මියුරු පෙම් වසන්තේ – 59

“නදී එකපාර මියුරුගෙ ජීවිතෙන් ගිය එක හොඳයි. ඒත්…”

“ඒත් කියන්න දෙයක් නෑනෙ දැන් ධම්මි. ඔයාට මං පොරොන්දු වෙච්ච විදියට තිබිච්ච ප්‍රශ්නෙ මම විසඳලා දුන්නා. මියුරුගෙ හිත සනසන වැඩේ කරන්න වෙන්නෙ ඔයාට. ඔයා දන්නවනෙ ඒ දුක පිටිපස්සෙ ඉන්නෙ මං බව දැන දැනම මට ගිහින් මියුරුව බොරුවට සනසන්න බෑ ධම්මි. ඔයාගෙ ප්‍රශ්නෙ දැන් ඉවර වෙච්ච හන්දා…”

“ඒ ප්‍රශ්නෙ ඉවර වෙච්ච විදිය මට දැන් ඔක්කොටම වඩා ප්‍රශ්නයක් ක්ලීටස්. ඔයා කියන්නෙ ඔය වගේ දෙයක් කරන්න පුලුවන් මිනිහෙක් බව මම ඇත්තටම දැනගෙන හිටියෙ නෑ” ධම්මිකා එහෙම කිව්වේ තමන්ගේ වචනවලින් ක්ලීටස්ගේ මුහුණේ අංගචලන වල පොඩි හරි වෙනසක් වේද කියා සොයාගන්න අටියෙන් ඔහු වෙත එක එල්ලේ දෙනෙත යොමාගෙනය.

එහෙත් ක්ලීටස් කලේ ඒ වචනවලට සිනාවක් පාන එකය.

“ප්‍රශ්නෙ මං විසඳුවට පස්සෙ ඒ ප්‍රශ්නෙට මොකද උනේ කියල හොය හොය ප්‍රශ්නෙ පස්සෙ යන්න එපා ධම්මි. ඒකෙන් වෙන්නෙ අමාරුවෙන් අයින් කරගත්ත ප්‍රශ්නවල අපි ආයෙ ආයෙ පැටලෙන එක විතරයි ධම්මි.

ඒ නිසා දැන් ඒ ප්‍රශ්න ළඟ නැති නිසාත්, ආයෙ ඒ ප්‍රශ්න අපේ ජීවිතවලට එන්නෙ නෑ කියලත් දන්න එකේ ඔයා බලන්න මියුරුගෙ හිත හදන්න. ඔය කෙල්ලන්ගෙ කේස් වලට කොල්ලො ඉතින් සදාකල් අඬ අඬ ඉන්නෙ නෑ කියල මම ආයෙ අමුතුවෙන් ඔයාට කියන්න ඕන නෑනෙ”

කියා ක්ලීටස් මේ සියල්ල කියූ සරල සැහැල්ලු විලාසය ධම්මිකාව තිගස්සන්නට හේතුවෙච්ච එකකි.

“ඔයා මොකද්ද ක්ලීටස් ඒ කෙල්ලටයි එයාගෙ පවුලෙ අයටයි කරේ?” කියන ප්‍රශ්න නාහ ඉන්න ධම්මිකාට බැරිවුනේ අන්න ඒ හන්දාය.  එහෙත් ඒ ප්‍රශ්නයටත් ක්ලීටස්‍ට දෙන්න තිබුණේ සිනාවක් සමග සරල වචන කිහිපයක් පමණකි.

“මම කරේ කරන්න තියෙන හොඳම දේ ධම්මිකා. ඔයා වොරි වෙන්න එපා. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ” කියා ක්ලීටස් ඒ සිනාව සමගින්ම නාන කාමරයට වැදෙද්දී ධම්මිකා උන්නේ සිදු වූ දෙයක අගමුල සොයාගන්න බැරුව හිත ඇතුලෙන් දැවෙමිනි. කුතුහලය වනාහී මිනිහෙක් මරන්නට පවා හේතුවක් වන්නට ඇහැකි අන්දමේ මානසික අවියක් බව දන්න නමුත් ධම්මිකාට ඒ දැවීම හිතෙන් අස් කරගන්න පුලුවන් උනේ නැත.

ධම්මිකා අහපු ප්‍රශ්නවලට සිනා සී උත්තර දුන්නා නමුත් ක්ලීටස් නාන කාමරයට ආ විගස ඒ සිනහව සොයාගන්නට බැරි තැනක හැංගුවාය. විවාහයක් අස්සේ මිනිහෙක්ට ලැබෙන්න ඕන නිකන්ම නිකන් කසාද ජීවිතයක් නොව මනසට සනසවන ජිවිතයක් බව ක්ලීටස් තේරුම්ගත්තේ ධම්මිකාව විවාහ කරගත් පසුවය. ධම්මිකා වනාහී හැපින්නක් බඳු ගැහැණියක බව දැන ඉඳීම පවා ක්ලීටස්ගේ මනසේ වූ සංසුන්බව නැති කරන්නට හේතු විය. 

