තමන්ගේ හීන

දුලනි ජංගම දුරකථනයේ තිබුන පැරණි ඡායාරූප එහාට මෙහාට කලා. චතුරගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ජීවිතය මොන තරම් සුන්දරද කියලා ඈට හිතුණා.

” අපි හම්බවෙන තාම අපි මේ විදිහට ෆොටෝ එකක් ගමු .අපි කවදහරි කසාද බැන්ද දවසක ට ඒවා බලන්න පුළුවන්නේ “

මුණ ගැහෙන හැම දවසකම චතුර දුලනි එක්ක ඡායාරූප අරගෙන ඒව පරිස්සමට තියා ගත්තා.

දුලනිත් චතුරත් මුණගැහෙන්නේ මිතුරෙකුගේ උපන්දින සාදයක දී . මොකක්දෝ දුකක් හිතේ තියාගෙන නොනවත්වාම මත්පැන් පානය කරමින් නර්තනයේ යෙදෙන කඩවසම් තරුණයා දිහා දුලනි බැලුවේ තරමක උනන්දුවකින්

” කව්ද බං අර ජීවිතේට බීලා නැහැ වගේ බීගෙන බීගෙන යන්නේ ?”

දුලනි විහිළුවට වගේ එහෙම ඇහුවේ තමන්ගේ හොඳම මිතුරියවුන අයේශා ගෙන් .

” ඔය අපේ අයියාගේ හොඳම යාළුවෙක්. මේ ටිකේම අපේ ගෙදර එන එක තමයි මිනිහගේ ලොකුම රාජකාරිය “

” උඹව බලන්නද ? “

” පිස්සුද බං ? මිනිහගෙ නම චතුර .යාළුවෙලා හිටපු කෙල්ල වෙන එකෙක්ව බැඳලා . හොඳ රස්සාවක් කරන කොල්ලෙක් .මේ ටිකේම නිවාඩු දාලා නිතරම අපේ ගෙදර එනවා අයියව හම්බ වෙන්න. අපේ අයියා බැන බැන ඉන්නේ කොයි වෙලාවේ හරි රස්සාවක් නැති කරගනීවි කියලා “

” එහෙනම් එයා ඔය බොන්නේ දුකට වෙන්න ඇති “

” බොනව නෙමෙයි නානවා . ඔය කොල්ලා ඔයිට වැඩිය ලස්සනයි .දැන් ඔය රැවුලත් වවාගෙන පිස්සෙක් වගේ හිටියට “

නාඳුනන තරුණයා ගැන දුලනි ට ඇති වුණේ අනුකම්පාවක් . උපන් දින සාදයේ ඡායාරූප ෆේස්බුක් එකේ හුවමාරු වෙන අතරේදී තුළ දුලනිට චතුර ගෙන් මිතුරු ඇරයුමක් ආවේ නොහිතපු වෙලාවකයි

” ඔයා එදා පාටි එකේ හිටියා මට මතකයි “

චතුර ගෙන් ආව ඒ පණිවිඩයත් එක්කයි ඔවුන්ගේ කතාබහ ඇරඹුණේ. එතනින් ඇරඹුන කතාබහ ඔවුන්ව පෙම්වතුන් බවට පත් කරන්න නම් ලොකු කාලයක් ගියා

” මම මේ තරමට හරි හිත හදාගත්තේ ඔයා නිසයි දුලනි “

ඇත්තටම මාස ගණනාවක් ඇතුළත දී චතුරගේ ලොකු වෙනසක් කාටත් දකින්න ලැබුණා. බාහිර පෙනුමෙන් වගේම චතුරගේ රැකියා කටයුතු වලත් ලොකු දියුණුවක් තිබුනා. තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නත් චතුරට මග පෙන්නුවේ දුලනියි.

” ඔයාට හොඳ business knowledge එකක් තියෙනවනේ දුලනි “

අත්කම් නිර්මාණ වලට අති දක්ෂයෙක් වුන දුලනි ඒ වෙනකොට තමන්ගේම ව්‍යාපාරයකින් ඉතාම ඉහළ තැනක හිටපු නිසා චතුර ට උදව් කරන එක දුලනිට ඒ තරම් අමාරු වුණේ නැහැ.

දුලනිගේ මුණ ගැහීමත් එක්ක චතුර ගේ ජීවිතයේ ලොකු වෙනස්කම් රාශියක් සිද්ධ වුණා. පෙම්වතිය අහිමි වීමේ වේදනාවෙන් මලානික වෙලා හිටපු චතුර ජීවිතයෙන් සහ වෘත්තියෙන් ඉහළටම ගියා. ඒ හැම මොහොතකදීම දුලනි බොහොම ආදරයෙන් චතුරගේ පසුපසින් හිටියා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ඔවුන්ගේ විවාහ උත්සවය චාම් අයුරින් පැවැත්වුණා. ජීවිතය හරි ලස්සනට ගලාගෙන යන්නේ සුරංගනා කතාවක් වගේ කියලා චතුරට වගේම දුලනි ටත් දැනුනා.

දුලනි නිදිවරාගෙන අත්කම් නිර්මාණවල යෙදෙන බොහෝ රාත්‍රීන් වලදී චතුර ඇය ළඟට වෙලා ඔහුගේ ව්‍යාපාර කටයුතු වලත් රැකියා කටයුතුවලත් නිරත වුණා.

” මට බඩු වගයක් ගන්න තියෙනවා චතුර ඔයා මේ වීක් එන්ඩ් එකේ මොකක් හරි වැඩක් දාගත්තද ? “

එක දවසක රෑ දුලනි එහෙම අහනකොට චතුර හිටියේ ලැප්ටොප් එකට මූණ ඔබාගෙන

” මේ වීකෙන්ඩ් එකේ මීටින් දෙක තුනක් දාගත්ත දුලනි. මම සඳුද නිවාඩුවක් දාගන්නම් ඔයත් එක්ක බඩු ගන්න යන්න “

සතිඅන්තයේ බොහොම කාර්ය බහුල උන චතුරට දුලනිට උන පොරොන්දුව අමතක උනා. සඳුදා උදේ පාන්දර දුලනිටත් කලින් අවදි වුන චතුර කාර්යාලයට යන්න සූදානම් වුණා

” ඔයා අද නිවාඩු දානවා කිව්වනේ චතුර ? “

” මට ඕනේ වෙලාවට නිවාඩු ගන්න මේක මගේ company එකක් නෙමෙයිනේ දුලනි . අද කරගන්න ගොඩක් වැඩ තියෙනවා මට “

” එතකොට මගේ බඩු ගන්න වැඩේට මොකද කරන්නේ ?”

” ඒක ඉතින් හදිස්සි නැහැනේ ?”

” ලබන සතියේ තියෙන engagement එකකට ඕන සැරසිලි වගයක් හදන්න තියෙන්නේ . මම තනියෙන් කරන නිසා කල් ඇතුව මේවා කරගන්න ඕනේ . ඔයා බිසී නම් මම තනියම යන්නම් “

” තනියම ඔය කඩවල් ගානේ ගිහින් බඩු උස්සන් එන්න ඔයාට පිස්සුද . යනවනම් මාත් එක්ක යමු “

දින දෙක තුනක් ගත වෙනකනුත් චතුරට නිවාඩුවක් ගන්න බැරි වුණා. ඉතාම උත්සාහයෙන් වගේම කැපවීමෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරපු දුලනි තනිවම ගිහින් තමන්ට අවශ්‍ය දේවල් අරගෙන ඇවිත් වැඩ කටයුතු පටන් ගත්තා

” මේ ටිකේ වැඩ ටිකක් වැඩී . මම ඔයාට කියන්නත් හිටියේ ගිහින් බඩු අරගන්න කියල “

හවස ගෙදර ආපු චතුර ,දුලනි තමන්ගේ අත්කම් නිර්මාණ වල යෙදෙනවා දැකලා කිව්වේ එහෙම

ව්‍යාපාර කටයුතු වලට මුල්තැන දෙන්න හිතාගෙන චතුර රැකියාවෙන් අයින් වුණේ ඒ අතරෙදි . හිතුවාටත් වඩා සාර්ථක වුන ව්‍යාපාර වලින් චතුර විශාල ආදායමක් ලැබුවා . ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තේ ම හිටපු ව්‍යාපාරිකයන්ව හඳුනාගන්නත් චතුරට පුළුවන් වුණා. නිතර නිතරම පැවැත්වුනු සාද වලට , හමු වීම් වලට හැම දවසකම හවස් වරුව වෙන් කරන්න චතුරට සිද්ධ වුණා

” චතුර ,හවස පාටි එකට ඔයාට පුලුවන්ද තනියම යන්න . අනේ මට වැඩ ගොඩක් තියෙනවා “

” ඔයාට පිස්සුද දුලනි. මිස්ටර් පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න හොඳම බිස්නස්මන් කෙනෙක් . මම කොහොමද ඒ මනුස්සයා දෙන පාටි එකට මගේ වයිෆ් නැතුව යන්නේ ? “

තමන්ගේ වැඩ පසෙකලා සාදයට සහභාගි වෙන්න දුලනිට සිද්ධ වුණා.

වෙළඳසැලකින් ඇනවුම් කර තිබුණු අත්කම් නිර්මාණ තොගයක් බාර දෙන්න දුලනිට නියම වෙලා තිබුණත් ඒවා නියම වෙලාවට භාරදෙන්න දුලනිට හැකි වුණේ නැහැ . ප්‍රමාදය නිසා අදාල වෙළඳසැල් හිමිකරුවන් දුලනිත් එක්ක තියෙන ව්‍යාපාර ගිවිසුම අහෝසි කරන්න කටයුතු කරලා තිබුණා

” මේ වගේ දෙයක් මට කවදාවත් සිද්ධ වෙලා නැහැ චතුර. මම හැමදාම මගේ වැඩ වෙලාවට කලා “

දුලනි හඬා වැටෙමින් චතුරට එහෙම කිව්වත් ඔහු ගනන් ගත්ත බවක් පෙනෙන්න තිබුණේ නැහැ

” අනේ ඔය මල් කොළ හදලා ඇති වැඩේ මොකක්ද දුලනි. ඔන්න ඕක අත ඇරලා දාන්න “

” ඔයා කියන්නේ අවුරුදු ගණනක් තිස්සේ මම කරපු බිස්නස් එක අත ඇරලා දාන්න කියලද? “

” දුලනි ,මගේ බිස්නස් වලින් කොච්චර ලොකු තැනකද මම දැන් ඉන්නේ ? එහෙම කෙනෙක්ගෙ වයිෆ් මේ මල් සැරසිලි හදනවා කිව්වහම මිනිස්සු මට හිනාවෙයි “

චතුරගේ කතාවට තදින්ම හිත රිදුනත් දුලනි ඒ බවක් නොපෙන්වා කාමරයට ගියා. ව්‍යාපාරයකින් ලබන මුදල් වලට වඩා දුලනි ආදරය කළේ තමන්ට තිබුණු හැකියාවට. චතුර ඔහුගේ ව්‍යාපාර කටයුතුත් එක්ක කාර්ය බහුල නිසා, තමන්ට සහයෝගයක් දෙන්න තරම් වෙලාවක් නැති වුණ එක ගැන දුලනිගේ හිතේ ඉතිරි වුණේ කළකිරීමක්. ඒ වුණත් චතුර නම් නිතරම ඔහුගේ කටයුතුවලදී දුලනිගේ සහයෝගය බලාපොරොත්තු වුණා.

” දුලනි මට මේ එකවුන්ට්ස් ටික බලල දෙන්නකෝ “

චතුර කොළ කිහිපයක් දුලනිගේ අතට දෙමින් කිව්වා

” accounts බලන්න කාවහරි ගමුද චතුර “

” ඇයි ඔයාට මේවා බලලා දෙන්න බැරිද ? “

” මං කිව්වේ කිව්වෙ ඔයාට පහසු නිසා මිසක් මට කරලා දෙන්න බැරි නිසා නෙමෙයි “

දුලනිගෙන් වචනයක් එහා මෙහා වෙද්දි පවා චතුර කෝපයට පත් වෙන්න ගත්තා. චතුරගේ කටයුතුවලට සහයෝගය දෙන්න ඕනේ නිසා දුලනිගේ ව්‍යාපාර කටයුතු නතර වෙලාම ගියා. තමන්ගේ උත්සාහයෙන්ම වගේම ඉතා ආසාවෙන් ගොඩනගාගත් ව්‍යාපාරය බිඳ වැටීම ගැන දුලනි රහසේම දුක්වුණා. නමුත් චතුරට ඒ ගැන කිසිම තැකීමක් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ

” මම මේ වැඩ වලට ඔෆිස් එකක් පටන් ගන්න ඉන්නේ දුලනි. හොඳ තැනක් බලලා අරගන්න ඕනේ “

” හ්ම්ම් “

” හ්ම් ගාන්නේ? තමන්ගේ හස්බන්ඩ් වැඩක් පටන් ගන්න යනකොට වයිෆ් කෙනෙක් ඔහොමද උත්තර දෙන්න ඕනේ ?”

” මගෙන් මොකක්ද කෙරෙන්න ඕනෙ චතුර ?”

තමන්ගේ හීනය අහිමි කර ගත්ත දුලනි තමන්ගේ සැමියාවුන චතුරගේ හීන වලට යන්න හැම මොහොතකම උදව් කළා . ගෙවෙන හැම දවසකම කාර්‍යබහුල වුණ චතුරට තමන්ගේ බිරිඳගේ සිතුවිලි ගැන තේරුම් ගන්න බැරි වුණා. මොන තරම් මිල මුදල් තිබුනත් , සමාජයේ පිළිගත් මිනිසුන් අතර ගැවසුණත් , අනේකවිධ සාදවලට සහභාගි වුණත් දුලනිගේ හිතේ සතුට හොයා දෙන්න චතුරට පුළුවන් වුණේ නැහැ. ව්‍යාපාරිකයකු වුන තමන්ගේ සැමියාගේ ගෞරවය ආරක්ෂා කරන එක තමන්ගේ යුතුකම නිසා හිතේ තියෙන වේදනාව දුලනි කාටවත්ම කියන්න ගියේ නැහැ .

තමන්ගේ ජීවිතය ගොඩනඟා ගන්න හෙවනැල්ලක් වගේ හිටපු , තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න තමන්ට මග පෙන්වපු බිරිදකගේ සිතුවිලි සහ හීන චතුරට අමතක වෙද්දි චතුරගේ හීන හැබෑ කරගන්න දුලනි තවදුරටත් කැපවුණේ එහෙම .

ජංගම දුරකථනයේ තිබුණ පැරණි ඡායාරූප අතර අතරමං වෙලා හිටපු දුලනි ගේ මතකයට පරණ මතක හැම එකක්ම ආවෙ චිත්‍රපටයක රූප රාමු පෙළක් වගේ.

” අනේ මට ආයෙත් ඒ කාලෙට යන්න තිබුනානම් “

දුලනි දුරකථනය පැත්තකින් තිබ්බේ එහෙම හිතන ගමන්

More Stories

Don't Miss


Latest Articles