අකල් වැහි -31

ආදරය අහිමි ලෝකයක ජීවත් වෙන්නට පෙර තමන් ආදරය උතුරා යන ලෝකයක ජීවත් වූ අන්දම හිරුදි සිහි කළා ය.දුකින් හිඳීම කුස හිඳින කළලයේ වැඩීමට නුසුදුසු බව සත්‍යයකි.නමුත් ඇයට නිසල් සිහි වෙද්දී නෙත කඳුළු නවතා ගන්නට නොහැක.

“ඔයාගේ කේන්දරේට මිසක් ඔයාට ආදරේට නෙවෙයිනෙ චේතන ඔයා ඉල්ලන්නෙ.ඔන්න ඔයාට ආදරෙන් ඉල්ලනවානම් ඔයාව දෙන්න මට හිත හදා ගන්න තිබ්බා.”

ඔහු එදා එසේ කීවේ සැබෑවටම වග හිරුදි දැන සිටියා ය.හිරුදි හිමිකම් කියන අසීමිත ධනයට ඔහු චේතන මෙන් ලොබ බැන්දේ නැත.ඒ වෙනුවට නිසල් ඇයට අසඅසීමිතව ආදරය කළේ ය.

“තමන්ගේ ධනයයි බලයයි වැඩි කරගන්න කසාදයක් බඳිනවා කියන්නෙ කොච්චර කැත වැඩක්ද?”

හිරුදි ඒ වචනවල සැබෑ අරුත අත් විඳින්නට පටන් ගත්තේ චේතන හා විවාහ වීමෙන් පසුව ය.ඔහු තමන්ට බිඳුවක්වත් ප්‍රේම නොකරන වග ඇය දන්නී ය.නිසල්ගේ අසීමාන්තික ප්‍රේමය විඳ තිබූ හන්දාම ඇයට චේතනගේ බාල ප්‍රේම වදනක බරක් දැනුණේම නැති තරම් ය.

“කේන්දරේ මාව විනාස කරා.”

හිරුදි එසේ සිතමින් ලැබුණු ජීවිතය ඔහේ ගෙවන්නට හිත හදාගෙන හුන්නා ය.නිසල් මිය ගියේ ඇයට ආදරය කළ හන්දා ය.ඒ වෙනුවෙන් සදහටම වන්දි ගෙවන තරමේ ආවේගයක් ඇයට වූවා ය. ඒ ආවේගය මැකෙන්නට වූයේ ගාළු මුවදොර පිටියට යෑම් ඊම් කරන්නට වීමෙන් පසු වග හිරුදිට පැහැදිලි ය.

“සටනකින් මෙහා කවදාවත් දිනන්න බෑ කියලා මට තේරුම් ගියේ සිතිජලාව මුණ ගැහුණම අක්කේ.එකපාර වැඩ දාහක් කරන පරදින එක ගැන හිතන්නවත් අකමැති එයාලව දැක්කම මට හිතෙනව මට නිසල්ගේ මරණෙට සටන් කරන්න තිබ්බෙ මීට කලින් කියල.”

මහ ජනතාව පරාජය පිළි ගන්නාතාක් පාලකයා ඔවුන්ව පීඩාවට පත් කරන්නට නොපැකිළෙන පාඩම හිරුදි ද උගත්තේ සිතිජගේ මුණ ගැසීම හන්දා ය.දැන් ඇය හිඳින්නේ කෙසේ හෝ තමන් වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමේ සිහිනයක ය.නොකැමති මිනිසෙකුගේ භාර්යාව වී ජීවිතය ගෙවා දැමීමේ බලාපොරොත්තු දැන් ඇය වෙත ඇත්තේ ම නැති තරම් ය.

“ඔයා මේ ලෝකෙට එන්න ඕන ඔයාගෙ තාත්තා පේන්නවත් නැති තැනක.මං ලොකු අම්මා ගාවට යනවා.ගිහින් නිදහසේ ජීවත් වෙනවා.සමහර වෙලාවට ඔයාගේ තාත්තා වගේ මනුස්සයෙක් ඉන්න ඕන තැන ඒ වෙනකොට රටේ මිනිස්සු තීරණය කරලා තියෙයි පුතේ.”

ඇය කුසෙහි හිඳින බිළිඳාට මුදු සරින් පැවසුවා ය.සිතිජලාගේ අරගලය අවසානයේදී චේතනලා වැනි මිනිසුන් සිපිරි ගෙට නියම විය යුතු වග හිරුදි ද විශ්වාස කරන්නී ය.මේ රට මෙතරම් අගාධයකට රැගෙන ගිය ඔවුන්ට ලැබිය යුතු තැන එතැන ය.

“සරසි ඒ බබාව නැති කරන්නෙ නැත්නම් එයාටත් සාධාරණයක් වෙන්න ඕන.”

සරසි තමන් අමතා පැවසූ කතාව ළසඳාට හෙළි කළ හිරුදි පැවසුවේ තිර හඬකිනි.ඒ ස්වරයේ තිබූ නොසැලෙන හඬට ළසදා සසැලුණා ය.

“එහෙම ගෑනු කියන කියන පලියට උප්පැන්න දෙන්න චේතන කවුරු කියලද භාග්‍යා හිතන්නේ?”

ඇය ඇසුවේ කෝපයෙනි.හිරුදි නැවතිල්ලේ හිනැහුණා ය.

“දරමිටි බැඳගෙන ඇවිල්ලා ප්‍රෙග්නන්ට් කියන්න මේ බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලේ නෙවේනෙ.ඩීඑන්ඒ ටෙස්ට් එකක් වුණත් කරන්න බැරිකමක් නෑ කියලා දැනගෙනනෙ සරසි ඔහොම කියන්නේ.”

ඇය නැන්දණියට අභියෝග කළා ය.ළසඳා මේ යුවතිය දෙස බලා හුන්නේ පුදුමයෙනි.හෙක්ටර්ගේ ඇසුරට පත් රූමතියන්ව බිය ගැන්වීම,ඇසිඩ් ගැසීම,සමහරුන් ලෝකයෙන් තුරන් කර දැමීම ආදිය සිදු කරන්නට පාතාලයේ උදව් ගත් අතීතයක් ඇයට වේ. හෙක්ටර්ගේ ආදරය හෝ පතිනිවත ඇයට අවශ්‍ය වූයේම නැත.නමුත් දේවතිලක මැතිණිය විය යුත්තේ තමන් වග ඇය ඇදහුවා ය.ඒ වෙනුවෙන් හෙක්ටර්ගේ සිත් ගන්නා ගැහැනුන් විනාශ කර දැමීම ඇයට මැස්සන් මදුරුවන් මරා දමන තරමටම පහසු වුවා ය.

එහෙත් හිරුදි ඉන් වෙනස් ය.චේතනගේ අනියම් පෙම්වතියකට කෝප නොගෙන ඇහුම්කන් දුන් ඈ ඒ නූපන් දරුවා ගැනද විස්සෝපයෙනි.මේ කෙල්ල සමඟ ගනුදෙනු කළ යුත්තේ සීරුවට වග ළසඳා සිතුවා ය.

“භාග්‍යා, පිරිමින්ගෙ හිත් ඕනෑ වෙලාවක ඕන අතක යන්න පුලුවන්. ඒ මිනිස්සුන්ගෙ අවයවලට කිසිම බ්‍රේක් ගැහිල්ලක් නෑ.ඒ වුණාට ගෑනු දැන ගන්න එපැයි.මම කිසිම දවසක පුතාටවත් මහත්තයටවත් වැරැද්දක් කියන් නෑ.සල්ලියි බලෙයි දැක්කම ගෑනු කරට නගින්න එනවා.ඒ මිනිස්සුත් රහත් වෙලා නෑනෙ.එහෙම කරට නගින්න එන මොන ගෑනිත් දැන ගන්න ඕන ඔයාට තියන තැනවත් මට තියන තැනවත් උන්‍ට නෑ කියලා.අන්න ඒක උන්ට තේරුම් ගන්න ඉඩ දෙන්න.බොරු සාදාරණකම් කරන්න යන්න එපා.”

ළසඳා කියවාගෙන ගියා ය.මේ ගැහැනිය අකලට වයස්ගත වූ ගැහැනියක වග හිරුදි සිතුවේ පිළිකුළෙනි.සැමියාගේත් පුතාගේත් අවකල් ක්‍රියා ගැන ඇයට වගක් නොවේ.ඇය රැජින නම් අනිත් ගැහැනුන්ගේ ජීවිත ගැන ඇයට සිතන්නටවත් දෙයක් නැති වග ළසඳා සිතයි.එහෙත් හිරුදිට මේ සම්බන්ධයෙන් දැනෙන්නේ අප්‍රසන්න හැඟීමකි.වහා මේ ජරාජීර්ණ නිවස අත් හැර දැමිය යුතු වග ඇය සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles