මල් තුහින -11

“මංනම් හිතන්නේ උත්පලා යන්න ගියේ වෙනම හේතුවකට. මට ඒ හේතුව ගැන හොඳටම තේරෙනව.”

රුවිනිගේ තුන් තේරවිලි අසන්නට අකමැති මලිති ඇයට ඕනෑ දෙයක් කියන්නට ඉඩ හැර නිහඬ වූවා ය. තර්කයක එල්ලී ගත් පසු එය සනාථ කරන තුරු රුවිනිට නින්ද නොයයි. ඒගැන හොඳින් දන්නා නිසා කළ යුතු වන්නේ නිහඬ වීම ය.

“ඒ මනුස්සය එච්චර කේන්තියකින් කතා කරේ ඇයි රූ?”

මලිති එසේ ඇසුවේ සෑහෙන තරමේ නිහඬතාවයකට පසුව ය. රුවිනි දෙවුර ගැස්සුවාය.

“ගෙදර ගෑනි ගැන තියන කේන්තිය පිට මිනිස්සු පිටින් යවන උන් මටනම් පේන්න බෑ. මට නම් ඇත්තටම හිතුණේ එච්චරයි.”

නමුත් මලිතිට සිතුණේ එය නොවේ. ඇය ඔහු වාගේම කාලයක් ගෙවමින් හිඳියි. ඇයට තුහිනගේ මානසික පීඩාව හොඳින් දැනිණ.

“සමහර මෙගා ටෙලි ඩ්‍රාමාස් වල ඇක්ට් කරන අය ඒකෙන් අයින් වෙන්නේ ඒ කැරැක්ට එක එයාලට වදයක් වෙන තරමට එයාලගෙන් කොටසක් වෙනව කියලා. මට හිතෙනවා මට, තුහිනට වුණත් වෙලා තියෙන්නේ ඒක. පවුල් ජීවිතේ කියන නාට්‍යය අස්සෙ අපි කෙළවරක් නැතුව රඟපානව. මට මේකෙන් මිදෙන්න හයියක් නැති වුණාට මට හිතෙනවා එයාට නම් හයියක් තියනව කියල.”

මලිති පවසන කිසිවකට හූමිටි නොතියන්නට රුවිනි තීරණය කළේ අද උදෑසන ය. තුහිනට පවුලක් තිබීම හෝ ඔහු එහි සතුටින් ජීවත් වන බව පෙනෙන්නට තිබීම රුවිනි ගැටළුවක් කර නොගත්තා ය. ආදරය ඉපදීමට වැට බඳින්නට හෝ හේතු ඉදිරිපත් කරන්නට හැකියාවක් නොවේ.

” එයාට හයියක් තියෙන්නෙ ඔය කිසිම දේකට නෙවේ, ඔයා කීයටවත් නොහිතන දේකට.”

රුවිනි එසේ කියද්දී මලිති ඇය දෙස බැලුවේ පුදුමයෙනි. රුවිනි හදිසි තීරණයකට එළඹුණා ය. ගඟ මැදට යන්නට පෙර චණ්ඩ රළ පැමිණෙන බවත් ගං දිය වඩාත් සැඩ බවත් මිතුරියට වටහා දිය යුතුම වේ.

“අද ඔය ළමය තනියමද ගෙදර යන්නේ?”

නවීන්ගෙන් ඈත් වී ස්වාධීන වන්නට සිතූ බවත් එහි පළමු පියවර ඔහුට ස්ටිකරයක් මෙන් ඇලී නොසිටීම බවත් මලිති කියද්දී රුවිනි හිනැහුණා ය. මලිති එසේ ඔහුගෙන් ගැලවෙන්නේ තුහිනගේ ඇලී ගැලෙන්නට සිතමිනි. ඇය ස්වාධීන වීම මිසක ලදළු පිරී ගිය වැලක් වී එතෙන්නට ගසක් සෙවීම මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්නට හේතුවක් වන්නේ නැත.

“මං මේ කියන දේ පරිස්සමට අහන් හිටපං.”

කෝපි කෝප්පයෙන් බිඳක් තොල ගාන අතර රුවිනි එසේ කියද්දී මලිති මොජිටෝ වීදුරුවේ සීතල ඉරි අඳින්නට වූවා ය. මේ අවන්හල  දෙමිතුරියන්ගේ ප්‍රියතම අවන්හලකි. එසේ වූවා කියා මේ සීතල ඉහිරෙන වැහිබර දවසක සීත කළ මොජිටෝ බොන්නට මිතුරියට ඇති ආවේශය රුවිනිට තෝරා ගන්නට නොහැකි ය.

“උණු කෝපි බොන්න පුලුවන් වෙලාවටත් හීතලම තෝරා ගන්න උඹට දේවල් කියල පලක් නෑනම් තමයි.”

ඇය එසේ කියන අතර මලිතිගේ අතක් අල්ලා ගත්තා ය. මලිති මිතුරිය දෙස බැලුවේ පුදුමයෙනි.

“අර මං එළිවෙනකම් ඔෆිස් හිටිය දවස. මට මේ සැකේ ආවේ එදා. “

තුහින ගැන පැවසීම රුවිනි ඇරඹුවේ වඩාත් ප්‍රවේසම් සහගතව ය. මලිති අසා සිටියා ය.

“මට ඇත්තටම සැක හිතෙනව. අපේ චාමර එක්ක තුහිනට තියෙන්න පුලුවන් සම්බන්ධෙ මොකක්ද?”

සමරිසි සබඳතා ගැන පවසන්නට තරම් රුවිනි බොළඳ වේයැයි මලිතිට නොසිතේ. විවාහ වී දරුවෙක් ලබා කාලයක් ගෙවී ගිය පසු එවැන්නකට යොමු වන්නට තරම් උවමනාවක් තුහිනට වේයැයි සිතීම උගහට ය. අනෙක් අතර චාමර කියන්නේ පෙම්වතියන්‍ රෑනක් ඉන්නා කොල්ලෙකි.

“චාමරය වැඩියෙන්ම ප්‍රසිද්ධ මොනවටද?”

ඒ ප්‍රශ්නය නෑසුණානම් යහපත් බව මලිතිට සිතේ. ඇය රුවිනිගේ දෑසින් මිදී ඉවත බැලුවා ය.

“චාමර ඇඩික්ටඩ් තරමටම නැතත් තුහිනත් ඩ්‍රග් ඇඩික්ටඩ් කියල මට හිතෙනව. උඹ අමතක කරන්න එපා චාමරයා තදටම ඇඩික්ට් වෙලා ඉන්නේ අයිස් වලට කියල. තව උඹ තියා මමවත් නමක් නොදන්න දාහක් දේවල්වලට ඌ ඇඩික්ටඩ්. හොඳ සැලරි එකක් හම්බුණාට ඕකා මාසෙ මැදක ඉඳල අපි ඔක්කොටොම ණය වෙන්නෙ ගෑනු දරුවන්ට කන්න අඳින්න දෙන්න නෙවේනෙ.”

ඉතා ආතතියෙන් පිරුණු, සුළු හේතුවකටත් කේන්ති ගන්නා චාමරගේ මුහුණ මලිති සිහි කළේ බියෙනි. රංගනී මෙන්ඩිස් නම් ආයතන ප්‍රධානියාට උවමනා චාමරගේ රැකියාව නැති කර දමන්නට ය. ඔහු නොසැලකිලිමත් කොල්ලෙක් මිස මත්ද්‍රව්‍ය ඇබ්බැහියක් ගැන ජීවිතයේ සැඳෑ සමයට එළඹෙමින් හිඳින රංගනී නොදනියි. නමුත් ඇගේ පුතු ලෝකය පුරා කරක් ගසා ලෝකයේ සිදු වන දේ දන්නා තරුණයෙකි. රනුකට උවමනා චාමර නම් අති දක්ෂයා වැරදි මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගලවා ගන්නට ය. ඔහු ඒ වෙනුවෙන් අම්මාට හොරා කාර්ය මණ්ඩලයෙන් උදව් පවා ඉල්ලා තිබේ.

“අපි චාමරයා බේරා ගන්න ඇප කැප වෙලා ඉන්නකොට ඌව ඉන්නවට වඩා විනාස කරන්නෙ තුහින කියලමයි මට හිතෙන්නෙ.”

රුවිනි කියන්නේ ආවේගයෙනි. මලිති මිතුරියගේ මුහුණ දෙස බලා සිටියා ය. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් වන තුහිනට මලිතිලාගේ කාර්යාලයේ යම් කටයුතු රනුක පවරා තිබේ. ඒ කටයුතු වලදී ඔහු සමඟ ගනුදෙනු කරන්නට වූයේ රුවිනිට ය.ඇය ඉක්මන් සබඳතා ගොඩ නඟා ගන්නියකි. ඕනෑ බව සිතෙන ඕනෑම කෙනෙකු සමඟ හාදකම් ගොඩ නඟා ගන්නියකි. තුහින ගැන පැවසූ මොහොතේ පටන් ඇය එයට උපරිමයෙන් සහයෝගය නොදක්වන සැකයක් මලිතිට තිබිණ. අඩුම තරමේ තුහිනගේ පවුල් ජීවිතය බිඳ වැටෙමින් ඇති බව හෝ මලිති සමඟ බෙදා ගන්නට ඇයට ඕනෑ වූයේ නැතැයි මලිති සිතුවා ය.

මේ සැකය මිතුරිය සිතා මතා අඳින්නක්දැයි මලිතිට බරපතල සැකයක් ඇති විය.ඇය මොජිටෝ වීදුරුවේ සීතල නොසලකා එය එක හුස්මට හිස් කළා ය.

(මෙතැනින් එහා කතාව ගොඩ නැගීම මම පාඨක ඔබට පවරනවා.

  1. ඇත්තටම තුහින මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් ද?
  2. රුවිනි ඉන්නේ ඔහු දිනා ගැනීමේ උවමනාවෙන්ද?

ඔබේ අදහස කමෙන්ට් කරන්න. වැඩිම ප්‍රතිචාර ඔස්සේ කතාව ගොඩ නගන්නට අපි තීරණය කළා. මේ දෙවසරක් පුරා අපේ නවකතා සමඟ රැඳෙන අපි ඔබට දෙන තෑග්ගක්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles