මවකගේ ලෝකය 9 වන කොටස

ඉරිදා නිවාඩු නිසා ටිකක් වැඩිපුර නිදා ගන්න එක අපේ පුරුද්ද. ඇත්කටම නින්ද වුණත් වැඩිපුර ම වටින්නෙ නිතර නිතර ඒක වැළඳ ගන්නට ඉඩ කඩක් නැති අයට.

නින්ද කැඩුවෙ දුරකතනය. ඇත්කටම මේ දුරකතනය තරං අපිට ප්‍රයෝජනවත් මෙවලමක් තවත් නැති තරං. ඒත් වෙලාවකට ඒ තරං කරදරකාර දෙයක් වුණත් වෙන නෑ කියල හිතෙනව.

මං නිදි බර ඇස් අමාරුවෙන් ඇරගෙන දුරකතන තිරය දිහා බැලුව. කෝල් එක ඔෆිස් එකේ යාළුවෙක්ගෙං.

“රමී..අජන්තා ට කැන්සර් එකක්ලු”

දෙයියනේ! ඒ ආරංචිය මගෙ පපුව භූමි කම්පාවකට ලක් කළා වගෙයි. අජන්තා අපේ ඔෆිස් එකේමයි. එයා ටික දවසක ඉඳං අසනීපෙං හිටියෙ. එහෙනං එයාට තියෙන අසනීපය ඒක!

අජන්තාට ඉන්නෙ පොඩි බබාල දෙන්නෙක්. එක්කෙනෙක් අපේ දූ ට වඩා අවුරුද්දක් බලෙයි. අනිත් එක්කෙනාට තාම අවුරුදු අටයි. මට ඉවසගන්න බැරි වුණේ ඒ දරුවො දෙන්නා ගැනයි. අජන්තා කියන්නෙ දරුවො ගැන ගොඩක් බලාපොරොත්තු තියං හිටිය අම්ම කෙනෙක්. අපි ඉඳහිට විවේකයෙන් කතා කළා නම් වැඩිපුර ම කතා කළේ ළමයි ගැන. එයාලගෙ අනාගතේ ගැන. කොහොමද හිතන්නෙ අජන්තාට මේ ලෙඩෙන් නරකක් නපුරක් වෙයි කියල. කොයි තරම් ලෙඩේ පැතිරිල ඇත්ද? සනීප කර ගන්න පුළුවන් තත්වයක් තිබුණොත් හොඳයි.

මටත් නොදැනී මට ඉකි ගැහිල ඇඬුණා. මං ඒ වෙලාවෙ අජන්තා ගෙ තැනට ආදේශ කරං හිටියෙ මාව. එයාගෙ දරුවො ඉන්න තැන දූ හිටිය. එතකොට මං ඇඬුවෙ මං වෙනුවෙන්ද? මන් දන්නෑ. හැබැයි දුවේ ඔයා වෙනුවෙන් නම් මගෙ පපුව පැලෙන්න ආව.

“අඬන්න එපා ඉතිං. ජීවිතේ කියන්නෙ ඔහොම දෙයක් කියල අපි දන්නවනෙ. ඉපදීමත් එක්ක ලෙඩ වීම වයසට යාම  මරණය වගේ දේවල් අනිවාර්යයෙන් බැඳිල තියෙනව. සිදුහත් කුමාරයත් ගිහි ගේ ගැන කළකිරුණෙ සතර පෙර නිමිති දැකල. දැන් අපි ඕවයෙ හැටි දන්නවනෙ රමී. අනිත් එක දැන් මෙඩිසින් කියන්නෙ හරි දියුණු දෙයක්. ඔයාගෙ යාළුව ඉක්මනට සනීප වෙයි”

දූගෙ තාත්තා මගෙ හිස පිරිමදිමින් හිත හදන්න උත්සාහ කළා. ඒත් වරින් වර මට මතක් වුණේ මේ සිද්දියමයි. ඒ මතක් වෙන හැම වතාවක ම ඇස් කඳුළකින් තෙත් වුණා.

දුව තේ බීල කෝප්පෙ ගෙනත් පැන්ට්‍රි එකෙන් තියල ගියේ මං උදේ කෑම හදනකොට.

“මේ. මෙහෙ එන්න”

මගෙ හඬේ තිබුණ දැඩි ගතියටද කොහෙද දූ නතර වෙලා මං දිහා බැලුවෙ පුදුමයෙන්.

“ඇයි අම්මි…”

“ඔය කෝප්පෙ තේ බිව්වෙ කවුද…”

“මං”

“එතකොට ඒක හෝදන්න ඕන කවුද…”

දූ නිරුත්තරව බලං හිටිය. මං හැසිරුණේ අද අලුතෙන් ඉපදුන අම්ම කෙනෙක් වගේ.

“ගන්න කෝප්පෙ. හෝදන්න. තමන්ගෙ වැඩ තමුං කරන්න ඉගෙන ගන්න. අනිත් එක මෙහෙ සර්වන්ට්ස්ල නෑ. මටයි කියලත් කොච්චර වැඩ තියෙනවද”

මං කෑ ගහගෙන ගියා. දුව හෙමිහිට ඇවිත් කෝප්පෙ හෝදල තියල ගියේ බයකින් ද මන්දා. ඊට පස්සෙත් දෙතුන් වතාවක්ම මං දූ ට කෑගැහුව.

“ගෑනු ළමයෙක්ගෙ පොත් මේසෙක හැටි. අස් කර ගන්නව මේක. හැමදාම මේව අම්ම කරල දෙනකල් බලං ඉන්න එපා දුවේ. හදිස්සියෙවත් අම්ම මැරුණොත් එහෙම ඔයා ඔයා ගෙ වැඩ කරගන්නෙ කොහොමද…වෙන කවුරුවත් ඒව කරල දෙයි කියල හිතන්න එපා. ඒක නිසා පුරුදු වෙන්න ඔයාගෙ වැඩ ඔයා තනියම කර ගන්න”

දූ හිටියෙ අහසින් පොළොවට වැටුණා වගේ තිගැස්සිලා. වෙනදට එයාගෙ හැම වැඩක් ම අතට පයට කරල දෙන අම්මට අද මොන යකෙක් වැහිලද කියල ඔයා හිතන්න ඇති. ඒත් ඔයා දන්නෑ දුවේ අම්ම පිච්චුණ ගින්දරක තරම. මට ඕන වුණේ දූ  ශක්තිමත් දරුවෙක් විදිහට වැඩෙන්න ඕන කියල මේ මොහොතෙවත් කියල දෙන්න. අම්ම ආදරේ වැඩි කමට ඔයාගෙ හැම දේම කරල දුන්න. අපිට වෙන දරුවො නෑනෙ කියල ඕනවටත් වඩා හුරතල් කළා. දුව ගෙදර වැඩක් තියා තමන්ගෙ වැඩක් වත් තනියම කර ගත්තෙ නෑ. ඒකට වැරදිකාරය මං කියලත් මං පිළිගන්නව.

“ඔය ළමයව ඔහොම හදන්න එපා. ඔයත් ඔෆිස් එකේ මහන්සි වෙලානෙ එන්න. එයාට ගෙදර වැඩක් කරන්න උගන්නන්න”

තාත්තා නොයෙක් අවස්ථා වල එහෙම කියල තියෙනව. ඒත් ඒ වෙලාවලදි මං හිනා වුණා විතරයි. දූ මට හැම දාම චූටි පැටියෙක් කියලයි මං හිතුවෙ. මං නැති දවසක ඒක දූ ට කොහොම බලපාවිද කියල මං හිතුවෙ නෑ.

“රමී…”

හවස මං මිදුලෙ බංකුව උඩ කල්පනා කර කර ඉන්නකොට දූ ගෙ තාත්තා ළඟට ඇවිත්.

“අද ඔයා දුවට කෑගැහුව හොඳටම වැඩී වගේ නේද…ඒ ළමය බය වෙලා වගෙයි..ඔයා කවදාවත් නැතුව මේ මොකද කියල එයා හිතකව ඇති”

මං දූ ගෙ තාත්තා දිහා බැලුවෙ අසරණ හැඟීමකින්. ඒ වෙත්දිත් මගෙ ඇස් තෙත් වී ගෙන ආව.

“ඔයා කලින් ඉඳන් කිව්ව දේ වල බරපතලකම තේරෙන්නෙ දැන් තමයි. මටත් අජන්තාට වගේ ලෙඩක් හැදුණොත් එහෙම…බැරි වෙලාවත් මං ඉක්මනට මැරුණොත්…දුව තනියම කිසි දෙයක් කර ගන්න දන්නෙ නෑනෙ. මං නැති දවසක එයා මේ ලෝකෙ අසරණ වෙයි කියල මට බයයි”

 ඒක මහ පුදුම දුකක්. මගෙ හදවත කෑලි වලට පැලෙන්න එනව වගෙයි මට දැනුණෙ. දූ ගෙ තාත්ත මාව එයාට තුරුල් කර ගත්තා.

“මොනාද දරුවො මේ කියන්නෙ…ඔයාට එහෙම වෙන්නෙ කොහොමද…අනික ඉතිං…ලෙඩ දුක් කියන්නෙ ඕන වෙලාවක ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. එහෙම වුණොත් කියල දුක් වෙන එක අඬන දොඩන එක තේරුමක් ඇති දෙයක් නෙවෙයි රමී. ඔයා හොඳටම කලබල වෙලා. අපි ටිකක් රිලැක්ස් වෙන්න බීච් එක පැත්තට ගිහින් එමු. හ්ම්. ලෑස්ති වෙන්න දුවත් එක්ක”

දූ ගෙ තාත්ත මං කලබල වෙන හැම වෙලාවක ම මුණිවරයෙක් වගේ මාව සන්සුන් කරන්නෙ. එහෙම ස්වාමියෙක් ලබපු බිරිඳක් ඇත්තට ම වාසනාවන්තයි. එහෙම පියෙක් ලබපු දුවෙක් ගෙ වාසනාව ගැන මං මොනා කියන්නද?

“අම්මි…”

බීච් එකේදි හිත ටිකක් සන්සුන් වෙලා අපි රෙස්ටොරන්ට් එකකින් රෑ කෑම කන ගමන් දූ මට කිට්ටු වුණා.

“ඇයි අම්මි තරහෙං හිටියෙ…”

“තරහෙං…මං…තරහෙන් නෙවෙයි. ඒත් ඔයා දැං ලොකු ළමයෙක්. පුළුවන් තරං ඔයා ගැන බලාගන්න ඕනෙ. ඔයාගෙ වැඩ කරගන්න ඕනෙ. තාත්ති ගැන වුණත් හොයල බලන්න පුරුදු වෙන්න ඕන. තේරුණාද…”

මං එච්චරක් කියල නතර වුණේ ආයෙමත් කඳුළු ඉස්සර වෙයි කියන බයට.

දුවේ, අම්මල තාත්තල හැමදාම ඉන්නෙ නෑ. අපි කොචචර වහං වෙන්න හැදුවත් ඒකයි ඇත්ත. හැබැයි දරුවන්ට තමන් නැතත් මේ ලෝකෙ ඔළුව කෙලින් තියං ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවනං දෙමව්පියන් ට සැනසීමෙන් ඇස් දෙක පියා ගන්න පුළුවන්!

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...