(අ)හිමි සිහින -180

කතාවෙන් මඳක් බැහැරවෙලා පෙර කොටසේ මා පැවසූවේ කොලයක අත්සන් කළ පමණින් ජීවිත දෙකක් ඒකාත්මික නොවන බවක්.එයට ජීවමාන සාක්ෂියක් ලෙස රට දැය රකින්නට ජීවිතයම කැප කළ තම කුටුම්භය වෙනුවෙන් කළ හැකි සියලු කැපකිරීම් කළ අහිංසක මිනිසෙකු වූ සුධාරක ඔබට උදාහරණයකට ගත හැකියි.

විවාහ සහතිකයක් මිනිසෙකුගේ ජීවිතය අපායක් කරන්නට පාර කැපූ සැටි ඔබට මගේ කතාවෙන් ඉගෙනගතහැකියි. ඒ නිසාම විවාහයක් තුළ පමණක් මිනිසෙක් හෝ ගැහැණියක් සුරක්ෂිත යැයි කෙනෙකු පැවසුවහොත් මම එය ප්‍රතික්ෂේප කරන්නටද මැලි වන්නේ නෑ.ඒ අනුන්ගේ ජීවිත දෙස බලා නොවේ, මගේ හා මගේ ජීවිත කොටස්කරුවන්ගේ ජීවිත වල සත්‍ය සිදුවීම් වලින්.

ජීවිතය අපි ඉගෙනගන්නේ අත්දැකීම් තුළින්.තමාගේ අත්දැකීම්  සුභවාදී වනවිට අනෙක් අයගේ ජීවිත තක්සේරුකරන්නට සමහරු උත්සාහ දරනවා.ඔබ ඒ අසාධාරණ ක්‍රියාව කවදාවත් කරන්න එපා.අනික් මිනිස්සුන්ගේ ජීවිත තුළ ජීවත් නොවී කිසිදා අනෙක් මිනිසුන් තක්සේරුකරන්නට යන්න එපා. කිසිම ජීවිතයක් සදාකාලිකව විඳවිය යුතු නැහැ.ඒ වගේම සෙල්ලක්කාර ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාව එකක්.නමුත් තමාගේ සහනය ඕනෑම මනුෂ්‍යයෙකුට සොයාගැනීමට අයිතියක් තිබෙනවා. ජීවිතය එතරම්ම කෙටියි. 

මගේ හෝ පිටස්තර බලපෑම් නිසා හෝ මේ කුමන හේතුවකට හෝ මට විවාහ තුනක් කරගන්නට සිදුවූයේ මා නරක චරිතයක් ඇත්තියක නිසා බව කෙනෙක් පවසාවි.සෙල්ලක්කාර ජීවිතයකට කැමති කෙනෙක් කිසිදා විවාහයක හිරවෙන්නේ නැහැ.මම සෙව්වේ සැබෑ පවුල් ජීවිතයක්.සැබෑ කුටුම්භයක් ඒත් මා සංසාරයේ කළ කුමක් හෝ අකුසලයකට එය ලබන්නට වාසනාවන්ත වුණේ නැහැ. ඔබ මගේ විවාහ සහ දික්කසාද ගණනින් මා මනින්නට උත්සාහ දරනවානම් මට අවංකවම ඒ පිලිබඳව ඇතිවන්නේ කණගාටුවක්. ඒත් යමක් පවසන්නට ම ඕනෑ.දික්කසාදය ගැහැණියකට මේ සමාජයේ සුදුසු දෙයක් නොවෙයි. ඔබ ආර්ථිකව මානසිකව හා පෞරුෂත්වය අතින් ශක්තිමත් නොවේ නම් අවාසනාවකට අපේ රටේ දික්කසාදය යනු අනෙක් මිනිසුන්ට පද හදන අයට හොඳ”කැලෑපත්තරයක්”

ඉතාම ගුප්ත ජීවිතයක් ගත කළ සහ ආදරයක් සෙනෙහසක් තුන් හිතකවත් නැති දිල්හානිගේ විවාහයෙන් වසර දහතුනකට පසුව දරුවන් තිදෙනෙක් ලද පසුව සුධාරක වෙන්වන්නට ඇත්තේ පිරිමියෙකු ලෙස ඉවසීමේ අන්තයට පැමිණියාට පසුවයි.

නොඑසේනම් ඔහුට සිදුවන්නේ ජීවිත කාලය පුරාම විඳවමින්  ජීවත් වීමටයි.හුදෙක් සහතිකයක් සුරක්ෂිත කරන්නට මිනිසෙක් ජීවත්විය යුතු ද? 

ඒ නිසා තමන්ගේ ජීවිතයේ සතුට කෙසේ වෙතත් සැනසීම සොයා ඕනෑම මිනිසෙකු ගන්නා තීරණයකට ගරු කරන්නට තරම් මානුෂික වෙන්න.තමන් ගේ තරාදියට ඕනෑම දෙයක් දා කිරා මැන බැලුවාට මනුෂ්‍ය ජීවිතයක් කිසිදා කිරා මැන බලන්නට නොයන්න. මිනිසත්බව කිරන්නට මිනුම් දණ්ඩක් මේ ලෝකයේ කොතැනකවත් නැහැ. ඒ නිසා තම තමන්ට ඇති ගැටලු වලින් ජීවිතය ජයගන්නට නොහැකිව ඔබ සිරවී සිටිනවා නම් එය ජයගන්නට උත්සාහ දරනවා වෙනුවට එවන් ගැටලු මානසික පීඩා වලින් අසීරුවෙන් හෝ මිදී ජයගන්න අයෙකුට නිකරුණේ කටකතා හදන්නට එපා. නිකරුණේ චරිත සහතික දෙන්නට එපා.එය මා ඔබෙන් කරන ආදරණීය ඉල්ලීමක්.ඉරිසියාවෙන් ක්‍රෝධයෙන් අසතුටින් විඳවමින් පැසවමින් ජීවත්වන්නට තරම් අප කිසිවෙකුත් මේ ලෝකයේ විශාල කාලයක් ජීවත්වන්නේ නැහැ.  

ඉතින් නීත්‍යනුකූල විවාහ සහතිකයක් අතේ තබාගෙන සිය සැමියා, තමන්ගේ දරුවන් ගේ පියාගේ ජීවිතය වෙනුවෙන් කිසිදු දෙයක් නොකල “හරි ගැහැණියක්” හා කිසිදු සහතිකයක් අතේ නොතිබුණාට හදවතේ තිබූ සාංසාරික බැඳීමකට මිනිසෙකුට අප්‍රමාණව ආදරය කළ ඒ මිනිසා ගිලන්වූ පසුත් ඔහු වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ ඒත් අපේ සමාජයට අනුව නම්.”හොර ගැහැණියක්” වුණු ගැහැණියක යන කාන්තාවන් දෙදෙනාගේ භූමිකාවන් දෙක හැසිරුණු ආකාරය ගැන මම මේ කතාවේදී ඔබ සමඟ ඉදිරියේදී බෙදා ගන්නට බලාපොරොත්තු වෙනවා.

නමුත් කොටස් එකසිය හැත්තෑ ගණනක් පුරා මා වෙනුවෙන් විවිධ අදහස් දැක්වූ ඔබ සමඟ මේ අදහස බෙදා නොගෙන මේ කතාවේ සෙසු අඩ ඔබට කියා සැබෑවටම ප්‍රයෝජනයක් නැතැයි මට සිතුණා.දින දෙකක් පුරා මේ දිගු සටහන තැබිය යුතුම බවට මම ස්මාර්ට්ලේඩි කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ ඒ නිසා.

සුධාරකගේ ජීවිතය බේරාගන්නට ඔබ බලවතුන් ගේ සහය ගන්නට උත්සාහ කළේ නැද්ද? ඒ ප්‍රශ්නය නගන්නට සිතුනා නම් එයට පිළිතුර වන්නේ ඔව් යන්නයි.එම රාජ්‍ය නායකයා පවා සම්බන්ධ කරගන්නා දැඩි උත්සාහයක නිරත වූ කාලයක් ඒ.නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වුණා.ඒ වගේම සමහර නීති කාරණා ගැන අප සිතන අන්දම මොනතරමට වැරදිදැයි මා ප්‍රායෝගිකව අත් වින්දේ ද මේ කාලයේ දී.ඒ සියල්ල අතරමැද මිසක පීඩාව දරාගනිමින් මම සුදාරකව සුවකර ගන්නට මහත් උත්සාහයක් දරන්නට වුණා.

සුධාරක සහ මම සැබෑවටම කවුදැයි දන්නා ඔබ සමහරක් කතාවේ අවසානය දැන සිටියත් මා ඒ අවස්ථා දරාගත් සහ විඳ ගත් අන්දම ගැන දැනගන්නට කුතුහලයෙන් පසු වනවා ඇති.මා ගැන කිසිවක්ම නොදන්නා ඔබ සමහර දෙනෙක් අපගේ කතාවට ප්‍රීතිමත් අවසානයක් ප්‍රාර්ථනා කරමින් මෙය කියවනවා ඇති.සත්‍යයම පමණක් ලියන්නට කැමති මම ජීවිතය සම්බන්ධයෙන් කළ අවසන් සංග්‍රාමයක අවසන් භාගය ඔබ සමඟ බෙදා ගන්නට මහත් ආශාවකින් පසු වෙනවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles