ආකාසය සුදු ඝණ වලා වියනකින් වැසී තිබිණ. ඒ නිසා ඒ වෙලාවේ කිංසි පාරට තද අව්වක් වැටුණේ නැත. පාර අයිනේ කඩවසම් තරුණයෙකු සුඛෝපභෝගී මෝටර් රථයකට හේත්තු වී ගෙන සිටී. ඔහු ගේ දෑස් මත නොව හිස මත අව් කණ්ණාඩි යුගල රැඳී තිබේ. මුහුණට කදිම පිරිමි පෞරුෂයක් එක් කරනා රැවුල, නාගරික පන්නයට කප්පාදු කොට තිබේ. ඔහු හැඳ සිටිනුයේ විනිවිද පෙනෙනා සුදු කපු කමිසයකි. එහි ඉහළ බොත්තම් දෙක තුන විවර ව ඇති අතර තරුණයා සිටිනුයේ දෑත් පපුව මත බැඳගෙන ය. ඒ ශක්තිමත් බාහු ඝණ රෝමයෙන් ගහන ය. මැණික් කටුව ළඟ රිදී හා රන් පැහැය මුසු වූ මිලාධික අත් ඔරලෝසුවකි. අයිස් නිල් පැහැති ඩෙනිම් කලිසම හා දුඹුරු පාට ලෙදර් සපත්තු යෞවනයාගේ පෙනුම තීව්‍ර කරන්නට සමත් වී තිබේ.
පාරුල් දෙව්රූ ඇල්ලගේ, සිය දෑස් සිහින් කොට ගඟුල් ගේ සමස්ථ රූපය දෑසින් අවශෝෂණය කරගත්තා ය. ඇගේ උරයක කළු කාන්තා බැක් පැක් එකක් ඕනාවට එපාවට එල්ලීගෙන තිබේ. එහි කොනක එල්ලී විනී ද පූ කෙනෙකු ඔංචිලි පදියි. පාරුල් ගඟුල් දෙසට අඩියක් දෙකක් තබන්නට වූවා ය. අසීමිත කඩවසමකින් යුත් ගඟුල් විජයවීර ඇය පිළිගන්නට ඉතසිතින් සූදානම් වූයේ ය.
ඒ තත්පර කිහිපය තුළ වූ සිදුවීම දෙස වෛද්‍ය සිසු සිසුවියෝ හැරී බලමින් යන්නට වූහ. ඇතැමෙකු වෛද්‍ය පීඨයේ විසල් පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූයේ ද කිංසි පාරට නෙතු පා කරමිනි. “පාරුල් කොහෙන්ද එකපාරටම මේ වගේ මිස්ට හැන්ඩ්සම් කෙනෙක් හොයාගත්තෙ…” වැනි ප්‍රශ්නයක් පුංචි දොස්තර නෝනලා ගේ ඇස් වල ලියැවී තිබිණ. තරුණ දොස්තර මහත්වරුන්ගේ ඇස් වල නම් ඊර්ෂ්‍යාවක සෙවනැලි වැටී තිබුණ බවට රහසක් නැත.
ඇය ඇවිද ගිය ලොකු ම දුර ඒ අඩි දෙක තුන සේ දනවන දෙපා බරක් පාරුල් ට දැනී නො දැනී ගියේ ය. ඒ තරම් හෙමිහිට ඇය ඇවිද ගිය අඩි කිහිපය ඒ බවට නම් සැකයක් නැත. ඝණ සුදු වලාවන්ට වෙට්ටුවක් දමා පොළොව වෙත සේන්දු වූ අව් රැල්ලක් තඹ පාටින් ඇගේ කොපුලක් සිපගනිමින් තිබිණ. පාරුල් ගේ රතදර අතරේ ඇය මග නො හරින මන්දස්මිතය ඔට්ටුතාන් කරන්නට වූයේ ය.
ඇය ඒ අඩි කිහිපය තබා දුර කතර ගෙවා එන අතරේ ගඟුල් විජයවීර දෑස් නො පියවා යුවතිය විනිවිද දකිමින් සිටියේ ය. ඇය වූ කලී නිවී සැනසිල්ලේ බලා සිටිත හැකි දේවතා රූපයකි. එකත්පස්ව අසා සිටිත හැකි මධුර මන්තරයකි. සමවත් සුවයෙන් මෙනෙහි කළ හැකි භාවනා නිමිත්තකි.
“මෙ…තන…”
පාරුල් ප්‍රශ්නයක් නැගුවා ය. ස්වරයෙහි පමණකුදු නොව ඇගේ ඇස් වල ද මුළුමහත් ඈ තුළ ද ඒ ප්‍රශ්නය විමසුම් කරමින් තිබිණ. ගඟුල් සිනහවකට ඉඩ දෙමින් ඇස් තුළින් ඈ තුළ කිමිදීමේ උත්සාහයක් දැරුවේ ය.
“හවසට වත්තට එනව කියලනෙ කිව්වෙ…”
ඇය සිහිනයක සිටිනවා ද කියා පාරුල් ට මොහොතකට සිතිණ. ඇගේ කටහඬ ඇහුණේ ඈ වෙතින් නොව දුර ඈත චක්‍රාවාටයක කෙළවර වන පුංචි තරු තිතකින් සේ ය. මෘදු ය. සෞම්‍ය ය.
“මෙතනිං යද්දි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ල ෆැකල්ටි එක පැත්තට යනව දැක්ක. ඔයත් ඇතිද කියල බලන්නයි නතර වුණේ”
ඒ නම් මුසාවකි. ඔහු දැන් මෙතන කල් මරන්නට ගෙන හෝරාවකට ආසන්න වේ. පාරුල් කීවේ තුන පමණ වන විට පීඨයෙන් නික්මෙන බවයි. වත්තේ දී ඇගේ පිරිස අතර නොව තනිව එදා පුස්තකාලයේ දී වාගේ ඈ සමග නිවීසැනසිල්ලේ දොඩමළු වන්නට ගඟුල් ගේ හිත බල කළේ ය. යම් ලෙසකින් තුනට නොව දෙකට පමණ ඈ නික්මුණහොත් යන සැක මුසු බියෙන් ඔහු කල්තියා මෙතැනට ආවේ ය.
“හොඳ වෙලාවට මං දැක්කෙ. කෝල් එකක් දෙන්න තිබුණනෙ ඉතිං මෙතන කියල”
“එහෙනං අපි යමුද…”
ඇහුවා නොව ඔහු ට එහෙම ඇසිණ.
“කොහෙද…”
පාරුල් ගේ ඇස් වල රවුම් බව වැඩි විය. ඇසුවේ නො ඇසිය යුතුව තිබූ ප්‍රශ්නයක් බව ගඟුල් ට සිහි වූයේ ඉක්බිතියි.
“අ…නෑ මේ…ඔයා දැං ගෙදර යනවනං මාත් එක්කම යන්න පුළුවන්”
“නෑ. කමක් නෑ. මිස්ට ගඟුල් ට කියන්න තියෙන්නෙ මොනාද කියල කිව්වනං…”
“ඉතිං ළමයො මෙහෙම පාරෙ හිටගෙන කතා කරන්න පුළුවන්ද…”
පාරුල් තොල් කොනක් සපාගත්තා ය.
“මට තේරෙනව. වෙන කෙනෙක් එක්ක ඔයා වාහනේ යනව ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් දැක්කොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්…”
පාරුල් බිම බලාගෙන සිටියා ය.
“කවුද එයා…ශාරුක් නේහ්”
ඇය හිස එසවූයේ හී ගසක් මෙනි.
“අනේ ශාරුක් මගෙ කවුරුවත් නෙවෙයි. එයා දැක්කත් නො දැක්කත් මට ප්‍රශ්නයක් නෑ. ඒත් පොලිටීශියන් කෙනෙක්ගෙ පුතෙක් එක්ක…පොලිටික්ස් වලට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් එක්ක නිකමටවත් එහෙම ගමනක් යන්න මං කැමති නෑ”
ඒ වචන පිහි තුඩු සේ මුවහත් වූයේ ය. ඒ පිහි තුඩු කෙළින් ම ගඟුල් ගේ පපුවේ වැදුණා කීවොත් මුසාවක් නොවේ. ඔහු ගේ මූණ හැකිළී, සූරියකාන්ත මලක් සේ බිමට හැරවෙන හැටි පාරුල් දුටුවා ය. ඈ තුළ ඇති වූයේ බරපතල පසුතැවීමකි. ඇය එහෙම කීවේ ගඟුල් රිදවීමේ අදහසකින් ම නොවේ. නමුත් සිය පෙම්වතා ලෙස දිගින් දිගට ම ඔහු ශාරුක්ව හඳුන්වා දීම, ක්ෂණික නොරිස්සුමක් පාරුල් තුළ ඇති කරවනා ලදී. අනිත් අතට ගඟුල් ඉදිරියේ නො පැරදී සිටිත යුතු යයි ඇගේ මාන්නය බලවත් ව හිස ඔසවා ඉඟි කළේ ය.
“ඕකේ. අපි එහෙනං පස්සෙ කතාකරමු. එක්කො වත්තට ආපු වෙලාවක. නැත්තං මං ඔයාට කෝල් එකක් දෙන්නං”
ගඟුල් රියට නැගෙනු වස් රිය දොරට අත තැබුවේ ය. දැවී යන සංවේදනයක් පාරුල් ට දැනිණ.
“කතා කරන්න තියන දෙයක් දැං කතා කරමු. ආපු එකේ… අපරාදෙනෙ”
ගඟුල් ආපසු හැරී ඇදෙස බැලුවේ ය. පාරුල් මඳක් හිස ඇල කළා ය. ඇගේ ඇස් වල වූයේ “ප්ලීස්” කියනා ආයචනාත්මක බැල්මකි.
“එහෙමනං අපි මේ කිට්ටුව තියන කොෆී ශොප් එකකට ගිහින් කතාකරමු. මං කියන්නද…ඔයාට ටැක්සි එකක් දාමුද…ඔයා ඒකෙ එන්න. මං පේ කරනව හරිද…”
“ටැක්සි…”
“ඔව්. මට බයයි මාත් එක්ක යං කියන්න. ඒ ගැන ඔයා කොහොම හිතයිද දන්නෑනෙ…”
මොහොතක් බිම බලාගෙන උන් පාරුල් ක්ෂණික තීරණයක් ගෙන වහා රියදුරු අසුනට යාබද දොර විවර කරගෙන රියට නැගුණා ය. ගඟුල් ට ඒ මොහොත සිතාගත නො හැකි එකක් විණි. හිත හිතා ඉන්නේ නැතිව ඔහු ඊළඟ නිමේශයේ වහා ගොස් රියට නැඟුණේ ය. සිනහවක් හිත ඇතුළේ නළියෑවත් ඔහු ඒ සිනහව පිට කළේ නැත. පාරුල් කෙළින් ම ඉදිරිය බලාගෙන බෑග් එක තුරුලු කරගෙන සිටී. ගඟුල් අසීරුවෙන් උගුර පාදාගත්තේ මඳ දුරක් රිය ඉදිරියට ඇදුණ පසුව ය.
“තෑන්ක් යූ”
ඇය හිස හරවා බැලුවා ය. ගඟුල් එක් බැල්මක් දී නැවත ද ඇස් ඉදිරි මග වෙත ගත්තේ ය. පාරුල් ගේ බැල්ම නො වෙනස් ව එක එල්ලේ ඔහු දෙස දැල්වීගෙන ඇති බව ගඟුල් ට දැනේ. ඒ ඔහු ස්තූති කළේ ඇයි කියනා කාරණය දැනගන්නට බව ද ඔහු දනී.
“මගෙ වාහනේට නගින්න තරමට මාව විශ්වාස කළාට”
පාරුල් කට කොනකට සිනහවක් කැන්දා ගත්තා ය.
“මං සාමාන්‍යයෙන් පොලිටීශියන්ස්ල විශ්වාස කරන්නෑ”
“ඒත් මාව විශ්වාස කළා කියල මං දන්නව”
කියා කියන්නට ගඟුල් ට ඕන විය. නමුත් ඔහු එහෙම නො කියා සිටියේ ය. යම් හෙයකින් එහෙම වුණොත් ඇය රිය නතර කරවාගෙන බැස යන්නට වුව බැරි නැත. පාරුල් කියන්නේ එහෙව් අභිමානයක් සුරකින ගෑනු ළමයෙකු බව දැන් ගඟුල් දනී.
“හරි කමක් නෑ. එහෙම විශ්වාස නොකරද්දිත් මගෙ වාහනේට නැග්ගට තෑන්ක්ස්”
ඉන් ඔබ්බට පාරුල් ට කියන්නට දෙයක් නැත. ඇය දෙතොල් මුව තුළට ගෙන නිහඬ වූවා ය. ගඟුල් ඒ ආසන්නයෙහි ම වූ සුඛෝපභෝගී අවන් හලක් ඉදිරියේ රිය නතර කළේ ය.
“අපි රණ්ඩු වෙන්නැතුව කතාකරමුද…”
අසුන්ගත වී හරි බරි ගැහී ගඟුල් මුලින් ම කීවේ එයයි. පාරුල් සිනහවකට දෙතොල් ඇද කළා ය.
“මං හරි ඕනවට වැඩි පණ්ඩිත කෙල්ලෙක් කියල හිතෙනවද…”
මොහොතක් එක එල්ලේ ඇදෙස බලා උන් ගඟුල්, තීරණාත්මක ප්‍රශ්නයට ඉඩ දුන්නේ ය.
“ඔයාට බැරිද මමත් තව පොලිටීශියන් කෙනෙක් කියන එකෙන් එළියට ඇවිත් මගෙ දිහා බලන්න…අපිට බැරිද යාළුවො වෙන්න…එතකොට අපිට බැරිද යාළුවො විදිහට කතා කරන්න…මං යාළුවෙක් විදිහට පිළිඅරං…පොලිටීශියන් කෙනෙක් විදිහට මිනිස්සුන්ට එපා නොවී ඉන්න මොනාද මං කරන්න ඕන කියල මාත් එක්ක කතා කරන්න පුළුවන්ද…යාළුවො කවදාවත් තව යාළුවෙක් වළට වැටෙනකල් බලං ඉන්නෑනෙ…නේද…”
පාරුල් දෙතොල් පෙති තෙරපා සිනහ වූවා ය. නමුත් ඇගේ සිතේ ප්‍රශ්නයක් ඉපදිණි.
“මට තේරෙනව ඔයා අවංක ගෑනු ළමයෙක් කියල. එහෙම කෙනෙකුගෙ වචනයක් දෙකක් අදහසක් වුණත් මට වටිනව. ඔයා දන්නැති වුණාට පොලිටික්ස් වලට එන්න මට කිසිම ආසාවක් තිබුන්නෑ. තාත්තගෙ වදේ නිසයි මේක සිද්ද වුණේ. ඒත් දැං මට හිතෙනව මං පොලිටීශියන් කෙනෙක් වෙන්නම ඕනෙ කියල. මොකද මෙච්චරකල් හැම කෙනාම කරල තියෙන්නෙ එකම දේ. ඔයත් එක්ක කතා කළාට පස්සෙ මට හිතෙනව මේ රටට මගෙන් වෙන්න දෙයක් තියනව කියල. මට කරන්න දෙයක් තියනව කියල. මොකද අරය කරයි මෙයා කරයි කියල බලං ඉඳල මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නෙ. අඩුගානෙ අපිවත් මේක අතට අරං කරන්න ඕනෙ. තරුණ කොල්ලො කෙල්ලො ටිකක් ඉස්සරහට ඇවිත් කරන්න ඕනෙ. අනිත් අය එනකල් මට හිතෙනව මං පටං ගන්න ඕනෙ කියල. මොකද මට තාත්ත නිසා ලැබෙන වරප්‍රසාද ටිකක් තියනව. අඩු ගානෙ තව දශක දෙකුනකින්වත් මේ රටේ සැලකිය යුතු වෙනසක් සිද්ද වෙලා තියන විදිහට අපි දෙයක් කරන්න බලමු. ම්…”
දිගට ම කියවාගෙන ගිය ගඟුල් පාරුල් ගේ මුහුණට එබුණේ ය. ඇගේ ඇස් වල අලුත් දිස්නයක් දකිත හැකි විය.
“දැනට ඔයා හිතන විදිහට මං කැමතියි. ඇත්ත… මේකට එන්න කලින් මිනිස්සු කරන්න හිතං ඉන්න දේවල් ආවට පස්සෙ වෙන්නෑ. මඩ වළකට කිරි බින්දුවක් වැටුණයි කියල ගානක් වෙන්නෑනෙ. ඔහේ මඩ වලටම දියවෙලා යන එකනෙ වෙන්නෙ. උඩුගං බලා පීනන එක ලේසි නෑ. ඒත් ඔයා එහෙම කරන්න ඉන්නවනං… සතුටුයි. මං මිනිස්සුන්ගෙ ලෙඩ සනීප කරන්න ඉගෙන ගන්න කෙනෙක්. හැම පැත්තකින්ම මිනිස්සු සුවපත් වෙන්නයි ඕනෙ. බලමු. ඔයා හරි පාරක යනවනං පැත්තක ඉඳන් අත්පුඩි ගහන්න මාත් ඉන්නව”
ඒ කොන්දේසියකි. කොන්දේසි සිඳ බිඳ ගෙන ඇයත් එක්ක මේසයක වාඩි වී මෙහෙම කතා කළ නො හැකි වනු ඇති බව ගඟුල් දැන් ඉඳුරා දනී!