(අ)හිමි සිහින -52

සූපවේදිනියක ලෙස ඉදිරියට යනකොට නිරන්තරයෙන් යාවත්කාලීන වෙන්න ඕනෑ.නැතිනම් එකම තැනක ඉන්නවා මිස ඉදිරියට යන්න අපහසුයි.මම විවිධ විභාග කරමින් මගේ මාවත තවතවත් එළිපෙහෙළි කරගත්තා.ඒ වගේ මගේ කතා කිරීමේ හැකියාවත් මට බොහොම ප්‍රයෝජනවත් වුණා.

“අපිට දෙයක් පුලුවන් වගේම ඒක කාටහරි කියා දෙන්න පුලුවන් වීමත් හැකියාවක්..”

ඉංග්‍රීසි භාෂා හැකියාවත් බොහෝ ක්ෂේත්‍රවල ඉහළට යන්න හැකියාව තියෙනවා.යාවත්කාලීන වෙමින් උගෙන ගනිමින් ජීවත් වෙන්න.ඔබ කරන ඕනෑම රැකියාවක පැවැත්මක් තනා ගැනීම බොහොම පහසුයි.

මම රට වටේ ඇවිදිමින් නිදහස් සහ සැහැල්ලු ජීවිතයක් ගෙවන්න පටන් ගත්තා.මට ඒ ජීවිතය මහා සැහැල්ලුවක් අරන් ආවා.හේතුව තමයි මට දැනුණු පාළුව සහ තනිකම ඉන් තුරන් වී යාම.අම්මා තාත්තා එක්ක ගෙදර තනියම ජීවත් වෙනකොට මොකක්ද පාලුවක් මට ඇත්තටම තිබුණා.

අම්මා ක්ලාස් එකේ දොර ගාවටම ගිහින් ඇරලපු අනුරාධා රට වටේ තනියම ඇවිදින්න ගන්න කාලයක් උදා වෙලා තිබුණා.ඒක හරිම සුන්දර කාලයක්.අත්දැකීම් පිරුණු කාලයක්.සහායක සහ රියදුරු දෙන්නාම පිරිමි.ඒකත් සමහර මිනිස්සුන්ට මහ අමුතු දෙයක්.ලංකාවේ හැටිනෙ!

“ඒ වගේ තමන්ගේ ඇස් දෙකෙන් ලෝකේ බලන මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න අමාරුයි”

ඒක එහෙම නිසාම මේ රට දියුණු කරන්න අමාරුයි කියලා මට හිතෙනවා.අනුන්ගේ හැම දෙයක්ම නූලට හොයන මිනිස්සු එක්ක තමයි ජීවත් වෙන්න අමාරුම.

අපි හැමදාම අපේ ගෙදර තියන කුණු එළියෙන් තියලා අනුන්ගේ කුණු අවුස්සනවා.ඒක ගඳ නැද්ද? ඇත්තටම කුණු රසට කැමති මිනිස්සු එක්ක ජීවත් වෙන්න අමාරුයි.හැබැයි එහෙම නැති මිනිස්සුත් ඕනෑතරම් ඉන්නවා.මිනිස්සු ආකල්ප තමයි වෙනස් කර ගන්න ඕනෑ.මිනිස්සු දියුණු වෙන්න පටන් ගන්නේ අන්න එතන ඉඳලා.

“දැන් ඉස්සර වගේ එහෙ මෙහෙ යනකොට අම්මා පස්සෙන් එන්න හැදුවෙ නැද්ද?”

අම්මා දැන් මට පරිණත ලෙස දේවල් කරගත හැකි බව අවබෝධ කරගනිමින් ඉන්න ඇති.ඇත්තටම රට වටේ තනියම ගියත් හෝටල්වල දවස් ගණන් නැවතෙමින් ඇවිද්දත් මගේ ආරක්ෂාව මම සලසා ගන්න මම ඉගෙන ගනිමින් හිටියා.

“තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න ඕන තමන්!තමන් ජීවත් වෙන්න ඕන තමන් ගැන බලාගන්න පුලුවන් විදියට..”

ඒක මම මටම උගන්වමින් හිටියා.ඇත්තටම ගැහැනියෙක් ට ආරක්ෂකයෙක් අවශ්‍ය නැහැ.ඇයට පුලුවන් තමන්වම පරිස්සම් කරගන්න.ඒක බොහොම තදින් ඉගෙන ගන්න මට ඒ කාලයේදී පුලුවන් වුණා.හෝටලයක නවතින්න ගියාම රහසිගත කැමරා තියනවද,රහස් කවුළු තියනවද,තිර රෙදි එහෙමෙහෙ වෙලාද කියලා බලමින් මම ප්‍රවේසම් වෙන්න පටන් ගත්තා.අවදානමක නොවැටී ප්‍රවේසම් වීම ජීවිතේ ගැටළු බොහොමයක් අපිට නැති කරනවා.දෙයක් වුනාට පස්සේ දුක් වීමත් ජීවිතය හානි කර ගැනීමත් මට නම් කොහොමටත් කරන්න ඕනෑ වුණේ නජ.මගේ ජිවිතේ සිද්ධ වුණු දේවල් එක්ක මට තිබුණු පන්නරය ටිකක් වැඩියි.ඒත් මම මේ කියන දේවල් වැදගත් ඉස්සර හිටපු මම වගේ පොඩි නංගිලාට. අම්මා පස්සෙන්ම ඉන්න නිසා පාර පනින්නවත් දන්නේ නැති ගෑනු ළමයි කොච්චර නම් ඉන්නවද?

රට වටේ ඇවිදිනකොට ආයේ කසාද බඳින්න හිතුණෙම නැද්ද?

මට එහෙම ප්‍රශ්නයක් ඇවිත් තිබුණා.

“සුධාරක ඉන්නේ කොහෙද කියලා හොයන්න හිතුණෙම නැද්ද?”

සමහරු එහෙමත් අහපු බව මම දැක්කා.ඕවත් ඉතින් ප්‍රශ්න තමයි.විසඳාගත්තේ කොහොමද කියලා හෙමින් හෙමින් කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles