fbpx

සුලි සුළඟක සුසුමක් -12

පිටත සුළං ගතියක් තිබිණ. වැරැන්ඩාවේ මා එල්ලූ සුළං සීනුව දිගට ම නද දෙමින් තිබිණ. ඒ සුළං සීනුව මා ගෙන ආවේ කොළඹ ගෙදර මගේ කාමරයේ ජනේලය ඉස්මත්තේ එල්ලා තිබී ගලවා ගෙන ය. බොහෝ පාළු දැනෙන වෙලාවන් හිදී මම ඒ සිහින් හඬ තුළ ආත්මයෙන් ම නතර වී ගෙන හිඳිමි.

“සංකල්ප අයිය ඊයේ පාරෙදි කිව්වෙ නෑනෙ ඇල්ල ළඟට යනව කියල. කිව්වනං මාත් එනව අක්කි”

ඇය කීවේ අවංක සන්තාපයකිනැයි පිළිගන්නට, ඒ බැල්ම මට ප්‍රමාණවත් විය.

“ආයිත් ඔයා ඇවිදින්න යනවනං මටත් කතා කරනවද…මං හරි පාළුවෙං අක්කි ඉන්නෙ”

“ඇයි පාළුවෙං කිව්වෙ…ඔයා මොනාද කරන්නෙ…යාළුවො ඇතිනෙ ඉතිං”

මා කීවේ සුදු කැටයම් පුටුවක අසුන් ගත වන ගමන් ය. පුටු මත ද අවට බිම ද කහ පාට ඇහැල මල් පෙති ඉහිර තිබුණේ ය. මැලේසියානු ඇහැල මල් රැහැන් පහලට එල්ලී සුළඟ සමග ඔංචිලි පදිමින් තිබිණි.

“මං ඔන්ලි චයිල්ඩ් අක්කි. මන් දන්නෑ ඇයි කියල මට යාළුවොත් නෑ. මගෙ ජීවිතේ වැඩි කාලයක් ගෙවුණෙ තනියයි පාළුවයි එක්ක තමයි. බිස්නස් මත්තෙ හැප්පෙන දෙමව්පියො ඉන්න දරුවෙක්ගෙ හිත ගැන ඔයාට හිතා ගන්න බැරුව ඇති අක්කි”

“අනේ…එහෙම හිතන්න එපා”

මම මඳක් ඇය වෙත නැඹුරු වී මල්ෂා ගේ උරහිසකට තට්ටු කළෙමි. ඇය සිනහ වුණා ය. ඒත් ඇගේ ඇස් වල දිළිසුම් දෙන කඳුළක් විය. ව්‍යාපාරික පවුල් වල දෙමාපියන් ගේ කාර්ය බහුලත්වය ගැන මට අමුතුවෙන් කිව යුතු නැත. නමුත් අපේ ගෙදර අම්මා නිරන්තර දරුවන් ගැන සොයා බලමින් ළඟ රැඳෙන්නට උත්සාහ කළා ය. ඒ නිසා පවුල තුළ හුදෙකලාවක් නොවිණි. නමුත් ජීවිතය සමීපයෙන් මිතුරන් තබා ගැනීම අතින් මම ද දුර්වල තැනැත්තියක් වෙමි. රැකියාව කරන්නට ගත්තා ට පස්සේ වුව මට හොඳ ම මිතුරන් කියා කිසිවෙකු නොවූ තරම ය. එකට වැඩ කළ හැම කෙනෙකු සමගින් ම මම සුහද වීමි. සාමාන්‍ය ලෙස කතා බහ කළෙමි. නමුත් ඒ අතරේ කවදාවත් කිසිවෙකු හොඳ ම මිතුරෙකු සේ සමීප කොට නො ගතිමි. එසේ වූයේ මිතුරන් ඇති කර ගැනීම සම්බන්ධයෙන් මගේ වූ දුර්වල කමක් නිසා ද කියාත් මා දන්නේ නැත.

“මේ සංකල්ප අයියව මං දන්නෙ එයා අපේ කසින් අයිය කෙනෙක්ගෙ යාළුවෙක් නිසා. එයත් මාව ගණං ගන්නෑ අනේ”

ඇය දෙතොල් උල් කළේ දුක්බර ව ය. නමුත් ඇගේ විලාශය හුරුබුහුටියි කියා මට සිතිණි.

“ඔයා ටික දවසක් මෙහෙ ඉන්නව කියල සංකල්ප අයිය කිව්ව. ඒකයි මං ආවෙ ඔයා එක්ක කතා කරන්න”

“ඒක හොඳයි. හැබැයි ජීවිතේ සතුට අනිත් අයගෙන් නෙවෙයි හොයන්න ඕනෙ තමන්ගෙන්මයි කියන එක ඔයා ඉගෙන ගන්නවනං හොඳයි කියල මට හිතෙනව”

ඇය මදෙස බැලුවේ නොතේරුම් දෑසකිනි. ඈ වාගේ පුංචි කෙල්ලක ජීවිතයේ එබඳු හරයක් ගැන අවබෝධයෙන් තොර වීම ගැන පුදුම විය යුතු නැතැයි මට සිතිණ.

“අපි වටේ අද කවුරු හිටියත් හෙට එයාල අපි ළඟ නැති වෙන්න පුළුවන් නංගි. එහෙමයි කියල ජීවිතේ නැති වෙන්නෙ නෑනෙ. එදාටත් දුකක් නැතුව ජීවත් වෙන්නනං…සතුටෙන් ඉන්න කාරණා අපි ළඟ ම තියෙන්න ඕනෙ”

“අක්කි අමුතුයි”

මම මඳහසක් නගා ගතිමි. මේ වයසේ දී හොඳ රැකියාවක් ද රූපයක් ද තියා ගෙනත් පෙම්වතෙකු ඇසුරු නො කොට තනිව ඉන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකු මගෙන් විමසා තිබේ. ඇසුරු කළ පෙම්වතුන් දෙතුන් දෙනා තුළ ම මා බලාපොරොත්තු වූ යමක් නොවන බව ඉක්මනින් ම මට වැටහිණ. එනිසා ම ඒ තැන් වල දිගින් දිගට රැඳී හිඳීමේ කැමැත්තක් මට වූයේ නැත. නමුත් පෙම්වතෙකු නොමැති කම මත කිසි දා මා ඉච්ඡා භංගත්වයට නො පත් බව ද ඉඳුරා විශ්වාස ය. 

“අමුත්තක් නෑ. ජීවත් වෙද්දි අපිට ජීවිතේ ගැන තේරුං යන්න පටං ගන්නව මල්ෂා. මේ මලක…ගහක…කුරුල්ලෙක් සමනලයෙක් ළඟ…වලාකුළක වැහි පොදේක පවා මටනං සතුටු වෙන්න දෙයක් තියෙනව. විඳින්න දෙයක් තියෙනව. ඒක නිසා කවදාවත් හොඳම යාළුවෙක් නෑ කියලවත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලවත් මට අඩුපාඩුවක් දැනිල නෑ”

“අක්කිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද…”

මල්ෂා එසේ ඇසුවේ බලාපොරොත්තු සුන් වීමකින් සේ ය. මම දෙතොල් තෙරපා සිනහවක් පෑවෙමි.

“අපිට යාළුවො වෙන්න පුළුවන් වෙයි වගේ. මං අක්කිව එක්කං යන්නං ඇවිදින්න”

මා ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත.

“ඔයාල කොහෙ හරි යනවනං මටත් කතා කරන්න. අර මෝඩයටනං මාව මතක් වෙන්නෑ”

මල්ෂා නික්ම ගියේ මා ගැන විශ්වාසයක් තබා ය. ඇය සංකල්ප ගැන බලාපොරොත්තු තබා ගෙන සිටිනා බවක් මැනවින් පෙනෙන්නට තිබිණ. සමහර විට ඇය මා ගැන සැක කළා වන්නට පුළුවන. මා හා කතා කරන්න ට ආවේත් ඒ සැකය දුරු කර ගනු වස් වන්නට පුළුවන. මම ඒ ගැන කිසිත් සිතන්නට නො ගියෙමි. මා සිය සතුරෙකු නොවන බව ඇය යම් දිනෙක වටහා ගනු ඇත.

හැන්දෑවේ මා ලූනා සමග වත්ත පහල තුරු ගොමුවෙහි ඇවිදිමින් සිටියදී සංකල්ප එහි ආවේ ය. ඔහු ගේ මෙවැනි ත්‍රස්තවාදී කඩා වැදීම්, දැන් මට මඳ හුරුපුරුදු කමක් ව දැනේ.

“බෙහෙත් පැළ වගයක් හොයා ගන්න ආවෙ. වර්ණදාස අංකල් කිව්ව මේ පැත්තෙ ඇති කියල”

ඔහු කීවේ ය.

“මෙහෙ ඉන්නකොට කූඩැල්ලෙක් එල්ලුණොත් මොකද දන්නෑ නේ කරන්නෙ…”

ඒ කඩඉම් ප්‍රශ්නය මා තත්පරයකට ගොළු කරන්නට සමත් වූයේ ය. නමුත් මම ඇසිල්ලකින් ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වුණෙමි.

“වර්ණදාස කියල තියනව…මෙහෙ කූඩැල්ලො නෑ කියල”

“බැරි වෙලාවත් හිටියොත්…”

“නෑ. වර්ණදාස දන්නවනෙ ඉන්නවනං”

“මං කියන්නෙ බැරි වෙලාවත් හිටියොත්…”

“බැරි වෙලාවත් හිටියොත් මං සංකල්ප…කියල කෑ ගහන්නංකො. ඔයා දුවගෙන ඇවිත් කූඩැල්ලව අරං දාල යන්නකො”

මා කියා ගෙන ගියේ වේගවත් ව නොඉරිස්සුමෙන් සේ ය. සංකල්ප ගේ මුහුණ ට සිනහවක් ආවේ ය.

“කටනං…”

“කට තියෙනව තමයි ඉතිං. ඒකනෙ එෆ් එම් චැනල් එකක ප්‍රසන්ටර් කෙනෙක් වුණෙ”

මා කීවේ සිනහවක් නැති මුවිනි. 

“අපි එහෙම තමයි. අන්න අර මල්ෂා එහෙමනං ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ අහිංසක ළමයෙක්”

“යකෝ මේක මැක්කගෙ කතාව වගේනෙ”

“මොකාද මැක්කා…”

“කොහෙං පටන් ගත්තත් ඉවර වෙන්නෙ මැක්කගෙං වගේ මෙතනත් මොකෙං පටං ගත්තත් ඉවර වෙන්නෙ මල්ෂාගෙං”

මම ඉවත බලා ගතිමි. රසකිඳ මුල් සුළඟත් එක්ක යන්තම් වැනුණේ ය. විසල් වනස්පතීන් ගෙන් ගැවසී ගත් මේ ඉසව්වට, ඉහළ සිට පහළට එල්ලෙන රසකිඳ මුල් නිසා ගුප්ත බවක් ආරූඩ වී ඇති බවක් හදිසියේ ම මට සිතිණ.

“ඊරිසියාව ඔය”

මම හී ගසක් සේ හැරී බැලුවෙමි. සංකල්ප සිනහව ගිල ගනිමින්, රැවුල පිරිමදිමින් සිටියේ ය.

“මොකද්ද ඊරිසියාව…”

“අර මල්ෂා ගැන”

“අර මොකටද මං ඒ ළමයට ඊරිසියා කරන්නෙ…”

“වෙන මොකටද ඉතිං..මං ඒ ළමයට කැමති වෙයි කියලනෙ”

“අනේ මේ…දොඩවන්නැතුව ඉන්න හරිද…”

සංකල්ප හඬ නගා හිනැහුණේ ය. ඒ සිනහව තුළ ඉහිර ගිය චමත්කාරය දෙස මම නෙතු විදා බලා සිටියෙමි. මේ කොල්ලා අමුතු කෙනෙකි. සාමාන්‍යයෙන් කෙල්ලකට බය නැති ව ඔය වගේ කතා කියන්නට කොල්ලන් ඉදිරිපත් වන්නේ නැත. වසර පහක් තිස්සේ ඕනෑ තරම් පිරිමින් සමග උරෙනුර ගැටෙමින් වැඩ කළ නිසා මම ඒ බව හොඳට ම දනිමි. කෙනෙක් නරක විහිළුවක් කළත් එසේ කරන්නේ මේ තරම් විවෘත ලෙස නොවේ. එසේ කරන පුද්ගලයෙකු ගේ මුහුණේ වන ජුගුප්සාව කිසි සේත් සංකල්ප වෙතින් දැකිය නොහැකි ය.

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

“මට මොකද ඔයා කාට කැමති වුණත්…විකාර..”

ඒ බලා සිටීම අතරේ ම මම කියා ගතිමි. සුසුමක් අත් හළ සංකල්ප සිය සෙල්ලක්කාර පෙනුම වෙනස් කර ගනිමින් මදෙස බැලුවේ ය..ඒ වෙලාවේ ඔහු ගේ ඇස් සිනහ වූයේ නැත.

“විහිළුවක් නෙවෙයි උත්තරා”

උදරයත් පපුවත් අතරේ වන මහා ප්‍රාචීරය ද මන්දා ගැස්සී ගියේ ය. ඊළඟට ඒ තිගැස්ම උදරය දෙසට ගලා යනවා මට දැනිණ.

“ඔයා මට කැමති නැතුව ඇති. ඒත් මං මේ මුළු කාලය පුරාම ඔයාව මගෙ හිතේ තියං හිටියා කියන එකවත් පිළිගන්න”

එකට එක කියන්නට තරම් දිරියක් ඒ වෙලාවේ මා තුළ වූයේ නැත. ඔහු කී දේ මවිසින් පිළිගනු ලබනවාද නැත්ද කියා සිතන්නට මට ඕන වුණේ නැත. එවැන්නක් පිළිබඳව යටි හිත විමසන්නට, ඔහු ව හඳුනා ගෙන ගෙවුණ පසු ගිය කාලයේ දී මට කිසිදු අවශ්‍යතාවයක් දැනුණේ නැති බව ද පිළි ගත යුතු ය. ඔහු පවසන සියල්ල විහිළුවක් සේ ගෙන, බොරුවට තරහ ද ගෙන මා එතැනින් පළා ගියා පමණකි.

“ඒක තමයි ඇත්ත”

“මල්ෂා මෙහෙ ආව”

මම එතැනට කොහෙත් ම නො ගැලපෙන කතාවක් කීවෙමි.

“මං දන්නව”

ඔහු නො සැලකිලිමත් හඬකින් කීවේ ය. නමුත් මා තුළ අලුත් උනන්දුවක් දැල්වෙන්නට විය.

“ඒ ළමය ඔයා ගැන හිතනව. එයා ඔයාට කැමතියි”

“එයාව කසාද බැඳ ගන්නවනං මං මෙච්චර කල් බලං ඉන්නෙ නෑනෙ”

“පව් අනේ ඒ ළමය”

මා දවා ලන බැල්මක් හෙළු සංකල්ප හැරී යන්නට ගියේ ය. අනවශ්‍ය කතාවක් ඇද ගත්තා ය යන පසු තැවීම මට දැනිණි ද? එවැන්නක් හිතේ උපන්නත් එය හිත මතු පිටට එන්නට මගෙන් අවසර නොලබන බව මා පිළි ගත යුතු ය. සංකල්ප තව ටික වෙලාවක් මෙතනට වී කතා කරමින් සිටියා නම් පාළු නැතැයි හදිසි සිතිවිල් ක් මා තිගස්සවමින් පැන නැගිණි. මීට ටික වෙලාවකට කලින් මා මල්ෂා ට කීවේ මොනවා ද? පාළුව තනිකම වැනි දේ මත වෙනකෙකු මත යැපිය යුතු නො වන බව නොවේ ද? සතුට තමන් තුළින් මිස වෙනකෙකු තුළින් නො සෙවිය යුතු බව නොවේ ද?

මම ඇවිත් යහනට වැටුණෙමි. අමුතු තෝන්තුවාවක් මා වට කොට ගෙන තිබුණේ ය. මට ඉන් මිදීමේ විශාල අවශ්‍යතාවයක් දැනිණ. මා යට කර ගන්නට හදන ආගන්තුක සිතිවිලි මරා ගෙන ශක්තිමත් ගැහැනියක සේ නැගී සිටින්නට මම දැඩි පරිශ්‍රමයක් දැරුවෙමි. නමුත් ක්‍රමයෙන්, යහනෙන් බැස ගත නො හැකි තරමට මා දුර්වල ව ගොස් ඇති බවක් දැනෙන්නට විය. කායික ව ද මානසික ව ද ඔත්පල වන්නට  ඒ හැටි වෙලාවක් ගත නො වන්නට ඇත. නීලා ඇවිත් කතා කළත් මම රෑ කෑමට නො ගියෙමි. උදේ නීලා ගෙන ආ කිරි එක බොන්නට පවා මට නැගිට ගත නො හැකි විය.

“දෙයි හාන්දුවනේ…ගිනි සහලවල උණනෙ සුදු බබා”

නීලා එසේ කියනවා ඇසුණේ ය. අවදි වන්නට තැත් කරමින් ම මම නිද්‍රා ගත ව සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x