පෙමාතුර -41

‘ගැහැනු ළමයි’ කියවූ වතාවක් ගානේ මගේ හිත නිමල් ගැන කලකිරීමකට පත් විය. කුසුම් ඔහු ගෙන් කළේ එක ඉල්ලීමකි. ඒ ඔහු ගේ මව ගේ කැමැත්ත ගෙන පැමිණෙන ලෙසයි. කවදාවත් එය කරනු වෙනුවට ඔහු කළේ ඇය ට තනි කැමැත්තෙන් විවාහ වීමට ඇරයුම් කරමින් සිටීමයි. මව ගේ කැමැත්ත ලබා ගැනීමට තරම් දිරියක් ඔහු ට වූයේ නැත. 

කුසුම් ගැන මා අප්‍රමාණ ව දුක් ගත්තේ නිමල් ඇගේ ප්‍රේමය තේරුම් ගත්තේ නැති නිසාවෙනි. අවසානයේ ඔහු අම්මා කැමති විදිහේ වත් පොහොසත් පවුලක දියණියක වන පද්මිණී විවාහ කර ගෙන, ඔහු ම නො දන්නා පඹ ගාලක පැටලී ගියේ ය.

නිමල් අම්මා ව කැමති කරවා ගෙන කවදා ම හෝ කුසුම් ගේ මුහුණට සිනහවක් ගෙන එන තුරු මගේ පාසල් වියෙහි දී මම බලා සිටියෙමි. මා වැඩිහිටියෙකු වූයේ නිමල් ලා ට කුසුම් ලා ගැන ඇති අඩු සංවේදීතාවය ගැන තැවුලෙනි.  ඉන් පසු ගැහැනු ගෙදර වැඩිහිටි ගැහැනුන් ගේ සාකච්ඡා වලදී, නො දන්නා කුසුම් කෙනෙකු මගේ ඇතුළාන්තයේ හිඳ සුසුම් හෙළු බව මම දනිමි. 

විසල් හා නිමල් අතරේ සමානතා සොයා ගන්නට දැන් මම වෙහෙසෙමි. කමලාවතී ගේ විරෝධය මැද නිමල් හා විවාහ වීම කුසුම් විසින් ප්‍රතික්ෂේප කරන ලද වුව ද, ඇගේ හිත ඔහු වෙනුවෙන් අවිහිංසක බලාපොරොත්තුවක් දල්වා ගෙන සිටියා යි නො කිව හැකි ද? නමුත් නිමල් පද්මිණී ව තෝරා ගත්තේ ද ස්ව කැමැත්තෙනි. 

විසල් බලා සිටීවි දැයි දැන ගන්නට මට ඕනා විය. ඔහු බලා සිටිනවා නම් මම කැමති ද වීමි. මා උන් හිටි ගමන් අතුරුදන් ව ගිය හේතුව ඔහු දැන සිටියේ ය. ඔහු සිය ප්‍රථම විද්‍යුත් ලිපියේ ඒ බව පැහැදිලි ලෙස ලියා ද තිබුණේ ය. නමුත් ඔහු ගේ ප්‍රශ්න විසඳා ගන්නට තබා, මා ඔහු වෙත එන බවට විශ්වාසයෙන් සිටින්නට හෝ ඔහු ට නො හැකි විය. 

ඉෂිනි නදීරා ට කතා කොට, දෙමසක් තුළ ඔවුන් දෙදෙනා අතරේ විවාහය සිදු කිරීමට යොදා ගත් බව කියා තිබුණා ය. මා ඇතුළාන්තයෙන් දැවී ගිය ද ඒ බව පිටතට නො පෙන්වා සිටීමට ප්‍රවේසම් සහගත වීමි.

“හුඟක් පිරිමි එහෙම තමයි. එයාලට එක හිතිවිල්ලක දිග කාලයක් එල්ලිල ඉන්න අමාරුයි. එයාලට ක්ෂණික විසඳුම් ඕනෙ. ගෑනුන්ට වගේ දරා ගන්න හයියක් පිරිමින්ට නෑ”

අම්මා මගේ හිත හදන්නට සේ කීවා ය. නමුත් තුවාල තිබුණේ පිටතින් ඔසු ගල්වා සුව කළ හැකි තැනක නොවන බව මම දැන සිටියෙමි. 

කවදා හෝ වෙන්නට තිබුණ දේ ඒ ය. වෙන්නට නියම වී තිබුණ දේ ඒ ය. දේපල පිට නො යන සේ ඔවුන් ගේ විවාහය! විසල් ඊට එරෙහි වූයේ මා නිසාවෙනි. මා මඳක් දුරස් වූ කල යළිත් ඔහු පරණ විසල් ම වී තිබේ.

ඔහු මා වෙනුවෙන් සටන් කරනු දකින්නට මට ඕනෑ විය. මා සමග මිස වෙන කිසිවෙකු සමග විවා පත් නො වන බව කියමින් අම්මා එක්ක අරගල කරනවා දකින්නට හෝ ඒ ගැන අසන්නට මට ඕනෑ විය. කිසි දා ක මට ඔහු ව අමතක නොවන හා වෙනත් පුරුෂයෙකු ඔහු සේ නො දැනෙන බවට විශ්වාසයෙන්, මා පුනරාගමනය කරනා තෙක් බලා හිඳිනා විසල් කෙනෙකු ගැන පැතුමක් යටි හිතේ විය. මා අභිනික්මන් කළේ නිදහස් වීම සඳහා අවශ්‍ය අවකාශය හා නිදහස ඔහු වෙත ලබා දීමට බව ඔහු දනී.ඒ අවකාශයෙන් උපරිම ඵල ලැබ මා වෙනුවෙන් බලාසිටිනා විසල් කෙනෙකු, දෝත පා මා වැළඳ ගන්නට එන විසල් කෙනෙකු ගැන බලාපොරොත්තුවක් මට විය. වචනයකින් හෝ ප්‍රතිචාර නො දක්වා හිටියාට, මා හුස්ම ගන්නේ ඔහු වෙනුවෙන් බව දන්නා විසල් කෙනෙකු මගේ පපුවේ ජීවත් වෙයි. වචන වලින් සියල්ල පවසා සිටින තෙක් බබෙකු සේ ශෝක වන්නේ මගේ විසල් නොවේ. ඒ ලෝකය බිහි වූ දා සිට තමන් ගේ ප්‍රේමයෙහි උත්තරීතර භාවය වෙනුවෙන් පෙනී සිටිය නො හැකි වූ දුර්වල පුරුෂයා ය. ඔහු හැමදාමත් බලා සිටියේ තීරණය අනිත් පසින් ගැනෙනා තෙක් ය. අල්ලා ගැනීම හෝ අත් හැරීම අනිත් පසින් සිදු වෙන තෙක් ය!

ඉර හඳ තාරකා කුඩු පට්ටම් කොට හෝ ඉරණම වෙනස් කරන්නට රිසි මා වාගේ ගැහැනියක, ඔහු ගෙන් පැතුවේ ද එවැන්නකි. විසල් මා සොයා එතැයි මම සිතුවෙමි. අම්මා ට පුංචි වදයක් දුන්නා නම් ඔහු ට මා සොයා ගත නො හැකි වන්නේ නැත. සංසාරයක් ඔහු වෙනුවෙන් බලා සිටින්නට මා පිඹුරු පත් සැකසූව ද ඔහු ට මා වෙනුවෙන් මාස තුනක් බලා සිටිය හැකි වූයේ නැත.

එවන් හැඟුමක් ඇති කරවන්නේ පහසුවක් නොවේ. හුස්ම හිර කරවනා ආත්ම අසරණ කමකි.

“ඒ වුණාට එයා කවදාවත් ඒක එයාගෙ දුර්වල කමක් කියල පිළි ගන්නෙ නෑ. ඒක ඔයාගෙ වරදක් විදිහට ඇඟිල්ල දික් කරයි. ඔයා ගිය නිසයි එහෙම වුණේ…ඔයා රිප්ලයි නොකළ නිසයි එහෙම වුණේ වගේ ඒ පැත්ත සාධාරණීකරණය කරන හේතු ඕන තරං ඉදිරිපත් වෙයි. ලෝකෙට වැරදිකාරය වෙන්නෙ ඔයා විතරයි කිසා”

වර්ණාසි වල ටික දවසක් හිඳ යළි මා අග්‍රා වෙත පැමිණි පසු, යමුනා ගං තෙර හිඳ ටජ් මහල දෙස බලා හිඳින ගමන් කාංචනා කීවා ය. මා හිටියේ සිනහ වෙවී ය. ඒ ව්‍යාජ සිනහව, ඉන් පසු මගේ ආත්මීය අඳුරු ගුහාවේ නිදන් ගත වද වේදනා වසා ලන වෙස් මුහුණ වනු ඇත. එහෙම සිනහ වෙවී, ටජ් මහලේ මුදුන් කොත ඇඟිලි දෙකෙන් අල්ලා ඔසවා ගෙන සිටිනාකාරයේ පින්තූර කිහිපයක් ගෙන මම ඒවා අම්මාටත් පුංචීටත් නදීරාටත් වට්සැප් කළෙමි. 

“කිසාටත් මේ ගෙදර අනිත් ගෑනුන්ගෙ හිනාව බෝ වෙලානෙ”

ඒ පින්තූර දැක පුංචා එසේ කියා එවා තිබිණ. මම රහසින්, කඳුළක් පිස දා ගතිමි. 

“අපි එක පිරිමියෙකුට මුළු හිතම දන් දීල ඊට පස්සෙ කසාද බඳින පිරිමියා එක්ක හදවතක් නැතුව ජීවත් වෙන ගෑනු කිසා”

මා හිතුවාට වැඩි ජීවන දර්ශනයක් කාංචනා ට තිබිණ. 

“ඇත්තටම හදවතින් මැරුණ අපි වගේ ගෑනුන්ට කර ගහන පිරිමි පව්. දසුන් මං වෙනුවෙන් මොනා කළත් මට ඒක ගැන සතුටක් දැනෙන්නෙ නෑ. එයා මොන තරං වටින දේවල් තෑගි දුන්නත් මට ඒව ලොකුවට දැනෙන්නෙ නෑ. ඒත් අපි ආදරේ කරපු එකාට කවදාවත් අපේ උපන් දිනේ අමතක වුණත් අපි ඌව දේවාලෙක තියල වන්දනාමාන කරනව. ආදරේ කියන්නෙ එහෙම දෙයක්”

“මන් දන්නෑ මට එහෙම ජීවත් වෙන්න පුළුවන් ද කියල..”

“මාත් හිතුවෙ නෑ මට පුළුවන් කියල. ඒත් දසුන් බඳින්න අහපු වෙලාවෙ පරණ ඔක්කොම අමතක කරල හිත හදාගෙන අලුත් ජීවිතයක් පටං ගන්නව කියල හිතං බැන්දා. අලුත් ජීවිතයක් ලැබෙන්න ඇති. ඒත් කවදාවත් අර පරණ හැඟීම දැනුණෙ නෑ. ඉඩක් ලැබෙන හැම මොහොතකම අතීතෙ රහස් ගුහා වලට රිංගල කඳුළක් හලන එක තරං…සැප සම්පත් ඔක්කොම දෙන මනුස්සය දිහා බලල හිනා වෙන එකෙන් සතුටක් ලැබිල නෑ. හිනා වෙලා ඉන්නව තමයි. ලෝකෙට පේන්න. සැපවත් ජීවිතයක් ගෙවනව තමයි. ඒත් සතුට කියන්නෙ ඒවට නෙවෙයි”

ඇගේ ජීවිතයෙන් ඉගෙන ගන්නට බොහෝ පාඩම් මට තිබිණ. වැඩිපුර මට හමු වී තිබෙන්නේ පෙම් කළ මිනිසා ගෙන් අත් හැරුණු ගැහැනුන් ය. ඒ අතරේ ඉෂිනි, කොත් කැරැල්ලක චූඩා මාණික්‍යයක් සේ දිස්න දෙමින් සිටියා ය.

ඇය ව මනාලියක සේ සරසන ලෙස ඉෂිනි විසින් නදීරා ට ඇරයුම් කොට තිබේ. නදීරා ඒ ගැන අදිමදි කොට තිබේ. එය මගේ හිත රිද්දන කාරණයක් වෙතැයි ඇය සිතන්නට ඇත.

“අර කෙල්ලට හා කියන්න. නැත්තං එයා ඒක වැරදියට හිතයි”

මම නදීරා ට කීවෙමි. ඇය එක්වන එකඟ වූයේ නැත.

“මට වෙඩින් එකට එන්න වෙන්නෙ නෑ කියන්න. ඒත් මං විශ් කළා කියන්න”

“කෙල්ල. දුක් වෙන්නෙපා කිසා”

“නෑ”

මා සිනහ වූයේ හිත යට කඳුළු තියා ගෙන ය. ඇතැම් විට ඒ දින ලං වන විට මට ඒ විවාහය සඳහා ලංකාවට යත හැකි වනු ඇතැයි සිතන්නට ද මට ඕන විණි. විවාහ වන්නට ගත් තීරණය ගැන කියා විසල් පුරුදු පරිදි ලිපියක් ලියා තිබුණේ නැත. නමුත් මම හැම දා ම ඔහු ගෙන් අලුත් ලිපියක් ඇත්දැයි විමසනු වස් විද්‍යුත් තැපෑල පරීක්ෂා කළෙමි. පීඩනය හදවත පුපුරා දමන්නට හැදු ආසන්න රාත්‍රියක අළුයම් යාමයේ අවදි ව ඔහු ට විවාහයට පෙර ලියනා ලිපිය ලීවෙමි.

“විසල්, මේක සුබ පැතුමක් ද කියල කියන්න මං දන්නෙ නෑ. මළ ගෙවල් ඇතුළෙ ඉඳන් සුබ පැතුම් ලියන්න පුළුවන් ද කියලත් මං දන්නෙ නෑ. හැබැයි මං කැමතියි මළ ගෙදරක ඉඳල වුණත් ඔයාට සුබ පතන්න.

මේක හදවතින් ම කරන සුබ පැතුමක් ද කියල කෙනෙක් අහන්න පුළුවන්. ඔව්. හදවතින් ම! එහෙම කරන්න පුළුවන් විසල්. එහෙම කරන්න පුළුවන් වෙන්නෙ ආදරේ කියන්නෙ හිමි වීමකින් කෙලවර වෙන්න ඕන කියල නො හිතන කෙනෙකුට. ඉතින් මට පුළුවන්.

ඒත් මේක වචන වලට පෙරළන්න බැරි දුකක් විසල්. මං දන්නෑ ඒ දුකට හේතුව මොකද්ද කියල. ඒකට දුක කියනවට වඩා මං කැමතියි ආත්ම අසරණකම කියන්න. මේක හරියට පොඩි කාලෙදි අම්ම මට වැඩිය අයියට ආදරෙයි කියල හිතුණ වෙලාවක දැනුණ වේදනාත්මක හැඟීම ඇති කරනවා. තෝරා ගැනීම මං නෙවෙයි කියන ශෝකාකූල බව ජනිත කරනවා. 

මං බලන් ඉන්න ඇති ඔයා ඉෂිනි ව ප්‍රතික්ෂේප කරල මාව තෝර ගන්නකල්. මං කියල කෙනෙක් හොයා ගන්නවත් නැති අවකාශයක වුණත් ඔයා මාව ම තෝර ගන්නකල්. ඉෂිනි ලෝකෙ ඉතුරු වෙන එක ම ගැහැනිය වුණ අවස්ථාවක වුණත් ඔයා මාව ම තෝර ගන්නකල්. ඒ තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් මගේ ඇස් පනා පිට ම මං අසමත්. ඒ ගැන සංවේගයක් මට දැනෙනවා. ඒත් කවුරු එක්කවත් අමනාපයක් මට නෑ. තරගයෙන් මං පරාජිතයි. 

ඔයා මට වැඩිය ප්‍රායෝගික ජීවියෙක්. ආදරේ කරන්න විශේෂ චරිතයක් ඕන වුණාට විවාහ වෙන්න එහෙම නෑ. බොහෝ තැන් වල මං දැකපු ගැහැනු පිරිමි අතරේ ඔයත් ඒක ඔප්පු කරල පෙන්නුවා. 

ඔයා ආදරණීය පිරිමියෙක්. පිළිතුරු නො එවපු ඔයාගෙ ලියුම් මාව වසඟ කළා. සුරංගනා කතා වල අශ්වයො පිටින් ආව රාජ කුමාරයො වගේ දවසක ඔයා සත් සමුදුරු තරණය කරන් මාව හොයන් එයි කියල හිතපු හීන මං මගෙ හිතේ පරිස්සම් තැනක නිදන් කර ගන්නවා. 

ඒ සියලු දේ ට හේතුව මගේ පලා යාමත් සැඟව සිටීමත් කියා චෝදනා කරන්න ඔයාට අවසර තියනවා. ලුහුබැඳ එන්නත් හොයා ගන්නත් නො වෙහෙසී ම ඔයා නතර වුණා. 

තාම මගෙ ඇස් තෙත් වෙනවා. ඉදිරියෙදි එහෙම වෙන්න ඕන නෑ කියල මට හිතෙනවා. හිත හයිය කර ගෙන හිනා වෙලා එන්න පුළුවන් වුණොත් මං එදාට එනවා. මනමාලයෙක් විදිහට ඔයාව දකින්න මට ආසයි. 

සුබ අනාගතයක්!

මට ලියා ගත හැකි වූයේ එපමණකි. ඒ අළුයම් යාමයේ නාන කාමරයට වැදී මම වතුර මල යටට වීමි. 

“යන්න එපා. හැම දේටම ඔහොම යන්න අරින්න”

කාංචනා කීවා ය. මා කුමක් කරාවිද කියා මා වුව දැන සිටියේ නැත. 

අපේ ගෙදර අයට ඉෂිනි මංගල ඇරයුම් එවා තිබිණි. අම්මලා මා සමගින් ඒ ගැන වැඩි පුර කතා කළේ නැත. 

“මං ඔය විසලයව මරණව”

කියා විරංග පණිවිඩයක් තබා තිබුණේ ය. නමුත් ඔහු එහෙම නො කරන බව දන්නා නිසා මම විරංග ඉදිරියේ වුව යළි පෙනී සිටින්නට නො ගියෙමි. 

ස්වයං පරීක්ෂණයක යෙදීමේ වියරු ආශාව යටපත් කර ගත පෙ හැකි වූ තැන, විසල් ගේ විවාහයට පෙර දින තිබූ ගුවන් යානයෙන් මම ලංකාවට ආවෙමි. රාත්‍රියේ මා පැමිණෙන තේ කිසිවෙකු ඒ බව දැන සිටියේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...