නුග ගසේ ශාපය

කලවාන නැමැති පුරාණ ග්‍රාමයේ වැසියන් අස්වනු නෙලීමේ මංගල්‍ය හේතුවෙන් ප්‍රීතියෙන් සිටින ආකාරය නොරිස්සුම් හැඟීමකින් යුතුව බලා සිටි ඇය මාලිනීය.  ඇය ගමේ ජීවත්ව සිටින පැරණිතම පුද්ගලයාය. ඇගේ හිස්කෙස් සුදු පැහැතිය. ගමේ වෙසෙනා පුංචි දරුවන්ට ඇගේ හිසකෙස් බොම්බයි මොටයි සිහිකරේ නිතැතිනි. ඇගේ සම කෙතරම් රැලි වැටී දිරාපත් වී ද යත්, ඇයව නොහඳුනන පිටස්තරයකු ඇයව දුටුවහොත් බියවනවා නොඅනුමානය. ඇගේ දෑස් තුළ වූයේ අමුතුම ආකාරයක ගුප්ත බවකි. ඇයට බිය නොවී ඇය අසලින් නිතරම සිටියේ ඇගේ මුණුබුරා පමණි. ගමේ සියල්ලන්ටම පාහේ අස්වනු නෙලීමේ මංගල්‍යය සුබදායක ලෙස පෙනුණත් එම උත්සවට හා සබැඳි අන්ධකාර අභිරහස දැන සිටියේ ඇය පමණි.

අස්වනු නෙලීමේ මංගල්‍යය එම ගමෙහි උත්සවාකාරයෙන් සිදු වූ අතර ඒ පිළිබඳව සාකච්ඡා කරගැනීමට ගම්වැසියන් සියල්ලෝම ගමේ සමිති ශාලාවට එක්රැස්ව සිටියහ. ඔවුන් දෙස උපේක්ෂාවෙන් බලාසිටි මාලිනී, තම මුණුබුරා ද කැටුව එතනින් පිටව ගියේ කණගාටුවක් සිතෙහි රඳවාගෙනය.

තම මිත්තනියගේ මුහුණෙන් දිස්වන කණස්සලු ස්වභාවය දුටු රවී ඇයගෙන් ඒ පිළිබඳව විමසීමට සිතුවේය.

” ආච්චි, ඇයි දුකෙන් වගේ…” ඇයගෙ මුහුණෙන් විදහාපාන්නේ වේදනාවක්ද නැතහොත් බියක්ද යන්න තේරුම් ගතනොහැකිව සිටි රවී විමසුවේය.

“අද තමයි ශාපයේ දවස දරුවෝ…!!”

“ශාපය??? ඒ මොකක්ද ??”

“අතීතයේ අපේ ගමේ හිටිය බලසම්පන්න මන්තරකාරයෙක්… ගමේ මිනිස්සුගෙන් එයාට වුණ යම් සිදුවීමක් නිසා එයා මේ මේ නුගගහට ශාපයක් කළා පුතේ… අස්වැනු නෙලීම දවසේ රෑ මෙතනින් කවුරුහරි ගියොත් ඒ ශාපයට එයා අහුවෙනව…”

“ඇයි අච්චියේ මේ නුගගහටම ඒ ශාපය කළේ?”

“ඒකට ලොකු හේතුවක් තියෙනව මගෙ දරුවො… මට පොරොන්දු වෙන්න, ඔයා අද රෑට ගෙදරම ඉන්නව කියල…”

පුංචි රවී හිස දෙපසල වනමින් මිත්තනියට පොරොන්දු විය. එහෙත් ඔහුගේ සිතේ වූ කුතුහලය නිසාම එදින සවස තම මිතුරු කැල හමුවේ තම මිත්තනියගේ වදන් පැවසුවේ එහි බරක්පතලක් නොසිතාමය.

“උඹ ඔය හනමිටි අදහස් විශ්වාස කරනවද රවී? ඕවා මේ පොඩි ළමයි බය කරන්න ගොතපු කතානේ… හෙහ් හෙහ් හේ…” කාවින්ද්‍ය ඔලොක්කුවට මෙන් සිනහසෙමින් පැවසුවේය.

“ඒක නම් ඇත්ත. ඔයාගේ ආච්චි ඔයාව බය කරල. ඔයා ඕවා ගැන නොහිතා අද රෑට උත්සවය සමරන්න එන්න…”

“ඔව්… උඹ අපිත් එක්ක රෑට සෙල්ලම් කරන්න එන එක නවත්වන්න තමයි ආච්චි එහෙම කියන්න ඇත්තේ…”

“සමහරවිට…” රවී යහලුවන්ගේ බසට අවනතව ඔවුන් පැවසූ දෙය විශ්වාස කරන්නට විය.

ඉනික්බිතිව ඔවුන් ගමේ අනෙකුත් ළමුන් හා එකමුතුව සෙල්ලම් කරන්නට විය.

කෙමෙන් කෙමෙන් මධ්‍යම රාත්‍රීය ළඟා විය. එදින එම රාත්‍රියේ වූයේ අමුතු ම ආකාරයක ගුප්ත බවකි.  කමත පුරා හමා ගිය සුළං රැල් වල ගැබ්ව තිබුණේ දරාගත නොහැකි සීතලකි.

“වරෙල්ලා උණු උණුවෙ කෝපි ටිකක් බීල ඉමු… ඔය සත්තුන්ටත් විවේකයක් එපැයි…”

ගමේ වැඩිහිටියෙක් පැවසුවේ බැත පාගන ගවයින්ට මෙන්ම ඔවුන්ට ද විවේකයක් අවැසි නිසාමය. ගමේ සිටි ගෙවිලියන් විවිධ වර්ගයේ රස කැවිලි සාදා තිබූ අතර ළමා ලපටි සියල්ලන්ම කැවිලි බන්දේසී වටා එක්රොක් විය. ඔවුන්ගේ වැඩිම පොරය වූයේ වැලිතලප කෑමටය.

“රවීඊඊඊ… රවීඊඊ…!!”

සීත සුළං රැල් වල දැවටී ලොමුදැහැ ගැන්වෙන රලු ගොරෝසු ගුප්ත හඬක් රවීගේ සවන වැකුණේ ඔහු ද ගමේ ළමුන් සමඟ පොරකමින් කැවිලි බන්දේසි වලින් කැවිලි ගනිමින් සිටින අතරතුරය.

“ඒ කවුද… කවුද මට කතා කරේ?”

” කවුරුත් තමුසෙට කතා කළේ නෑ රවී… ඔය අග්ගල බන්දේසිය මෙහාට දෙනව…” ළමුන් අතර වයසින් වැඩි නිමල් බලහත්කාරයෙන් ම රවී අත වූ අග්ගලා තසිම උදුරා ගනිමින් පැවසීය.

“රවී… ඇවිත් මාව නිදහස් කරන්න .. රවී…”

“ඔය ඔය, කවුද මට කතා කරනව…”

“තමුසෙටත් තමුසෙගෙ ආච්චිට වගේ පිස්සු හැදිලද කොහෙද… යනව මෙතනින් යන්න..”

නිමල් රවීව තල්ලු කළ අතර රවී බිම ඇද වැටිණි. ඔහු බිම ඇද වැටෙනු දුටු කාවින්ද්‍ය සහ ගීතා ඔහු අසලට සැනින් දිව ආවෝය.

“රවී.. ඔයා හොඳින් නේද ” ගීතා විමසුවාය.

“මම හොඳින්… ඒත්… ඒත්…” රවී බිරාන්තව ගොත ගසමින් පැවසුවේ ය.

” ඒත් කිව්වෙ ඇයි බං… මොකද ප්‍රශ්නේ?” කාවින්ද්‍ය විමසුවේ කුතුහලයෙනි.