“මිනිහෙක් හැදෙන්නෙ කසාදෙන් කියල කිව්වට, මම හිතන්නෙ මට මාව පවා නැතිඋනේ කසාදෙන් පස්සෙ” කියා තමන් අතීතයේ හිතූ වාර ගණන අනන්ත බව ඇත්තය. වසන්තා සමග අනියම් සබඳතාවයක් ඇති කරගෙන, තමන්ට දාව ඇගේ කුසට දරුවෙකුත් දුන්නයින් පස්සේත් ධම්මිකා පව් කියා හිතුව එක සාධාරණ නමුත් නදී සහ ඒ පවුලේ අනෙක් දෙදෙනා ඉන්නේ කොහේ කොතැනද කියා නොකිය ඉන්න ක්ලීටස් තීරණය කරේ ධම්මිකා ගැන දන්න හන්දාය.

නදීලා ඉන්න තැන ධම්මිකා දැනගන්න එක නදීගේ ආරක්ශාවට ප්‍රශ්නයක් වෙන්න හැකි බව ක්ලීටස්ට නොහිතුනා නොවේ. ඒ නිසා තමන් නපුරු මිනිසෙක් බව සිතුවත් ධම්මිකා එහෙමම හිතන එක වඩා හොඳ බව ක්ලීටස් හිතුවේය.

දින සති ගෙවී ගියේ මියුරුගේ නෙත් මානයෙන් නදීව ඈත් කර දමමිනි. මියුරු උන්නේ මානසික වියවුල් වූ මිනිසෙකුටත් වඩා අන්ත අසරණ තැනක බව ඔහුව දකින ඕනම කෙනෙකු හිතන්නට පෙළඹුණහ. දවස් ගෙවී යද්දී මියුරු නදීව අමතක කර දමනු ඇතැයි කවුරුන් සිතුවත් වුණේ එහි අනෙක් පැත්තය.

ධම්මිකා මියුරුව මානසික උපදේශනයට පවා එක්කරගෙන ගියේ අමයුරුගේද ඔහුගේ බිරිඳගේද උදව්ව ඇතුවය. මියුරු උන්නේ කිසිවෙකු සමගවත් කතා නොකර කෙලවරක් නොදකින මනසින් හදාගත් ලෝකයක් ඇතුලේ තනිවෙමිනි. ඒ පිළිබඳවත් ධම්මිකා ඇතැම් විටක කෝපගත්තී “මේ කොහෙවත් ඉන්න බැල්ලියො හන්ද අන්තිමේ මගෙ දරුවා පිස්සෙක් උනා” කියා හිතුවාය.

“මල්ලි බ්‍රේක් අප් එකක් කියන්නෙ මනුස්සයෙක්ට දරාගන්න අමාරුම දෙයක් බව මට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ උනාට මල්ලි ඔයාට හැමදාම මේ විදියට ඉන්න බෑ නේද? යූ හෑව් ටු මූව් ඔන්” කියා අමයුරු කිව්වේ සියල්ලන්ම නින්දට ගොස් උන්නු රැයක හීන් සීරුවේ මියුරුගේ කාමරයට විත්ය.

“නදීයි මමයි බ්‍රේක් අප් උනේ නෑ අයියෙ, එහෙම උනා නම් මම මෙහෙම අවුල් වෙන්නෙ නැ. නදී කියන්නෙම නැතුව මෙහෙම ගිහින් හැංගුනේ මොකක් හරි මට කියන්න බැරි ලොකු ප්‍රශ්නයක් හන්දා. මම ඒක දන්නවා. මට ඒක තේරෙනවා. මම යාලුවෙලා උන්නු කෙල්ල ගැන මම දන්නෙ නැද්ද. එයාට බෑ මාව එහෙම දාලා යන්න. එයා එහෙම කලේ මට කියන්න බැරි ලොකු ප්‍රශ්නයක් එයාට තිබුන හන්දා”

“හරි ඒක එහෙමමයි කියමුකො, ඔයාට කියන්න බැරි වෙන්න තරම් එයාට තිබ්බ ප්‍රශ්නෙ මොකක් වෙන්න ඇති ද?”

“මට හොයාගන්න ඕන ඒක අයියෙ. අම්මා කිව්වට අමතක කරල වෙනද වගේ ඉන්න කියල මං කොහොමද ඒක කරන්නෙ, මං කොහොමද ඔෆිස් ගිහින් ඉන්නෙ? මගෙ කැබින් එකේම ඉඳපු කෙල්ල නැතුව මං කොහොමද අයියෙ එහෙම ඉන්නේ? නදී මූව් ඔන් වෙලා කියල දන්නවනම්, එයා මෙහෙම දෙයක් කලේ ඇයි කියල දන්නවනම් මට ඒක කරන්න තිබුණා.

ඒත් ඒ මුකුත් දන්නෙ නැතුව එයාව මම කොහොමද අමතක කරන්නෙ?”

“මට නදීලා ඉඳපු ගෙවල් පැත්තෙ විස්තර, නදීගෙ ෆොටෝ එකක් තියෙනම් ඒක එහෙම දෙන්න. අපිට මේ කේස් එක පොලිසියට අරගෙන යන්න බැරි බව මං දන්නවා. එහෙම එකපාර මිනිස්සු අතුරුදහන් වෙන්නෙ නෑනෙ. අනික එක්කෙනෙක් නෙවෙයි තුන්දෙනෙක්. බඩුත් අස් කරගෙන ගිහින් කියන්නෙ එයාලා ප්ලෑන් කරල ගිය ගමනක් නෙ.

හැබැයි ඔයාට මතක ඇතිනෙ මාත් එක්ක ඒලෙවල් කල ප්‍රභාත්. මිනිහගෙ අයියනෙ මෙහේ ඩී අයි ජී. මම මිනිහා තෲ කතා කරලා අපිට කරන්න පුලුවන් දෙයක් තියෙද බලන්නම්. හැබැයි ඒකට මට ඔයාගෙ සපෝට් එක ඕන. ඔෆිස් යන්න ඕන නෑ. වොශ් එකක් දාලා හොඳට කාලා බීලා ඉන්න, ප්ලීස්. අපි මොනවහරි කරල නදීව හොයාගමු”

අමයුරු ප්‍රභාත්ට කතා කල සම්පූර්ණ විස්තරය කිව්වේ දේවල් හංගන එකෙන් වෙන්නෙ නදීවත් පවුලේ අයවත් හොයාගන්න තියෙන අමාරුකම තව වැඩිවෙන බව දන්න හන්දාමය. ප්‍රභාත් ඒ වනවිට වැඩ කලේ වෙන ආයතනයක වුවත් අයියා ලවා නදී ගැන හොයන්න නොනිල සහයක් පොලිසියෙන් ලබාගන්න හිතපු එක එච්චර අමාරුවක් උනේ නැත.

මියුරු බලං උන්නේ ඒ පැත්තෙන් සුබවාදී උත්තරයක් ලැබෙන තුරු නමුත් අපි බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වන ඉක්මනට නොවන බව මියුරු ගතවෙන දවසක් පාසා ඉගෙන ගත්තේය.

නදී උන්නේ හීන් සැරේ ජීවිතයට මූණ දෙමිනි. මියුරුව මතක්වෙන වාරයක් පාසා ඒ මතකය එක ඇසිල්ලකින් අමතක කර දමන්නට තරම් නදීගේ හිත අස්සේ ක්ලීටස්ගේ වචන හැංගී තිබුණාය. අනෙක් අතට රස්සාවක් කරන්න එලියට යන එක මියුරුගේ ඇස්වලට තමන්ව ගැටෙන්නට හේතුවක් වනු ඇතැයි බය නිසා නදී ක්ලීටස්ගේ උදව්ව සමගින් ගෙදර ඉඳන් කරන්න පුලුවන් රැකියාවක් සොයාගත්තාය. ඒ රැකියාවේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය ලැප්ටොප් පරිගනකයක්, අලුත් දුරකතනයක් සහ දුරකතන අංකයක් මෙන්ම රවුටර් කනෙක්ශන් එකක්ද ක්ලීටස් අරගෙන දුන්නයින් පස්සේ නදීට ක්ලීටස් එක්ක තියාගන්න කිසිමාකාරයක සම්බන්ධයක් තිබුනේ නැත. තිබුණත් ඒ සඳහා උවමනාවක් නදීට තිබුණේ නැත.

චන්ද්‍රකාන්ති උන්නේ වසන්තාට මේ ගැන කියන්න බැරිකම ගැන දුකෙනි. වෙනදා මෙන් “මොක උනත් ඒකි මගෙ දරුවා” කියා හිතන්න පුලුවන්කමක් ඇත්තටම චන්ද්‍රකාන්තිට තිබුනේ නැත. වසන්තා විසින් නදීගේ ජීවිතය විනාස කරන්න පුලුවන් හැම විදියෙන්ම විනාසයෙන්ද දුකෙන්ද පිරෙව්වයින් පස්සෙ තව දුරටත් තමන්ගේ කෙල්ල වෙන්නෙ වසන්තා නොව නදී බව හිතන්නට තරම් චන්ද්‍රකාන්ති වෙනස් වී උන්නාය.

එහෙත් චන්ද්‍රකාන්තිට වසන්තාගෙන් අහන්න එකම එක කාරණාවක් තිබුණාය. නදීට හොරෙන් වසන්තාට දුරකතන ඇමතුමක් දෙන්න අල්ලපු ගෙදර ඉස්කෝලෙ යන කෙල්ල නම්මාගන්න චන්ද්‍රකාන්තිට අපහසු උනේ නැත.

දුරකතන ඇමතුම සම්බන්ධ වූ විගසම චන්ද්‍රකාන්ති ඒ ප්‍රශ්නය අසා දැමුවේ තවදුරටත් මේ ගින්දර හිත අස්සේ හංගගෙන ඉන්න බැරි හන්දාමය.

“උඹ විල්සන්වත් රවට්ටල මගුල් නටපු මිනිහට උඹ ඔච්චර ආදරේ කරානං උඹෙයි උගෙයි දරුවව මෙහෙම අනාත කරල උඹ රටකට තොලොංජි උනේ ඇයි?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles