නුඹ තරම් ප්‍රේමයක් – 16

දහසය වැනි නෙතු සැරිය 

චත්‍ර සති තුනක් පුරා එක දිගටම වෙහෙසුනේය. අත් හැර දැමූ කෝමාරිකා වගා ගොවිපල යලි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් සැලසුමක් සකස් කලේය.  මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ඔහුට වෙන් වන මුදල තුළ උපරිම ඵලදායිතාවයක් යටතේ ක්‍රියාත්මක  කිරීම සඳහා වන ව්‍යාපෘති කිහිපයක් සකස් කලේය.

 මිතුරෙකුගේ මාර්ගයෙන් කෘෂිකර්ම අමාත්‍ය මනුර අලගියවන්න මුණ  ගැසිමට ලබා ගත් අවස්තාවෙන්  රාජ්‍ය නොවන සංවිධානයක මූල්‍ය  මැදිහත්වීමක් ලබා ගන්නට චත්‍රට හැකි විය. ඉන් ඔහු තිස්සමහාරාමය ග්‍රාමයකට බිම්මල් නිශ්පාදන ගම්මානයක් ඉදිකිරීම සඳහා වන මුදල් ප්‍රතිපාදනයක් වෙන් කරවා ගන්නට සමත් වූවේය. දේශපාලනය යන කාරනාව වෙනුවට හැකියාව සහ අවශ්‍යතාවය ඇති පුද්ගලයන් තෝරාගැනීම ප්‍රදේශයේ කෘ ෂිකර්ම උපදේශකවරයාට සැපයූ චත්‍ර ව්‍යාපෘතිය ගොඩ නැංවීම සඳහා වන දායකත්වය සම්පූර්ණයෙන්ම ලබා දෙමින් උන්නේය. 

දිනය පුරා කෙතරම් වෙහෙසී වැඩ කලත්, නිවෙසට පැමිණ, කාමරය තුල හිස්ව වැතිරෙන මොහොතෙන් මිදෙන්නට චත්‍රට ඉඩක් ලැබුනේම නැත. අල්මාරියේ යට අඩියක නවා තබා ඇති  තවමත් නොසේදූ අයත්මා හැඳ උන් රෝස පැහැ රාත්‍රී ඇඳුමේ උඩු කොටස ඒ හිස් බව වසාලන්නට තරම් ප්‍රමාණවත් වූයේ නැත.

 එහෙත් ඒ රාත්‍රී ඇඳුම හැම රැයකම චත්‍රගේ යහන මතට ඒම නැවතුනේද නැත. ඔහු 

එය දැකීම කෙතරම් විඩාවක්, වෙහෙසක් වුවද ඉන් ලබන සුවයක් ඔහුට නොවූවා නොවේය. ඇය තම ගත මත තෙරපෙන උණුසුමෙන් හදවතට දැනෙන සිසිලස ඔහු ඉන් වින්දේය. සැනසුනේය. 

ගැලරිය පුරා එබිකම් පාන අයත්මාගේ සේයා රුවන් ඔහුගේ ඇස් වල මනමාලකම් ඉදිරියේ පෙනෙමින් නොපෙනෙමින් නොතිබූ රැයක් නැත. අතැම් දිනවල ජංගම දුරකතනය පසෙක තබා සීතල කෙරූ බියර් කෑනයක් පානය කරමින් චත්‍ර අහස දෙස බලා උන්නේය. සඳ අහිමි කරගත් තරුවක වේදනාව ඔහු මවාගෙන වින්දේය.

සිහිනි මඟ හැරීම චත්‍ර කලේ උවමනාවෙන්මය. ඇය නිවසේ සිටීනම් ඔහු කාමරය තුළම උන්නේය.  ඇයට මුහූණ දෙන්නට නොහැකි වෙන්නට ප්‍රධානම හේතුව වූයේ අම්මා සහ සිහිනි අතරේ වූ කතාබහක් ය.

” අම්මා දැන් කියන්නේ අයත්මා තමයි වැරදි කියලද?..”‘

“මං කියන්නේ එහෙම නෙවෙයි චූටි … ඒත් ඔය සිද්දිය ඉස්සර කරගෙන ඔය මිනිස්සු අපිට නෑකම් කියාගෙන ආවානම් එහෙම, …”

“ඉතින්…”

” අපේ රෙදි හෝදපු මිනිස්සුන්ගේ ළමයින්ට අයියාව කසාද බන්දන්නද කියන්නේ ?..”

“අනේ මන් දන්නේ නෑ අම්මේ…. අම්මා කොහොම ඔහොම හිතනවද කියලා .. අයත්මා මෙවෙලේ කොච්චර අසරණද කියලා අම්මට නොතේරෙන එක මට නම් හිතාගන්න බෑ… “

” මට ඒක නොතේරෙනවා නෙවෙයි චුටි … මං කියන්නේ තමන්ට ගැලපෙන තැන් වල ඕනි පෑහෙන්න .. ඒ ළමයින්ට හරියන  මිනිස්සු එක්ක ඒ කසාද වේව්.. අයියා  කියන්නේ මේ ඩෝබි පවුල් වල කුණු අදින්න ඕනි මිනිහෙක්ද?..”

” මට අම්ම එක්ක මේ ගැන කතා කරන්නවත් හිතෙනේ නෑ අම්මේ..  ඒත් අම්මා නිකමට හිතන්න.,  අයියා අයත්මාට කල දේ, අයත්මාගේ අයියා මට කලා නම් එහෙම .. එතකොට අම්මට කොහොමද දැනෙන්නේ?.. ඒත් ඔයා ඔහොමමද කියන්නේ?…”

” චූටි …..!!!”

“ඇයි අම්මේ .. එතකොට අම්මට රිදුනා නේ නේද…? අම්මා, අප්පච්චී, නෑනා ඔක්කොම නැති කරගෙන මහ දුකක් උහුලන් උන්න කෙල්ලෙක්ට අයියා ඒ ගින්දර දුන්නේ අම්මේ… අයත්මා කලණ සර්ට කැමැත්තෙන් උන්නේ.. ඒක මට ස්ථිරයි.. ඒත් දැන් එයා කලණ සර්ව මඟාරිනවා… 

ඒකට හේතුව අයියා.. සමහරවිට එයා ආයෙම කිසිම පිරිමියෙකුට ලං වෙන එකක් නෑ… එයා ජීවිතේ තනිකම තෝරගනී … එයා කවදාවත් අයියාට වෛර කරන  එක නවත්ත එකකුත් නෑ අම්මේ….. “

” මට තේරෙන්නේ නෑ චූටි ..”

” අපි මේ ගැන කතා කරන්න ඕනි නෑ අම්මේ.. අයත්මා කොහොමටවත් අයියාට කැමති වෙලා උන්නේ නෑ.. එයාට ඒකට මොන හේතු තිබ්බද මං දන් නෑ… 

සමහරවිට අයියාගේ පොලිටික්ස් වෙන්නත් පුලුවන් ….  ඒම නැත්නම් අයියාව එයාට එහෙම ෆීල් වෙන්නේම නෑ වෙන්නත් පුලුවන්.. මොක වුනත් .. අයියා ගැන එයාට පොඩිවත් කැමැත්තක් ඇති වෙන්න ඉඩක් තිබ්බා නම් එයා ඒ ඉඩත් අහුරලා ඉවරයි ..දැන් අයත්මා අයියා ඉන්න පැත්තක් බලාගෙන වතුර උගුරක්වත් බොන එකක් නෑ.. එ නිසා ඔයා ඒ කෙල්ලට බැනලා නිකන් පවු පුරවගන්න එපා..”

“අනේ චූටි .. එහෙම නෙවෙයි පුතේ..”

” අඩුම තරමේ අයත්මා මටවත් මූණ දීලා කතා කරන්නේ නෑ අම්මේ… මට ඉස්කෝලේදි  අයත්මාව දකිද්දී  මගේ අයියා ගැන මහ ලැජ්ජාවක් එක්ක ඉවසගන්න බැරි තරහක් එනවා..”

 ඒ කතාවට දින කිහිපයක් පසු වනතුරුත් චත්‍ර සිහිනිට මුහුණ නොදී ඉන්නට පරෙස්සම් වූවේය. නංගී ඉදිරියේ අයියා වන්නට නොහැකි හැඟීම චත්‍රට තදින්ම දැනෙන්නේය.

 ඒ සතිය ගෙවී ගියේ පාසැලම නාට්‍ය තරඟය වෙනුවෙන් සූදානම් වෙන කටයුතු සඳහා එක් කරවමිනි. අයත්මා තවත් ගුරුවරියක හා එක්ව සැකසූ ඇඳුම් පාසැලට  ගෙන ආවාය. එලැඹුණ සතියේ දින දෙකක සම්පූර්ණ පුහුණු දර්ශන වාර දෙකක් රඟ දක්වනු ලැබුණි. කිසිඳු අඩුවක් නැතිව කෙරෙන නාට්‍යයේ කටයුතු දෙස කලණ සහ අයත්මා බලා උන්නේ උද්දාමයෙනි.

” ආයේ ඉතින් ප්ලේස් එකක් ශුවර් …”

ආපසු පැමිනෙන අතර වාරයේ කලණ කීවේ අයත්මා ට ඇසෙන්නය. අයත්මා එයට කිසිත් නොකීවාය.

” ඔයා මේ අවුලෙන් වගේ ඉන්නේ ඉස්කෝලේ වැඩ වල අවුලක්ද?.. නැත්නම් සම්තින්ග් පර්සනල්ද අයත්මා…”

කලන විමසුවේ අයත්මා නිවස අසලින් බස්සවා අවසානයේය. අයත්මා එයට සිනාසුනාය. කලණ පිළිතුරු බලාපොරොත්තුවෙන් බලා උන්නේය.

” අම්මායි අප්පච්චියි හරියට මතක් වෙනවා කලණ අයියේ ?… වෙලාවක්ට පාලුයි ..”

” හ්ම්ම්…”

” අයියාගේ බබා ගැනත් හරි බයයි .. එයාත් දැන් නිතරම අම්මාව අහනවා…”

“ජීවිතේ එහෙම තමා අයත්මා.. අපි නොහිතන අහිමිවීම් දරාගන්න වෙනවා… හීනෙකින්වත් නොහිතන බැඳිම් වල පැටලිලා දරාගන්නත් වෙනවා…”

කලණ කීවේ හෙල්මටය ගලවා අතට ගනිමිනි. අවිශ්ක කලණට නිවෙසට කතා කලද ඔහු අයත්මා සහ අවිශ්කට සමුදුන්නේය.

” ආහ් නංගී…”

” ම්ම්?…”

“අර සිද්දියෙන් පස්සේ  චත්‍රයා මේ පැත්තේ ආවේම නෑනේ.. වෙනදාට හේතු හදාගෙන එන එකා, දැන් වරෙන් කියලා කෝල් කරලාත් මේ පැත්තෙ නෑනේ..”

අයත්මා එයට හිස සැළුවාය.

” මං ගිහින් බලන්නෝනි ඒ පැත්තේ …”

” එපා අයියා ඕන් නෑ.. මං   කැමති නෑ කියලා තියෙද්දී එයා මෙහෙ ආවේ  මගෙ ගැන හෝප්ස් තියන් කියලා අපි දන්නවනේ.. සමහ්‍රවිට එදා  මම අසනීප වුන විදිය එක්ක එයා තීරණයක් ගන්න ඇති … 

එහෙම  අසනීප වෙන්න හේතුව අපි විතරනේ දන්නේ… එයා මොනවා හිතාගෙනද දන්නේ නෑනේ.. එක එක අසනීප තියෙනවනේ.. එයා දැන් එහෙම හෝප්ස් නැතුව ඇති .. උදව් කලාට තෑන්ක්ස් කලානේ අයියා .. ආයේ ඕනේ නෑ …”

අවිශ්ක අයත්මාගේ හිස පිරිමැද්දේය. කිව්වේ එහෙම  වුවද, හිතෙහි ඇත්තේ ඉන් එහා වෙන කතාවක් බව අවිශ්කටද නොවැටහුනා නොවේය. කිව්වේ එහෙම වුවද, දැන් දැන් තමන්ට  දැනෙන වේදනාවේ හේතුව කුමක්දැයි අයත්මාටද වැටහෙන්නට පටන් ගෙන තිබුනේය. මේ දින කිහිපය තුල කෙතරම් සතුටු කාරණා තිබුනද හැම තත්පරයකටම ඇළෙන හිස් කමක් ඇති බව ඇය  යලි අවධාරනය කර ගත්තාය.

සිහිනි චත්‍රගේ කාමරයට එබුණේ දින දෙක තුනකින්ම අයියා හරි හැටි නොදුටු නිසාය. දොර අඟුලු ලා තිබුණි. ඕ කිහිප වතාවක්ම දොරට ගැසුවාය. එහෙත් පිළිතුරක් හෝ ලැබුනේ නැත. අනතුරුව ඕ ඇමතුමක්ද ගත්තාය. ජංගම දුරකතනය විසන්ධිව තිබුණි. ඕ දිගින් දිගටම දොරට ගැසුවාය. ඇසුණේ චත්‍රගේ කෝපාවිශ්ඨ හඬය. සිහිනිට බැණ වැදුනේ පාඩුවේ සිටින්නට ඉඩ දී යන බව පවාඅය. සිහිනි පෙරලා කාමරයට ගියේ හිත රිදවා ගනිමිනි.

“මෙච්චර දේකට පස්සේත් එයාට වචනයක් කිව්වේ නෑ මම… එයා මොකද ඒ මා එක්ක තරහ පිරිමහන්නේ….?”

 ඕ නින්දට ගියේ රාත්‍රී ආහාරද නොගෙනය. චත්‍ර සියල්ලන් ආහාර ගෙන අවසන් වූ පසු ආහාර ගෙන නින්දට ගියේය. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles