පෙමාතුර -03

ටෙලිපති යාන්ත්‍රණය මත හෝ අපේ චිත්ත තරංගයන් ඒ තත්පර කිහිපය තුළ සිත් අතරේ හුවමාරු වූවාද කියා නො දනිමි. කෙසේ වෙතත් මගේ කැළඹීම ඔහු වෙතින් ද මට දැනුණා කියා සිතමි. ඇතැම් විට මටත් වඩා ඔහු නො සන්සුන් ව සිටියා වන්නට පුළුවන. මගේ සෘජු බැල්ම ට ඔරොත්තු දී ගත නොහැකි ව ඔහු ඇතුළට ගියේ ය.

මගේ දෙතොල් මත ට මන්දස්මිතයක් විත් නැවතිණ. ජයග්‍රාහී හැඟීමක් හදවත වාං දමමින් තිබිණ. මගේ ප්‍රේමය වෙනුවෙන් මාත් එක්ක ම අරගල කරන්නට සූදානම් බවක් යටි හිත මුමුණා කීවේ ය. නදීරා කීවේ ඇත්තකි. ප්‍රේමය නිසා ප්‍රඥාව පහළ වේ!

මම ඉක්මනින් සූදානම් ව පිවිසුම් දොරටුවෙන් පිටතට ගියෙමි. තව සුළු මොහොතකින් ඔහු ගේ රිය නික්ම යන බව මම දනිමි. මාවත මා ඇවිද යත්දී ඔහු අර එක දවසක වාගේ රිය නවතා ගෙන මට කතා කරනු ඇත. එදිනට වඩා දැන් අපි හඳුනන්නෙමු. එදා ඔහු කවුද කියා හෝ මා දැන සිටියේ නැත. අද නම් මම දෙවරක් කතා කරන්නට ඉඩ නො තබා රියට ගොඩ වෙමි.

හීන ගොඩක් මත මා ඇවිද යමින් සිටියත්, ඔහු රිය නතර නො කොට ගියේ ඒ සිහින කුඩු පට්ටම් වී යන සේ ය.  නමුත් පුදුමය නම් දුකක් හෝ කේන්තියක් වෙනුවට මට සිනහ නැගීම ය. 

පාරට බැස්සාට මට අරමුණක් වූයේ නැත. මම ස්ථිර රැකියාවක් නොකරමි. හිතට එන හිතුවක්කාර සිතිවිලි හිතුණ විට ලියවිලි බවට පත් කොට පුවත් පත් වලට දෙමි. ඉන් ඇතැම් ඒවා පළ වේ. ඇතැම්වා පළ නොවේ. මම ඒවා ගැන නො සොයමි. දැන්වීම් ප්‍රචාරක ආයතනයකට සම්බන්ධ ව නිදහස් පිටපත් රචිකාවක සේ මම වැඩ කරමි. ඒ නිදහස් බවට ප්‍රිය කරමි. 

මේ වෙලාවේ මට ඒ කිසිදු වැඩක් සඳහා යාමේ අවැසිතාවයක් නොවිණි. ටික දුරක් පාරේ ඔහේ ඇවිද ගිය මම යළි හැරී ගෙදර ආවෙමි.

“අක්ක ගියාද…මේ…ෆෝන් එක දාල ගිහින්නෙ”

ගෙතුල සිට කලබලයෙන් පැමිණි සනෝජා පුංචි අම්මා ගේ දුරකතනය අතැතිව වට පිට බැලුවා ය.

“මං හිතන්නෙ අම්ම උදෙංම ගියා. අද මොකද්ද ළමා නිවාසෙකට බඩු වගයක් දෙන්න යන කතාවක් කිව්වනෙ”

එසේ කියමින් ම මම අම්මා ගේ ජංගම දුරකතනය අතට ගතිමි. 

අම්මා සතුටෙන් සිටින්නේ දැන් ඇය කැමති ජීවිතය කැමති ලෙසට ගෙවිය හැකි බැවිනි. ඇය පින් කියා සිතනා දේවල් සිත් සේ කළ හැකි බැවිනි. ඒ සියල්ලටත් වඩා තාත්තා විසින් උල්ලංඝණය කොට තිබි  ඇගේ මානසික නිදහස නැවත ද ඇය ට උරුම වී ඇති බැවිනි. 

සෝෆාවේ වැතිරුණ මම අම්මා ගේ ජංගම දුරකතනය නිකමට ඔබමින් සිටියෙමි. තුරුණු වියෙහි දී ඇය පෙම් කරනා ලද පුද්ගලයා ගේ දුරකතන අංකය තවමත් ඈ ළඟ තිබිය හැකි ද යන සිතිවිල්ල නිකමට මා තුළ ඇති විය. උදේ ඈ ඔහු ව හැඳින්වූයේ සිදත් යන නමිනි. මම ඒ නම දුරකතන අංක ගොනුවෙහි විපරම් කළෙමි. සිතූ ලෙස ම ඒ නම එහි ගබඩා කොට තිබිණ. එය කැනඩාවේ දුරකතන අංකයක් බව ද පෙනෙන්නට තිබුණේ ය. නමුත් ඒ අංකයට කිසි දා ඇමතුමක් ගත් බවක් හෝ ඉන් ඇමතුමක් පැමිණි බවක් හෝ කෙටි පණිවිඩයක් හුවමාරු වූ බවක් හෝ පෙනෙන්නට තිබුණේ නැත. ඒ තරම් සංයමයක් අම්මා ලද්දේ කොහෙන් ද? ආදරය කරනා පුරුෂයා හා සම්බන්ධ විය හැකි සියලු මාර්ග විවර ව තිබියදීත් ඈ මේ තරම් නිවී සැනසිල්ලේ සිටින්නේ කෙසේද? නැවත ඇමතුම් නොදෙනා බවක් ඔහු එදා පැවසූ වග අම්මා කීවා ය. එදා හෝ තාත්තා මිය ගිය පසු හෝ අම්මා ඔහු ගේ මේ අංකය ජංගම දුරකතනයෙහි සුරක්ෂිත කර ගන්නට ඇත.  ඇය එදෙස බලමින් සිතින් ඔහු හා දොඩමළු වෙනවා ද ඇත. ප්‍රේමය ඒ සා බරක් වන්නේ ඇයි?

ප්‍රේමය වූ කලී හිත් ඇතුළේ කළු අඳුරු ගුහා තුළ සදා කාලික ව ගුහා ගත ව තිබී මිහිදන් ව යා යුතු හැඟීමක් ද? ප්‍රේමය වනාහි පාපයක් නොවේ. එය වූ කලී දිව්‍යමය අවස්ථාවකි. එය මන්දර බරක් බව මම පිළිගමි. නමුත් එක අතකට එය පවන් රොදක සැහැල්ලුවකි. අම්මාටත් ඒ අයිතිය තිබේ!

මම මගේ දුරකතනයෙන් ඒ අංකයට කෙටි පණිවිඩයක් ලීවෙමි.

‘සිදත් අංකල්, මං අනෝජා සිරිවර්දනගෙ දුව. අංකල් අම්ම එක්ක කතා කරනවනං මං කැමතියි. ඒක එයාට සතුටක් වෙයි කියල මං හිතනව. ඒත් මං මෙහෙම පණිවිඩයක් තියපු බව අම්ම දැනගත්තෙ නැති වුණාට කමක් නෑ’

මා තැබූ පණිවිඩයෙහි සිංහල අරුත එසේ ය. එය යැවීමෙන් පසු හදවතේ යුතුකමක් ඉටු කළ බවට නිදහසක් මට දැනිණ.

නම නො දන්නා කුළී නිවාස වාසියාට අභියෝග කරමින් ඔහු දෙස බලා සිටීමෙන් ඇති වූ උද්‍යෝගය දිය ව යන බවක් දැනෙමින් තිබිණ. ටික ටික මගේ දෙපා පණ නැතිව ද සීතල ව ද යන්නට විය. මට ඔහු හා පෙම්වතිය මැවි මැවී පෙනෙන්නට ගති. දෙවියනි ඒ කෙබඳු දැවීමක් ද? ඔහු ට පෙම්වතියක සිටියේ ඇයි? මා ඔහු ට පෙම් කළේ ඇයි?

ඔහු ට කිසි දා නො දැනෙන සේ තනිව පෙම් කරමින් මට මේ සඳැල්ලට වී බලා සිටින්නට තිබිණ. නමුත් ඒ ඔහු ට පෙම්වතියක වෙතැයි නො දැන සිටියා නම් ය. ඔහු ත් මට සිතින් පෙම් කරනවායි සිතා මට සැනසෙන්නට තිබිණි. නමුත් ඒ ඔහු ට පෙම්වතියක සිටිතැයි නො දැන සිටියා නම් ය!

දැන් හීන කුඩු පට්ටම් වී තිබේ. රථයක වින්ඩ්ස්ක්‍රීන් එකක් කුඩු වී ගියා සේ මගේ හිත හා හීන මගේ පය පා මුල ම කඩා වැටී තිබේ. 

බැලුමක හුලං බැස යනවා සේ මගේ ආත්මය හිස් වී යනු මට දැනේ. ඉන් පසු එහි කිසිත් නැති වනු ඇත. හිස් කමක් හෝ නැති වනු ඇත. මම අමාරුවෙන් හුස්ම ගත්තෙමි.  එසේ වන්නට දිය නො හැකි ය. මම ඒ ප්‍රේමයට පෙම් කරමි. දැන් මම මගේ ප්‍රාණයටත් වැඩියෙන් ඒ ප්‍රේමයට පෙම් කරමින් සිටිමි. 

“මොකද බං…”

නදීරා ගේ හඬින් මම නෙතු හැර බැලුවෙමි. ඇයට සිනහවක් දෙන්නට ඕනෑ වුණත් මගේ තොල් කොනක් හෝ සැලී ගියේ නැත. මේ සිදු වන්නේ කුමක් දැයි මම නො දනිමි. මේ විදිහට මිය යන්නට මට ඕනෑ නැත. 

“නෑ..”

හිස සලා ‘මුකුත් නෑ’ කියා කියන්නට ගියත් මට ඒ සම්පූර්ණ වැකිය කියවුණේ නැත. උගුර ද දෙතොල් ද වියළී තිබිණි. නදීරා ස්ටූල් එක මා ළඟට ඇද එහි හිඳ ගත්තා ය.

“අවුලක් නේද හිතේ…ඒ අවුල මොකක් වුණත්…සොලියුෂන් එකක් හොයනව මිස මෙහෙම ඉඳල හරියන්නෙ නෑනෙ. මට දැනෙන හැටියටනං ඒක ලව් කේස් එකක්…”

ඇගේ ඇස් තියුණු ලෙස මවෙත දැල්වී තිබිණ. මගේ දෑස් හි වූ බයාදු පරාජිත බව ඇය ට සිය මතය තහවුරු කර ගන්නට අනුබල දෙන්නට ඇත. 

“මං…මං හිතන්නෙ මං…ආදරේ කරන්න පටං අරං…”

ඉතාමත් අසීරුවෙන් මම එසේ මිමිණුවෙමි. වචන පිට වූයේ උගුර යටිනි. 

“ඉතිං..ඕක මහ දෙයක්ද…ඔයා ඉන්නෙ ඔයා කැමති කෙනෙකුට ආදරේ කරන වයසෙ…ඒක බය හිතන්නවත් මෙච්චර ශොක් වෙන්නවත් දෙයක් නෙවෙයි. කිසා උඹ බොහොම හෙල්දි ලස්සන කෙල්ලෙක්නෙ. ඉතිං ආදරේ කරපං. ඒකට මෙහෙම..හුඹහෙං ඇදල දාපු තලගොයෙක් වගේ සුදුමැළි වෙන්න ඕන කමක් නෑ”

“ඒත්..”

“ඔව් ඒත්..මට තේරෙනව එතන ඊට වඩා දෙයක් තියනව කියල”

“එයාට…එයාට…ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව”

“ආ..”

ඇය ද මොහොතකට ඇස් උඩ හිඳුවා ගත්තා ය. නිරුත්තර වූවා ය. මට ඒ නිරුත්තර බැල්ම දරා ගත නො හැකි වූයේ ය. 

සමහර ප්‍රශ්න එහෙම ය. උත්තරයක් පේන මානයක නොවන්නේ ය.  ඒ වෙලාවට අපට මහා ආත්ම අසරණ කමක් දැනෙනා එක වැලකිය නොහැකි වේ. 

අප දෙදෙනා අප වෙත නැඹුරු වී අප වැළඳ ගත්තේ, මට එහෙව් වැළඳ ගැනීමක කරුණාව ඕන ම කර තිබූ වෙලාවක ය. බෝ වෙලාවක් මම නදීරා ගේ උණුහුම ට ගාල් ව සිටියෙමි.

“මගෙ දුව ඔයාට වැඩිය අවුරුදු හතර පහක් බාල ඇති. මොන රටක හිටියා වුණත්…ඔයාට මේ දැනෙන ෆීලින් එක එයාටත් ඕනම වෙලාවක දැනෙන්න පුළුවන්. මේක දරා ගන්න ගෑනු අපි ශක්තිමත් වෙන්න ඕන කියල විතරයි අපිට කියන්න පුළුවන්. හිත හයිය කර ගන්න කිසා”

“මං හිතුව මං හුඟක් හයිය කෙල්ලෙක් කියල”

“ඔයා හයියයි තමයි. අරහම වෙන්න මෙහෙම වෙන්න කියල මං කියන්නෙ නෑ. මේකට ෆේස් කරන ඔයාගෙම විදිහක් ඇති. ඔයා ඒක හොයා ගනියි. එතකං ඔයා ඔහොම ඉන්න”

ඇය දිග ම හුස්මක් හෙළුවා ය. ඒ වචන ටික මට ශක්ති ජනක පානයක් සරි වූයේ ය. 

මම මුහුණු පොතින් අරගලය තුළට එබුණෙමි. ගෙදර ඉතිරි වී සිටි අප තිදෙන ම සිටියේ එතුළ වන්නට ඇත. වරින් වර එක එක්කෙනා ගේ සුසුම් හඬවල් ඇසිණ.

“අසූ අට අසූ නවය කාලෙ මගෙ අයියයි මල්ලියි දෙන්නම හිටියෙ අරගල වල. පපුවෙ ඇවිලිච්ච ගින්දර ගැන කියන්න තියා හිතා ගන්නවත් අදටත් තේරෙන්නෑ. අරගල වලින් පිට වෙන්නෙ මිනිස්සුන්ගෙ පීඩනය. සමහර විට ඒ පරම්පරා ගාණක් උහුලගෙන හිටිය පීඩනය. දැන් මේ වෙන විදිහකට අරගල කරන්නෙ අසූ අට අසූ නවය කාලෙ අරගල කරපු මිනිස්සුන්ගෙ දරුවො. නැත්නම් මුණුපුරෝ. අරගලය මර්දනය කළා මිසක් එදා මෙදාතුර පහළ වෙච්ච කිසිම ආණ්ඩුවක් ඒ පීඩනය නැති කරන්න පුළුවන් විදි ගැන හොයල බැලුවෙ නෑ. එන්න එන්නම පීඩනය වැඩි කළා මිසක්. දකුණෙ විතරක් නෙවෙයි උතුරෙ වුණත් තත්වය මෙහෙමයි. ඒ මිනිස්සු දිහා මීට වඩා සානුකම්පිතව බැලුවෙ නැත්තං…අපිට කියන්න බෑ ප්‍රභාකරන් මැරුණට ත්‍රස්තවාදය දිගටම මළවුන් අතර ඉඳී කියල”

නදීරා ගේ හඬේ හැබෑ වේදනාවක් වූයේ ය. ඇගේ සොයුරන් දෙදෙනා ම අවසන් ගමන් ගොස් තිබෙන්නේ ටයර් සෑ මත ය. ටයර් සෑ නිවී ගියා ට ඒවා උහුලා ගත් මිනිස් හදවත්  තවමත් අළු යට ගිනි පුපුරු සේ ය.

“අපේ රට හැමදාම සංවර්දනය වෙමින් පවතින රටක් වෙන්නෙ ඒකයි. අපේ පාලකයො බලයට ආවට පස්සෙ ඕන වුණේ රට හදන්න නෙවෙයි. තම තමන් හැදෙන්න. අරාබි රට වල මිනිස්සු දැන් කාන්තාර අස්වද්දල කුඹුරු කොටනව. අපි හාල් ඉම්පෝට් කරනව”

“අපි හෙට විතර ගෝල් ෆේස් එකේ ප්‍රොටෙස්ට් එකේ ඉන්න ළමයින්ට ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් සප්ලයි කරමු. සනෝජා ඒ ඕඩර් එක හොඳ පේස්ට්‍රි ශොප් එකකට දෙනවද..”

මෙතෙක් නිහඬව උන් අම්මා සිය හඬ මතු කළා ය. ඇය වෙනස් විදිහට හිතන ගැහැනියක් බව මම දනිමි. සිය ප්‍රේම අරගලය පවා ඇය විසින් මෙහෙයවනු ලැබුවේ වෙනස් විදිහකට ය.

“හරි අක්ක”

ගෙදර දුරකතනය නාද වූයේ ඒ වෙලාවේ ය. දුරකතනයට ආසන්න ම පුටුවේ සිටියේ අම්මා ය. ඒ නිසා පුංචි හෝ නදීරා නො නැගිටිනු ඇත. මගේ හිතේ පැතුමක් විය. අම්මා එහා ඉම හඬ ඇසුණ ගමන් අප දෙස බැලුවා ය. මම කිසිත් නොදුටු, නො දන්නා සෙයින් ඉවත බලා ගතිමි. අපේ අවධානය අම්මා වෙත නො වන වග හඟවනු වස්, මුහුණු පොතේ වූ ඡායාරූපයක් වෙත මම නදීරා ගේ හා පුංචි ගේ අවධානය යොමු කළෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles