කවීන් උදේම ලෑස්ති වෙලා ඔෆිස් ගියාට පස්සේ ආකර්ෂාට මේ මහ මාලිගාව ඇතුළේ කරන්න කියලා ලොකු වැඩක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.
වෙනදා වගේම කෙල්ල තමන්ගේ පාළුව මකාගන්න කළේ හාන්සි පුටුවේ ඉන්න වික්‍රමසිංහ ළඟට වෙලා එයා එක්ක හෙමින් සැරේ එක එක කතා කියවන අතරේ, තමන්ගේ ඩ්‍රෝවීන් බුක් එක අරන් චිත්‍ර අඳින එක විතරයි. පැත්ත වැටිලා, අතීතේ කිසිම දෙයක් මතක නැතුව, කතා කරගන්නවත් බැරුව ඉන්න ඒ වයසක මනුස්සයා දිහා බල බලා කෙල්ල පැය ගණන් චිත්‍ර ඇන්දා. කවීන් ආයෙ හවස ගෙදර එනකම්ම කෙල්ලගේ දවස සාමාන්‍යයෙන් ගෙවුණේ ඔන්න ඔය විදිහටයි.
හැබැයි එදා නම් ඒ හැමදේම වෙනස් වුණේ එකම එක දෙයක් හන්දා.
උදේම කවීන් ඔෆිස් එකට ගියේ මාරම කලබලෙන් වගේම ලොකු සූදානමකින්. මොකද එදා එයාලගේ කම්පැනි එකේ ඉතාම ඉම්පෝටන්ට්, ඒ වගේම ඉදිරි අනාගතය තීරණය කරන ඩිරෙක්ටර් බෝඩ් මීටින් එකක් තියෙනවා කියලා කොල්ලා කලින්ම කියලා තිබුණේ. හැබැයි කවුරුවත් හිතුවෙ නැති විදිහට කවීන්ට එදා දවල් වෙන්න කලින්ම ආයෙත් ගෙදර එන්න සිද්ධ වුණා.
කවීන්ට එදා උදේ ගෙදරින් යද්දිත් ඇඟට පොඩ්ඩක් අමුත්තක් වගේ දැනුණට මොකද මිනිහා ඒක එච්චර ලොකුවට ගණන් ගත්තෙ නෑ. මේ දවස් ටිකේම මහන්සි වෙච්ච හන්දා වෙන්නැති කියන එක වගේම රෑ වෙනකම් ඇහැරගෙන වැඩ කරපු හන්දා නින්ද මදි ඇති කියලා හිතපු හන්දා මිනිහා පොඩ්ඩක්වත් ඒ ඇඟේ අමාරුවට උඩට එන්නවත් තමන්ව කන්ට්‍රෝල් කරන්නවත් ඉඩක් දුන්නෙ නෑ.
අන්න ඒ නිසාම තමයි උදේ කෑමත් ටිකක් කාලා කවීන් ඔෆිස් එකට දුවගෙන වගේ ආවෙ.
AC එක උපරිමයටම දාලා තිබ්බ මීටින් රූම් එක ඇතුළේ ලොකු ලොකු බිස්නස් ප්ලෑන් ගැන කට්ටියම මාරම සිරියස් විදිහට සාකච්ඡා කර කර උන්නේ. කවීනුත් වෙනදා වගේම මාරම ඇක්ටිව් විදිහට, තමන්ගේ සුපුරුදු ආත්මවිශ්වාසයත් එක්කම පුටුවෙන් නැගිටලා ප්‍රොජෙක්ටර් බෝඩ් එක ඉස්සරහට වෙලා අලුත් ප්‍රොජෙක්ට් එක ගැන පැහැදිලි කරන්න ගත්තා. හැබැයි කතා කරගෙන යද්දී කොල්ලාට එකපාරටම දැනුණා තමන්ගේ ඔළුව අස්සේ මොකක් හරි අමුතු රිදීමක්, මහා බරක් වගේ දෙයක් මතු වෙනවා කියලා. මුලින්ම ඒක නළල දෙපැත්තෙන් ආපු පොඩි කැක්කුමක් වුණත්, තත්පරෙන් තත්පරේ ඒක මුළු ඔළුව පුරාම පැතිරිලා, ඇස් දෙක නිලංකාර කරලා දාන සයිස් එකේ දරුණු වේදනාවක් බවට පත් වුණා. කවීන් තමන්ටම නොදැනී කතාව මැද්දෙන් නතර කරලා, වමතින් තමන්ගේ නළලයි ඔළුවයි තද කරලා අල්ලගත්තෙ ටික වෙලාවක් යද්දි ඒ වේදනාව දරාගන්න අමාරුම බව තේරෙද්දි.
මිනිහා විටින් විට මෙහෙම අසීරුවෙන් ඔළුව අල්ලනවා දකිද්දී, ටේබල් එක අයිනේ වාඩිවෙලා හිටපු එයාගේ ලෝයර්ට ඒක මීටර් වුණා. මිනිහා පුටුවෙන් යාන්තම් ඉස්සරහට නැඹුරු වෙලා කවීන් දිහා බලලා හෙමින් “කවීන් ආර් යූ ඕකේ?” කියලා ඇහුවෙ අන්න ඒ හන්දා.
“යා යා අයි ඇම් ඕකේ. ජස්ට් අ ස්මෝල් හෙඩේක්” කවීන් අමාරුවෙන් හිනාවක් මවාගෙන, තොළ කට වේළිලා ගිහින් තිබ්බ හන්දා කෙළ උගුරක් හෙමින් ගිලලා ආයෙත් ලැප්ටොප් එකේ ඕපන් වෙලා තිබුණ ඩොකියුමන්ට් එක දිහා බැලුවා. හැබැයි ඒ වෙද්දී ලැප්ටොප් එකේ තියෙන අකුරු කවීන්ට පෙනුණේ දෙක තුන වෙලයි.
“අපි මේ ප්‍රොජෙක්ට් එකේ ඊළඟ ෆේස් එකට යද්දී” කවීන් ආයෙත් කතා කරන්න හැදුවත් තමන්ගෙ කටින් වචන පැටලෙන්න ගන්න බව කවීන්ටම තේරුණා. පපුව ඇතුළෙන් මහා ලොකු අමාරුවක් උඩට මතු වෙද්දී ඇස් දෙක සම්පූර්ණයෙන්ම බොඳ වෙලා, මුළු මීටින් රූම් එකම කරකැවෙනවා වගේ දැනෙන්න ගත්තා. මුළු ඇඟෙන්ම දඩබඩ ගාලා දඩිය දාගෙන එද්දී කොල්ලා මේසෙ කෙළවරකින් අල්ලගත්තේ බිම ඇදගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දියි.
ලෝයර් ඇතුළු ඩිරෙක්ටර් බෝඩ් එකේ කට්ටියම එකපාරටම පුටුවලින් නැගිට්ටේ කවීන්ගේ මූණ සුදුමැලි වෙලා මිනිහා පණ නැතුව වගේ මේසෙ උඩට බර වෙනවා දැකලයි.
“කවීන් සර්! වතුර ටිකක් දෙන්න ඉක්මනට! සර්ව වාඩි කරවන්න!”
මීටින් රූම් එකම එක තප්පරේකින් මහා කලබලයක වුණා. හැමදාම මාරම හෙල්දි විදිහට, කිසිම ලෙඩක් දුකක් නැතුව හිටපු කවීන්ට එකපාරටම මෙහෙම වුණේ ඇයි කියලා කාටවත් හිතාගන්න බැරි වුණා. කවීන් උන්නේ තමන්ගේ සිහියත් අසිහියත් අතරේ අතරමං වෙලා වගේ. මිනිහට යාන්තමට ඇහුණා කට්ටිය කලබලෙන් කෑගහන සද්දේ.
ඊටපස්සෙ හැමදේම අන්ධකාර වුණා කියල විතරයි මිනිහට මතක තිබ්බෙ. මොකක් හරි ලොකුම ලොකු අන්ධකාර ගුහාවක් අස්සෙ ගමං කරමින් උන්න තමන් ආයෙ එළියට ආවෙ ආකර්ෂාගෙ කටහඬට විත්තිය කවීන්ට තේරුණේ සෑහෙන වෙලාවකට පස්සෙ.
“කවීන්….කව්….ඊඊඊන්” කියලා ආකර්ෂා කියද්දි කවීන් ඇස් දෙක ඇරියෙ හරිම අමාරුවෙන් වගේ. කාමරෙන් එන ලයිට් එළිය මැද්දෙ තමන්ගෙ මූණ දිහාවටම පහත්වෙලා වේදනාවෙන් වගේ බලාගෙන ඉන්න ආකර්ෂව දකිද්දි තමන් ඉන්නෙ ගෙදර විත්තිය කවීන්ට තේරුණා.
කෙල්ලගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණා.
“අනේ දෙවියනේ කවීන් ඔයා ඇස් ඇරියාද? මං මාරම බය වුණා අනේ. ඔයාට දැන් කොහොමද? තාම අමාරුද? ඔලුව රිදෙනවද?” ආකර්ෂා එහෙම කියද්දී කෙල්ලගේ කටහඬ වෙවුලනවා කවීන්ට දැනුණා. කෙල්ල ටක්ගාලා හැරිලා කාමරේ අයිනේ හිටපු ඔෆිස් එකේ ඩ්‍රයිවර්ටයි, කවීන්ගෙ ලෝයර්ටයි, අනිත් ස්ටාෆ් එකේ දෙන්නයි දිහා බලලා “ඩොක්ටර්ට කතා කරා නේද? ඉක්මනට එන්න කියන්න අනේ ” කියලා කිව්වෙ ඒ අතරවාරෙමයි.
“ඔව් නෝනා, මං එන ගමන්ම ඩොක්ටර් පෙරේරාට කතා කරා. එයා දැන් පාරේ ඇති. සර් මීටින් එක මැද්දෙම එකපාරටම මේසෙ උඩට කඩාගෙන වැටුණා නෝනා. අපි සේරම මාර බය වුණා” ස්ටාෆ් එකේ මනුස්සයෙක් කිව්වේ තමන්ගේ කමිස අත් දෙකෙන් නළලේ දාඩිය පිහදාන ගමන්.
කාමරේ දොර ළඟ සෙලීනයි, ලේඩි කලම්බු සෙවනුයි මහා ලොකු කලබලයකින් වගේ බලාගෙන උන්නත්, ආකර්ෂා ඒ කිසිම කෙනෙක්ට කවීන් ළඟටවත් එන්න ඉඩක් දුන්නේ නැහැ. කෙල්ල කවීන්ගේ ඇඳ අයිනෙන්ම වාඩි වෙලා, මිනිහගේ සපත්තු දෙක ගලවලා පැත්තකින් තියන ගමන්, මාරම ආදරෙන් කවීන්ගේ සුදුමැලි වෙලා තිබ්බ මූණ තමන්ගේ අත් දෙකෙන්ම පිරිමැද්දා. ඊටපස්සේ ඇඳ ළඟ ටේබල් එක උඩ තිබ්බ වතුර වීදුරුව අරන්, කවීන්ගේ ඔළුව හිමින් සැරේ තමන්ගේ අතකට වාරු කරලා උස්සලා, මිනිහගේ වේලිලා තිබ්බ තොල් අද්දරින් තිබ්බා.
“හිමින් හිමින් වතුර උගුරක් බොන්න මහත්තයො. දැන් ඕකේ නේද? කොහේද රිදෙන්නෙ ඔළුවෙ?” කෙල්ල ඇහුවේ හරියට තමන්ගේ පණටත් වඩා ආදරේ කරන මිනිහෙක් වෙනුවෙන් මුළු ලෝකෙම පෙරළන්න ලෑස්ති වුණ ගෑනියෙක් වගේ.
කවීන් වතුර උගුරක් බීලා, අමාරුවෙන් හුස්මක් ගන්න ගමන් ආකර්ෂාගේ අත තද කරලා අල්ලගත්තා. මිනිහට මේ වෙලාවේ දැනුණේ මහා ලොකු සැනසීමක්. මුළු ඔෆිස් එකම කලබල වෙලා, තමන් කලන්තෙ දාලා වැටෙද්දී, තමන්ව බලාගන්න, තමන්ට මෙච්චර ආදරේ කරන්න මේ වගේ කෙල්ලෙක් ළඟ ඉන්න එක මිනිහට මාරම ලොකු දෙයක් වුණා. පොඩි කාලෙ ඉඳලා අම්මා නැතුව හැදිච්ච තමන් ඉඳලා තියෙන්නෙ ගෑනියෙක්ගෙ ආදරේ සෙනෙහස රැකවරණය බලාපොරොත්තුවෙන් කියන එක කවීන්ට තේරුණෙත් මෙන්න මෙවෙලෙදි.
හැබැයි ඒ කඳුළු පිරුණු, ආදරණීය ඇස්වලින් කවීන්ගේ මූණ දිහා බලාගෙන ඉන්න ආකර්ෂාගේ හිත ඇතුළේ තිබුණේ වෙනස්ම සන්තෝසයක්.
කෙල්ල කවීන්ගේ නළල දිගේ ඇඟිලි යවන ගමන්, මිනිහට ඇහෙන්න හිමින් “ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නැහැ කවීන් මං ඔයා ළඟම ඉන්නවා.” කියලා කියද්දිත් හිතෙන් හිතුවෙ වෙනම දෙයක්.
තමන්ට එකපාර වුණේ මොකද්ද කියලා දන්නේ නැතුව ආකර්ෂාගේ උකුල ලඟින් තමන්ගේ ඔළුව තියාගෙන ආයෙමත් වාරයක් ඇස් පියාගත්තේ ආදරේ ගැන මහා ලොකු අන්ධ විශ්වාසයකින්.
හැබැයි කෙල්ල උන්නේ තමන්ගේ පළිගැනීමේ පළවෙනි පියවර සාර්ථක වෙච්ච සතුට හිත ඇතුළේ උපරිමයටම හිර කරගෙනයි කියන එක ගැන හාංකවිසියක්වත් අදහසක් කොල්ලට තිබ්බෙ නෑ.


