(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින් එකිනෙකාට වෙනස් නිසා.

අධ්‍යාත්මයෙන් එක සමාන මිනිස්සු ආදරය ගැන හිතන දේ වෙනස් වන්නට පුලුවන්. මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසෙක් අධ්‍යාපනයෙන් තොර වන්නට පුලුවන්.එහෙයින් මිනිසුන් විවිධාකාර වෙනවා. කෙනෙක් ඕනෑම දෙයක් ගැන තීරණය කරන්නේ තමා අත්විඳින දේවල් අනුවය.සමහරු තමන්ට වැරදුනු තැන් වලට ද්වේෂ කරනවා.සමහරු තමන්ට වැරදුන තැන්වලින් පාඩම් ඉගෙනගෙන ගෞරවාන්විතව ජීවත් වෙනවා.සමහරු වරද තමා අතේ තබාගෙන ම තමන් විතර නිර්දෝෂී කෙනෙක් නැතැයි අධි තක්සේරුවෙන් ඉන්නවා.

මම මගේ ජීවිතය පුරාම ඇස්පනාපිට සිදු වූ සහ මගේ සමීපතමයන් විඳි දේවල් සියැසින් දැක වටහාගත් බොහෝ දේ අතර මට වඩාත් පෙනුණු දෙයක් තිබෙනවා.නෛතික බලයක් හෝ ලියවිල්ලකට යටත්වූ ආදරයක්  හෝ බැඳීමක් බොහෝ තැන්හි සියයට සියයක් බලාත්මක වන්නේ නෑ.නීතිය හා මානුෂික බැඳීම් අන්ත දෙකක ඇති බව බොහෝ අවස්ථාවල තහවුරු වෙනවා.එය වඩාත් තහවුරුකරමින් නත්තල් දා මට එංගලන්තයෙන් දුරකථන ඇමතුමක් ආවා.

“අනුරාධා අක්කේ.කොහොමද ඔයාට.අපිට ඔයාගෙ දුක තේරෙනවා.ෆේස්බුක බැලුවම ඔයා අයියා ගැන ලියන දේවල් කියෙව්වම අපේ හදවත් කඩා හැලෙනවා.ඔයා විතරයි අයියට ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ කියලා අපිට දැන් ඔප්පුවෙලා ඉවරයි.”

ඒ ඇමතුම එංගලන්තයේ සිටින දිල්හානි ඉතා ලඟින් ඇසුරුකරන පවුලකින්.මම ඔබට කලින් කීවා සේම දිල්හානිගේ ලඟම ඥාතීන් අසල්වාසීන් හිතමිතුරන් බොහෝදෙනෙක් මා හා ඉතා සමීපව ඇසුරුකරනවා. සුධාරක හොඳින් දන්නා ඒ පවුල තුල සිදුවු සියල්ලේ සත්‍යය දන්නා සියලුදෙනා මා සමග හිතවත්ව ඉන්නටත් හේතුවක් ඇති.ඒ නිසාමයි සත්‍ය තතු නොදැන මට නින්දා අපහාස කරන කිසිවෙකුත් මා නොසලකාහරින්නේ.

“අක්කා ඔයාට පොඩි වැඩක් පෙන්නන්නයි කතා කලේ. Vedio call එක ආන්සර් කරලා මයික් එක මියුට් කරලා බලාගෙන ඉන්නකෝ”

එසේ කියූ ඔවුන් මට වීඩියෝ ඇමතුමක් ගත්තා.එහාපසින් පෙනුණේ නත්තල් උත්සවය සමරන්නට  අලංකාර ලෙස සැරසූ නිවසක සතුටු සාමීචියේ යෙදෙමින් විනෝද වන අපේ රටේ පිරිසක්.ඒ නොදන්නා මූණු අතරේ මා දන්නා කියන මුහුණු කීපයක් ද තිබුණා.

“දෙවියනේ මේ දිල්හානියි ළමයිනුයි නේද”

එලෙස ඉතා විචිත්‍රවත්ව හැඳ පැලඳගෙන නටමින් කමින් බොමින් සිටියේ මීට යාන්තම් සතියකට පමණ පෙර මියගිය මිනිසෙකුගේ ගේ නීත්‍යානුකූල යැයි  කියාගන්නා බිරිඳඔ සහ උප්පැන්න සහතිකයේ ඔහුගේ නම පියා ලෙස හඳුන්වා තිබූ දරුවන්.එවෙලේ මට දැනුණු කලකිරීම මෙතෙකැයි කියන්නට මට අදටත් බැහැ. ඔවුන් සුධාරකට කිසිසේත් ආදරය නොකළ් වග මා සියයට දහස් ගුණයකින් දැන සිටි නිසා මට කෝපයක් ඇති වුණේ නෑ.නමුත් පියා මියගොස් යන්තම් සතියක් වෙද්දී කිසිවක් සිදු නොවූ ගාණට උඩ පැන නටන ඒ දරුවන් ගේ මානසිකත්වය ගැන මට තිබුනේ මහා විශාල ප්‍රශ්නාර්ථයක්.

එසේ විටින් විට මට ඒ නත්තල් පාටිය අතරතුර ඒ වීඩියෝ ඇමතුම් ආවා.ඒ සියල්ලෙන්ම මා දුටුවේ දිල්හානිත් දරුවනුත් සමීපතමයෙකු ගේ මරණයක සේයාවක් හෝ නොදැනී ඉතාමත් සතුටින් ඒ උත්සවශ්රීය විඳ නටා ගයා විනෝද වෙන සැටි.

අදටත් ඒ සියලු වීඩියෝ දින වකවානු සහිතව මා සතුව සුරක්ෂිතව තිබෙනවා.මේවා ලෝකය හමුවේ තබන්නට සුධාරක ගේ නිදොස් බව සමස්ථ සමාජයකට හඬගා කියන්නට අනූරාධාට දවසක් අනිවාර්යයෙන්ම එනවා.ඒ දවස වෙනූවෙන් මා සියලු ආයුධ සන්නද්ධව ඉතා හොඳ සිහිබුද්ධියෙන් හා ඉවසීමෙන් ඉන්නවා. සුධාරකගේ මරණය ස්වභාවිකව සිදුවූවක් නොව එය ඔහුව මරණයට තල්ලුකරගෙන යෑමක් බව අදටත් විශ්වාස කරන මා.කවදාහෝ කොතැනදී හෝ මේ සාපරාධී ක්‍රියාවට සම්මාදම් වූවන් නීතිය හමුවට ගෙන එන්නට අවස්ථාවක් එලඹෙනතුරු බලාසිටිනවා.එතෙක් ස්වභාව ධර්මයා විසින් ඒ සඳහා දායකවූවන් විවිධාකාර ලෙස විඳවන්නට හැර ඇති සැටි නිහඬව බලා ඉන්නවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles