වරද ඇත්තේ අසම්මත ප්‍රේමයේම පමණක්ද?

ඊර්ෂ්‍යාව, අධික සැකය, අනාරක්ෂිත බව සහ තම ආදරණීය පාලනය කිරීමේ උමතු අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස, තම ලෙයින් බිහිවූ දරුවන් පවා සාහසික ලෙස ඝාතනය කිරීමට පෙළඹෙන මිනිසුන් මේ ලෝකයේ සිටිනවා යැයි කිවහොත් ඔබ විශ්වාස කරනවාද? 

එවැනි මිනිසුන් තම වරද සිය මානසික අස්ථාවරත්වයේ ප්‍රතිඵලයක් බව පවසා නිදහස් වීමට දරන උත්සහයක් ඔබ දැක තිබෙනවාද? 

එලෙස, පාලනය කරගත නොහැකි මානසික අස්ථාවර වීමක ප්‍රතිඵලයක් ද යන ගැටළුව ඉස්මතු වූ එක් කැපීපෙනෙන සාහසික අපරාධයක් ගැන ඔබට කියන්නයි අද අපි මේ සූදානම් වෙන්නෙ ? 

කේලර් පවුල

ජේම්ස් ක්‍රෙග් කේලර් 1965 ඇමෙරිකාවේ ටෙක්සාස් හි වෙදර්ෆෝම් ප්‍රදේශයේදී උපත ලැබුවා. 

ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ, ඉන්ජිනේරු පීඨයේ කඩවසම් සහ දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස කැපීපෙනුණු ඔහුට අවසන් වසරේ අධ්‍යාපනය ලබද්දී, ටෙක්සාස් විශ්ව විද්‍යාලයේම මානව ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළු වූ හුරුබුහුටි සුන්දර යුවතියක් වුණු කෙරන් වයිට් මුන ගැසුණා. 

මුලින්ම, මිත්‍රත්වයකින් ඇරඹි ඔවුන්ගේ කතාබස් ඉතා කෙටි කලකින්ම සුන්දර ආදර සබඳතාවයක් දක්වා වර්ධනය වූ අතර දෙපාර්ශ දෙමාපියන්ගේ ආශිර්වාද සහ හිත මිතුරන්ගේ සුබ පැතුම් මැද 1980 දශකයේ අග භාගයේදී ඉතාම සුන්දර සරල විවාහ මංගල්‍යයකින් පසු එක් කැදැල්ලක සෙවණට පැමිණීමට ඔවුන්  වාසනාවන්ත වුණා. 

ජේම්ස් කේලර් හොඳ වැටුපක් ලබන රැකියාවක නිරත වූ නිසා කිසිදු ආර්ථික අපහසුතාවයක් ඔවුන්ට නොතිබූ අතර විවාහ වී ඉතාම කෙටි කලයකදී එනම් වර්ෂ 1991 දී සිය වැඩිමහල් දියණිය එමලි සහ 1993 වර්ෂයේදී දෙවෙනි දියණිය ලෝරන්ගේ උපතත් සිදුවූ නිසා රැකියාවක නිරත නොවීමට කේරන් තීරණය කරා. 

ඊට වසර කීපයකට පසු එනම්, 1999 දී සිය එකම පුතුගේ උපත ලැබීමත් සමඟම ඉතා ඉහළ වැටුපක් ලබන නව රැකියාවක් හිමිවීම නිසා සිය පුතු තමාට වාසනාව ගෙන ආවයි යන්න ජේම්ස් නිතරම පැවසූ කතාවක්. 

හොඳ වැටුපක් ලැබීමත් සමඟම නවීන සුඛෝපභෝගී කාර් රථයක් සහ අලංකාර ගෙවත්තකින් යුතු සුවිසල් නිවසක්ද මිලදී ගත් ජේම්ස් සමාජයේ ප්‍රියමනාප, ආදරණීය සහ පරාර්ථකාමී පුද්ගලයෙක් කා අතරත් හොඳ නමක් දිනා සිටියා. 

ඉතාම කඩිසර, ආදරණීය ගෘහණියක් ලෙස කෙරන් ද ඔවුන් ජීවත් වන සමාජයේ ජනප්‍රිය කාන්තාවක් වූ අතර දරුවන් ගැන ඇයගේ දැඩි අවදානය නිසා එමලි සහ ලෝරන් ඉතාම හොඳින් සිය අධ්‍යාපන කටයුතු අවසන් කළ අතරම ක්‍රීඩා සහ සංගීතය සඳහාත් ඉහළ කැමැත්තක් දැක්වූවා. 

සිය උසස් අධ්‍යාපනය සඳහා ඖෂධවේදය හැදැරීමට එමලි තීරණය කළ අතර සංගීතය හැදෑරීමට ලෝරන් තීරණය කර තිබුණා. 

කාරුණික සහ අහිංසක දරුවෙක් ලෙස පවුලේ සියළු දෙනාගේ සුරතල් මැද ෂෝන් හැදී වැඩුනේත් මේ අතරයි. 

සතුටේ පළමු දෙදරුම

ඉතාම ප්‍රීතිමත් පවුලක් ලෙස සමාජයේ කැපීපෙනුනු කේරන් පවුලේ නොදකින පැතිකඩ ගැන මුල්ම පණිවිඩය ලැබී තිබුණේ කේරන්ගේ සොයුරිය වුණ ලින්ඩාටයි. 

ඇයට මේ පණිවිඩය ලබා දී තිබුණේ අන් කිසිවෙකුත් නොව ඇයගේ සොයුරිය කෙරන් විසින්ම වීම විශේෂත්වයක් ගන්නවා. 

2007 වසරේ එක් උදෑසනක සිය සොයුරියට දුරකථන ඇමතුමක් ගත් කේරන් ප්‍රකාශ කරේ තවත් මේ සියළුම දේ දරාගෙන ජීවත් වීමේ හැකියාවක් ඇයට නොමැති බවයි. 

නිවසේ වියදම් වෙනුවෙන් ඇයට ලබාදෙන සෑම සතයක් සඳහාම හේතු විමසීමට ජේම්ස් කටයුතු කරන බවත්, සිය අවශ්‍යතා සඳහා ඉතාම සීමත මුදලක් පමණක් ඔහු ලබාදෙන බවත්, කෑම, බීම, නෑම, නිදාගැනීම, අවදී වීම ආදී නිවසේ සෑම කටයුත්තක්ම සිදු කිරීමට තමාටත් තම දරුවන්ටත් කාල සටහනක් ඔහු පිළියෙළ කර ඇති බවත්, නිවස පිරිසිදුව තබා ගන්නා ආකාරයේ සිට එක් එක් දින වලදී පිළියෙල කර යුතු කෑම වර්ග පවා තීරණය කරන්නෙ ජේම්ස් විසින් බව කේරන් ලින්ඩාට පවසා තිබුණා. 

මුලදීට වඩා දැන් ටිකෙන් ටික මේ තත්වය දරුණු අතට හැරෙමින් පවතින බව ඇය තවදුරටත් පවසා සිටි නමුත් ජේම්ස් එවැනි පුද්ගලයෙක්ද යැයි විශ්වාස කිරීමේ සැකයක් තමාට ඇතිවූ බවත් අනෙක් අතට සිය සොයුරියට බොරු කීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා එය විශ්වාස නොකර සිටීමේ හැකියාවකුත් නොමැතිව දෙලොවක් අතර තමා සිරවූ බව ලින්ඩා ප්‍රකාශ කර තිබුණා. 

කේරන්ගේ රහස

තරුණ දියණියක් දෙදෙනෙකුගේ මවක් වුවත් කේරන් සිය සිරුරේ හැඩය සහ නීරෝගීබව ගැන හොඳින් සැළකිලිමත් වූ කාන්තාවක්.

ඒ නිසා, සෑම විටම පෝෂ්‍යදායී ආහාර ගැනීමටත්, සිරුරේ හැඩය පවත්වා ගැනීමට ව්‍යායාම කිරීමටත් ඇය ඉතා ප්‍රිය කරා. 

කේරන්, ලින්ඩාට පැවසූ ලෙස ජේම්ස් ඇයට කොතරම් නීතිරීති පනවා තිබුණත් ඔහු රැකියාව සඳහා නිවසෙන් පිටත්වූ පසු ඔහුට හොරෙන් ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාම කිරීමට කේරන් කටයුතු කරේ එයින් සිරුරේ හැඩය රැකගැනීමටත් වඩා ඇගේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගැනීමට හොඳ උදව්වක් ලැබෙන නිසයි. 

සිය ශරීර සුවතා මධ්‍යස්ථානයට පැමිණෙන මේ හැඩැති කාන්තාව ගැන එහි හිමිකරුවන්ගේ අවදානය යොමුවූ අතර ඔවුන් ඇයට එහි පුහුණු උපදේශිකාවක් ලෙස රැකියා අවස්ථාවක් ලබා දීමටත් නියමිත හොඳ වැටුපක් ලබා දීමටත් තීරණය කර තිබුණා. 

මේ පිළිබඳව දැනගත් කේරන් ඉතාම සතුටට පත්වී එම අවස්ථාව භාර ගැනීමට එකඟ වුණේ ඇගේ වියදම් වෙනුවෙන් ඉන්පසු ජේම්ස් හමුවේ බැගෑපත් වීමට ඇයට අවශ්‍ය නොමැති වීම නිසයි. 

කෙසේ නමුත්, ඇයගේ මේ ගමන සහ රැකියා අවස්ථාව ගැන ජේම්ස්ට ආරංචි වෙන්නේ නේ අතරයි. 

නමුත්, කේරන් බලාපොරොත්තු නොවූ අයුරින් ඉතා සාමකාමීව තමා ඇයගේ රහස ගැන දන්නා බව පැවසූ ජේම්ස් තමා නිවසට පැමිණෙන විට නිවසේ සිටින ලෙසත් නිවසේ සහ දරුවන්ගේ වැඩ කටයුතු අතපසු වීම නොකරන ලෙසත් කේරන්ගෙන් ඉල්ලා සිටි අතර ඇය රැකියාවක් කරනවාට තමා අකමැති නැතිබවත් පවසා සිටියා. 

අසම්මත සබඳතා 

මේ ශරීර සුවතා මධ්‍යස්ථානයේ සේවයට සනී රයිස් නැමැති සමවියේ කාන්තාවක් පැමිණීමත් සමඟම කේරන් සහ ඇය අතර හොඳ මිතුදමක් ආරම්භ වුණා. 

රැකියාව අවසන් කිරීමෙන් පසු කෝපි බීමට, සාප්පු සවාරියේ යෙදීමට සහ රූපලාවන්‍යාගාර වල සත්කාර සඳහා යෑම ආරම්භ කර ඔවුන්ගේ මිතුදම ටිකෙන් ටික ආදර සබඳතාවයක් දක්වාම දුරදිග යාම සිදුවුණා. 

තමාට ජේම්ස් ගැන තවදුරටත් සිතුවිලි නොමැති බව දැනගත් කේරන් මේ සබඳතාව ගැන ජේම්ස්ගෙන් සඟවා සිටීම තමා ඔහුට කරන රැවටීමක් බව සිතා ඔහුට තමාගේ රහස එළි කිරීමට කටයුතු කර තිබුණා. 

එයටත් කෝප නොවූ ජේම්ස් ඔවුන් දෙදෙනා අතරට තමාවත් ඇතුලත් කරගන්නා ලෙස සනීගෙන් සහ කේරන්ගෙන් ඉල්ලා සිටියා. 

එයට එකඟ වූ සනී සහ කේරන් ඔවුන්ගේ ලිංගික සබඳතා සඳහා ඉන්පසු ජේම්ස්වත් එක්කර ගත්තත් ටිකෙන් ටික ඔහුගේ හැසිරීම ඔවුන්ට කරදරකාරී ලෙස දැණුනු නිසා ජේම්ස්ව ටිකෙන් ටික මඟහැරීමට ඔවුන් කටයුතු කළා. 

රහසේ හමුවීම් 

කේරන් සහ සනී ටිකෙන් ටික තමාව මඟහරින බව වැටහුණු ජේම්ස් නැවතත් කේරන්ව තමා ලඟට ගැනීමේ විවිධ ක්‍රම සොයමින් සිටියත් දැනට ජීවත් වන ප්‍රදේශය අතහැර වෙනත් ප්‍රදේශකය ජීවත් වීම ඒ සඳහා ගැළපෙනව ක්‍රියාමාර්ගය බව සිතූ ජේම්ස් වෙනත් ප්‍රදේශ වල රැකියා අවස්ථා සොයමින් සාමකාමීව කාලය ගත කළා. 

ඒ අතර කොළොම්බියා ප්‍රදේශයේ එක් කම්හලකින් එහි අධ්‍යක්ෂකවරයෙක් ලෙස ජේම්ස්ව සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබූ අතර ඔහු දැනට ලබන ඉහළ වැටුපටත් වඩා දෙගුණයක වැටුප් ඒ සඳහා ලබාදෙන බවත් ඔවුන් පොරොන්දු වී තිබුණා. 

ඒ අවස්ථාව ඉතා ඉක්මණින් ලබාගත් ජේම්ස් සිය පවුලේ සාමාජිකයන් සමඟ කොළොම්බියා ප්‍රදේශයේ සේවයට ගියේ එහි කුලී පදනම මත ලබාගත් නිවසක තාවකාලිකව පදිංචි වෙමිනුයි. 

දරුවන් අළුත් මිතුරන් හඳුනාගනිමින් සිය නව වාසස්ථානයට හුරුවෙමින් සිටින අතරේ ජේම්ස්ගේ සියළු උත්සහයක් ව්‍යාර්ථ කරමින් කේරන් ජේම්ස් නොමැති වේලාවල් වලදී සනීව රහසේ හමුවීමටත් දුරකථනයෙන් කතා කිරීමටත් කටයුතු කර තිබුණා. 

නත්තල් දින සාදය 

මේ අතර 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේ නත්තල වෙදර්ෆෝම් හිදී තම පවුලේ උදවිය සහ නෑ හිත මිතුරන් සමඟ සැමරීමට සිතූ ජේම්ස් පවුලේ සාමාජිකයන් සමඟ නත්තල් නිවාඩුව ආරම්භයේදීම එහි පිටත්ව ගොස් තිබුණා. 

2008 අවුරුද්දී නත්තල් දා සැඳෑවේ වෙදර්ෆෝම් වැසියන් සූදානම් කර තිබූ නත්තල් සාදයකට ඔවුන් සියළුදෙනා සහභාගී වූ අතර ඒ සඳහා සනීත් පැමිණ සිටියා. 

මුලදී ඔවුන් එකිනෙකා නොහඳුනන පරිදි ජේම්ස්ට සැක නොසිතෙන ලෙස හැසිරුණත් ටිකෙන්  ටික ඇල්කොහොල් පානයත් සමඟ තවදුරටත් තම රංගනය කරගෙන යාමේ හැකියාවක් කේරන්ට සහ සනීට තිබුණේ නැහැ. 

සියළු අමුත්තන් ඉදිරියේ එකිනෙකා සිප වැළඳගත් ඔවුන් විවිධ කතා කියමින් ජේම්ස්ව අපහසුතාවයට ලක්කරන්නත් කටයුතු කරා. 

එහිදී සනීට බැණ වැදුණු ජේම්ස් බලෙන්ම කේරන්ව සහ තම දරුවන්ද කැටුව නැවතත් නිවසට යාමට කටයුතු කළේ ඔහුට ඇතිවූ දැඩි කෝපය සහ ලැජ්ජාව නිසාමයි. 

ඒ යන අතරමගදී කේරන්ගේ උරහිසින් අල්ලා දැඩිව සොලවමින්, ඇයව තල්ලු කරමින් සහ ඇගේ හිස වාහනයේ පිටුපසට වද්දමින් ඔහු ඇයව පාලනය කිරීමට උත්සහ කළා. 

ඒ ඔහු ඇයට හිරිහැර කළ පළමු අවස්ථාව යැයි සඳහන් කරමින් ඇය ඔහුට විරුද්ධව ටෙක්සාස් පොලීසියේ පැමිණිල්ලක් ගොනු කරන අතර තමා ඔහුගෙන් වෙන්වන බවත් ඇය ඔහුට ප්‍රකාශ කරනවා. 

සිදුවූ සිදුවීම වෙනුවෙන් තමාට සමාව ලබාදෙන ඉල්ලා සිටිමින් ඇයට ආයාචනා කරන ජේම්ස් එයින් ප්‍රතිඵලයක් නොලැබුණු තැන සිය සමීපතමයන්ට පවා දුරකථන ඇමතුම් ලබාදෙමින් ඇයට තමා අතහැර නොයන්න යැයි පවසන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. 

නමුත්, තම තීරණයේ දැඩිව එළඹ සිටි ඇය සිය දරුවන් තිදෙනාත් සමඟ ජේම්ස්ගේ නිවසින් පිටවන්නේ ඇයට ඔහුගෙන් දික්කසාදය අවශ්‍ය බව පවසමිනුයි. 

ජීවිතේ කණපිට

එතැන් පටන් ජේම්ස් තමන්ගේ සියළු දෛනික ක්‍රියාකාරකම් නවතා කේරන්ගේ පසුපස යාම ආරම්භ කරා. ඇය ගමන් කරන සියළුම ස්ථාන වලට ඔහුව හඳුනාගත නොහැකි ලෙස විවිධ කුලී රථ වලින් ගමන් කළ ඔහු ඇය එම ස්ථානවලින් පිටත්වෙන තෙක් රැඳී සිටියා. 

සිය දියණියන් දෙදෙනාත් මවගේ ක්‍රියාකාරකම් අනුමත කිරීම ගැන ඔහුට තිබුණේ පුදුමයක්. 

මේ පසුපස හඹායාම් වලට අවශ්‍ය කාලය ලබා ගැනීමට මුලදී සිය රැකියාවෙන් දීර්ඝ නිවාඩු ලබාගත් ඔහු, පසුව අසනීප නිවාඩු ද ලබාගත්තා. තවදුරටත් අසනීප නිවාඩු ලබා ගැනීමට නොහැකි තැන නොදන්වා රැකියාවට නොයා සිටීමට ඔහු කටයුතු කළ අතර ඒ නිසා දැනුම් දීම් කීපයකින් පසු ඔහුව රැකියාවෙන් ඉවත් කිරීමට රැකියා ස්ථානයෙන් කටයුතු කර තිබුණා. 

සිය රැකියාව සහ ප්‍රධාන ආදායම් මාර්ගයද සිය පවුලද අහිමි වූ පසු ඔහු නැවත සිය දෙමාපියන්ගේ නිවසට පැමිණ ඔවුන් සමඟ ජීවත් වෙමින් තවදුරටත් කේරන් පසුපස ලුහුබැඳීම සිදුකරගෙන ගියා. 

ඝාතන

2019 නොවැම්බර් මස 29 වන දින කේරන්ගේ මව වූ ඩොරති වයිට් මහත්මියගේ නිවසට අසල්වැසි නිවසකින් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමකින් කියවුනේ ඩොරති වයිට් මහත්මියගේ නිවසට ඉදිරියෙන් නැවැත්වූ වෑන් රථයකින් බැස ගිය පුද්ගලයෙක් වයිට් මහත්මියගේ නිවස ඇතුළට ගිය බවත් ඉන්පසු වෙඩි හඬවල් කීපයක් ඇසුණු බවත් ඔහු නැවත නිවසින් පිටතට පැමිණ වෑන් රථයේම නැගී වේගයෙන් පිටත්ව ගිය බවත්ය. 

ඉතා ඉක්මණින් එහි පැමිණ නිවසට ඇතුළු වූ පොලිස් නිළධාරීන්ට නිවසේ දොර විවෘත කරන විටම වයස්ගත කාන්තාවක් වූ ඩොරති වයිට් මහත්මිය ලේ විලක් මැද වුවත් ජීවත්ව සිටින බවත්, ඇය අසළ වයස අවුරුදු 10 ක පමණ කුඩා පිරිමි දරුවෙක් නිරුපද්‍රිතව සිටගෙන සිටින අයුරුත් දැක ගත හැකි වී ඇත. 

නිවසේ මුළුතැන්ගෙයට ආසන්නව කේරන් වයිට්, හිසට සහ පපුව ප්‍රදේශයට එල්ලවූ වෙඩි උණ්ඩ දෙකක් නිසා එම ස්ථානයේම ඒ මොහොතේම මියගොස් සිටි අතර සාලයේ සෝපාවක් සහ සෝපාව පිටුපස බිත්තිය අතර හිසට තැබූ වෙඩි පහරකින් ඒ වනවිටත් මියගොස් සිටි එමලි කේලර්ගේ සිරුරද පොලිසියට දැකගැනීමට ලැබී තිබුණි. 

නිවසේ දෙවන මහලේ ඇඳක් මත සිට පපුව ප්‍රදේශයට එල්ලවූ වෙඩි ප්‍රහාර නිසා දැඩි අසාධ්‍ය තත්වයේ පසුවූ ලෝරන් කේලර් සොයාගත් අතර තමාව බේරාගන්නා ලෙස ආයාචනා කරමින් මේ අපරාධය කලේ තම පියා බවත් ඇය දිගින් දිගටම පවසා තිබිණි. 

වෛද්‍ය අංශවල සියළු උත්සහයන් ව්‍යාර්ථ කරමින් දැඩි තුවාල ලබා සිටි එමලි කේලර් පසුදා උදෑසනත්, ඩොරති වයිට් පසුදා සවස් කාලයේත් මියගියේ මියගිය පුද්ගලයන් ගණන 04 ක් ලෙස සඳහන් කරමිනුයි. 

මිනිමරුවා අත්අඩංගුවට

ලෝරන් කේලර් සාක්ෂි අනුවත් අපරාධය සිදුවී ඇති ආකාරය සහ අසල්වැසියන්ගේ සාක්ෂි මතත් මෙම ඝාතනය සිදුකර ඇත්තේ ජේම්ස් කේලර් බව පසක් වූ ටෙක්සාස් පොලීසිය රතු නිවේදන නිකුත් කරමින් ජේම්ස් සහ ඔහු ගමන් කළ රථය පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කළ අතර ආයුධ සන්නද්ධව සිටින ඔහුගෙන් හැකිතරම් ඈත්ව සිටින ලෙසත් දැනුම් දීමට කටයුතු කළා. 

ටික වේලාවකින් පොලිස් අණ නොතකා අධික වේගයෙන් ගමන් ගන්නා වාහනයක් ගැන ලැබුණු ආරංචි මත ඒ ජේම්ස් යැයි අනුමාන කළ පොලීසිය ඔහු පැදවූ වාහනය පසුපස හඹාගොස් නතර කරනු ලැබුවා. 

තමන් ආයුධ සන්නද්ධව සිටින බවත් තමන් සතුව ගිනි අවියක් සහ පිහියක් තිබෙන බවත් පැවසූ ජේම්ස් සිය කැමැත්තෙන්ම කිසිදු කලබලයක් නොකර පොලීසියට යටත් වීමටත් කටයුතු කර තිබුණා. 

නඩු විභාගය 

තම බිරිඳ තමන්ට රහසේ අනියම් සබඳතාවයක් පැවැත්වූ බවත්, ප්‍රසිද්ධියේ තමන්ව ලැජ්ජාවට සහ අපකීර්තියට පත් කළ බවත්, දරුවන්ද රැගෙන තමාව අතහැර දමා ගිය බවත් ඒ තනිකම, දුක සහ කේන්තිය පාලනය කර ගත නොහැකිව ඇයව මරා දැමූ බවත් දියණිවරුන් ද බිරිඳගේ පැත්තේ සිටි නිසා ඔවුන්වද මරා දැමූ බවත් ජේම්ස් පොලිසීයේදි පිළිගෙන තිබුණා. 

මෙම භයානක සිදුවීමෙන් දිවි ගලවා ගත් එකම තැනැත්තා වූ කුඩා ෂෝන් පැවසූ පරිදි ඔවුන් සිය මිත්තණියගේ නිවසේ සිටියදී මව කේරන් රාත්‍රි ආහාරය පිසිමින් සිට ඇති අතර ඔහුට පයි එකක් අවශ්‍ය බව ඇයට කීමට ඔහු මව අසළට ගොස් තිබුණා. 

එක්වරම දොර කඩාගෙන පියා එහි ඇතුළු වූ බවත්, ඈත තියා තම මවට වෙඩිල්ලක් තැබූ බවත් නැවත ඇය ලඟට ගොස් තවත් වරක් වෙඩි තබා තමා දෙසටත් තුවක්කුව එල්ල කළ බව ෂෝන් පවසා තිබුණා. 

නමුත්, පියා ඔහුට වෙඩි නොතබා ටික වේලාවක් බලා සිටි නිසා නිවසේ පිටුපස දොරින් එළියට දිව ගොස් සැඟවූ බවත් පියා පිටත්ව ගිය පසු නැවත පැමිණි බවත් එවිට පොලීසියත් පැමිණි බවත් ෂෝන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා සිටියා. 

ජේම්ස්ව අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ වෑන් රථයේ තිබී වෛද්‍ය නිර්දේශය මත ලබාගත් සාංකාව, මානසික ආතතිය සහ තවත් මානසික අස්ථාවර වීම් සඳහා ලබාගත් ඖෂධ සොයාගත් අතර ක්ෂණික කෝපය නිසා ඔහු මෙම අපරාධය සිදුකල බවත් සිය වැරදි නිවැරදිතා සොයා ගැනීමේ හැකියාවක් ඔහුට නොමැති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රකාශ කරා. 

නමුත්, තුවක්කුවක් මිලදී ගැනීමේ සිට මියයන තුරුම හිසට සහ පපුවට වෙඩි පහරවල්  එල්ල කිරීම දක්වා ඉතාම සැළසුම් සහගත ලෙස ඔහු කටයුතු කර ඇති බව වෛද්‍ය විශේෂඥයන් අධිකරණයේදී කරුණු දක්වා තිබුණා. 

ලෝරන් සිය පියාගෙන් සැඟවීමට බිත්තිය සහ සෝපාව අතර සැඟවීමට ගත් උත්සහය ව්‍යාර්ථ වූ බව ඇය මියගොස් සිටි ආකාරය පිළිබඳ පරික්ෂණ කර අපරාධ විශේෂඥයන් සඳහන් කළා. 

අවසානය 

සැළසුම් සහගත ලෙස කෙරන් වයිට්, ඩොරති වයිට්, එමලි කේලර් සහ ලෝරන් කේලර් ඝාතනය කිරීමේ වරදට ජේම්ස් ක්‍රෙග් කේලර් වරදකරු බව අධිකරණය විසින් තීරණය කර අතර ඔහු දැනටත් එම වරදට සිරදඬුවම් ලබමින් ඉන්නේ ඔහුගේ නීතිඥයන් තවමත් ඔහුව නිදහස් කර ගැනීමට දරන උත්සහයන් මධ්‍යයේයි. 

ඔබ සිතන්නේ කුමක්ද ? 

ජේම්ස් ක්‍රෙග්ට සමාවක් ලැබිය යුතුද? නැද්ද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles