මියුරු පෙම් වසන්තේ – 58

“ආයෙ අම්මා ගැන මට ඇහෙන්න කතාකරන්න එපා ආච්චි අම්මා. ඔයා මොනව කිව්වත් එයයි අර මිනිහයි එක්කහු වෙලා තමන්ගෙ ජීවිත විනාස කරගන්නව මදිවට මගේ ජීවිතේ විනාස කරගත්ත එකත් අමතක කරන්න මට බෑ. එහෙම අම්මා කෙනෙක් මට ඕන නෑ” නදී කිව්වේ ආවේගයෙන් මෙන් දුරකතනයේ තිබූ තමන්ගේත් මියුරුත් ඔක්කොම පින්තූර මකා දමමිනි. වෙන වෙලාවක උනානම් පෙම්වතියකට තමන්ගේත් පෙම්වතාගේත් ආදර සටහන් මකා දමන එක කොච්චර වේදනාවක් උනත් මේ වේලාවේ ඒව දකිද්දී නදීට දැනුනේ අපුලකි. 

“මං ආදරේ කරල තියෙන්නෙ මගෙ අයියටම කියන එක මං කොහොමද දරාගන්නේ?” කියා දහස්වාරයක් හිතෙන් ඇහුවත් ඒ ප්‍රශ්නයට උත්තරයක් තමන් ළඟ නැති බව නදී දැන උන්නාය.

“අනේ මන්දාඅ බං මට තේරෙන්නෙ නෑ මේ නහින දෙහින කාලෙ මට මේව බලන්න උනේ ඇයි කියලා” කියමින් චන්ද්‍රකාන්ති හොටු හීරුවේ කී වෙනි පාරටද කියලවත් ඇයට මතක නැත. සැමියා මිය ගියයින් පස්සේ වසන්තාව උස් මහත් කරගන්න, උගන්නන්න, පරිස්සම් කරගන්න තමන් කොච්චර මහන්සි උනාද කියා දන්නේ තමන්ම පමණකි. එහෙම ඇහේ තියාගෙන වගේ පරිස්සම් කල කෙල්ල විල්සන් වගේ ආතක් පාතක් නැති රස්තියාදුකාරයෙක් එක්ක පූට්ටු වී ඇති බව දැනගත්ත වෙලේ වසන්තාට දොස් දෙවොල් තියා පමණක් චන්ද්‍රකාන්ති නැවතුනේ නැත.

“මං මෙච්චර නැහිලා නැහිල උඹට ඉගැන්නුවේ ඔහොම එකෙක් එක්ක පූට්ටු වෙන්නද බැල්ලියේ?” කියමින් චන්ද්‍රකාන්ති වසන්තාට හොඳටම ගුටි බැටත් දුන්නාය. එහෙත් වසන්තා උන්නේ අම්මා මොන දේ කලත් විල්සන්ව අතාරින්නේ නැතැයි කියන තරම් විල්සන්ටත්, ඔහුගේ මන බන්ධනීය තුරුණු පෙනුමටත්, විහිලු තහලුවට බර කතාවටත් වහ වැටිලාය. ඒ සිතුවිලිවලින් බොඳ වී තිබුණ දෙනෙතට විල්සන්ගේ අතේ නිරත්තරයෙන් රැඳී තිබිච්ච සිගරට් එකවත්, නිතර දෙවේලේ හන්දියෙ කොලු රැල එක්ක වාඩි වී ගහන කයියවල්වත් පෙනුනේ නැත.

“අම්මා මොනව කිව්වත් මම එයාව අතාරින්නේ නෑ”

“අතාරින්නෙ නෑ, අතාරින්නෙ නෑ නෙවෙයි යකෝ මං අතෑරවනවා. යකෝ ඉස්කෝලෙ යද්දිම මදන විසේ ඔලුවට ගහල මදිවට තව කියන ඒව. යකෝ එක්කො හොයාගනිං තමන්ට කන්න බොන්න දෙන්න ඇහැක් හම්බුකරන මිනිහෙක්, මේ කොහෙවත් ඉන්න ආතක් පාතක් නැතුව බෝක්කු ගානෙ කයිවාරු ගහ ගහ ඉන්න මිනිහෙක්ව හොයාගත්තෙ”

“ගෑණියෙකුටයි මිනිහෙක්ටයි එක්කහු වෙන්න සල්ලි විතරක්ම නෙවෙයි අම්මෙ ඕන” කියා මුරණ්ඩු වසන්තා කිව්වේ අම්මාගෙ අදහස්වලට හිත අස්සෙන් හිනාවෙමිනි.

“යකෝ සල්ලි නැතුව ගෑණියෙක්ටයි මිනිහෙක්ටයි විතරක් නෙවෙයි මිනිහෙක්ට තනියෙන්වත් ජීවත්වෙන්න බෑ. උඹට වෙන්නෙ ඕකටත් කන්න අඳින්න දෙන්න, ඔන්න මං නොකිව්වයි කියන්න එපා”

“ආදරේ තියෙනම් ඕව ප්‍රශ්න නෙවෙයි අම්මෙ, මට බැරිකමක් නෑ ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න” කියා ඒ මුරණ්ඩු වසන්තා කිව්වාය. උදේ ගෙදරින් පංති යන විලාසයෙන් ගිය කෙල්ල ආයෙ හවස ගෙදර ආවේ විල්සන් එක්ක විවාහ වීය. ඒද “මං බැන්දා මං විල්සන්ගෙ ගෙදර යනවා” කියා චන්ද්‍රකාන්තිට කියා යන්නට විතරය.

චන්ද්‍රකාන්ති ඇඬුවේ නැත. එහෙත් හිත තිබුණේ ඇහැට නොපෙනෙන තරම් පුංචි කෑලිවලට බිඳී ගොස් බව ඒ මොහොතේ දැනගෙන උන්නේ චන්ද්‍රකාන්තිම පමණකි. ඒ බිඳිච්ච කෑලි ආයෙම එක්කහු කරගන්න චන්ද්‍රකාන්තිට පුලුවන් උනේ තමන් අම්මා කෙනෙක් වෙන්න යන බව වසන්තා කතා කර කිව්ව වෙලාවේය. වසන්තා තරුණ කාලයේ විල්සන්ට පෙන්නපු ආදරේ හැටියට ඇයට වෙන සම්බන්ධයක් තියෙන්න පුලුවන් කියා චන්ද්‍රකාන්ති නිකමටවත් හිතුවේ නැත. දරුවා ලැබෙන්න ඉන්න දවස්වල වසන්තා රෑට නිදි ඇඳේදි කඳුලු පෙරන බවත් සුසුම් හෙලන බවත් ඇහුනද ඒකට හේතුව විල්සන්ගේ බීමත්කම යැයි චන්ද්‍රකාන්ති හිතුවේ වෙන හිතන්න දෙයක් නැති හන්දාමය.

“උඹට දුක නැද්ද යකෝ මේ පොඩි එකියක්ව දාලා රට රාජ්ජවල යන්න?” කියා තමන් අහද්දීත් වසන්තා කිව්වේ “ඒකිටත් හොඳක් වෙන්නෙ නැතෑ මං ගිහින් හම්බ කරන් ආහම. මොකෝ මං මෙහෙ ඉඳිය කියල ඒකිට සුර සැප ලැබෙනවය?” කියාය. මේ ඉන්නේ තමන් මේ ලෝකෙට බිහිකල දරුවා නොව වෙනස්ම ගැහැණියක බව චන්ද්‍රකාන්ති හිතුවේ වසන්තාගේ ඒ වචන වලින් විස්මයට පත් වීය.

තමන් දැන හුන් සුමට සුකොමල ගැහැණියව එතරම්ම දරදඬු ගැහැණියක් බවට පත් කලේ විල්සන්ගේ නොසැලකිලිමත් බව කියා මෙතුවක් කාලයක් හිතාගෙන ඉන්නට ඒ ගැහැණිය පිටුපස අහිමි වී ගිය ක්ලීටස් රදන්පොලගේ ආදරය තිබූ බව චන්ද්‍රකාන්ති දැනගත්තෙද දැන් ය.

“මොන දේ උනත් ඒ උඹේ අම්මා බං” කියා චන්ද්‍රකාන්ති නදීට කිව්වේ බිඳුණු හඬකිනි.

“මං දුක්වෙන්නෙත් ආන්න ඒ ගැන හිතල ආච්චි. මෙච්චර කාලයකට සතියකට දෙකකට සැරයක් දෙන කෝල් එකකදි උනත් ආච්චි එක්ක විතරක් කතාකරපු අම්මා මං කොච්චර මූණ පෙන්නන්න කිව්වත් ඒක කරේ නැති අම්මා කෙනෙක් මෙහෙම එකපාර ඇවිල්ලා මං කාලාන්තරේකට පස්සෙ හොයාගත්ත සතුටක් නැති කරලා දැම්මම මට තවදුරටත් එයාට ආදරේ කරන්න බැ.

එයාලට ඕන වරදක් කරන්න තිබ්බා. හැබැයි මං වගේ ළමේක්ව අසරන කරන්නෙ නැතුව. පුංචිකාලෙ කවුරුහරි අම්මා කෝ කියල අහද්දි මං රට ඉන්නේ කියල උත්තර දුන්නෙ සන්තෝසෙන් කියලද ආච්චි අම්මා හිතන්නේ?

උදේට එද්දි අම්මට වැඳලද එන්නෙ කියල අහද්දි ටීචට මම නෑ කිව්වම ඒ මිනිස්සු මට බැණපුව මං අහන් හිටියෙ සතුටෙන් කියලද ආච්චි හිතන්නේ?

ඒව මං කරගත්ත වැරදිද? නෑ. ආච්චි මේ වයසට ගිහින් මෙහෙම තාම කඹුරන්නෙ ආච්චි කරපු වරදකින්ද? නෑ. ඒ එයාලා කරපු වැරදි. අද ඒ ගොල්ලො එයාලගෙ ලෝක වල සන්තෝසෙන් ඉද්දි අපි මෙහෙම දුක් විඳින්නෙ එයාල කරපු වැරදි වලට.

ඉතින් අම්මා උනත් මං කොහොමද වෛර නොකර ඉන්නෙ?”

නදී එහෙම අහද්දී ඒ කතාව ඇත්ත බව දන්න හන්දාම චන්ද්‍රකාන්ති නිහඬ වුණත් හිත තිබුණේම මේ වෙන්නෙ හරි දෙයක් නෙවෙයි, මොකක් හරි වරදක් මෙතන තියනවමයි කියා හිත හිතය. ඒකට හේතුව කුමක්ද කියා හිතාගන්න බැරි උනත් චන්ද්‍රකාන්තිට ඕන උනේ නදීට යමක් කියන්නය.

“දරුවෙක් අම්මා කෙනෙක්ගෙ හිතක් රිද්දනවට වඩා වේදනයි අම්මා කෙනෙක් දරුවෙක්ගෙ හිතක් රිද්දන එක. ඒ උනාට මං කියන්නෙ උඹ නිකමට හරි මේ ගැන වසන්තා එක්ක කතා කරපං. 

සමහරවිට මේ ඔක්කොම ප්‍රශ්න විසඳගන්න ඇහැක් විදියක් වසන්තා දන්නවා ඇති”

“මේ ප්‍රශ්න විසඳන විදියක් එයා දැනගෙන හිටියනම් එයා මෙහෙම ප්‍රශ්න ඇති කරන්නෙ නෑ නේද ආච්චි? එයාම නේද මේ ප්‍රශ්න ඔක්කොම ඇතිකරල තියෙන්නෙ. ඉතින් එහෙම එකේ ප්‍රශ්න ඇති කරපු මනුස්සයගෙන්ම ප්‍රශ්නෙට උත්තරේ ඉල්ලගන්න තරම් මං මෝඩ නෑ ආච්චි. මේ ප්‍රශ්න හරිගස්සන්න එයාලට ආපහු අවුරුදු විසි ගාණක් අතීතෙට යන්න වෙනවා. ඒක කරන්න පුලුවන්ද?” කියා නදී කාමරයට ගොස් දොර වසා ගත්තාය.

චන්ද්‍රකාන්ති උන් තැනම හිටගෙන කම්මුලට අත තියාගෙන කල්පනා කරේ මොකක් කියා කරන්නද කියා හිතාගන්න බැරුවය.

මේ සියල්ල අස්සේ විල්සන් උන්නේ වසන්තාට බණිමිනි. ඒ තමන්ව මේ නාකිච්චියෙකුත් කෙල්ලෙකුත් එක්ක පංගාර්තු කරවා රට ගියට එකට විතරක්ම නොවේ. හවස්වරුවේ විසප්පු කපිලගෙ පොට් එකට සෙට් වී කාලක් ගහන්න තිබ්බ චාන්ස් එකත් නැතිවෙන විදියේ වනචර වැඩ කර හන්දාය.

“අන්තිමේ මෙච්චර දවසක් මේ අපි දුක් විඳල තියෙන්නෙ මේ වසන්තාගෙ වැරදි හන්දනෙ” කියා නොහිත ඉන්න හැටියක් විල්සන්ට තිබ්බේ නැත.

“ මුං මේ තැංපත් වෙලා ඉන්න ඕන වෙලාවල් වල මදන විසේ ඔලුවෙ පුරවන් අන්තිමේ රට පැන්නා, වැඩ වැරදුනයින් පස්සෙ. මායි මේ කෙල්ලයි තමයි ඒකිගෙ පව්කාරකං වලට වන්දි ගෙවන්න ඕන, නෙදකින් විතරක් අන්තිමේ අම්මලා තාත්තලගෙ වැරදිවලට වන්දි ගෙවන්න වෙන්නෙ දරුවන්ට”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles