එහෙම ගෙවුණු ජීවිතයක අවසාන ගමනටයි අද මා මේ ඇවිත් ඉන්නේ.ආදරයක් සෙනෙහසක් සහනයක් සැනසීමක් නැති තැනක මිනිසෙක් හෝ ගැහැණියක් ඉදිරිය ගැන තමන්ට ගන්නට හැකි බරපතල තීරණ ගන්නේ ඉවසා ඉන්නට බැරිම තැනයි.ඒ ඉවසීමේ සීමාව ඔහුට හෝ ඇයට මිස වෙන කෙනෙකුට තීරණය කරන්නට සදාචාරාත්මක අයිතියක් ඇතැයි මා සිතන්නේ නැහැ.

අසංක සමග සිදුවු මගේ විවාහයේ නොගැලපීම් හා පසුබෑම් හමුවේ සමාජයට බියේ මා සිටියානම් අද වනවිටත් දුකින් බර ජීවිතයක මමත් සිරවී විඳවිමින් ඉන්නවා.කාගේ හෝ සිත සුව පිණිස මගේ ජීවිතය වේදනාවෙන් කාලකන්නි කරගන්නට යැයි කියන්නට කාටවත් අයිතියක් නැතැයි සිතමි.අවශ්‍ය වන්නේ එක දෙයයි.නොගැලපෙන තැනකින් ගෞරවාන්විතව සමුගැනීමයි.මා ඒ කිසිවකුගෙන් පලිගන්නට ඔවුන් අපහසුතාවයට පත්කරන්නට ක්‍රියා කලේ නැහැ.එය අදටත් මට අපමණ සහනයක්.තැවෙන්නට දැවෙන්නට හැංගී ජීවත්වන්නට ඒ නිසා අවශ්‍යතාවයක් මට නැහැ

පාට් 1 කියවීමෙන් අනතුරුව අවසන්වරට දේහයට ගෞරව දක්වන්නට පැමිණ සිටි අයවලුන්ට ඉඩ ලබාදීමේ අවස්ථාව උදා වුණා.ඒත් එහෙම අවස්ථාවක් නැති බවට මට අවට සිටි අයගේ කුටු කුටු ශබ්දය විසින් තහවුරුකරමින් සිටියා.මා එතැනට ගියේම එන ඕනෑම අවස්ථාවකට මුහුණදීමටයි.

මට අවශ්‍යව තිබුණේ ඔහුට ආදරය කල ඔහු ජීවත් කළ ඔහුව ආරක්ෂා කල හදවතේ බිරිඳ ලෙස ඔහුගේ අවසාන මොහොතටත් බිරිඳක විසින් මා කළ යුතුව තිබූ අවසාන යුතුකමත් ඉටුකරන්නටයි.මේ අවසන්ගමන යන මිනිසාගේ ජීවිතය බේරාගන්නට උප්පැන්න සහතිකය හා විවාහ සහතිකය හරස් වුණා.ඒ නිසා ඔහුගේ අවසාන ගමනටත් ඒවායේ ඇති වැදගත්කමක් ඇතැයි ඇත්තටම මම හිතන්නේ නැහැ.

නැවතත් කිහිපදෙනෙකු සමග යම්කිසි කතාබහක් යනූ පෙනුණු අතර නැවතත් චිතකයට ගෙනයනු සඳහා සෙබලුන් ඒ වටා රැස් වුණා.ඔව්….සුධාරකගේ දෙකකුල් අල්ලා වඳින්නට මට බැරිවෙයි ඒත් ඔහුගේ පෙට්ටියට අතගසන්නට හෝ ඔහුගේ අනුරාධා මේ අවසන් මොහොතෙත් ආ බව ඔහු කොහේහෝ සිට දකින්නට ඇති.කලබලය අස්සේ උවත් දුවටත් ප්‍රශ්න ගනනක් ඇගේ අම්මාගෙන් ඇසීමට ඇයට තිබුණා.

“අම්මා අපිට අප්පච්චි බලන්න දෙන්නෙ නැද්ද? මට මේ ලියුම එයාට දෙන්න ඕන”

” නෑ පුතේ ඒ ඉන්නේ අපේ අප්පච්චි නෙවෙයි. මේ පෙට්ටියේ ඉන්නේ වෙන කෙනෙක්.අපේ අප්පච්චි හරිම ලස්සන හරි ප්‍රෞඩ කෙනෙක් නේ.එයා ඉන්නේ අපේ හිතේ. අප්පච්චි හරි ලස්සන කෙනෙක්.එයා ඒ විදියටම හැමදාම අපේ හිතේ ඉඳීවි”

එක් අතකට මට සුධාරක ගේ වැහැරී ජරාජීර්ණව ගිය සිරුර දකින්නට නැතුවාට කමක් නැහැ ඔහු ඉතාම කඩවසම් ලෙස ප්‍රතාපවත් බවින් යුතුව ඉන්නවා මගේ දෑසට දැක ඇති සේම ඔහු ගේ රුව මගේ මනැසේ රැඳුනාවේ.ඔහුගේ රූපය දැක ඔහුට ආදරයක් සිතුනත් ඔහුගේ ගතිගුණ හා මනුස්සකමටයි මා බෙහෙවින් ආදරය කලේ.ඒ නිසා මම දේහය දකින්නට නොලැබුණා යැයි හඬා වැලපුණේ නැහැ. කොහොමත් මා ඔහුට ආදරය කලේ ඉතා දරුණු සටන් පැවති දුරකථන පහසුකම් පවා නොතිබූ කාලයේ.ඒ නිසා රණවිරුවෙකු සේ ඔහු යුධ බිමේ මියගියානම් සමහරවිට මට ඔහු දැකගන්නට හෝ නොලැබෙන්නට තිබුණා.රණවිරු පෙම්වතියක් රණවිරු බිරිඳක් වූ මා ඒ දරාගැනීමට සූදානම් වී බොහෝ කල්.

සුධාරකගේ දේහය සොල්දාදුවන්ගේ කරමතින් ගොස් චිතකයේ තැන්පත්කෙරුණා.එයට දුව ලවා අතගස්වා වැන්දවූ මා ඇය මගේ ලඟම සිටි සහෝදරියගේ යෙහෙලියකට බාරකර චිතකය ඇතුලටම ගියා.

“මම මේ සර්ගෙ නෝනා මට පෙට්ටියට අතගහන්නට ඕනෑ”

එය බාරව සිටි අය මට ඉඩදී පසෙකට වුණා.චිතකය තුලටම ගිය මා සුධාරක ගේ පෙට්ටියට අතගසා මගේ හදවතේ තිබු දේ සෙමෙන් ඔහුට කීවා.

“මගෙ රත්තරන් ඔයා බලන්න මං ආවා. අදින් පස්සේ ඔයාව රිදවන්න ඔයාව අපෙන් ඈත්කරන්න කාටවත් බෑ.මීට පස්සෙ ඔයා ඉන්නේ අපිත් එක්ක ඔයාගේ ගෙදර.මෙච්චර කල් මම ඔයාවෙනුවෙන් ඉටුකලේ වගකීම්.අද ඉඳලා මට කරන්න තියෙන්නේ යුතුකම්.මං ඒ සියල්ල කරනවා මගෙ මැණික.සුදු බේබි ඔයාට ලස්සන චිත්‍රයක් ඇන්දා.ඔයා හැමදාම ඉන්නේ අපි heart එකේ.ඉතින් එහෙනම් මේ භවයට විරාමයක් තියන්න වෙලාව ඇවිත්.ඔයා දන්නවනේ හැම ආත්මයකම හමුවීමක් අපිට තියෙන්නේ එතකන් ඔයාට සුව නින්දක් මගේ පණ.පරිස්සමට යන්න”

නැඹුරුවී පෙට්ටියට නලල තබා වැන්ද මා දුව සුධාරකට දුන් කොලය පෙට්ටිය මත තබා චිතකයෙන් මෑත් වුණා. ඒ සැනින් ස්වයංක්‍රීය චිතකයේ දොර වසා දැමුණා. එයින් නොනැවතුන මා මවිසින් ඔහුගේ මරණ මංචකයේ දී කලයුතු අනෙක් යුතුකම ඉටුකිරීමට සිතාගත්තා ඒත් එය ලෙහෙසි වූයේ නැහැ

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles