විසි නව වැනි නෙත් සැරිය
අයත්මා උන්නේ සිහිනයක ගුලි වෙමිනි. රාත්‍රී සයනයේ ගුලි වෙමින් ඕ බලා උන්නේ චත්‍රගේ ඇමතුමකි. ඔහු අමතන්නේ නැතිනම්, තමා හෝ ඇමතුමක් ගන්නවායැයි ඕ සිතුවාය. දහවලේ සිදුවූ සියල්ලටම පසු ඔහුට ඇමතුමක් නොගෙන නින්දට යා නොහැකිය. අනෙක් අතට පවුලේ අයවලුන් අතරේ ඔහු පිළිබඳව ඇති දුර්මතය නිසා ඔහු නිවස තුළ යම් මානසික පීඩාවකද සිටිනවාද විය හැක.
අයත්මාට ඔහු සමඟ දොඬමලු වන්නට ඇති කතන්දර වල දිගක් පලලක්වත් ගැලපෙන්නේ නැත. එය එසේ වුවද ඇමතුමක් නම් අවැසිම බව සිත කියන්නේය. දහවලේ ඔහු බොහෝ දේ පවසද්දී තමා පලකට නැති කාරණාවක් දෙකක් පමණක් පැවසූ වග ඇ්ට සිහි විය. ඕ යහනේ අනෙක් පසට පෙරලුනාය.
චත්‍ර සවස් වරුව ගත කලේ කායවර්ධනාගාරය තුලය. ඔහු කලකට පසු පැය දෙකක් පමණම එහි රැඳී උන්නේය. නිවෙසට පැමිණියේ කපිල සමඟය. රාතී ආහාරය මඟ හැර කාමරයට වැදුණේය. සිහිනි ඔහු හා කතා බහ කරන්නට උත්සාහ කලද චත්‍ර ඉඩක් නොදී කාමරයේම ඉන්නට උත්සාහ කලාය. එහෙත් සිහිනිගේ තර්ජනාත්මක කෙටි පණිවිඩ වලට පසු ඔහු දොර විවෘ ත කලේය.
” ආහ් පෙම්වතා …”
සිහිනි කාමරය තුළට පිවිසියේම විකට නාට්‍යානුසාර බවකිනි. එහෙත් චත්‍රට එවෙලෙහි අවැසිව තිබුනේ එවැනි පරිසර මැවීමක් නොවේ. ඔහු ඇය වෙත නොරිස්සුම පාමින්ම පසෙක හිඳගත්තේය.
” මොකෝ අරයා කිව්වේ ? මං කිව්වා හරිනේ ? ගොඩ නේ ….?”
එවර චත්‍රගේ හැසිරීම් වෙනස් විය. ඔහු ඇස් උස්සා , නටවා සිහිනි වෙත බැල්මක් පෑවේය.
” මන්දා… ඒත් යකා හිතපු තරමට කලු නෑ …. ඒක නෙවෙයි කතාව….. අයත්මා හිතාගෙන ඉන්නේ සැණ්ඩ්රා මගේ කෙල්ල කියලා..”
“වට් ?.. සිරාවටම ? එහෙම කිව්වද එයා..?”
“කිව්වා කියන්නේ ඒක කටෙන් පැන්න්නා.. මං ඉන් එහා අහන්න ගියේ නැහැ…. කෙල්ල චුට්ටක් නර්වස් වුනා “
චත්‍රගේ දෑස් දිලිසෙමින් තිබුණි. සිහිනිගේ සිත ට යම් බයක් නොදැනුනාද නොවේ. ඇතැම් විට අයත්මා අයියාගේ ජීවිතය අවුල් කර දමාවිදැයි සිතෙන්නෙට ගත්තේ දවහල් කපිල කරන ලද දීර්ඝ පැහැදිලි කිරීම් වලට පසුවය. අයත්මා මෙතරම් ඉක්මනින් අයියා ඇයට කල අසාධාරනය අමතක කල අයියා සහ ප්‍රේමයෙන් බැඳීම විශ්වාස කරන්නේ කෙලෙසදැයි කපිල විමසූ අයුරු සිහිනිට සිහි විය.
” අයියේ … කොයි දේ වුනත් ඕනෑවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා…..”
” කපිල බොසා තමුසෙගේ ඔලුවත් කාලා වගේ මට පේන්නේ …. ඌට පිස්සු චුටි .. ඌ එක්ක ඔය ගැන කතා නොකර ඉන්නවා.. ඒක තමයි හොඳම …. අයත්මා එහෙම කෙල්ලෙක් නෙවෙයි..”
“අයියේ පත්තිනි වගේම කාලිත් ගෑණියෙක් … “
” ඒකට කමක් නෑ .. කාලි වෙලා ආවත්, මං දන්නවා දමනය කරගන්න ,.. ඔය කොයි කොයි ගෑණිත් ආදරේට යටයි …”
සිහිනි ඉන් එහා චත්‍රගේ සමාගමයේ උන්නේ නැත.
කපිල සමඟ දුරකතන ඇමතුමකට එක් වූවාය. ඉන් පසුව ඕ තීරණයක් ගත්තාය. ඕ හිත වෙනස් වන්නට ප්‍රථම අයත්මාට ඇමතුමක් ගත්තාය. චත්‍රගේ ඇමතුම වෙනුවට සිහිනිගේ ඇමතුම එන බව දැනෙද්දී අයත්මාගේ බලාපොරොත්තු සිඳී ගියද ඕ සිහිනිගේ ඇමතුමද යම් ප්රහර්ශයකින් පිළිගත්තාය.
එහෙත් ඒ ප්රහර්ශය නැතිව යන්නට ගත වුනේ තත්පර කිහිපයකි.
” අයත්මා.. ඔයා අපේ අයියාගෙන් කොහොම පලි ගන්නද යන්නේ ?..”
අයත්මා ට දැණුනේ තමාගේ හිස මත අකුණු සියයක් පුපුරා ගියා වැණිය. ඕ යළි ඒ ඇසුනේ කුමක්දැයි කල්පනා කලාය.
” ඔයාට සිද්ද වුන දේ ගැන මට සිය දහස් වරයක් දුකයි අයත්මා.. අපේ අයියා ගැන මම ලැජ්ජ වෙනවා…. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ ඔයා මගේ අයියාගේ ජීවිතේ ගිණි තියලා දානකල් මම ඔහේ බලාගෙන ඉන්නවා කියලා.. තමන්ව රේප් කරපු කොල්ලාට මෙච්චර ඉක්මනට ආදරේ හිතෙන එක හරිම ඇබ්නෝර්මල් කියලා මට නොතේරෙනවා නෙවෙයි අයත්මා…
අයියාගේ හිතෙත් ඒ සැකේ නැතුව් නෙවෙයි. මෙහෙම හිතවත්කමක් පෙන්නලා, ආදරයක් පෙන්නලා ඔයා අයියාගේ ජීවිතේ විනාශ කරන්නයි යන්නේ කියලා මට හිතෙනවා… ඇත්තටම ඒක නේද ඔයාගේ සැලැස්ම.. ඔයා දන්නවා අයියා කොච්චර ආදරේද කියලා …. එයාව පිස්සෙක් කරන්න ඔයාට තියෙන හොඳම වෙපන් එකත් ඒ ආදරේම කියලා මට නොතේරෙනවා නෙවෙයි ….. කතා කරන්න අයත්මා…”
අයත්මාගේ දෑස් ගිණිගන්නා තරමට පිච්චෙමින් තිබුණි. කම්මුල් තෙමුණේ උණු කඳුලු වලිනි. ඕ ඒ කඳුලු පිස දැමුවේ නැත.
එසේනම් ඔවුන් තමා පිලිබඳව සිතා සිටින්නේ එලෙසද? එහෙත් චත්‍ර අතින් තමා අතවරයට ලක්ව, ඉන් පසුව තමා ඔහුට ආදරය කරන්නේ කෙලෙසදැයි විමසීම ඇයට වැටහුනේ නැත. එවැන්නක් සිදු වූ බවක් ඔවුන් උපකල්පනය කරන්නේ කෙලෙසද?
” මගේ අයියාගේ ජීව්තේ එහෙම ලේසියෙන් විනාශ කරන්න ඔයාට මං ඉඩ දෙන්නේ නෑ අයත්මා.. මං එයා ඉස්සරහින් ඉන්නවා…..”
සිහිනි අවධාරනය කලාය. අයත්මාට දැණුන වේදනාව කෝපයක් වෙමින් උතුරමින් තිබුණි.
” ඔව් …….පලිගන්නවා තමයි..මං චත්‍ර මන්ජිත් අතුකෝරලගේ මුලු ජීව්තේම විනාශ කරනවා…. පුලුවන් නම් නවත්තලා බලන්නකෝ සිහිනි…”
ඕ ඒ කෝපයෙන්ම එලෙස පවසා තුම විසන්ධි කලාය. ඉන් පසුව කොට්ටමය මුහුණ ඔබා ගත්තාය. ඇයට හඬන්නට අවැසි වූයේ නැත. එහෙත් වේදනාව මෙතරම් ය කියන්නට නොහැකි තරමට දැනෙමින් තිබුණි.
” ඔයත් හිතාගෙන ඉන්නේ මම ඔයාගෙන් පලිගන්න හිතාගෙන ඉන්නවා කියලා එතකොට? දවල් කියපු , පෙන්නපු, අඟවපු හැම දෙයක්ම පස්සේ ඒ සැකෙත් තිබුණා…. කමක් නෑ… කිසිම දෙයක් පටන් ගන්න කලින් මෙහෙම ඉවර වෙලා ගිය එක හොඳයි… නැත්නම් ආයෙත් පිස්සු වැටෙන්නේ මම … මට මෙහෙම වෙන්නේ ඇයි අම්මේ…”
ඕ කාමරය තුල එහෙ මෙහෙ ඇවිදිමින් අඬා වැටුණාය. හිත පුරා පීදුණු මල් යායම එක්වරම වියැලී යන අයුරු දැණීම ඇයට පහසුවෙන් දරා ගන්නට හැකි වූයේ නැත. ඕ චත්‍ර දහවලෙහි පැවසූ සියල්ල යලි යලි සිතමින් ඒවායේ වූ ව්‍යාජ තත්පරය සොයා ගන්නට උත්සාහ කලාය.
ඉරිදා දිනය සිහිනි චත්‍රට මුහුණ නොදී ගෙවා දැම්මාය. අයත්මා උන්නේද කාමරයේම සඟවීගෙනය. චත්‍ර කිහිපවතාවක්ම අයත්මා ඇමතීමට උත්සාහ කලද ඇගේ ජංගම දුරකතනය විසන්ධිව තිබුණි.
ඉන් පසුව ඔහු කපිල මඟ හැර අයත්මාගේ නිවෙසට ගියේය. පසුගිය රැයේ පටන් අයත්මා අසනීපයෙන් බවත්, අද දිනයේද නින්දේම සිටින බවත් අවිශ්කගෙන් එහෙන් මෙහෙන් දැනගෙන චත්‍ර නිවසට ආවේ ඉතා කලබල හිතකිනි. ඇයට එතරම් අසනීපයක් වන්නට කුමක් සිදු වූයේද?.
ඔහු සිහිනිගෙන් ද අයත්ම පිලිබඳව විමසුවේය.
” මොකද්ද අහන්නේ ඔයා?..”
“කතා කලාද අයත්මා ඔයාට ?..”
“නෑ..”
” කෙල්ල අසනීපෙන්ලු නේ චූටි .. දවසම ෆෝන් එකත් ඕෆ් …”
“ඔව් ඉතින් සැලසුම් ඔක්කොම හෙලිදරව් වුනාම අමාරුයි තමා..අසනීපයි වගේ දැනෙනවා ඇති…”
සිහිනි පෙර දිනයේ වූ ඇමතුම පිළිබඳව චත්‍රට කෝපයෙන් කීවාය. එහිදී අයත්මා ඇගේ සැලැස්ම පිළිගත් බවද, ඕ කීවේ කෝපයෙන් ගුගුරමිනි. චත්‍ර සිහිනිගේ උරහිසෙන් අල්ලා සොලවමින් කෝපයෙන් කෑ ගැසුවේය.
” එයාගෙන් ඈත් වෙලා ඉන්නවා අයියා .. නැත්නම් මම අම්මලාටත් කියලා ඒකිට හොඳ පාඩමක් උගන්නවා….”
සිහිනිද කෝපයෙන් කෑ ගැසුවාය.
” මගේ පාරෙන් පැත්තකට වෙලා ඉන්නවා… “
චත්‍ර කාමරයට ගියේ සිහිනිට දබරැඟිල්ල පා තර්ජනය කරමිනි. සිහිනි ඒ වගක් ගනනකට හෝ නැතිව චත්‍ර පසුපසින් ගොස්, අයත්මාගේ කපටි මුහුනට ඔහු රැවටුනාට තමා නම් රැවටෙන්නේ නැති බවද කීවාය.
| අපේක්ෂා ගුණරත්න |