“මට කවුරුහරි කතා කරනව වගේ ඇහුනා… ආච්චි හරි , මට අද නොඑන්නයි තිබුණෙ…”

“මොනවද බං මේ කියන්නෙ.. ආච්චි බය කරපු එකම ඔලුවෙ තියෙන නිසා මේ ඔක්කොම.. වරෙං අපි ගිහින් බලමු නුගගහ යට මොනාද තියෙන්නේ කියල … එතන මුකුත් නෑ… ඔය උඹේ හිත…”

“ඔව්..  කාවින්ද්‍ය හරි… ආච්චි රවීව හොඳටම බය කරල…. අපි එතනින් ගිහින් ආච්චිට පෙන්නමු භූතයො, ශාප නෑ කියල” ගීතා කාවින්ද්‍ය සමඟ එකඟවිය.

ඉනික්බිතිව යහලුවත් තුන්කට්ටුවම ගමේ වැඩිහිටියන්ට හොරෙන් නුගහහේ අභිරහස විසඳීමට පිටත් විය. යහලුවන් තුන්කට්ටුව හොර රහසේම පිටවන අයුරු දුටු නිමල්ද ඔවුන් පසුපස ඇදුනේ ඔවුන්ට ද නොදැනෙන්නටය.

නුග ගස වෙනදා පේනවාට වඩා වෙනස් බව යහලුවන් තිදෙනාටම ඈත තියා දැකගත හැකිවිය. නුග ගස අඳුරේ ඒ මේ අත වැනෙනා අන්ධකාර භූතාත්මයක් සේ ඔවුනට පෙනෙන්නට විය. නුග ගසට ඉහළින් වූ ආකාසය පවා ගත්තේ රෞද්‍ර පෙනුමකි . ඉඳහිට අහස්කුසෙන් නුගගස අවට පතිත වූ අකුණු සැර වෙන කිසිම තැනකට තම ප්‍රභාව නොපෙන්වූ හැටි නම් ගුප්තය.

“කාවින්ද්‍ය, අපි යමුද.. අපිට කාටවත් මුකුත් ඔප්පු කරන්න ඕන්නෑ අනේ…” තමන් ඉදිරියේ වූ භයානක දර්ශනයෙන් භීතියට පත් ගීතා පැවසුවාය.

“බයගුල්ලී… මෙන්න මෙහෙ එනව යන්න…”

කාවින්ද්‍ය ගීතාගේ අතින් ඇදගෙනම නුගගස අභියසට යන්නට විය. මෙතෙක් වේලා ඔවුන් පසුපසින් සිටි නිමල් දුර ඈත තියාම පරිසරයේ සිදුවන වෙනස දැක බියට පත්ව අසල තිබූ ගල් පතුරකට මුවා වී ඔවුන් කරනා දෙය බලා සිටියේය.

නුග ගස අසලටම පැමිණි මිතුරන් තුන්කට්ටුව දුටුවේ නුගගසේ කඳෙහි විශාල සිදුරක් නිර්මාණය වී ඇති ආකාරය ය. කුතුහලය නැමැති ව්‍යසනය විසින් පාලනය කරන්නට යෙදුනාවූ කාවින්ද්‍ය නුග ගස අසලම ගියේ ගීතාගේ අකමැත්ත මත ඇයව බලෙන්ම ඇදගෙනමය. ඔවුන්ට වැඩි වේලාවක් එම කුහරය දෙස බලා සිටීමට සිදුවූයේ නැත. යමෙකු විසින් ඔවුන්ව කුහරය තුළට තල්ලු කරනවාක් මෙන් දනුණි.

“නෑ… ඒ මොකක්ද වුණේ…”

සියල්ල දෙස සුපරික්ෂාකාරීව බලා සිටි නිමල්ට භීතියෙන් කෑගැසුනි.

සිදු වූ සිදුවීමෙන් බියට පත් වූ නිමල් වේගයෙන් ගමේ සියල්ලන්ම සිටි කමත වෙත දිව ගියේය.

“අනේ කවුරුත් නැද්ද… අර නුගගහ අරුන්ව කෑවා…”

දුර තියාම කෑගසාගෙන දිව ගිය ඔහු කමත මැද දී ක්ලාන්තව බිම ඇද වැටුණි. ගමේ වැඩිහිටියන්ගෙන් බහුතරයක් මෙන්ම එතැනට එක්රැස්ව සිටි ළමෝද සිදු වූ කිසිවක් සිතාගත නොහැකිව බිරාන්තව බිම ඇද වැටී සිටි නිමල් දෙසම බලා සිටියහ. වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු පැමිණ නිමල්ට වතුර ඉස ඔහුව සිහිගැන්වීමේ ප්‍රයත්නයක යෙදී සිටි අතර අසල සිටි අයවලුන්ට බැණ වැදුනි.

“ඇයි මෙතන පෙරහැරක් යනවද..  මේ කොල්ලට හුළං ටිකක් එන්න දීල උඹම ඈත් වෙයව්…” මහලු ස්ත්‍රිය ගෝරනාඩු කරද්දී සියල්ලෝම පසෙකට වී ඇයට ඉඩ ලබාදුනි.

නිමල්ගේ මුහුණ සුදුමැලි වී තිබිණි.  ගතම ගැහෙන්නට වූයේ එදින උදෑසන ගොයම් නෙලූ ට්‍රැක්ටරයේ මොටරය මෙනි.

“මේ කොලුවට යකෙක් ගහල වගේ. මේ ගැහෙන හැටි බලාපල්ලකො… ඉක්මනින් මූව මාලීනී ගාවට ඇන්න යමල්ලා…”

ගමේ වැඩිහිටි කාන්තාවක් කෑමොර දෙන්නට විය.

ඉනික්බිතිව සියල්ලන්ම ඔහුව ඔසවාගෙන මාලිනීගේ පැල්කොටය දෙසට ගමන් කළෝය. පුදුමයකට මෙන් ඔවුන් එහි යද්දී රවී නැමැති පුංචි කොලු ගැටයා තම මිත්තනිය සමඟ සිටීමය. ඔහු කමතේ සිටි බව ගමේ බොහෝ අයට මතකය. එහෙත් ඔහු මෙලෙස මෙහි සිටීම සියල්ලන්ටම උභතෝකෝටික ප්‍රශ්නයක් වුව මේ වේලාව එම ගැටලු නිරාකරණය කරගැනීමට උචිත වෙලාවක් නොවූයෙන් ඔවුන් ඒ පිළිබඳව මුනිවත රැකීමට සිතූහ.

“අනේ මෑණියනි, මේ කොලුව අර නුගගහ යටට ගිහින් යකෙක් ගහලද කොහෙද… මූට නූලක් මතුරල දැම්මනම් හොඳයි…”

ගම්මුලෑදෑනිතුමා යටහත් පහත්ව පැවසුවේ මාලිනී ගම්නියම්ගම් වල පවා ප්‍රසිද්ධ යක්සදෙස්සියක් නිසාමය . ඇගේ කෝපයට ලක්වීමට ගමේ සියල්ලෝම බියය. එය එසේ වුවත් මෙතෙක් ඇයගෙ උදහසට ලක්වූවෙක් නම් සොයා ගැනීමටවත් නැත.

“හත්වලාමයි… ඕකනෙ මම මේ අස්වැනු නෙලීමේ මංගල්‍යයට අකමැති .උඹල කවදාවත් මම කියන දෙයක් අහනවයෑ…”

මාලනී ගෝරනාඩු කරමින් සිහිසන් ව සිටි නිමල් අසල ගියාය. ඔහුගේ ශරීර ස්වභාවය අනූව යම් ගුප්ත බලපෑමක් නොව එය හුදෙක් බියවීමක් පමණක්ම බව තේරුම් ගත්තාය. එහෙත් ඔහු එතරම් බියවීමට යම් හේතුවක් තිබිය යුතු බැවින් ඔහුට සිහිඑල්ඹ කල්හි එය විමසා දැනගැනීමට සිතූ ඕ තම අතෙහි වූ රතු මිශ්‍ර කලුපැහැති නූල් පටක් ලෙහා යමක් මතුරමින් ඔහුගේ අතේ බැන්දාය.

පුදුමයකි !

ඔහුට සැනින් සිහිය ලැබුණි.

“ම … ම… ම… ර… ර… ර…” තමන් සිටින්නේ කොහිදැයි නොදැන වටපිට බලමින් ගොත ගැසූ ඔහුගේ නෙත රවී ගැටුනි. රවී දුටු විට ඔහුට කතා කරගත නොහැකිව බිරාන්තව නැවතත් සිහිමුර්ඡා විය.

“මේ ළමයට යකෙක් ගහල නෑ.. බයවෙලා තියෙන්නෙ… හෙට වෙද්දි හරියාවි…. දැන් ගෙදර එක්ක පලයව්…මම හෙට මේ ළමයගෙ ගෙවල් පැත්තට එන්නම්…”

මාලිනී කිසිත් නොදොඩා ගෙතුළට ගියේ රවීවත් කැටුවය. එහෙත්,

ගම්මුන් සියල්ල ආපසු පිටත් වන තුරු පැල්කොටයේ වූ එකම ජනේලයෙන් පිටත බලා සිටි මාලිනී ඔවුන් පිටව ගිය පසු රවී දෙසට හැරුණි.

“උඹ හොඳින්ද  මගෙ පුතේ…?”
“ඔව්.. මම වෙනදටත් වඩා හොඳින්… අදින් පස්සෙ සියල්ල හොඳ වේවී…”
රවී අවසාන වාක්‍ය පවසද්දි මාලිනී තම සයනය මතින් හිඳ ගත්තීය. ඇය තම අත සයනය යට වූ පෞරාණික පන්මල්ල වෙත යවමින් රවීගෙන් තතු විමසීය.

” පුතේ…උඹ එහෙම ගියෙ නෑ නේද ඔය නුගගහ තියෙන හරියට… උඹ ගෙදරමනෙ හිටියෙ නේද …”

” ඇයි එහෙම අහන්නෙ… මම මෙහෙ හිටපු එක සැකද?”

වචනයෙන් වචනයට ආච්චි කියන රවී අද එසේ නොපැවසීම මාලිනීගේ සැකය තහවුරු කරන්නට විය.

“දැන් උඹ ඔය පන්මල්ල අතට ගත්තේ ‘හරිත ඇම්බරය’ අරන් ආපහු මාව නුගහහේ හිර කරන්නද… හෙහ් හෙහ් හේ…”

රවීගේ කටහඬ රෞද්‍ර ය. ඔහුගේ දෑස් රක්තවර්ණයෙන් දිලිසෙයි.

“මාලිනී… උඹට අමතකයි මම උඹේ ස්වාමිපුරුෂයා කියල… උඹ දන්න කියන සෙප්පඩ විජ්ජාවල් ටිකත් මගෙන් ඉගෙන ගත්තේ කියල… අනේ අනේ මාලිනී… උඹ හිතුවෙ සාදාතනිකව මාව නුගහහේ හිර කරල උඹ අමරණීය වෙන්නද…”

මාලිනී අත වූ කොළ පැහැති පොසිලයක් බඳු වූ වීදුරුමය ගල සැනින් රවී අතට පා වී ගියේය. මාලිනීගේ දෑස් බියෙන් විසල් විය. ඇයට තමන් කල යුතුදැයි සිතාගත නොහැකි විය.

“එදා මම ගැබ්බර උඹේ දරුවා මහා යක්ෂයාට පුදලා අපි දෙන්නටම අමරණීය යක්සදෙස්සන් වීමේ බලය ඉල්ලා යාඥා කරද්දි උඹ කොහොමහරි නුගගහේ මුලකින් මතුවුණ හරිත ඇම්බරයෙ උදව්වෙන් මාව නුගගහේම හිර කාරයෙක් කළා නේද… මම එදා ඉඳල උඹ දිහා බලාන හිටියෙ… මගෙ මහා යක්ෂ උතුමාණන් මට වරයක් දුන්නා ආපහු මිහිපිටට එන්න… ඒ උඹේ ද්‍රෝහීත්වය දැකලා…. මම මගෙ වංශෙ එකෙක් එතන්ට එනකම් කොච්චර බලන් හිටියද. ඒකත් මාව උඹ හිරකරපු ඒ තිථිය දවසෙ….. හෙහ් හෙහ් හේ.. උඹේ කොල්ලා උගෙ යාලුවොත් එක්ක ආවා එතනට… මම ඌව මගෙ ළඟට ගත්තා.. පේනවනේ…”

රවී රෞද්‍ර එහෙත් ගොරෝසු කටහඬකින් පවසාගෙන ගියේය.

“අද ඉඳල මේ ගම මගේ මහා යක්ෂෝත්තමයාණන් වහන්සේගේ භූමියක් වේවි. මේ ගමේ මිනිස්සු අපේ යක්ෂ සේනාව වේවි… ඒ කිසිම දෙයක් බලන්න උඹ ඉන්න එකක් නෑ මාලිනී… දැන් උඹේ වාරය නුගගහේ හිරවෙන්න…. බයවෙන්න එපා.. මේ ගමේ මිනිස්සුන්ගෙ ආත්ම ටික එවන්නම් උඹේ තනියට…”

“එ…එපා… රවී පුතේ…ඔයා ශක්තිමත් .. ඔය වශියෙන් මිදෙන්න මගෙ පුතේ…'”

මාලිනී තමන්ගේ පන් මල්ලේ වූ විභූති කුඩු අහුරක් අතට ගෙන ඔහුගේ මුහුණට දමා ගසමින් පැවසීය.

“ආච්චි… මගෙ ආච්චී…” සැනින් රවී පියවි සිහිය එල්බ ගත්තේය.

මාලිනී වහාම තම මුණුබුරා ළඟට දිව ගියේ ඒ වනවිටත් ඔහු අත මිට මොළවාගෙන සිටි හරිත ඇම්බරය ලබා ගැනීමටය. ඇය ඔහු ළඟට පැමිණෙනවාත් සමඟම ඔහු පිටුපසින් ඔහුගේ යහලුවන් දෙදෙනා වූ ගීතා සහ කාවින්ද්‍ය මතු විය. ඔවුන් දෙදෙනා සිටියේ රවීට පිටුපසින් සැඟවීගෙන බව මාලිනී දැනගත්තේ ඒ වේලාවේදීය. ඔවුන්ගේ දෑස් ද රක්ත වර්ණයෙන් දිදුලුවේය. ගීතා සැනින් ඉදිරියට පැන මාලීනීව තදින් ග්‍රහණය කර ගත්තේ කුඩා දරුවකුට වඩා වැඩිහිටියකුට හිමි ශක්තියක් ධාරණය කරගනිමිනි. කාවින්ද්‍ය ඔහු අත වූ තියුණු කිනිස්සෙන් මාලිනීගේ හදවත පසාරු කරගෙන යන සේ ඇයට ප්‍රහාරයක් එල්ල කළේය.

“උඹ හිතුවෙ උඹේ ඔය පුංචි පුංචි මායාකාරී ද්‍රව්‍ය වලට මාව යටපත් කරන්න පුළුවන් කියලද? ” ඒ වන විටත් රවීගේ ස්වරූපය වෙනස්වීම ආරම්භ වී තිබිණි. ඔහු උස වැඩුණු පුරුෂයකුගේ ස්වරූපය ධාරණයක කරගෙන සිටියේය.

“උඹල දෙන්නා ගිහින් මෙයාවත් නුගගහ ඇතුලට තල්ලු කරල ගමේ සෑම මනුස්සයෙක් ම නුගගහේ හිර කරපල්ලා… අද රාත්‍රීය ඉවර වෙන්න කලින් අපි මේ ගම අල්ලා ගන්න ඕන. හෙහ් හෙහ් හේ… ඊට පස්සෙ නගරය… ඊට පස්සෙ මේ රට… එතනින් එහාට මේ ලෝකයම මගේ පාලනයට ගන්නෝන… හෙහ් හෙහ් හේ…!”

තම ගෝලයන් මාලිනීව කුදලන් යන සැටි බලාගෙන සිටි රවී වියරුවෙන් මෙන් සිනහසුණේය…!

ඒ වන විටත් ඔහු රවී නොව රවී කුඩා කල ඔහුගේ මිත්තනිය විසින් පැවසූ නපුරු මන්ත්‍රකාරයා බවට සම්පූර්ණයෙන් ම පරිවර්තනය වී සිටියේය…!!

-නිමි –

©හංසි රණසිංහ 

More Stories

Don't Miss


Latest Articles