ආකාස මෝස්තර – 28

සාමාන්‍යයෙන් පසන් පාරුල් සමගින් නිතර පිටතට යාමට පැමිණෙන්නේ නැත. බොහෝ විට ඔවුන් ගේ කතා බහ සිදු වනුයේ රෝහල තුළදී ය. ඊට හේතුව පාරුල් පීඨයෙන් නික්මෙන වෙලාවටත් පසන් රෝහල් සේවයෙහි නියුතු වීමයි. ඒ ගැන පසන් ඉඳහිට ශෝකය ප්‍රකාශ කළ ද පාරුල් ට එය කවදාවත් ගැටළුවක් වී නම් නැත්තේ ය. ඔහුත් එක්ක එහෙව් පෙම් පිළිසඳර ගැන උනන්දුවක් ඇයට වූයේ ම නැත. පසන් අසල දී පාරුල් මානසික වශයෙන් පීඩනයකට පත් ව හිඳීම ඊට හේතුව වන්නට ඇත. ඒ නැත ද ආදරයෙන් පටන් ගන්නා කතාවක් වුව ඔහු ගේ දැඩි නීතියකින් හෝ රණ්ඩුවකින් කෙළවර වන්නේ ය. කොහොමටත් ඔවුන් අතරේ වන සම්බන්ධය නවත්වන්නට පාරුල් ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම තර්ජනයකින් ප්‍රතික්ශේප වූවාට පස්සේ ඇය ඔහුව තවත් රිස්සුවේ නැත. නමුත් ඒ තර්ජනයට ඇය බිය වූවා ය. පසන් ගේ ගති ලක්ෂණ වල අසාමාන්‍ය බවක් නිරීක්ෂණය වන්නට ගත් පසු, සිය ජීවිතය ගැන ද ඕ බිය වූවා ය. පෙම් සබඳකම් නතර කරන්නට යෝජනා කළ පෙම්වතියන් ඝාතනය කළ පෙම්වතුන් ගැන කතා ද පෙම් සබඳතා බිඳුණු කල දිවි නසාගත් පෙම්වතුන් ගැන කතා ද අනන්තවත් අසන්නට දකින්නට ලැබෙන නිසා සැබවින් ඕ බියපත් ව සිටියා ය. පසන් කෙනෙකු පිහියකින් සිය ජීවිතය කෙළවර කරනවා දකින්නට පාරුල් ට කොහෙත් ම උවමනා වූයේ නැත. නමුත් ඈ ඔහු වෙත රැඳුණේ තව දුරටත් කැමැත්තකින් නොවේ. සිය අනාගතය කළු කුහරයක් වන් ආලෝකය හෝ සතුට නොමැති තැනක් වනු ඇතැයි සිහි කළේ භීතියෙනි. නමුත් ඒ නිස්සාර සම්බන්ධයෙන් ගැලවී යන්නට පසන් ඉඩ දෙන්නේ නැත. එය පාරුල් ට මානසික පීඩනයක් ගෙන දිනි ද සිය වැරදි තීරණය නිසා වැරදී ගිය අනාගතය ඉවසා ගන්නට ඈ හිත හදාගෙන සිටියා ය. ගඟුල් ගේ සමාගමය ඇගේ ඇතුළාන්තය දැඩි සේ ප්‍රිය කළ ද ඕ පසන් ගැන වරදක් ගඟුල් ට දැනගන්නට ඉඩ නො තැබුවා ය. නමුත් ඇය ප්‍රීතිමත් පෙම්වතියක නොවනා වග ගඟුල් ට රහසක් නොවිණි.

පසන් එක් හදිසි දවසක පිටත දී හමු වන්නට පාරුල් ට යෝජනා කළේ ය. එදා ඔහු රෝහලට පැමිණීමට නියමිත වූයේ නැත. දේශනයක් මගහැරගෙන පසන් හමු වෙනවා කියන්නේ අපරාධයක් බව ඉඳුරා දැන සිටිය ද ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළ නො හැකි ය. එතකොට එය ලෝක යුද්ධයක ආරම්භය සේ විය හැකි බැවිනි. එබැවින් හිතට එකඟව හෝ හිතේ කැමැත්තක් නැතිව වී ද පාරුල් ඒ ගමන ගියා ය.

“මං ඉක්මනට අපේ අම්මලට ඔයාව ඉන්ට්‍රඩියුස් කරන්නං”

ඔහු ආදරයට ළඟ හඬකින් කීවේ ය. ගඟුල් අසලදී සේ හද ගැස්ම තීව්‍ර නොවන්නේ පසන් හැඟීම්බර මිනිසෙකු නොවන නිසා යයි  ඒ අව්අස්සේ ද ඇයට සිතිණ. හදවත සැදී ඇති පේශි, පටක හා තන්තු වල ස්වභාවය මැනැවින් දන්නා නිසා වෛද්‍යවරයෙකුට හැඟීම්බර විය නො හැකි ද?  පාරුල් ගේ පපුව සුසුමකින් පිරී තිබුණා වී ද ඇය යන්තම් හිස සැලුවා ය. ඉරණම ලියැවී ඇත්තේ මෙසේ නම්, ඒ වෙනස් කරන්නට උත්සාහ කිරීමෙන් විනාශයක් මිස යහපතක් විය හැකි ද?

“අපේ අයියත් කිව්ව කීප සැරයක්… ඔයාව හම්බවෙන්න ඕන කියල. අම්මලත් හිතං ඉන්නව ඔයා එයි කියල”

“මං එන්නං. අම්මලත් එන්න ඕන කියනව”

පාරුල් ගේ ගෑනු හිත ඈතක රතු එළියක් දැල්විණ.

“මන්දන්නෑ පසන් අයියෙ ඔයාගෙ අම්මල මේක ගැන කොහොම හිතයිද කියල… මං ඉන්නෙ ආමර් ස්ට්‍රීට් එකේ තියන වත්තක. එතන ඉන්න අපි රෙදි හෝදන මිනිස්සු…”

“මොකක්…”

පසන් ගේ දෑස් මහත් විය. ඔහු ඉක්මන් කෙටි හුස්ම ගත්තේ ය. පාරුල් ඇස් පිය නො සලා ඔහු දෙස බලා සිටියා ය.

“ඔය හැමදේම හිතල තමයි මං ඔයාට කිව්වෙ… අපි…”

“හරි මෙහෙම කරමු. ඔය කතා අපේ අම්මලට දැනගන්න තියන්නම ඕන නෑ දෙව්. දන්නැද්ද ඉතිං ඒගොල්ලංගෙ හැටි… වංශෙ කබල්ගාන මිනිස්සුනෙ. අම්මල එන දවසට අපි කවුරුහරි යාළුවෙක්ගෙ ගෙදර ඒක ඇරෙන්ජ් කරමු. එදාට ඕගොල්ලොංගෙ ගෙදර අය ඒ ගෙදර අය වගේ ඉන්නයි ඕනෙ. එතනිං ඒ ප්‍රශ්නෙ ඉවරයි. ඊට පස්සෙ ආයෙ ආයෙත් අපේ අම්මල එහෙ එන්න හදන එකක් නෑ”

“ඒත් පසන් අයියෙ එහෙම බොරුවක් කියල…”

“දෙව්. මට ඔයා ඕන නිසයි ඒ හැමදේම”

පාරුල් හුස්මක් නො ගත්තා ය. ඔහු ඒ තරමට ඇයට පෙම් කරන්නේ ද? නමුත් එය ඇයට නො දැනෙන්නේ ඇයි? පසන් ඇගෙන් ප්‍රේමයක් විමසූවාත් නොවේ. එය විවාහ යෝජනාවකි. ඔහු ගේ ප්‍රේමය එබඳු නම් එය නැති වී ගිය හොත් ඔහු කෙසේ හැසිරෙනු ඇත්ද? පාරුල් තවත් බිය වූවා ය.

ඔවුන් සිටි අවන්හලේ බිත්තියක සවි කොට තිබූ රූපවාහිනී තිරය මත ‘බ්‍රේකින් නිවුස්’ ලෙස සනිටුහන් වූයේ ඒ වෙලාවේ ය. එතැන උන් හැම නෙතක් ම ඒ වෙත යොමු වූවාට සැක නැත. විකාශය වන්නට වූයේ කොළඹ නව පුරපති ලෙස දිව්රුම් දුන් ගඟුල් විජයවීර සිය ධුරයේ වැඩ භාර ගැනීමේ සුබ මොහොතයි. උදයේ පාරුල් ඒ වෙනුවෙන් ඔහු ට සුබ පැතුමක් එක් කළා ය.

“වත්තෙ හැමෝමත් එක්ක  සතුට සමරමු ඉක්මනට”

ඔහු කී හැටි මේ දැනුත් ඇගේ සවන් තුළ පිළිරැව් දේ. සැබවින් දකිනවාටත් වැඩිය රූපවාහිනී තිරයෙහි ඔහු කඩවසම් ව පෙනිණ. පාරුල් ගේ ඇස් ඒ එක මොහොතක්වත් අපතේ නො හැර ග්‍රහණය කර ගනිමින් තිබිණි. ඇගේ මුවග මඳහසක් නළියෑවේ ය. පසන් බලා සිටියේ රූපවාහිනිය දෙස නොව පාරුල් දෙසයි. ඔහු ගේ මූණේ පේශි තද විය. දත් ඇඳි එකිනෙක හැපිණි. හකු තද විය.

“ඌව දැක්කහම ඔයාට ඔයතරං සතුට මොකද්ද…”

පසන් ගේ හඬ තරමක් උස් වූයෙන් පාරුල් ගේ පමණකුදු නොව අවන්හලෙහි උන් අයගේ ද දෑස් වහා ඔහු වෙත හැරවිණ.

“මට සතුටුයි තමයි. ගඟුල් මගෙ යාළුව. අපේ වත්තෙ මිනිස්සු වෙනුවෙන් අවංක හැඟීමකින් දෙයක් කරයි කියල අපි බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සය. ඉතිං ඇයි මං සතුටු නොවෙන්නෙ එයා නගරාධිපති වෙනකොට…”

පාරුල් කතා කළේ ඉතාමත් හෙමිහිට ය. නමුත් දැඩි ස්වරයකිනි. පසන් විසින් අභූත චෝදනා කරන්නට යෙදෙන හැම වෙලාවක ම නිහඬ ව සිටියත් මේ වෙලාවේ එහෙම ඉන්නට ඇයට ඕනෑ වූයේ නැත. එසේ ම ඇගේ ඇස් වල ආවේගශීලී බවක් විය.

“මොකද්ද තමුසෙ කියන්නෙ…”

පසන් අත දිගු කළේ පාරුල් ට කම්මුල හරහා පහරක් එල්ල කරන්නට ම ය. නමුත් අවන්හලෙහි වූ මිනිස් ඇස් දුටු ඔහු ඒ මොහොතේ තමන් ව පාලනය කර ගත්තේ ය. එනමුදු තවත් එතැන රැඳෙන්නට පාරුල් ට දැනුණේ බලවත් ලැජ්ජාවකි. ඇය වහා සිය බෑගය එල්ලා ගනිමින් අවන්හලෙන් පිටතට ඉක්මන් අඩි තැබුවා ය. පසන් වහ වහා ඈ හඹා ගියේ ය. මග තොටේ ම මහ රණ්ඩුවක් ඇති වූයේ ඉනික්බිති යි. පාරුල් ද වෙනදා වාගේ කර බා ගන්නේ නැතිව එකට එක කීවා ය. එවන් මොහොතක ඇගේ කම්මුල් පුපුරු ගසනා පහරක් පසන් ගෙන් වැදිණ. පාරුල් හඬාගෙන ගෙදර ගියා ය.

“මොන පිරිමියෙක්ද ඌ…ගෑනුන්ට අත් උස්සන්නෙ…අනේ ඇත්තට මං වගේ වුණානං අඹරෝල කඩනව ඕකගෙ අත”

උමා කෝපයේ ගිනි පුපුරු විසිවෙන්නට හැරියා ය.

“ස්… කෑගහන්න එපා. මේව අයියටනං දැනගන්න තියන්නෙපා උමා”

පාරුල් ඇස් වල වූ අන්තිම තෙත පොද ද පිස දා හැරියා ය.

“තවත් හංගන්න එපා. පසන් කියන දොස්තරය ඔයාට ගැලපෙන්නෑ කියල රාජා දැනගන්න ඕනෙ”

“එපා උමා ප්ලීස්. අයියගෙ පණ මං. මට පසන් ගැහුව කියල දැනගත්තොත් අයිය ගිහිං…”

“ඉතිං මොකද…”

“පසන් හොඳ මිනිහෙක් වෙන්න බෑ. කොයි විදිහකින් හරි අයිය මේවට පැටලිල එයා කරදරයක් දාගන්නවට මං කැමති නෑ”

“එහෙනං කොහොමහරි උඹ ඔය වසවර්තියගෙන් ගැලවෙන්න බලපං”

“මං අහුවුණේ කතා කරල ප්‍රශ්න විසඳගන්නවත් එහෙම බැරිනං කතා කරල වෙන් වෙන්නවත් පුළුවන් තැනකට නෙවෙයි උමා”

පාරුල් හෙමි හෙමිහිට ලොකු හුස්මක් ගත්තා ය. හෙමි හෙමිහිට ඇයට මුළු ජීවිත කාලයක් විඳවන්නට සිදු වනු ඇතැයි සිතිවිල්ලක් ඈ රිද්දමින් තිබිණ.

ඒ රණ්ඩුවෙන් ටික වෙලාවකට පසු, සිය බෝඩින් කාමරයේ නො සන්සුන් ලෙස සක්මන් කරමින් සිටි හීන මානයෙන් පෙළුණා වූ පසන් ඉරුගල්බණ්ඩාර ගඟුල් විජයවීර ගේ කාර්යාලයට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

“ඩොක්ට පසන් ඉරුගල්බණ්ඩාර කතා කරනව කියන්න”

ඔහු දුරකතන ක්‍රියාකරවන්නියට තදින් කතා කළේ ඇගෙන් අතුරු ප්‍රශ්න නැගෙනා එක වළක්වන්නටයි. කෙසේ වෙතත් ඇය දුරකතන සම්බන්ධය ගඟුල් වෙත යොමු කළේ දෙගිඩියාවෙනි.

“සර් ඩොක්ට පසන් කියල කෙනෙක්”

විදුලියක් වාගේ ඒ නම ගගුල් ගේ මනසෙහි ඇනිණි. ඔහු වහා ඇමතුම ලබාගත්තේ ය.

“මිස්ට ගඟුල් විජයවීර දන්නව ඇති. පාරුල් කියන්නෙ මං මැරි කරන්න ඉන්න ගර්ල්”

පසන් මාතෘකාවට පිළිපන්නේ කෙළින් ම, සුහද පිළිසඳර වලින් තොරව ය.

“ඔව්”

ගඟුල් කල්පනාබර ඍජු පිළිතුරක් දුන්නේ ය.

“මට නගරාධිපතිතුමා එක්ක කතාවක් තියනව. ඒකට මට වෙලාවක් ඕනෙ”

ඕනේ නම් දුර ඈත දවසක් වෙලාවක් දෙන්නට පුළුවන් කම හොඳට ම තිබිණ. රාජකාරී වැඩ ඇරඹූ ගමන් සිය ප්‍රතිවාදියා වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්නට සිතිය යුතු ම නැත. නමුත් ඔහු ට මේ හදිස්සියේ කියන්නට තිබෙන්නේ මොනවා ද? ඊටත් වැඩිය පසන් ඉරුගල්බණ්ඩාර දෑසින් දැක බලා ගන්නා උවමනාවක් ටික කලක සිට ගඟුල් ට දැනෙමින් තිබිණ. තමුන් හා ඔහු අතරින් පාරුල් පසන් ව තෝරා ගන්නට තරම් ඔහු ගේ වන විශේෂත්වය කුමක් ද කියා අවබෝධ කරගන්නට ඔහු ට ආශාවක් තිබිණ. කිහිප වරක් ඔහු පාරුල් ට ද පසන් හමු විය යුතු බව කියා තිබේ. ඒ වූ කලී සද් භාවයෙන් යුතුව සිතූ යමකි. නමුත් මේ මොහොතේ පසන් ගඟුල් ව හමු වීමට අවශ්‍ය බව කියන්නේ එහෙව් සද් භාවයනින් නොවේ. ඒ බව වටහා ගන්නට ඔහු දැකිය යුතු නැත. මේ හඬ සර ප්‍රමාණවත් ය. නමුත් ගඟුල් ට ප්‍රමාද කිරීමට කාරණයක් වූයේ නැත. පසන් ට හමු වී කියන්නට තිබෙන්නේ කවරක් ද? ඒ ඕනෑ ම දෙයක් අසන්නටත් ඕනෑ ම ප්‍රතිචාරයක් දක්වන්නටත් ඔහු සූදානම් ය.

“තව පැය බාගෙකින් හම්බවෙන්න පුළුවන්”

එය එක්තරා අභියෝගයකි. ගඟුල් විසින් ඔහුට ම ලබා දෙනු ලැබූ අභියෝගයකි. ප්‍රථම රාජකාරී දිනය ජීවිතයේ අමතක නොවෙන සුවිශේෂී දිනයක් වීමට යයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles