ඒකපාර්ශ්වික – 41

අහස් වේදිකාව පසුපස ඇති කුඩා තිරයෙන් ප්‍රේක්ෂකාගාරයේ කොනක සිට වේදිකාව දෙස බලා සිටින මේඝා දෙස බැලුවේ ඇයට නොපෙනෙන ලෙසය. 

” හරි දැන් ඔයා මේ තකහනියෙම මාව හොයාගෙන ආවේ ඇයි කියන්නකෝ ? “

ඒ ප්‍රශ්නය තමා ඇයගෙන් ඇසුවේ මීට සුළු මොහොතකට පෙරය. ඇත්තටම ඇය තමා සොයාගෙන පැමිණි වග විශ්වාස කිරීමට නොහැකිව එසේ ඇසුවත් අහස් ඒ මොහොතේද උන්නේ දරාගත නොහැකි තරමේ පුදුමාකාර  සතුටකින් ඉපිලෙමින් ය.

” ඔයා කිව්වනේ සමහර අවස්ථාවල් දෙපාරක් එන්නෙ නෑ කියලා. ඒක එහෙමම නෙමෙයි කියලා ඔයාට කියලා දීලා යන්න තමයි මම මේ ආවේ ” 

මේඝා කීවේ ජයග්‍රාහී ලෙසය. අහසට සිනා නැගුනේ ඇයගේ ඒ හිතුවක්කාරකමටය. 

” ආ.. ඔයා දැන් එතකොට මේ මාව හොයා ගෙන ආවේ මට පාඩමක් උගන්නලා යන්නද ? ” 

” අහස් අයිටම් එකට රෙඩි වෙමු ” 

හිතවත් නිරූපණ ශිල්පිණියක වූ නිලූෂි අහස් දෙසට එන අතරේ කීවාය. අහස් මේඝා වෙත සිනහවක් පාමින් වේදිකාව දෙසට ගියේ පෙර නොවූ , නොදැනුනු සැහැල්ලුවකිනි. ඒ සැහැල්ලුව දැනුනේ මේඝා තමා පෙනෙන මානයේ සිට බලා ඉන්නා නිසා බවට සැකයක් නොවීය.

සම්මාන උළෙල වෙනුවෙන් ගීත කිහිපයකට නර්තන අංග කිහිපයක් සූදානම් කර තිබුණේ සම්මාන උළෙලේ රසවත් බව වැඩි කිරීම සඳහාය. එයින් කිහිපයකටම තම සහෘදයන් සමඟ අහස් පෙනී සිටි අතර ඒ මොහොතේ සූදානම්ව තිබුණේ අහස් සහ නිලූෂි පමණක් පෙනී සිටින අංගයේ පෙර පුහුණු වීමය.

අහස් වේදිකාව මත නිලූෂි සමග නර්තනයේ යෙදෙන අයුරු මේඝා පසෙකට වී බලා උන්නාය. කොහොමටත් කඩවසම් තරුණයකු වූ අහස් ඔහුගේ දක්ෂතා මනාව කැපී පෙනෙන අයුරින් නිලූෂි සමග නර්තනයේ යෙදුණු අතර ප්‍රේක්ෂකාගාරයේ සිටි සංවිධායක මණ්ඩලයේ බොහෝ දෙනකු එය නැරඹුවේ අහස්ව අගය කරන අතරේ ය.

ඒ අගය කිරීම් කෙසේ වුවත් මේඝා ඇසි පිය නොහෙලා බලා උන්නේ අහස් දෙසය. ඔහුගේ මුහුණේ ඉරියව් දෙසය. ප්‍රේමණීය ගීතයකට නර්තනයේ යෙදෙන අහස් නිලූෂි දෙස බලන බැල්මය. ඒ බැල්මට ඕනෑම තරුණියක වශී කර ගත හැකි බව මේඝා සිතුවාය. සිත යටින් සියුම් ඉරිසියාවක් නැග එන්නේ කුමක් නිසා දැයි සිතන්නට මේඝා වෙහෙසුනේ නැත. ඇයට උවමනා වූයේ මේ අපූරු තරුණයා දෙස නිදහසේ බලා හිඳින්නට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ය. රූගත කිරීමකදී වත් මේ තරම් උනන්දුවෙන් තමා අහස් ලෙස බලා සිටි මොහොතක් මතකයේ නැත. 

” කොහොමද ? ” 

අහස් මේඝා දෙසට එන අතරේ ඇසුවේ නර්ථන අංගය පිළිබඳව ඇගේ අදහස දැන ගනු පිණිසය. එහෙත් ඇගේ මුහුණෙහි දක්නට ලැබුනේ නෝක්කාඩුවක ස්වරූපයකි.

” පුදුම මනමාල කමක්නෙ තියෙන්නේ. මං අද තමයි හරියටම දැක්කේ ” 

මේඝා කීවේ මුහුණෙන් පිළිබිඹු වූ නෝක්කාඩුවෙන්ම ය.

” ඔයා තාම හරියට දැකලා නෑ ” 

අහස් වට පිට බලන අතරේ කීවේ අවට සිටින කිසිවෙකුටත් නෑසෙන ලෙසය. ඇය ලඟ සිටින එකඳු මොහොතක් වත් අපතේ යවන්නට අහස් ට සිත දෙන්නේ නැත.

” මොකද්ද ? ” 

” මගේ මනමාලකම ” 

අහස් සිනාසෙමින් එසේ පිළිතුරු දුන් විට මේඝා ඔහුගේ පිටට වේගයෙන් පහරක් ගැසුවේ ඔහුගේ සිනාවටම එකතු වෙමිනි. මේඝා මේ තරම් සැහැල්ලුවෙන් සිනාසෙන අයුරු දුටුවේ සෑහෙන කාලයකට පසුවය. පසුගිය කාලයේ මේඝා සිටි තත්ත්වය සමග සසඳා බලන විට එය ඇත්තටම හොඳ දෙයකි. එසේ නම් මේ වන විට මේඝා නිම්නාදව සහ ඔහුගේ මතකයන් සිතෙන් අමතක කර බොහෝ දුර පැමිණ ඇතිවා විය හැක. 

” විහිළු නෙමෙයි අහස්. ඇත්තටම ඒ අයිටම් එක ලස්සනයි. ඔයා මෙච්චර දක්ෂයි කියලා මං දැන ගත්තේ අද තමයි ” 

මේඝා අහස්ව වර්ණනා කළේ හදවතින්ම ය. තවත් වෙලා එතන රැඳෙන්නට හිත කීවත් මේඝා ට ඒ මොහොතේ අහස්ට සමු දීමට සිදු වූයේ ඒ වන විටත් රෑ බෝ වෙමින් තිබුණු නිසාය.

” මං ඔයාව ඩ්‍රොප් කරන්නම්. මේ රෑ වෙලා තනියම යන්න එපා මේඝා ” 

අහස් කියද්දිත් මේඝා සූදානම් වූයේ යන්නටය. ඇය ඌබර් ඇප් එක මගින් ත්‍රිරෝද රථයක් ඇණවුම් කරමින් උන්නාය.

” මොකෝ වෙනදට මම රෑ වෙන කොටත් ඔයා එනවද මාව ඩ්‍රොප් කරන්න ? “

” ඔයා කියනවා නම් එන්න බැරි කමකුත් නෑ ” 

අහස් කී එවදන් පිළිබඳව මේඝා සිතුවේ ත්‍රිරෝද රියට නැගී පිටත් වුන පසුවය. තමා ත්‍රිරෝද රියට නැගී නොපෙනී යනතුරුම අහස් බලා උන් බව මේඝා දුටුවේ ත්‍රී රෝද රියේ පසු පස වීදුරුවෙනි . අහස් මේ තරම් උනන්දුවෙන් තමා ගැන සොයා බලන්නේ කුමන කාරණාවක් නිසා දැයි මේඝා ට නොදැනුනා නොවේ. නමුත් තමන්ගේ සිත එය පිළිගන්නට මැලිකමක් දක්වන බව මේඝාට සිතුනි.

නිම්නාද තමාව හැර යන විට ඔහු බිඳ දැමුවේ තමාගේ ජීවිතය පමණක් නොවේ. අන් අය කෙරෙහි දැක් විය යුතු විශ්වාසය පවා ඔහු නැත්තටම නැති කළේය. අහස් පිළිබඳව විශ්වාසයක් ඇති කර ගැනීමට මේ මොහොතේ බියක් දැනෙන්නේ ඒ නිසා විය යුතුය. සමහර විට අහස් මේ තරම් තමා ගැන සොයා බලන්නේ තමා කෙරෙහි ඇති සාමාන්‍ය ළෙන්ගතුකමක් පමණක් නිසා විය හැකිය. නමුත් ගෙවුණු පැය කිහිපය තුළ ඔහු පැවසූ සමහර දේවල් තුළ අනිවාර්යයෙන්ම කුමක් හෝ යටි අරුතක් සැඟව තිබෙන බව මේඝා කිහිප වරක්ම සිතුවාය. 

” එහෙම බලාපොරොත්තුවක් එයාගේ හිතේ තියෙනවා නම් මං එයාව හොයාගෙන ගිය එකෙන් ඒ බලාපොරොත්තුව වැඩි වෙන්න ඇති ” 

මේඝා අවසන සිතුවාය. 

” අපරාදේ මම ගියේ. මට එහෙම නොකර ඉන්න තිබුණා ” 

යැයි මේඝා සිතුවත් ගෙවුණු පැය කිහිපය ඇත්තටම මොන තරම් සුන්දර දැයි ඇයට අමතක කළ නොහැකි විය. 

අහස් නිවසට පැමිණියේ වෙනදාටත් වඩා පිරුණු හැඟීමකිනි. එය වඩාත් ප්‍රේමණීය එකක්ද විය. සම්මානයට නිර්දේශ වීමේ සතුටටත් වඩා ඔහු සතුටු වූයේ නොසිතූ මොහොතක මේඝා තමාව සොයා ගෙන පැමිණීමය. තමා ඇයව සොයා යනවා වෙනුවට තමා සිටින තැනක්වත් නොකියා සිටි විට ඇය එසේ සොයාගෙන පැමිණීම නිකරුණේ සිදු විය නොහැක. සමහර විට තමා ඇය පිළිබඳව උනන්දු වන බව ඇය මේ වන විටත් දන්නවා විය හැක. තමාගේ සිතැඟි ඇය වෙත හෙළි කළ යුතු කාලය පැමිණ ඇති බව සිතුනත් අහස්ට දැනුනේ දෙගිඩියාවකි. 

නිම්නාද කොයි මොහොතේ හෝ නැවත පැමිණ මේඝා ගේ ජීවිතයට ඇතුළු වේය යන බිය අහස්ට තදින්ම දැනුනි. එසේ වුවහොත් තමාට සිදු වන්නේ පිටස්තරයකු සේ ඇගේ ජීවිතයෙන් ඉවත්ව යාමට ය. එය තමාට ඉමහත් වේදනාවක්ද වනු ඇත. 

ඒකපාර්ශ්වික ආදරයක් වේදනාවකින් තොර යැයි සිතුවද, එකී ආදරය හිමි නොවීමත් වේදනාවක් නොවේ යැයි සිතුවද ඇත්තටම එය ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ ආදරය තමාට හිමි නොවීමම බරපතළ වේදනාවක මූලාරම්භයකි. තමා මේ බිඳෙන් බිඳ විඳිමින් සිටින්නේ ඒ වේදනාව බව අහස්ට දැනුණු අතර ඊළඟට කළ  යුතු වන්නේ කුමක්දැයි අදහසක් වත් අහස්ට තිබුණේ නැත. 

එක්කෝ මේඝා සමග කෙලින්ම මේ ගැන කතාබහ කල යුතුය. එසේත් නැත්නම් ඇය ගෙන් සදහටම ඈත් විය යුතුය. ඇය ගැන දැනෙන මේ හැඟීම සමග එය ඇය හට නොපවසා ඇය සමග හිතවත් කමක් හෝ පැවැත්වීම අසීරුය. 

එසේ සිතූ අහස් අවසන තීරණයක් ගත්තේය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles