පෙමාතුර -43

ඉෂිනි අපේ අම්මාවත් පුංචීවත් සිප ගත්තා ය. ඒ අතරේ මගේ ඇස් නතර වී තිබුණේ විසල් ගේ ඇස් මතයි. ඒ ඇස් මට කියමින් සිටියේ එක ම කතාවකි. ඒ තව දුරටත් මට ආදරේ බවයි. මතුවටත් මට ආදරේ බවයි. සසර පුරා මට ම පෙම් කරනා බවයි. 

‘එන්නම් කියා ගියා නම්

ඉන්න තිබුණා බලං

යන්නම් වත් නො කියා ගියෙන්

හිතක් බර මේ තරම්..’

අග්‍රා වේදී විසල් ගේ ප්‍රථම විද්‍යුත් ලිපිය කියවූ සන්තාපයෙන්, ඔහු ගේ සිතින් මා කුරුටු ගෑ පද පෙළ මට සිහි විය. මා ඔහු ට යන බව කියා ගියා නම් විසල් මේ දේ සිදු වෙන්නට නො හරින බව මම ඉඳුරා දනිමි. ඔහු ට කවර හේතුව මත හෝ මේ තීරණය ගත හැකි වූයේ මා නැත්තට ම නැති වූ හින්දා ය. ඔහු ට තව දුරටත් බලාපොරොත්තුවක් නොමැති වූ හින්දා ය. නමුත් ඒ ආදරය එතැන එහෙම ම ඉතිරි වී තිබේ.

“මෙයාගෙ ලස්සන බලන්නකො”

ඉෂිනි මවෙත ආවේ එසේ කියමිනි. මා ඇය ට හාදුවක් දී සුබ පතන්නට කලින් ඇය බලයෙන් වාගේ මා සිප ගත්තා ය.

“විෂ් යූ අ හැපි වෙඩඩ් ලයිෆ්”

මම ඇයට මිමිණුවෙමි. විසල් ගේ අත අල්ලා සුබ පතන්නට මට හිතුණේ නැත. මා එහෙම කළොත් ඔහු ට දුක හිතෙනු ඇතැයි සිතුණේ ය. සමහර විට ඔහු හඬන්නට වුව බැරි නැත. මට දැනෙමින් තිබුණේ ඒ තරම් ඝණීභවනය වූ හැඟීම් පොදියකි. ඔහු පා වෙමින් සිටියේ කඳුළු වලාකුළු වලින් ගහන ආකාස තලාවක ය.

“එන්නකො කිසා”

කියා ඉෂිනි මගේ අතකින් ඇද ගෙන යන්නට වූයේ මා කිසි සේත් අපේක්ෂා නො කළ මොහොතක ය. ඇය ගියේ ප්‍රධාන දොර දෙසට ය. කිසිවක් කර කියා ගත නො හැකි ව මම ඇය පසු පස ඇදී ගියෙමි. දොර හැර ගෙන උද්‍යානය වෙත ගිය ඕ එහි වන ගොල්ඩන් බෙල් මල් ආරුක්කුවක් යට බංකුවක හිඳ ගත්තා ය. මගේ අභ්‍යන්තරය කොයි තරම් වේගයෙන් ගැහෙමින් තිබුණා ද කියන්නට මම නො දනිමි. ඇය මේ වෙලාවේ මේ විදිහට හැසිරෙන්නේ ඇයි?

“මං වින් කළා කිසා”

ඇගේ ඇස් දිළිසිණි. නමුත් ඈ අදහස් කළ දේ මට තේරුණේ නැත.

“මං දැනං හිටිය විසල් ආදරේ කරන්නෙ ඔයාට කියල”

ඒ නම් පපුවේ හරි මැද බලා එල්ල කරන ලද බෝම්බයකි. මා කැඩී බිඳී විසි වී යන සෙයක් මට දැනිණ.

“හැබැයි මමයි දිනුවෙ. මීට පස්සෙ එයා මගෙම විතරයි. මන් දන්නව ඔයා පැත්ත පලාතකට එන්නෑ කියල. ඔයා අතුරුදහන් වුණෙත් මේ ප්‍රශ්නෙට බයෙං කියල මන් දන්නව. ඒ ඔක්කෝටම වඩා…ඔයා අහිංසකයි කියල මං දන්නව. දෙයියංගෙ නාමෙට අපිට මේ ජීවිතේ පාඩුවෙ ගෙවන්න දෙන්න. ඕගොල්ලංගෙ ගෙදර අය කියන විදිහෙ ආදරේ කියල බම්බුවක් නෑ. මෙන්න මෙච්චරයි තියෙන්නෙ. දැන් එයා මගෙ. මං හිතුව ආත්ම ශක්තියක් තියෙනවනං ඔයා කොහේ හිටියත් වෙඩින් එකට එයි කියල. ඒ නාවත්…ඔයාගෙ ගෙදර අය කිව්වෙ නැතත් විරංගගෙන් හරි ඔයා දැන ගන්න ඕන නිසා තමයි මං විරංගටත් වෙඩින් එක ගැන කියල ඉන්වයිට් කළේ. දැන් ඉතින් ඔක්කොම මං හිතුව විදිහටම වුණානෙ. ඔයා විසල්ව අමතක කරල විරංගව බැඳල හොඳින් ඉන්න”

එපමණක් කියූ ඕ බංකුවෙන් නැගිට යළි ශාලාව වෙත ආවා ය. මම ඇය පසු පස ගාට ගාටා පැමිණියෙමි. විසල් හෝ ඔවුන්ගේ මවු වරුන් අපේ මේසය අසල වූයේ නැත.

“මං මෙයාට කිව්වෙ…දැන් ඉතින් මේ දෙන්නගෙ වෙඩින් එක තමයි කියල. ඔන්න විරංග අපිවත් අමතක කරන්න බෑ හරිද…”

මා පුටුව මතට වැටුණේ මළ මිණියක් සේ ය. සුදු මැළි වූ මුහුණ මත පින්තාරු කර ගත් මඳහස වුව කෘතීම වූයේ ය. නමුත් තව වෙලා ඇති බව මම දැන සිටියෙමි. අප ට දැන් ම නික්ම යා නො හැකි ය.

විනීත ඔසරියකින් සැරසී අහිංසක ලෙස හිනහී සිටින ඉෂිනි තුළ වන්නේ කෙතරම් නපුරු රුදුරු ආත්මයක් දැයි මට සිතිණ. ඇය අහිංසකයි කියා මුල සිට ම සිතු මා මුලා වී තිබිණි. එදා අඅය බීර කෑන් ටිකක් සමග මගේ කාමරයට විත් නැටූ පිස්සුවට පෙරත්, අප ගැන ඇය දැන සිටින්නට ඇත. ඔහු පෙම් කරනා ගැහැනියට කම්මුල් පහරක් දිය යුතු බව ඈ කීවේ හිතා මතා ම බව පෙරපර ගලප ගත හැකි වන්නේ දැන් ය. ඇය දැන දැන ම මා හා තරඟයක් කොට තිබේ. ඒ තරගයෙන් කෙසේ හෝ දිනුම ලබා ගැනීමේ අරමුණෙන් සිටි ඕ අවසානයේ පැතු ජයග්‍රහණය අත් පත් කොට ගෙන තිබේ. නිහඬ ව නොසිටි මගේ මුහුණට ඒ බව පැවසීමෙන් ඇය කුරිරු සතුටක් ද ලැබුවා ය. 

නමුත් ප්‍රේමය කියනා දේ ඇය හඳුනන්නේ නැත. ඇය විසල් ගේ වැලමිට සන්දියෙන් අල්ලා ගෙන සිටියදීත් ඔහු ගේ ඇස් වල ආදරය දැල්වෙන්නේ මා වෙනුවෙන් බව ඇය දන්නේ නැත. ජීවිත කාලය ම ඇය ඔහු ව සිය භාරයේ සිය යහනේ තබා ගෙන උන්නත් ඔහු ගේ හිත තිබෙන්නේ මා ළඟ බව දන්නේ නැත. මගේ දෙතොල් මතට සිනහවක් නැගුණේ ය. එය වූ කලී කෘතිම සිනහවක් නොවේ. සමච්චල් සිනහවකි. මගේ ඒ සිනහව ළඟ ඉෂිනි ගේ ජයග්‍රාහී හැඟීම අළුයම ලූ කෙළ පිඬක් සේ අහෝසි වී යනු ඇති බව ඈ දන්නේ නැත. 

ඒ සිනහවත් එක්ක මගේ සියලු දුර්වලතා යටපත් ව ගියේ ය. මම යළිත් සැබෑ කිසා ලෙස ශක්තිමත් ව නැගී සිටියෙමි. සිනහ වෙමින් කතා කරමින් ස්වභාවික ලෙස හැසිරුණෙමි. මගේ ඒ හැසිරීම, මා කිසි සේත් පරාද නොවූ බව ඉෂිනි ට තේරුම් කෙරුවාද කියන්නට මා දන්නේ නැත. 

දිවා භෝජනයෙන් අනතුරු ව මනාල යුවළ පිටත් ව යාමේ නැකත ලං ව ආවේ ය. මම හැකි තාක් විසල් ගේ ඇස් මග හැර සිටියෙමි. ඔහු කාගේ සැමියා වී නික්මුණත් ප්‍රේමය තියෙන්නේ මා ළඟ බව දැන් මට ප්‍රත්‍යක්ෂ ය. ප්‍රේමය යනු කාලය හා අවකාශය ඉක්ම යන්නා වූ මානව චිත්ත තරංග සමූහයකි. ප්‍රේමය අකාලික ය. මේ ආත්ම භවය අතික්‍රමණය කොට වෙනත් එකක් දක්වා වුව සංසරණය විය හැකි ය. හිමි වුණත් නැතත් එයට පැවතිය හැකි ය. ඉෂිනි අදහන්නේ හෝ ඇගේ අවබෝධතා සීමාවෙහි වන්නේ හිමි කර ගැනීමක් ගැන පටු වූ සිතිවිල්ලකි. මට ඇයත් සමග තරගයක් නොවන බව පවා ඇය නොදනී. 

වේදිකාව සංගීතයෙන් හා නර්තන අවකාශය නැටුමෙන් සමලංකෘත ව තිබි එක නිමේශයක මහා හඬක් නැගුණේ ය. සියල්ල මොහොතකට නැවතිණ. ඒ පෙරළුණ මේසය ළඟ විසල් හිටගෙන සිටියේ ය. එය පෙරළා දැමූවේ ඔහු බවට ඒ මුහුණ මට කීවේ ය. මේසය මත වූ වීදුරු හා මල් බඳුන් බිඳී වීදුරු කටු සී සී කඩ විසිර ගියේ ය.

“ඒක මිස්ටේක් එකක්. ඉට්ස් ඕකේ..ඉට්ස් ඕකේ…කට්ටිය ඩාන්ස් කරන්න අවුලක් නෑ”

ඥාත්වරයෙකු යයි සිතිය හැකි කෙනෙක් අමුත්තන්ගේ අවධානය ඒ සිදුවීමෙන් ඉවත් කරන්නට තැත් කළේ ය. නමුත් මගේ ඇසත් කනත් සිතත් පැවතුණේ ඔහු ළඟ ම ය. විසල් දත් මිටි කන බවක් ද අත මිට මොලවා මේසයකට ගසනු ද මම දුටිමි. 

“ඔයා මේ විදිහට හැසිරෙනවනං අද මෙතනිං අරං යන්න වෙන්නෙ අම්මගෙ මිණිය තමයි පුතා. අන්න ඒක මතක තියා ගන්න”

පුටුවක් මතට වැටුණ විසල් දෝතින් මුහුණ වසා ගත්තේ ය. අපේ අම්මා අසුනින් නැගිට ඔහු වෙත ගියා ය.

“පුතා…විසල්”

ඇය ඔහු ගේ හිස මත අතක් තබා කතා කළා ය. විසල් දෑත් මෑත් කොට අම්මා දෙස බැලුවා ය.

“මෙච්චර ලස්සනට හැම දේම වුණ එකේ…ඉවසීමෙන් ඉතුරු ටිකටත් මූණ දෙන්න පුතා. අම්මගෙ අසනීපෙ ගැන මං පුතාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. සන්සුන් වෙන්න”

මම වියරු සතුටක් වින්දෙමි. ඒ ඉෂිනි ගේ බිය පත් මුහුණ දුටු නිසා ය. එසේ ම විසල් ගැන ස්නේහය සිය දහස් ගුණයකින් ඉහළ නැංවෙනු ද දැනුණේ ය. ඔහු ට ප්‍රසිද්ධියේ ඒ ප්‍රතික්ෂේපය කිරීමට තරම් ධෛර්යයක් තිබීම ගැන මම යටි හිතින් සතුටු වීමි. ඒ විවාහය මෙතනින් කෙළවර වනු දකින්නට මට ඕනේ නැත. එහෙව් දරුණු සිතක් මට නැත්තේ ය. නමුත් මේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් විසල් සංකේතවත් කරන ලද්දේ තව දුරටත් මා කෙරේ වන ආදරය යයි සිතන්නට මට ඕනා විය. 

ඔවුන් නික්ම යන්නට මංගල රියට නැගෙත්දී නම් මගේ පපුව දැවුණේ ය. කිහිප වරක් ම ඇස් ද තෙත් විය. මම ඒ සියල්ල සිනහවකින් මුවහ කර ගෙන විරංග ගේ රියට ගොඩ වීමි. ඊට පෙර එක වතාවකට විසල් ගේ ඇස් මට ආදරෙයි කියා නො කියා කීවේ ය.

“දරුවෙක්ව වුණත් ඒ විදිහට අම්ම කෙනෙක් ඉමෝශනලි බ්ලැක් මේල් කරන එක කොච්චර වැරදිද..”

අප බෝ දුරක් නිහඬව ම පැමිණිමෙන් පස්සේ අම්මා සුසුමකට මුසු ව කීවා ය. 

“එහෙම දේවල් මේ වගේ යුගයකත් මේ ලෝකෙ හැම තැන ම සිද්ද වෙනව කියන එක හරිම ඛේදවාචකයක්”

විරංග විසල් වෙනුවෙන් ඒ විදිහට හෝ වචනයක් කීම මගේ චිතකයක දැනෙන හදට යම් සහනයක් විය.

“මතකද දේව් දාස් එකේ දේව්. පාරෝව බඳින්න ඒ අම්ම ඉඩ දුන්නෙ නෑ. දේව් ජීවිතේ විනාස කර ගත්ත. ගණිකා ගුබ්බෑයමක බීල බීල…අන්තිමට පාරෝ ගෙ දොරකඩ වැටිල මැරිල ගියා”

පුංචී, ඇය දහස් වරක් නැරඹූ දේව්දාස් ගැන කීවා ය. මම දෙතොල් තද කොට පියා ගතිමි. කොයි තරම් තදින් ඇස් පියා ගත්ත ද කඳුළු නවතා ලිය නො හැකි විය. මම කිසිත් නතර කරන්නට හෝ වහන් කරන්නට නො ගියෙමි. අඩු තරමින් මට අඬන්නට හෝ අයිතියක් තිබිය යුතුවා නොවේ ද?

“මනුස්සයෙක් වුණාම ලව් බ්‍රෙක් එකකින් පපුවෙ තුවාලයක් හැදෙන්න ඕනමයි කියල මට හිතෙනව”

ඇස් පියා ගෙන සිටියදී විරංග කතා කරනවා ඇසිණි. මට ඒ කකා ගැන හිතන්නට නම් ඕනෑ වූයේ නැත.

“ඒක ඇත්ත”

පුංචී ඔහු ව අනුමත කළා ය. 

“අපිට ඕන කියල හිතුණ දෙයක් කිසි මහන්සියක් නැතුව ලැබෙන එකෙන් වෙන්නෙ අපිට ඒකෙ කිසි අගයක් නොදැනෙන එක. තුවාලයක් කියන්නෙ අපිට නොලැබුණ දෙයක් ගැන මතක වටිනාකමක්”

අප ගෙදර ආවේ රෑ වී ය. අප ට පසු ව නදීරා ආවා ය. දෙවැනි ගමන සඳහා ඉෂිනි හැඩ ගැන්වීම විසල් ගේ අම්මා ගේ කැමැත්ත මත භාර දී තිබුණේ ඇය දන්නා කෙනෙකුට ය. මහන්සිය ගැන නො හිතා තවත් රෑ බෝ  වන තුරු විරංග අප සමග කතා කරමින් සිටියේ ය. තනි වීම මත මා දරා ගත නො හැකි ව හඬා වැටෙතැයි ඔහු සිතන්නට ඇත.

“විසල් මාර අවුල් අප්ප. ඒ කොල්ල උගෙන්ම පලි ගනියි මේ විදිහට ගිහින්. මට ඒ අම්ම එක්ක පුදුම කේන්තියක් තිබුණෙ. අර ගොං හරකිටත් මං කියල දුන්න පුළුවන් හැටියට. ඒකිනං කවදාවත් තේරුං ගන්න එකක් නෑ”

නදීරා කුස්සියේ සිට පුංචී සමග පවසනු, මා එහි යත්දී මට ඇසිණ. නමුත් මා දකිත්දී ම ඕ කතාව නතර කළා ය. මතුවට ඔවුන් මට ඇහෙන්නට විසල් කියන නම හෝ නො කියනු ඇත. නමුත් මගේ ඇට මස් ලේ නහර වල කැළතුණු ඔහු ගැන මතකය ඉවත් කර දමනට සමත් කෙනෙකු මේ මිහි මත උපදිනු ඇත් ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...