” කොළඹට දොස් කිව්වට මෙහෙ එහෙට වඩා පුදුම රස්නයක්නේ තියෙන්නේ. “
නවාතැන් ගැනීමට සූදානම් කර තිබූ යාල වෙරළ තීරයට මුහුණලා ඇති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයේ වෙරළට නිරාවරිත නිස්කලංක අවන්හල තුළට පැමිණ දහවල් ආහාරය ගැනීමට සූදානම් වූ මහීල් හා සියත්‍ර දෙස බලා පහන්‍යා එසේ පවසමින් ඔවුන් දෙදෙනා අසලම පුටුවකට බර වූවාය.
” රස්නෙයි නේ..?”
පහන්‍යාට පසුව පැමිණි ශාක්‍යාද එසේ පවසා ඈ අසලම පුටුවකට බර වූ අතර වටපිට බැලූ පහන්‍යා නැවතත් ශාක්‍යා දෙසට හැරුණාය.
” සඳැස්වි කෝ ?”
” ලන්ච් ගන්න බෑලු. පහන්‍යා අක්කා ඉස්මුරුත්තාවට එනකන්ම මඟ දිගට කැව්වනේ. චුට්ටක් නිදාගන්න ඕනෙ කිව්වා. “
ශාක්‍යාගේ කතාව අවසන් වනවාත් සමඟම හෝටල් සේවකයින් පිරිසක් ඔවුන් හිඳ සිටි මේසය අසලට දිවා ආහාරය ගෙනැවිත් තැබූහ.
” කන්නනං බෑ වගේ තමයි “
ජංගම දුරකතනය වෙතට දෑස යොමු කරමින් උන් සියත්‍ර දෙස බලා පැවසූ මහීල්ගේ එකී ස්වරයෙහි රටාව හඳුනාගත් පහන්‍යා සිහින් කර ගත් දෑසින් ඔහු දෙස රවා බැලුවාය.
” කන්න බැරි උනාට කමක් නෑ , බොන්න තියාගන්න එපා හොඳේ. හවසට කිරි වෙහෙරටයි , මහ දේවාලෙටයි යන්න ඕනේ. ඒ ගිහින් ඇවිත් බොන්න තියා නෑවත් කමක් නෑ. “
නිහඬවම අන් අයගේ කතා බස් වලට ඇහුන්කම් දුන් සියත්‍ර හිඳ උන් අසුනෙන් නැඟිට ඔවුන් වෙතින් ඉවතට ඇවිද ගියේය. ඉන් පසුව මොහොතකින් හෝටල් සේවකයෙකු හට කිසිවක් පවසා ජංගම දුරකතනයේ ඇමතුමකට සම්බන්ධ වී වෙරළ තීරයට අඩි තැබුවේය.
” මේ.. මෙහෙ එන්න..! අර සර් කිව්වේ මොකද්ද ?”
සියත්‍ර කතාබස් කළ සේවකයා කැඳවූ පහන්‍යා මළණුවන් නොපෙනී යන තුරු සිට වහා සේවකයාගෙන් ප්‍රශ්න කළාය.
” රූම් නම්බර් 125 හේ මිස් කෙනෙක් ඉන්නවා. ඒ මිස්ට ලන්ච් එක රූම් එකට ගිහින් දෙන්න කිව්වා මැඩම්. “
” ආ හරි ඕකේ..!”
සේවකයා පිටව ගිය වහා පහන්‍යා යළි මහීල් වෙතට හැරුණාය.
” මේ මෝඩයා මේ මොකද්ද කරන්නේ මහීල් ? ඇයි අර කෙල්ලට මෙහෙම සලකන්නේ ?”
මහීල් අසල තිබූ පිඟානකට ආහාර බෙදමින් උන් ශාක්‍යාද ඔහු දෙසට දෑස විතැන් කළ අතර ඇගේ දෑසේද තිබුණේ එකී ප්‍රශ්නයමය.
” ඇයි මොකද්ද ප්‍රශ්නේ ? සඳැස්විට ලන්ච් එක රූම් එකට ගෙනියන්න කියලනේ කියලා තියෙන්නේ. ”
මහීල් යටැසින් පහන්‍යා දෙස බලා සමච්චල් සහගත ලෙස විමසුවේය.
” බූරුවෝ..!”
මේසය මතට විසල් පහරක් ගැසූ පහන්‍යා කෝපාවිශ්ඨව මහීල් දෙස බැලූ අතර පහන්‍යාගේ ආමන්ත්‍රණයට ශාක්‍යා චිරිස් ගා සිනාසුණාය.
” මං අහන්නේ ඒ කෙහෙල්මලක් නෙමෙයි. මං අහන්නේ මෙච්චර හොඳට හිටපු දෙන්නා මෙහෙම වෙන් වුණේ මොන හේතුවක් උඩද කියලා ? ”
” සාධාරණ හේතුවක් ඇති හලෝ. සියත් කියන්නේ පොඩි එකෙක් නෙමෙයිනේ ? අනික ඌ මොන තීරණයක් ගත්තත් මේ වෙනකන් ඒ කිසි එකක් වැරදිලා තියනවද ? “
” එයා වෙන මොනවට තීරණ ගත්තත් මේ සම්බන්දෙදි එයාට තනි තීරණයක් ගන්න බෑ මහීල්. අර ඉන්නේ කෙල්ලෙක්. මේක ඒ කෙල්ලගේ ජීවිතේ ගැන ප්‍රශ්නයක්. මොකද ඒ කෙල්ලවත් අද වෙනතුරු දන්නෑ මූ මෙහෙම කළේ ඇයි කියලා?”
” ඒක නං ඉතිං මං දන්නෙත් නෑ අක්කා. “
” නෙද්දකින්.. මුගෙන් මේවා ඇහුවට වැඩිය හොඳයි ගිහින් අර බුම්මට්ටගෙන්ම ඇහුවනං. “
මහීල් දෙස බලා තරහින් පැවසූ පහන්‍යා නැවත ගස්සා ඉවත බලා ගත්තාය.
” සර් එනවා. ”
ශාක්‍යාගේ හඬට හිස හරවා බැලූ පහන්‍යා නිහඬවම ආහාර බඳුනක් ගෙන සියත්‍ර හට ආහාර බෙදීමට පටන් ගත්තාය.
****************************************
දෙපතුලේ ගෑවෙන්නටම ඇඳ තිබූ ශ්වේත පැහැ දිගු ගවුමකින්ද , තනි කරලට ගොතා දැමූ ඉන තෙක් දිගු කොණ්ඩයද කුඩා යුවතියගේ චාම් හා සරල බව තවත් වැඩි කර තිබූ අතර එකී සුන්දර ස්ත්‍රී වතෙන් දෑස ඉවතට ගත නොහැකි වූ තරුණයා පහත මහලේ සිට ඈ දෙස එක එල්ලේ බලමින් හැඳ සිටි සුදු පැහැ අත් දිගු කමිසයේ එක් අතක් වැළමිට තෙක් නවමින් සිටියේය.
සෙමින් සෙමින් අඩි තබා තරප්පු පෙළ බැස ආ ඈ තමා දෙස එක එල්ලේ බලා සිටින තරුණයා දුටු අතර මෙතෙක් වේලා වෙළී සිටි දැහැනෙන් මිදුණු ඔහු සෙමින් ඉවත බලා ගත්තේය. තනි සුදු පැහැ අත් දිගු කමිසයේ අතක් නවමින් වෙනතක් බලා සිටි ඔහු මින් පෙර කිසිදු දිනක දැක නොතිබූ ආකාරයට සුදු පැහැ ගත් දිගු සරමක් හැඳ සිටි එකී ප්‍රතාපවත් දේහයේ මින් පෙර ඇස නොගැටුණු තරමේ කඩවසම් බවක් මනාව දිස්වුණු අතර ඔහු වෙතින් දෑස මුදවා ගැනීමට නොහැකි වූ තරුණිය අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලාය.
සති අන්තයක් හෝ නිවාඩු දිනයක් නොවන බැවින් මහ දේවාලය අසල හෝ කිරි වෙහෙරට යන මාර්ගය අතර වෙනදා මෙන් පවතින ජන ගඟක් එදින නොවුණේය. රතු නෙළුම් හා නිල් මහනෙල් මල් මිටි කිහිපයක්ම මිළදී ගැනීමට වෙළඳ සැළක් අතර නතර වූ පහන්‍යා හා ශාක්‍යා හට පිටුපසින් සිටි දේහධාරියා දෙස පුද බිමේ සිටි ස්ත්‍රී දෑස් බොහෝමයක් යොමු වී තිබූ බව යටැසින් දුටු කුඩා යුවතිය සියල්ලන්ගෙන්ම මිදී තනිවම සෙමින් ඉදිරියට පා තැබුවාය.
දරාගනු බැරි විසල් කන්දක ස්නේහයක්ද , ඒ හා සමානවම හද තුල හට ගෙන තිබෙන්නාවූ එකී ස්නේහයේ අතුරු ඵලයක් වූ වේදනාවද විසින් තරුණියගේ හදවත බොහෝ සෙයින් බිඳවමින් තිබුණි.
මහ දේවාලය දෙසින් වරින් වර ඇසෙන හේවිසි හඬත් , බෙර හඬත් ක්‍රම ක්‍රමයෙන් ඈතට යද්දී ,ඈ වැලි මළුව මත සීරුවට නිරුවත් පතුල් තබමින් ඇවිද යන්නට වූවාය. ධවල වර්ණයෙන් දිදුළන කිරි වෙහෙර සෑ රදුන් දෑසට මෙන්ම සිතටද ගෙන ආ සන්සුන් නික්ලේශී බව නිසාම ඈ ක්‍රම ක්‍රමයෙන් හදවත පුරා පැතිර ගිය දුක් දෝමනස්සයන්ගෙන් මිදෙමින් සිටියාය. මළුව පුරා කලබලකාරී නොවන සන්සුන් ස්වරයෙන් පැතිර යන සාධූ නාදය මෙන්ම ඈතින් ඇසෙන පිරිත් හඬටද සෙමින් දෑස පියාගත් ඈ සෑ රදුන් අභියස දෝතම එකතු කර වැඳ ගත්තාය.
මුවින් හෝ හදවතින් පිටවෙන හෝ මිමිණෙන ගාථාවක් නොමැත. කිරි සුදු ධවල වර්ණයෙන් හා දහවලේ කඨෝර බව මඟහරිමින් හමායන සීත සුළඟත් , චෛත්‍යය රාජයාණන් අභියස දැනෙන පරම සැනසීමත් හදවතින්ම විඳින්නට පටන් ගත් ඈ දිගටම පියා ගත් නෙතින් දෝතින් වැඳ උන්නාය.
ජීවිතයේ විඳි දුක් , කම්කොටොළු , වේදනාවන් මෙතැකැයි ගැණිය නොහැක. පියා නොමැතිව ගෙවුණු වසර කිහිපය තව තවත් එකී ආගාධයටම තමා ඇද දැමුවා විනා ඉන් ගොඩ ඒමට උදව් නොවුණේය. වසර පහකට වැඩි ගණනක් මුළුල්ලේ හදිසි අනතුරකට පත්ව මිය ගියා යැයි සිතා සිටි පියාගේ මරණය අනතුරක් නොව මිනීමැරුමක් බවත් , එය සිදුව ඇති ආකාරය දැනගන්නට ලැබීමත් පිටට නොපෙනෙන කුඩා හදවතේ දරා ගැනීම මෙතැකයි කියා පෙන්වන්නට සමත් වූයේය.
” අනේ.. බුදු හාමුදුරුවනේ.. ! මං කවදාවත් , කාටවත් වරදක් කරලා නැති අසරණ කෙල්ලෙක්. ඉගෙනගන්නවයි , හම්බ කරනවයි ඇරෙන්න මගෙ ඔලුවේ වෙන ටාගට්ස් තිබ්බෙ නෑ. කවදා කොහේදිහරි කරපු පවකට අන්තිමට මං ඇවිල්ලා නතර වුණේ මගේ තාත්තගේ ජීවිතේ නැති කරපු තැන. ඒක කරපු මිනිස්සු ලඟ . ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන්න මට දැන් තේරෙනවා. මේ හැමදේම දරාගන්න වගේම කවදාහරි දවසක මේ ඇත්ත එළියට ගේන්න මට ශක්තියක් වෙන්න බුදු හාමුදුරුවනේ.. !”
නිහඬවම දෑත එකතු කර , පියාගත් දෑසින් චෛත්‍යය රාජයන් වහන්සේ අභිමුව සිටිනා තරුණිය දෙස පසෙක සිට බලා සිටින තරුණයින් කිහිප දෙනෙකු දුටු ශාක්‍යා දෑසින් ඉඟි කර පහන්‍යා වෙත එය පෙන්වූවාය.
” මාත් දැක්කා. අපි වාහනෙන් බැහැලා එද්දිත් කොල්ලො දෙන්නෙක් කෙල්ල දිහා කන්න වගේ බලන් ඉන්නවා. දැන් ඉතිං හූල්ල හූල්ල ඉන්නෙකේ කාවහරි හොයාගන්න තියෙන්නේ. “
අතේ තිබූ නෙළුම් මල්හී නැටි කිහිපය කඩා දමමින් එය වට්ටියක ඇතිරූ පහන්‍යා පසෙක උන් දේහදාරියාටද ඇසෙන සේ එසේ පැවසූ අතර වැලි මළුවේ සෙමින් ඉදිරියට ඇදී ගිය බර අඩි කිහිපය තවමත් දෑස පියා උන් තරුණිය පසුපසින් ඇගේ සියලු හිමිකම් දරමින් සිටගත් අතර එතෙක් ඈ වෙත බැලුම් හෙළා සිටි තරුණයින් කිහිප දෙනා සෙමින් වෙනතකට ඇදී ගියහ.
” අතෑරියා අතෑරියා කිව්වට තියන ඉරිසියාව “
මළනුවන්ගේ ක්‍රියාව දුටු පහන්‍යා ශාක්‍යා දෙස බලා එසේ පවසා මුව ඇද කළාය.


