නුඹ තරම් ප්‍රේමයක් – 14

දා හතර වැනි සේයාව

………..  ඒ වගේම පෙනීමෙන්, කතාවෙන්වත් ඒ ළමයාට බාධා නොකර ඉන්න මල්ලි ඉටා ගන්න ඕනි  .. මොකද ඒ ළමයාගේ සිතුවිලි ඇතුලේ මල්ලි දැන් මහා බාධාවක් වෙලා ඉවරයි .. අපි තවම දන්නේවත් නැහැ ඒ ළමයා මේ මොහොතේ මොන තරමේ මානසික විඳවීමක ඉන්නවද කියලා.. ඒකත් තනිව ….

ඒ ළමයාව බලන්න  ඉස්සර වගේ හොර රහසින්වත්  නොයන්න හිත හදාගන්න ඕනි. මොකද, ඔයාගේ වාහනේ, කපිල කියන දෙන්නාම එයා අඳුනනවා…. ඒ ළමයාට ඒ සිද්දි අමතක කරන්න පහසු වෙන්න නම් ඔයා නොපෙනන එක වඩා හොඳයි ….. ඒක දවසක්ද, දෙකක්ද, සතියක්ද කියලා මට මල්ලිට කියන්න බෑ.. මොකද අපි දන්නේ නෑ ඒ ළමයා ඉන්න තත්වේ..

සමහරවිට සිහිනිව දැකීම පවා වුනත්  ඒ ළමයාට වදයක් වෙන්න පුලුවන් .. කොහොම වුනත් අපි ඒ ගැන නොහිතා ඉමු .. සිහිනි එක්ක ගැටෙන එක කරදරයක් නම් ඒ ළමයා ට්‍රාන්සර් එකක් හරි හදා ගනීවි නේ ….”

චත්‍ර තිගැස්සුනේය. කලණ නුවර පේරාදෙණියේ සිට  එහි ආව මෙන්, ඇයද කොහේ හෝ ඈතකටම ගියහොත්. සැනින් සිහි  විය. ඇය දැනටම බොහෝ ඈතට ගොස් හමාර බව. චත්‍ර අහසේ ඔහේ විසිරි ඇති තරු දෙස බැලුවේය. දැන් තමාගේ ජීවිතයද එතරමට අපිළිවෙල නොවේද?.

” මල්ලි කරන්න ගිය දේ ගැන අවංකවම පසුතැවෙනවා නම්, ඒ ළමයාගේ හිත හැදෙන්න ඔයාගේ පැත්තෙන් කෙරෙන්න තියෙන හැමදේම කරන්න… පොඩිවත් අඩුවක් නොතියා.. සමහරවිට, ඔය අලුතෙන් ඇවිල්ලා ඉන්නවා කියන සර්.. එයා නිසා ඔය ගෑණු ළමයා ඉක්මන් මානසික සුවපත් භාවයකට හැරෙයි … මල්ලි ඒක පිළි අරගෙන, ජීවිතේ තව ටිකක් ඉස්සරහට  යන්න … ඊට පස්සේ නැවතිලා බලන්න ආයෙම සුදුසු විදිය ….”

අසා උන්නද චත්‍රට මේ සියල්ලටම එකඟ වෙන්නට හැකියාවක් වූයේ නැත. එහෙත්, මේ සියල්ල තමා කල යුතු බව ඔහු දිනෙන් දින වටහා ගත්තේය. ජංගම දුරකතනයේ වූ ඇගේ සේයාරූ දෙස බලමින් ඒ බව අවධාරණය කරගන්නට උත්සාහ කලේය.

ඉන් පසුව ගෙවුන දින කිහිපයේම චත්‍රට පොඩි හාමුදුරුවන් මුන ගැසුනේ නැත. එහෙත් ඔහු තනිවීම තුළ එතෙක් කල් නොවූ යමක් උපයා ගත්තේය. දින එකොලහකට පසු චත්‍ර යළි නිවෙසට එන්නට පිටත් වූයේ පොඩි හාමුදුරුවන්ව එක් වරක් මුණ ගැසෙන තෙක්ම එහි රැඳීය.

” මල්ලිගේ මූණේ කලින් නොතිබුන බලාපොරොත්තුවක් තියෙනවා… අපේ අප්පච්චී, බාප්පා බලාපොරොත්තු වුන දේශපාලන පුරුක වෙන්න මල්ලිට පුලුවන් .. ඕනෑම වෙලාවක මෙහෙ එන්න …. අපහසු තීරණ වලට හදිසි නොවී ඉවසන්න …”

චත්‍ර නිවෙසට ආවේ දහවලේය. සිහිනි පාසැල් ගොස් පැමිණ දිවා ආහාරයට සූදානම් වෙමින් උන්නාය. ඇය අයියා වැලඳගත්තේ ස්නේහයෙනි. 

 දින තුනක පටන් අයත්මාද පාසැල් ආවාය. ඇය කිසිඳු වෙනසක් නැතිවම සියල්ලන් හා ගැටුනාය. කලණ සම්ඟින් පාසැල හැර පිටවනුද දුටුවාය. අද සවස නාට්‍ය පුහූණුවීම් සඳහා ඔවුන් පාසැළේ නැවතුනහ. ඇය සිදුවූ අඳුරු සිද්ධියෙන් තනිව ගොඩ විත්  වග සිහිනි ස්තිර කර ගත්තාය.   

එහෙත්  සිහිනි ඒ කිසිවක් අයියා හා පවසන්නට ගියේ නැත.  මෙවෙලෙහි එවැන්නක් කෙලෙසකවත් අවශ්‍ය නැත. අයියා විමසුවද අයත්මා පිළිබඳව වන කිසිවක් නොදොඬා හිඳිමියි ඕ කොහොමටත් සිතා උන්නාය.

සන්ධ්‍යා රාත්‍රී ආහාර මේසය ට වෙනදා නොවූ සරු පෙනුමක් එක් කර තිබුණි. එකිනෙකා කෙරෙහි මවාගත් සැහැල්ලුවක් නොපෙන්වා සියල්ලෝම නිහඬව ආහාර ගත් හ.  චත්‍ර මිතුරන් අමතා තමා පැමිණී වග කීවේ පසුවෙනිදාය. ඒ කපිල සමඟ පොලිස් ස්තානාධිපතිවරයා හමුවී පෙර දිනෙක සිදු වූ සිදුවීම වෙනුවෙන් සමාව ඉල්ලීමෙන් ආපසු පැමිනෙණ අතරය.

ඔහු එදින රාත්‍රියේ සමීප මිතුරු ගොනුව හා සාදයක පැටලුනේය.

“ආයේ අයත්මා ගැන හොයන්න ඕනි නෑ බං ..මං ඒක අතෑරියා…”

කොහෙ හෝ අයත්මා දුටුවද ඔහුට ඔත්තු දෙන මිතුරන්ට චත්‍ර කීවේ  හදෙහි  වූ බිඳීම නොපෙන්වාය. මිතුරන් ඔහු ප්‍රශ්න කලද කිසිවෙකුට පිළිතුරු නොදී ඔහු ඊළඟ වීදුරුව හිස් කලේය. 

වේදනාව පිට කලේ කපිල සම්ඟ ජිප් රියේය. ඇති තරම් කියවා හඬන්නට ඉඩ දී කපිල නිහඬවම බලා උන්නේය. මේ වේදනාව මෙලෙසින් හෝ දියවී නොයන්නේ නම් චත්‍ර උමතු වෙන්නටද ඉඩ ඇති වග කපිල දනී. ඔහු එතරමටම වන ආවේණික උමතුවකින් අයත්මාට පෙම් කල බව කපිල තරම් දන්නා කෙනෙක් නැත. 

“උඹට කියන්න බං . මං අරකි එක්ක අවුරුදු දෙකක් ලිවින් ටුගෙදර් හිටියට එක දවසකවත්  ඒකි එක්ක බුදියගන්න හිත හදාගන්න බැරි වුනා… මං දන්නේ නෑ බං ඇයි මං ඒකිට ආදරෙයි කිව්වේ කියලා… සමහරවිට ඒකි මට ආදරේ කරපු තරම මට එවෙලේට හෙන සපෝර්ට් එකක් වුන නිසා මාත් ආදරෙයි කියන්න ඇති බං ….

මට විශ්වාසයි බං ,  ඒ හැම දවසකම අයත්මායි   බං මගේ මෙතන  උන්නේ .. අයත්මාව පපුවේ තියාගෙන මං මහ අසාධාරණ විදියට ඒ කෙල්ලට හර්ට් කලා ..

 මහම බල්ලෙක් විදියට …. ඒකනේ ඒකි මාව දාලා ගියාට  මම වචනයක්වත් කියන්නේ නැත්තේ.. ඒකිට මම පට්ට බලු වැඩක් කලේ බං … මට ඒ සාපේ මේ එන්නේ … 

ඒකි කොච්චර ඇඬුවද .. මං ඒ එක දවසකවත් ඒකිට අඬන්නෙපා කියලා නෑ .. ඒකිම හිත හදාගෙන ආයෙම මට ආදරේ කලා … මෙහෙම බීපු දවස් වල ඒකි මට ලෙමන් පොවනකොටත් මම අයත්මාගේ නම කියවලා තියෙනවලු … ඒක කොච්චර සාපයක්ද හිතපංකෝ .. “

චත්‍ර එක  දිගටම කියෙව්වේය. කපිල ඔහු කැටුව නිවසට යනවිට රාත්‍රී  එකොලහද පසුවී තිබුණි. කිසිවෙකු කිසිවක් විමසුවේ නැත. චත්‍රට අවශ්‍ය ඉඩ ඔහුට ගන්නට දෙන්නයැයි  පොඩි හාමුදුරුවන්,  අතුකෝරල මහතා වෙත ඇමතුමක් මඟින් දැනුම් දී තිබුණි.. ඔහුට අනවශ්‍ය පීඩනයක් එල්ල නොකරන්නට උන් වහන්සේ සන්ධ්‍යාගෙන්ද ඉල්ලා සිටියේය.

චත්‍ර කුසගින්නේම නින්දට ගියේය. ඔහු පසුදා කාමරයෙන් එලියට ආවේ සිහිනි පාසැල්   යන වෙලාවද පහු කරමිනි. සූදානම් වී කපිලද කැටුවම ඔහු ප්‍රාදේශීය සභාවට ගියේය. 

එහි වූ කාරණා කිහිපයක් පිළිබඳව දැනුවත් වීඅනතුරුව නිවෙසට ආවේය. ඉන් පසුව යළි සූදානම් වී මාර්ගයක ඉදිකිරීම් කටයුතු විමසන්නට  පිටත් වූයේය. එහි දී දකින්නට ලැබුණු යම් අක්‍රමිකතා විය හැකි යැයි සිතුන කාරණා කිහිපයක් ප්‍රධාන තාක්ෂණික  නිළධාරියා  අමතා විමසුවේය.

වෙනදා චත්‍ර එවන් ඇඟිලි ගැසීම් නොකල බව දන්නා තාක්ෂණික නිළධාරියා කොන්තරාත්කරු අමතා චත්‍රගේ ඇමතුම ගැන කීවේය. කොන්තරාත්කරු චත්‍ර ඇමතුවේ ඔහු නිවෙසට ආ පසුවය.

” ඔව් .. අතුකෝරළ තමයි …”

චත්‍ර එලෙස පවසමින් සිහිනි රැගෙන ආ බීම වීදුරුව ගත්තේය. ඉන් පසුව සිහිනිද තිගැස්සෙන තරමේ උස් හඬින් කිසිවෙකුට බැණ වැදුනේය.

” යකෝ …බාරගත්ත වැඩේ හරියට නොකර, මගෙන් කීයක් ඕනිද අහන්න තෝ මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ බූරුවෝ … පාර හදන්න වෙන් කරපු සල්ලි ටිකෙන් පාර හදලා උබට අයිති ටික විතරක් උබ ගනින්…  වැඩ කරන උන්ටත් ඒ ඒ කෙනාට අයිති ටික දීපං ..  උඹ ආයේ නම් මට අහුවෙන්නෙපා පුතෝ … මම උඹ ගැන ඇහැ ගහගෙන ඉන්නේ …”

ඇමතුම අවසන් වන තෙක්ම සිහිනි උන්නේ ගල් ගැසීගෙනය.

“මොකෝ ඕයි ….”

චත්‍ර විමසනතුරුම ඕ උන් පියවර වෙනස් කලේ නැත.

“අයියා ..කාටද ඒ බැන්නේ…?”

” ඒකෙන් වැඩක් නෑ ..එලියට යනවා .. මට වැඩක් තියෙනවා කරගන්න ….”

චත්‍ර සිහිනිව කාමරයෙන් යැව්වේය. දොර අඟුලු ලා ගත්තේය. යහනට වැටුනේය.

අයත්මා ,  ඇය අමතක වන්නේ කෙලෙසද? ඇය අමතක කරන්නේ කෙලෙසද? පොඩි හාමුදුරුවම් වහන්සේ  කෙලෙස කීවද ඇය අන් සතු වන්නට ඉඩ දී බලා සිටින්නට තමාට හැකිද?…. 

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles