සුමධුර උන්නේ එක්තරා අන්දමක සිහින නිද්‍රාවක ගැලී නමුත් අවදියෙනි. කාර්‍යාලයේ වැඩ කටයුතු වුණේත්, මීටින් සඳහා සහභාගි වුණේත්, කෑම කෑවේත් ඒ සිහිනමය නිද්‍රාවේ හිඳිමිනි.
“බොස් අද වෙනදට වඩා සන්තෝසෙන්” කියා කාර්‍යාල සහයකවරිය කියද්දීත් සුමධුර ඇයට සිනාවකින් සංග්‍රහ කර සිහිනමය නිද්‍රාවේ ගැලී හිඳිමිනි.
හැකි ඉක්මනින් කාර්‍යාලයේ වැඩ කටයුතු අවසන් අර ගෙදර බලා යන්නට සුමධුරට තිබුණේ පුදුමාකාර උනන්දුවකිනි.එහෙත් එහෙම වෙනදාට වඩා වෙනස් චර්‍යාවක් පෙන්වාලීම තමාව දන්නා අයෙකුට වෙනසක් පේන්නට හේතුවක් වන ඇති බව සිතා සුමධුර ඒ හැඟීම මැඩගත්තේය.
තමාට මේ දැනෙන්නේ ආලයක් ගැන හැඟීමක්ද කියා කිසිත් අදහසක් සුමධුරට නැත. ආලය යන හැඟීම පලමුවරටත් අවසන් වරටත් ජීවිතය තුල තිබුනේ මෙයට අවුරුදු දහ අටකට විස්සකට පමණ එහා අතීතයේය. ඒ ලෝචනාය. ලෝචනාත් සුමධුරත් දැන හඳුනාගත්තේ තාත්තාගේ මිතුරෙකුගේ දුවණියක් ලෙස පවුල් අතර වූ සුහද හමුවීමක් අතරවාරයේදීය. ඒ සුමධුර මොරටුව විශ්ව විඳ්‍යාලයේත් ලෝචනා උසස් පෙල පංතියේත් ඉගෙනුම ලබද්දීය. එකිනෙකට හොඳින් අඳුරන, එකිනෙකට පෑහෙන පවුලක දුවත් පුතත් වූ නිසාවෙන් සුමධුර සහ ලෝචනා යුවල එවකට ආදරය යැයි කියූ බැඳීමට බාධාවක් එල්ල කරන්නට කිසිවෙකු නොවූ තරම් ය. ආදරය වනාහී එතරම්ම සුන්දර, බාධා රහිත හැඟීමක් යැයි සුමධුර හිතාගෙන උන් සියලු අදහස් බිඳ වැටුණේ ලෝචනා සුමධුරව අතහැර බැඳුණු වෙනත් තරුණයෙකු හා විවාහ වී විදේශයක පදිංචි වෙන්නට ගිය විටය.
ඒ වන විට සුමධුර උන්නේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේය. අයිරාංගනී විසින් සුමධුර වෙත ඒ කාලයේ වස්සන්නට යෙදුණ මාතෘ ආදරය නිසාවෙන් සුමධුර අවසන් අවුරුද්දේ විභාගවලට හොඳින් මුහුණ දුන්නේය. අනතුරුව තමා විසින් හදාරන්නට යෙදුණ ගෘහ නිර්මාණ ශිල්පී උපාධිය අනුව තාත්තාගේ ව්‍යාපාරවලට එකතු වූවේය.
ජීවිතය ඔහේ ගෙවෙන්නට යෙදුණ සුමධුර ඉන්පසුව ගෙවුණ දශක දෙකකට ආසන්න කාලය තුළ කිසිවෙකු හා ආදරයකින් බැඳුනේ නැත.
මේ සසල වී තිබෙන්නේ එවන්ව තිබූ හදවතකි. සුමධුරට හිතාගන්නට බැරිත් අදහගන්නට බැරිත් එයයි. සිසිමාධවී තමන්ගේ නිවසේ සේවිකාවකි. ලෝචනා වන් ඉහලම පංතියේ ඉතාම රූමත් තරුණියක් හදවතේ මතුකල තමා සදාතනික යැයි සිතූ වේදනාව එක් දෙනෙත් බැල්මකින් මකාලන්නට සිසිමාධවීට හැකිවීම ගැන සුමධුර පුදුම වුනේය.
ඒ ආදරයද නැතිනම් වෙනත් දිව්‍යාත්මක හැඟීමක්ද කියා සුමධුර හිතුවේ ඒ නිසාමය.
රාත්‍රී කෑම සඳහා නූඩ්ල්ස්, චිකන් කරි සහ පොල් සම්බල් පිලියෙල කල සිසිමාධවී නිවසින් පිටව යද්දීත් සුමධුර ගෙදර ඇවිත් උන්නේ නැත. කල්පනාද දහවලේ ඇවිත් ඉක්මනින් ගියේ රාත්‍රියේ පැවැත්වෙන විවාහ උත්සවයක මනාලියකගේ සැරසිලි කටයුතු කරන්නට තිබෙන බව පවසමිනි. ඉතින් සිසිමාධවී නිවසින් පිටව යද්දී අයිරාංගනීගේ තනියට මෙන් තිලකරත්නගේ නිවසේ විදුලි පහන් දල්වාලමිනි.
“අර ළමයල ඉක්මනට කසාදෙ කරන්න ඕනෙ කියනව දරුවො” කියා පුශ්පලතා කුස්සියට ගොඩවුණේ සිසිමාධවී ගෙදරවිත් ඇඳුම් උනා දමා රාත්‍රියට උයන්නට සූදානම් වෙද්දීය. කෝසල උන්නේ ඇඳේ හාන්සි වී දෙනෙත් පියාගෙනය. නින්දක නොවුන්නද ඇගට මහන්සි නිසාම කෝසලට ඇඳට වී ඉන්න යැයි කීවේත් සිසිමාධවීය.
“අම්මා මොකද කිව්වෙ ඉතින් ඒ ගැන?” කියා සිසිමාධවී ඇසුවද පුශ්පලතා උත්තර දෙන්නට පෙර මහා හුස්මක් හෙලුවේ හිතේ බර හෑල්ලු කරගන්නය මෙනි.
“අක්කා නම් කැමතියි. ඒත් මේ කෝසල මෙහෙම ලෙඩින් වැටිල ඉද්දියි, ඔය ළමය මේ වේලක් කාලා වේලක් පිරිමහගන්න උදේ හවා ගෙවල්වල ඉඳුල් හෝදද්දියි මිනිස්සුන්ගෙ කැතකුණු අතගාද්දියි මං කොහොමද ළමයො හිතකින් හම්බ කල සේසතම මගුලකට වියදම් කරන්නෙ? ම්නිස්සු මොනවා නොහිතාවිද?”
වෙනදා අරියාදුවට මෙන් දේවල් කීවද කෝසලගේ අසනීප තත්ත්වය ගැනදැනගත් දිනයේ සිට නැන්දණිය වෙනස් වූ අයුරුත්, හිත ශක්තිමත් කරගන්නට තමන්ට උදව් කල අයුරුත් සිසිමාධවීට අමතක නැත. මෙවන් මොහොතක එවන් දෙයක් වුවද මහමෙරක් වටින බව සිසිමාධවී දනී. අනෙක් අතට අම්මා විසින් අවුරුදු ගණනාවක් කැන්ටිමේ කෑම උයා පිහා උපයාගත් සොච්චම කෝසලගේ ලෙඩේට හෝ තමන්ගෙ පවුලේ වියහියදමට දෙන්න යැයි ඉල්ලන්නට කිසිත් අදහසක් සිසිමාධවීට නැත. ඒ නැතත් එසේ කිරීම පවා කතාවක් අහගන්නට හේතුවක් වනු ඇත.
“ඒකි අපෙ එකා එක්ක පැනල ආව හන්දා මං මගුලක් ගන්නවට ඕකි ඉරිසියයි” කියා උත්පලා අක්කා කියන්නට බැරිකමක් නැත.
“මිනිස්සු හිතන ඒව අපිට වැඩක් නෑනෙ අම්මෙ. අනික තව පරක්කු කරන්න කරන්න අක්කා එන්න එන්න තරුණ වෙන්නෙ නෑනෙ. අම්මා පහුගිය කාලෙම කොච්චර නම් මහන්සිවුණාද අක්කට ගැලපෙන කෙනෙක් හොයාගන්න? අන්තිමේ හොයාගත්ත මනුස්සයව බන්දල දෙන එක තව පරක්කු කරන්න උවමනාවක් නෑනෙ අම්මෙ. මිනිස්සු මොනව කියාවිද කියල හිතල අම්ම ඕක තව පරක්කු කරන්න එපා. මමවත් කෝසලවත් මුකුත් හිතන්නෙ නෑ අම්මෙ අම්මා හම්බ කරගත්ත සල්ලිවලින් අක්කගෙ වෙඩින් එක ගන්න එකට.
අනික…”
සිසිමාධවී මොහොතකට කතාව නතර කලේ මේ වනාහී අම්මා සමගවුවත් කියන්නට උවමනා කාරණාවක්ද කියා හිතනට විනාඩියක් දෙකක් වැය කල නිසාවෙනි. සමහර දේවල් හංගාගෙන ඉන්නා තරමට ජීවිතය ගෙවන්නට වඩා පහසු බව ඇත්තකි. එහෙත් පුතෙකු ගැන ඇත්ත අම්මා කෙනෙකුගෙන් වසං කරගෙන ඉන්නා එක කොයිතරම් දුරට සදාචාරාත්මකද කියා සිසිමාධවී නොදනී.
ඇය මෙතෙක් දිනක් හිතේ හංගාගෙන් උන් සියලු වේදනාවන් පුශ්පලතා ඉදිරියේ දියකර හරින්නට හිතුවේ ඒ හන්දාමය.
“අනික අපි කොච්චර වියදම් කරත් කෝසලව සනීප කරගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ අම්මේ” සිසිමාධවී ඒ වචන මුවින් පිටකරේ දහස් වාරයක් හිතා අවසානයේ බොහෝ අපහසුවෙනි.
තමන් ආදරය කල මිනිසාව විවාහ කරගන්නට ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද? එසේ විවාහ කරගත්තද ඒ විවාහ ජීවිතය නිරෝගී දරුවන් ලැබ, තමාට සදාකාලිකවම ආදරය කරන යහපත් මිනිසෙකු ඇසුරේ ප්‍රීතිමත්ව ගෙවන්නට ඉඩ ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද?
තමා ඒ වාසනාව අත්පත් කරගත්තද ඒ වාසනාව රැඳී තිබෙන්නට නියමිතව තිබෙන්නේ ජීවිතයේ ඉතාම කුඩා කාල පරිච්චේදයක පමණක් බව සිසිමාධවී ගෙවුණ රාත්‍රීන්වල නිදිවරව කල්පනා කරන්නට යෙදුණ කාරණාවකි.
“ඇයි ළමයො එහෙම කිව්වේ?” පුශ්පලතා ඇසුවේ සිසිමාධවී කියූ වදන් තමාට හරියාකාරව ඇසුණාදැයි සැක හැර දැනගනු පිණිස ඇය දෙස විසල් වූ දෙනෙතින් බලාගෙනය.
“දොස්තර නෝනා කිව්වා අම්මේ, කෝසලගෙ පෙණහල්ලෙ පිළිකාවෙ සෑහෙන පැතිරිලා, සනීප කරන එක කරන්න අමාරු දෙයක් විත්තිය. බෙහෙත් දෙන්නෙත් දැනෙන වේදනාව අඩු කරන්නයි ටික කාලයක් හරි අල්ලගෙන ඉන්නයි මිසක්කා නිට්ටාවටම සනීප වෙයි කියන අදහසින් නෙවෙයි කියල”
පුශ්පලතා උන්නේ කිව යුත්තේ කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. සිසිමාධවී මේ කියන්නේ තමන්ව පුතෙක්ගේ අම්මා කෙනෙකු කල දරුවා ගැනය. තාත්තා මියගිය පසු කැන්ටිමේ බත් තම්බන අම්මාට අත්වාරුවක් වෙන්න තරුන වියේදීම පාසල් අධ්‍යාපනය මග නතර කර දම ගැරජ් රස්සාවට ගිය දරුවා ගැනය. ගෙවුණ වසර ගණනාවටම තමන්ට දෙයක් දුන්නා මිසක තමන්ගෙන් සත පහක දෙයක් නොගත් දරුවා ගැනය. ජීවිතයේ දුකම මිස සතුටක් සැපතක් නොවින්ද දරුවා ගැනය.
අම්මා කෙනෙකු ජීවත්ව ඉද්දී දරුවා මිය යන්නට ඉඩ ඇතැයි දැනගන්නට ලැබීම කුමන ආකාරයේ වේදනාවක්ද කියා පුශ්පලතා තේරුම්ගත්තේ ඒ මොහොතේය. අම්මා කෙනෙකුගේ මිය යාම දරුවෙකුට කොපමණ වේදනාවක්ද ඒ වේදනාව දස ගුණයකින් පමණ වැඩි වී තම හිස මත පතිත වනවා දැනුන නිසාම පුශ්පලතාට හඬන්නටවත් මතක් වුණේ නැත.
“අපි මොනවද ළමයො දැන් කරන්නේ?” පුශ්පලාතා ඇසුවේ ගේ ඇතුලේ කාමරයකින් ඇසෙන කෝසලගේ කැස්සේ හඬ අස්සේය. ඒ කැස්ස දැන් වෙනදාට වඩා වැඩි බවක් ඇයටද තේරේ.
“අපිට දැන් අරන්න තියෙන්නෙ කෝසල ජීවත්වෙන කාලෙ කොච්චරද ඒ කාලෙ වෙනකම් ඉවසන් දරාගෙන ඉන්න එක අම්මේ. අපිට එයාට පේන්න අඬන්නවත් දුක්වෙන්නවත් බෑනෙ. එහෙම කරන එක ඒ මනුස්සයට ජීවත්වෙලා ඉන්න ටික කාලෙත් හිතට අමාරුවක් වෙයි. අපි ඉන්න කාලෙ කෝසල වෙනුවෙන් හිනාවෙලා ඉමු. එයා නැති දවසක අපිට ඕන තරම් අඬන්න ඉඩ තියෙනවනෙ අම්මෙ.
මේ මං ගිය ආත්මෙක කරපු මොකක් හරි පවක් වෙන්නැති අම්මෙ. මං එහෙම හිතුවා පහුවෙච්ච හැම රෑකම. පස්සෙ මම හිත හදාගත්තෙ කෝසල මේ හැම දුකක්ම වින්දෙ, ගැරජ් වල තින්ත නාගෙන මහන්සිවෙලා අන්තිමේ මේ ගොඩ එන්න බැරි ලෙඩක් හදාගත්තෙ මමයි දරුවො දෙන්නයි බලාගන්න ඕන හන්දනෙ. ඒ දුකෙන් එයාට මිදෙන්න පුලුවන් නම් ඒකම මට ඊලඟ ආත්මෙත් ඒ මනුස්සයවම පතන්න පිනක් වෙන්න කියල හිතල තමයි අම්මෙ මං හිත හදාගත්තෙ.
වෙන කරන්න දෙයක් නෑනෙ? අඬන්නද? පොලොවෙ හැපෙන්නද? එහෙම කරා කියල මේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ අම්මේ නේද?
අපිට දැන් කරන්න තියෙන්නෙ ඉවසන්, දරාගෙන බලාගෙන ඉන්න එක අම්මෙ. කෝසලගෙ හිත පුලුවන් තරම් සන්තෝසෙනුයි හයියටයි තියන එක. ඒ අස්සෙම පුංචියට හරි කෝසලට සනීප වෙයි කියල හිතන එක. අපේ මොකක් හරි පෙර කල පිනකට එහෙම ප්‍රාතිහාර්‍යයක් වෙන්න කියල දෙයියන්ගෙන් ඉල්ලන එක
ඒ හන්දා අම්මා ජීවිතේම මහන්සිවෙලා හම්බ කරගත්ත සේසත අපි වෙනුවෙන් වියදම් කරන්න හිතන්න එපා අම්මෙ. මේ වෙලාවෙ අපිට පිහිටක් වෙන්න පුලුවන් සල්ලිවලට නෙවෙයි දෙයියන්ට තමයි. අම්මා ඒ හන්දා කෝසල එක්කත් ඕන නම් කතා කරල අක්කගෙ කටයුත්ත ඉක්මන් කරගන්න. අක්කත් ආස ඇතිනෙ ඉක්මනට හොඳට වෙඩින් එක අරගෙන පිලිවෙලක් වෙන්න. අම්මට උනත් හොඳයිනෙ අම්මෙ කාගෙ උනාත් පිහිටක් තියෙන එක බැරිකාලෙක”
සිසිමාධවී වතුර කඳක් ගලනවාක් මෙන් ඒ වචන සියල්ල කියාගෙන ගියේ එක කඳුලක්වත් හෙලන්නේ නැතුවමය. පුශ්පලතාට දරාගන්න අමාරු උනේත් එයයි. සිසිමාධවී ඔය සියල්ල කියා ඇඬුවානම් ඇයව සනසවන්නට තිබුණි. හඬන්න එපා යැයි කියන්නට තිබුණි. එහෙත් බොහෝ සැප සම්පත් මැද හැදුණ කෙල්ලක ජීවිතයේ ඉස්සරහට ආ මෙවන් බැරෑරුම් ප්‍රශ්න ලඟ මෙතරම්ම හයියට ඉන්නට ශක්තිය හොයාගත්තේ කොහෙන්ද කියා පුශ්පලතාට හිතාගන්නට පුලුවන් වුනේ නැත.
එහෙත් ඒ සැමියෙක් ගැන බිරිඳකගේ හිතේ තියෙන සෙනෙහස බව පුශ්පලතා හිතුවේ සිසිමාධවීගේ ඉඩමේ සිට තමන්ගේ නිවස බලා යන අතර කල්පනාවෙනි. කෝසලගේ තාත්තා මිය ගිය පසු කෝසලත් උත්පලාත් උස්මහත් කරගන්නට තමාට පිහිටක් වූද හිතට හයියක් වූද ඒ සෙනෙහස, සිසිමාධවීටත් කෝසල නැති දිනෙක ඔලුව උස්සන් ඉන්නට හේතුවක් වේවායි පුශ්පලතා ඇත්තටම හිතුවාය. පැතුවාය.