මගේ දෝතට දූ ආවා..

“අද ඉඳන් අලුත් ගමනක්”

ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්.

තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා.

ඔයා දන්නවද මගේ පුතේ,

අද ඉඳන් අලුත් ගමනක් කියලා හිතාගෙන දොස්තර මාමා දකින්න අපි කීප වතාවක්ම ගියා.අතේ ඇඟිලිවලට වඩා ගිය ඒ ගමන් වතුරේ යනකොට අම්මා ආපහු ආවේ අඬ අඬා.

මං හිතන්නේ ඒ හැම වතාවකම ඇවිත් ආපහු හැංගෙන්න ඇත්තෙත් ඔයාමයි.අම්මාගේ ශරීරය ඔයාව දරාගන්න අපොහොසත් නිසා ඔයා ආපහු දුකින් යන්න ඇති.ඒත් ඒ හැමවතාවක්ම අම්මා දරා ගත්තේ වේදනාවෙන්.මගේ සිරුරේ වේදනාවත් හිතේ වේදනාවත් දරා ගන්න මට හයිය තිබුණා.ඒත් ලෝකයා මං ගැන කම්පා වුණේ පුදුමාකාර විදියට.

“දරුවෙක් නැති ගෑනියෙක්.”

මගේ පුංචි දූ ඉපදිලා ඉන්නේ බොහොම සාම්ප්‍රදායික විදියට හිතන ආසියාතික රටක.මනමාලියක් වෙලා ඊළඟ මාසේ ඉඳන්ම මේ රටේ අය බැඳී ඉන්නවා ඒ මනමාලිගෙන් වෙනසක් නැද්ද අහන්න.

“ඔව්, අම්මත් අවුරුදු හතක්ම ඒ කතාව අහගෙන හිටියා..”

ඊට පස්සේ, මම මං ගැනම තරහෙන් ජීවත් වෙන්න පටන් ගත්තා.

“ඔයාගේ ඇඟ දරුවෙක් දරා ගැනීම ප්‍රතික්ෂේප කරනවා තමයි.ඒත් ඔයාගේ හදවත ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ නේද?”

මගෙන් එහෙම ඇහුවේ මගේ හොඳම යාලුවා.අන්න එදා හදවතින් දරුවෙක් දරා ගැනීම ගැන ඔයාගේ මේ අම්මා හිතන්න ගත්තා මගේ දුවේ.

ඔයා දන්නවද?

ඒ ගමනත් පහසු නැහැ.අපි ඔයාව හොයාගෙන බොහෝ තැන්වල ඇවිද්දා. රැවටිලිකාරයන්ට අපේ කඳුළු වලට හිනා වෙන්න ඉඩ දුන්නා.බලාපොරොත්තුව ලඟටම ඇවිත් ආයේ නැති වෙලා යන හැටි අත් වින්දා.

ඒ අතරේ තමයි මට ඔයාට උපත දුන්නු අම්මාව මුණ ගැහුණේ. ඇය හිටියේ වේදනාවත් දෙගිඩියාවත් දරාගෙන.අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව.මටත් වඩා අසරණ වීමකින් ඇය පීඩා වින්දා.

මම ඔයාට කිව්වා නේද මේ බොහොම පටු විදියට අනුන්ගේ ජීවිත මනින ආසියාතික රටක් කියලා.ඉතින් ඔයාට උපත දුන්නු අම්මාටත් තිබුණා ගැටළුවක්.

“තාත්තෙක් නැති දරුවෙක්”

ඇය ලැබීමක් වෙනුවෙන් නින්දා විඳිනකොට මම නින්දා විඳින්නේ නොලැබීමකට.එකම කාරණාවක් අපි දෙන්නට බලපාන්නේ ආකාර දෙකකට.ඉතින් අපි එකඟතාවකට ආවා. ඒත් අපි දෙන්නා අපි දෙන්නට පාර කියාගන්න.
ඔයාට උපත දුන්නු අම්මාට අනවශ්‍ය දේ මට මේ මොහොතේ අවශ්‍යම දෙයක්. මම එයාගේ නින්දාව අවසන් කරන්නත් එයා මගේ පීඩාව අවසන් කරන්නත් එකඟතාවයකට ආවේ එහෙමයි.

නීතියේ පිහිට නිසා ඔයා මේ මොහොතේ ඉඳන් මගේ..මගෙත් තාත්තාගෙත් විතරමයි.ඒ නීතිමය කටයුතු පහසු නැතත් අපි ඒ හැම දෙයක්ම කරේ ආශාවෙන්;බලාපොරොත්තුවෙන්.ඒත් මේ පරම්පරාවේ දරුවෝ බොහොමයකට අනාගතේ සුන්දරම මතක සටහනක් වෙන තාත්තාත් අම්මාත් ශල්‍යාගාරයේ ඉඳන් ගන්න ඡායාරූපය ඔයාට නැහැ.ඒ වෙනුවට අපට තියෙන්නේ ඔයාව ලබා ගන්න නීතියේ පිහිට ගත්තු ලියවිලි ගොන්නක් විතරමයි.

ඒ වගේම අපි තුන්දෙනාට තියෙන්නේ මේ මෝටර් රථයේ ඉඳලා මුලින්ම ගත්ත ඡායාරූපයක්.ඒ අපේ ගමන පටන් ගත්ත තැන. ඔයා අපේම කියලා අපි හිත හදාගෙන තාම පැයක්වත් ගෙවිලා නෑ.ඒත් මෙතන ඉඳලා ඔයාව දරාගෙන ගොඩක් දුර යන්න අම්මයි තාත්තායි හිතාගෙන ඉන්නවා.

“මෙයා අපි ගැන දැන ගන්න දවසක් එයිද?”

මම තාත්තගෙන් ඇහුවේ හිතට දැනෙන ලොකුම ප්‍රශ්නේ. අන්න ඒ ප්‍රශ්නෙට ඇත්තටම අම්මා බයයි.ඔයා අම්මා කියන්නේ මට.ඒ

“අපි එයාට දෙන ආදරේ එක්ක එයාට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. දැනගත්තත් එයා ඒ ගැන හිතාවිද?”

කවදාකටත් වඩා පරිස්සමින් රථය ධාවනය කරන ගමන් තාත්තා කියන්නේ හිනා වෙවී.

ඇත්තටම අපිට අද ඉඳන් තියෙන්නේ පරිස්සම් ගමනක්.

ඔයාට මේ අම්මාට වගේ හිත් රිදීම් අපමණ එන්න පුලුවන්.මේ අම්මාට වගේ ඒ දේවල් වලට ගලක් වෙලා මුහුණ පාන්න ඔයාව ශක්තිමත් කරන්න මම ලෑස්ති.
ඒ වගේම ඔයාට උපත දුන්නු අම්මා වගේ ආදරය කියලා රැවටීමකට මුහුණ පාන්න නොදී ඔයාට ලෝකේ ගැන කියා දෙන්නත් මම ලෑස්ති.

ලෝකේ හරිම ලස්සන තැනක්.හැබැයි රෝස මල් පිපෙන්නේ කටු එක්ක කියලා අපි අමතක කරන්න නරකයි.නමක් නොදන්න ලස්සන මලක් විෂ පිරුණු මලක් වෙන්න පුලුවන් කියලා අපි අමතක කරන්න නරකයි.ඔයාට ඒ පාඩම කියා දෙන්න මම මඟ බලාගෙන ඉන්නවා මගේ පුතේ.

ජීවිතය මට දුන්නු දරුණුම පරීක්ෂණයක් මම අවුරුදු ගාණක් දරාගෙන හිටියා. ඒ පරීක්ෂාව සමත් කියන්න මට ලැබුණු ලස්සනම තෑග්ග ඔයා.

“අපි වගේ මාස නවයක්ම දුක් විඳලා දරුණු වේදනාවක් විඳින්නේ නැතුව ඔයා දිනුවනෙ..ඒ මදිද..”

ඔයා අපේ වුණු ආරංචිය දැනගෙන මගේ මිතුරියක් මට සුබ පැතුවේ එහෙමයි.

ඔයා අපිට දෙන්න ඔයාගේ ජීව විද්‍යාත්මක අම්මා එකඟ වුණු දවසේ ඉඳන් මම එයා විඳින හැම වේදනාවක්ම හදවතින් වින්දා.මොනම මොහොතක හෝ ඔයා අපි ළඟට නෑවිත් සුරංගනා ලෝකෙට ආයේම යයිද කියලා බයෙන් කල් ගත කළා. ඔයාගේ අම්මා ඔයාව බිහි කරන්න විඳින වේදනාව අහගෙන දුක අතරින් සතුටු වුණා.

මම ඔයාව විඳගන්න දරා ගන්න මඟ බලා ගෙන හිටියා. ඔයාගේ අම්මාට ඔයාව මට බාර දෙන්න තිබුණේ ලොකු හදිස්සියක්.බැඳීමක් නිසා උපන් ඔයා එක්ක බැඳීමක්.හදාගෙන අලුත් වේදනාවක් විඳින්න එයා බය වෙන්න ඇති. එයාට ඔයාව නිදහස් කරන්න තිබුණු හදිසිය තරමටම මට ඔයා දරා ගන්න තිබුණේ නොඉවසිල්ලක්.

“ඔව්, අපි අලුත් ගමනක් ආරම්භ කරලා අවසානයි.මේ ගමන පරිස්සමින් යමු.”

හැලහැප්පීම් ගොඩකට පස්සේ මාව අම්මා කෙනෙක් කරන්න මේ විදියට මං ගාවට ආවට ඔයාට ස්තූතියි.ඒ වටිනා පැමිණීම වෙනුවෙන් ආදරය මිසක් වෙන දිය හැකි දෙයක් මම දන්නේ නෑ.මගේ හදවතෙන් ඉපදුණු ඔයා හදවතේ කොටසක් වෙලා හැදෙන බව මට විශ්වාසයි.

මලක් නොවී මල් ගහක් වගේ වෙන්න.මං ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි.ඔයා අපේ ජීවිත වසන්තයකින් පුරවන බව මම දන්නවා.

More Stories

Don't Miss


Latest Articles