මුතු බෙලි හදවත – 4 වන කොටස

ආදිත්‍යා ට අවශ්‍ය සියලු පහසුකම් සලසන්නට සඳසීලී වග බලා ගත්තා ය. විකුම් ගේ චර්යාව තුළ ඇති ව තිබෙන වෙනසත් එක්ක, මින්දුල ව සේ ම ආදිත්‍යා ව ද නො සලකා හැරෙන බැව් ඇයට දැනුණේ ය. සිය එක ම පුතු ගේ ජීවිතය අවුල් වෙනවා දකින්නට ඇති අකමැත්ත නිසා ය ඇය මිල මුදල් ඒ හැටි නොමැති පවුලකින් මුත්, තැන්පත් හා ඉවසිලිවන්ත ගති ඇති දියණියක ඔහු වෙනුවෙන් තෝරා ගත්තේ. විකුම් ගේ විවාහය ට පෙර ජීවිතය ඒ තරම් යහපත් වූවක් නොවේ. බොහෝ ඇමති පුතුන් මෙන් ඔහු හැසිරුණේ සඳසීලි කිසි සේත් අනුමත නො කරන ආකාරයට ය. පියා නො කටයුතු ලෙස උපයා ගත් මහජන මුදල් වලින් පුත්‍රයා පිස්සු නැටුවේ ය. රාත්‍රී සමාජ ශාලා වල කාමසුඛල්ලිකානුයෝගී දිවියෙහි කෙළවරට ම ගියේ ය. සරාගී ස්ත්‍රීන් සේවනය කළේ ය.

ආදිත්‍යා සමග විවාපත් වීමෙන් අනතුරුව සඳසීලි සිතුවා සේ ම විකුම් තරමක් තැන්පත් චරිතයක් බවට පක් වූයේ ය. ඔහු ගැන ඕපාදූප ඉගිල ගියේ ද නැති තරමි. නමුත් දැන් ප්‍රශ්නය වෙනත් වේශයකින් යළි උදා වී තිබේ.

මේ විවාහය බිඳී යන්නට ඉඩ දිය යුතු නැති බව සඳසීලි ඇදහුවා ය. ඒ සඳහා ආදිත්‍යා ගේ සිත ට කලකිරීමක් පසුතැවීමක් නොදැනෙන සේ වග බලා ගත යුතු ය. ඇගේ අරමුණ දරුවා සුව කර ගැනීම නම්, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සියල්  පහසුකම් සපුරා ලිය යුතු ය. ඇය මින්දුල සුව කර ගෙන විකුම් දෙස බලනා තුරු මේ පවුල නොබිඳී පවත්වා ගත යුතු ය.

මුදල් පැත්තෙන් කිසිදු අපහසුතාවයක් ලේලියට නොදැනෙන්නට සඳසීලි කටයුතු පිළියෙල කළා ය. කෙසේ වෙතත් ආදිත්‍යා නිල රථ වල මේ ගමන් යාම මුල සිට ම ප්‍රතික්ෂේප කළා ය. විකුම් ඇය සමගින් රෝහල් සායන වලට නොපැමිණි නිසාවෙන් ඈ ඒ ගමන් බිමන් ගියේ දුරකතනයෙන් ඇනවුම් කළ කුළී රථ වලිනි.

නැගණිය ආමන්තා නිවාඩුවට පැමිණ සිටි කාලයේ ආදිත්‍යා ගේ තනි නොතනියට ඇය ආවා ය. එලෙස කුළී රියකින් රෝහල බලා නික්ම ගිය එක උදයක, වැඩි දුරක් යන්නට පෙර රියෙහි දෝෂයක් විත් එය මහ මග නතර විය. රියදුරු එය හදා ගන්නා තෙක් අක්ක නගෝ දරුවා ද සමග රියෙන් බිමට බටහ.

“ක්ලිනික් ටයිම් එක පහු වෙයිද..අපි වෙන කැබ් එකක් දා ගමුද…”

ආමන්තා ඇසුවා ය. ආදිත්‍යා අත් ඔරලෝසුව දෙස බැලුවා ය.

“තව ටිකක් බලමු. පව්නෙ මේ මනුස්සය”

ඔවුන් පසු කර ගෙන ඉදිරියට ගිය කළු පැහැති ස්විෆ්ට් රියක් මග අයිනට කොට නැවතුණේ ය. ඒ වෙලාවේ පාරේ තිබුණ වාහන තදබදයත් එක්ක පසුපසට රිය පැදවිය හැකි අවකාශයයක් නොවුණෙන්, දුමාල් විතානාච්චි රියෙන් බැස්සේ ය. ඔහු තරුණියන් වෙත සමීප වුණත් ඔවුන් ගේ අවධානය ඔහු වෙත යොමු වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

“එක්ස්කියුස් මී”

දෙසොහොයුරියන් ගේ ම ඇස් යෞවනයා වෙත එක්වන ම යොමු විය. එක රැල්ලක් හෝ ඇති නොවණ සේ පිළිවෙලට මැදි බබලන සුදු පැහැති ස්ලිම් ෆිට් කමිසයකින් හා තද දුඹුරු පැහැති කලිසමකින් ද මෙරූන් පැහැති ටයි පටියකින් ද සැරසුණ යෞවනයා, සිය හිසට පිටුපසින් දිළෙමින් තිබූ උදා හිරුටත් වැඩියෙන් බැබළුවේ ය. තරුණ ගැහැනු ඇස් හතර ම ඒ ප්‍රභාවෙන් මොහොතක ට නිලංකාර වී යන්නට ඇත. ආදිත්‍යා ඔහු ව හැඳින්නේ ඒ නිලංකාරයෙන් පසු ය. සඳැල්ලෙහි දකිනා, සැහැල්ලු – කොලර් නැති ටී බැනියමකින් උඩු කය වසා සිටිනා තැනැත්තා ට වඩා, කාර්යාල ඇඳුම් කට්ටලයකින් යුත් මේ යෞවනයා ආකර්ෂණීය ය. ඔහු ගේ කළු සපත්තු, දුහුවිලි පොදක් හෝ නො දැක දිළිසෙමින් තිබුණේ ය. ඊටත් වඩා දිළුණේ සුදු ම සුදු ඉංගිරියා මැද්දේ කෝපි බින්දු දෙකක් තිබිබා සේ පෙනුණ ඇස් ය.

“බ්‍රේක් ඩවුන් එකක් නේද…ඕන්නං මං ඔයාලට යන්න ඕන තැනට ඩ්‍රොප් කරන්නං”

ඔහු ඍජු ව ප්‍රශ්න කළේ ය. ආමන්තා සොයුරිය දෙස බැලුවේ සිනහවක් රැඳි වතිනි.

“ක්ලිනික් එකටත් ලේට් වෙයිනෙ අක්ක. අපි එහෙනං මේ අයියත් එක්ක යමුකො”

ආදිත්‍යා මින්දුල වඩා ගත් වන ස්තූති පූර්වක දෑසකින් දුමාල් දෙස බැලුවා ය. කිහිප වරක් බැල්කනියේ දී දැක තිබුණාට අසල්වැසියා ගේ නම දුමාල් බව ඇය දැන සිටියා නොවේ.

“අනේ තෑන්ක් යූ. කමක් නෑ..කැබ් එක හදා ගත්තහම අපි යන්නං. නැත්තං වෙන එකක් හරි කෝල් කර ගන්නව”

පෙනුම අහිංසක වූවාට ඇගේ හඬේ වූයේ ආඩම්බරයක් බව ඒ ප්‍රථම වචන කිහිපය තුළින් ඔහු ට මැන ගත හැකි විය.

“මට පුළුවන් ලිෆ්ට් එකක් දෙන්නනං”

“තෑන්ක් යූ වෙරි මච්..ඔයාට ලේට් වෙයි. කමක් නෑ අපි යන්නං”

දුමාල් යන්තම් හිස සලමින් ආපසු හැරුණේ ය. සඳැල්ලට වී දරුවා පපුවට තුරුළු කර ගෙන හඬනු නිතර දැක ඇති විකුම් ගේ බිරිඳ, හිතුවාට වඩා අහංකාර යයි රිය දොර හරින අතරවාරයේ දුමාල් සිතුවේ ය. ඇය ට තිබෙන්නේ කදිම කොළ පැහැති දෑසකි!

“මොකද්ද හලෝ ඒ කළේ”

දුමාල් ගේ රිය පණ ගැන්වෙත්දී ආමන්තා සොයුරිය ගේ අත් ගොබයට ඇන්නා ය.

“ඇයි…”

“ඇයි කියන්නෙ…අපරාදෙනෙ. අපිට තිබුණෙ එයා එක්ක යන්නනෙ”

“පිස්සුද…ශෝක් එකට තියෙයි”

“ඇයි…”

“නංගි.ඔයාට තේරෙන්නැති හුඟාක් දේවල් තියෙනව. දැං මට ඉස්සර වගේ නිදහසේ දේවල් කරන්න බෑ”

“ආ…ඔයා මිනිස්ටර් විජයවික්‍රම ගෙ ලේලි පොඩ්ඩ නිසා…අනාගත ඇමතිගෙ වයිෆ් නිසා…අනේ මේ අක්කෙ”

ආමන්තා හොස්ස ගස්සමින් අත් දෙක පපුවේ බැඳ ගත්තා ය. ඒ විලාශය ට ආදිත්‍යා ට සිනහ නැගිණි.

“ඉතිං මොකද ඔච්චර පුපුරන්නෙ…කොහොමත් මං ඔයාව පාරෙ බස් එකේ එක්කං යන්නෑ. මේක නැත්තං අපි වෙන කැබ් එකක් දා ගමු”

“ඒක නෙවෙයිනෙ ප්‍රශ්නෙ”

ආදිත්‍යා ඉතා හොඳින් නැගණිය ගේ මුහුණ දෙස බැලුවා ය. ඇය උන්නේ නෝක්කාඩුවකට කට හදා ගෙන ය.

“එහෙනං…”

“බලනව. ඒ කොල්ල කා එකෙනුත් බැහැල ඇවිත් කතා කළේ. බලනවකො ඒකා කොච්චර හැන්ඩ්සම් ද කියල. වාව්..මගෙනං නිකං හාට් එකත් නැවතුණා වගේ”

ආදිත්‍යා ගේ මුවට සිනහවක් නැගිණ. ඒ තරම් කඩවසම් ලෙස ඒ තරුණයාව දුටු ප්‍රථම වතාව මේ බව ඇයට ද විශ්වාස ය. ජේත්තුවට හැඳ පැළඳ, ජෙල් ගා තද කළු හිස කේ සීරුවට පීරා, මිලාධික විලවුන් සුවඳක් දවටා ගෙන සිටි ඔහු සැබවින් මන බඳනා යෞවනයෙකි.

“අපේ නේබර්නෙ…නිවාඩු මාසෙ එහෙ ඇවිත් හවසට බැල්කනි එකට වෙලා ටිකක් හිටියනං මොනා හරි කර ගන්න තිබුණා”

ආදිත්‍යා සිනහවකින් කීවා ය. ආමන්තා ගේ මුහුණට ද දඟකාර සිනහවක් ආවේ ය.

“බලමු නේ ට්‍රයි එකක් දීල”

රියදුරු වරයා කාර්මික දෝෂය නිවැරදි කර ගත්තෙන් ඔවුන් ට එම  රියෙන් ම රෝහලට යා හැකි විය. දරුවා ඇවිදවීම සඳහා භෞත චිකිත්සක ප්‍රතිකර්ම සිදු වූයේ ය. එතැන උන් හැම අම්මා කෙනෙකු ගේ ම මුහුණේ වූයේ එක සමාන බලාපොරොත්තුවක් කියා ආදිත්‍යා ට සිතිණ.

“මට මින්දුලව කොහොම හරි හොඳ තත්වෙකට ගන්න ඕන නංගි”

වෙහෙසකර හෝරා කිහිපයකට පසු ගෙදර එන ගමන් ආදිත්‍යා කීවා ය.

“අපි ඒක කරමු”

ආදිත්‍යා ට සැනසීමක් දැනිණ. ඇය විකුම් ගෙන් ද බලාපොරොත්තු වන්නේ මෙයයි. රෝහල් සායන වලට පුහුණු මධ්‍යස්ථාන වලට හෝ ඔහු නාවාට කම් නැත. මේ සියල්ල කර ගැනීමේ මානසික ශක්තිය ඇය ට තිබේ. නමුත් ඇගේ ගැහැනු සිත ඔහු ගෙන් එක වචනයක හෝ දිරියක් බලාපොරොත්තු වන්නේ ය.

“අපි කොහොමහරි පුතා සනීප කර ගමු ආදි”

කියා ඔහු කියනවා නම් ඇයට වෙන මොනවා වත් ඕනෑ නැත. කළ යුතු සියල්ල පුතා වෙනුවෙන් ඇය නො පිරිහෙලා ඉටු කරනු ඇත. නමුත් ඔහු කියන්නේ දස මසක් තිස්සේ කුස දරා බිහි කළ දරුවා අනාථ නිවාසයකට දැමිය යුතු ය කියා ය.

“ඕක ඉතිං හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ”

එදා රෝහලේ සිට ගෙදර ආ පසු, සඳසීලී සමගින් ආදිත්‍යා තොරතුරු කතා කරත්දී විජිනි කීවා ය. විජිනි යනු විකුම් ගේ බාල සොයුරියයි. ඇය විවාහ වී සිටියේ විකුම් විවාහ වීමටත් වසර කිහිපයකට පෙර වුව, තවමත් දරු ඵල ලැබුවේ නැත. ඇය ට පෙර ආදිත්‍යා ගැබ් ගනිත්දී විජිනි තුළ ඊර්ෂ්‍යාවක් විය. දැන් ඒ ඊර්ෂ්‍යාව විකෘති සතුටක් බවට පත් ව තිබේ. ඒ ආදිත්‍යා ගේ දරුවා ඔටිසම් රෝගියෙක් වීම නිසා ය.

“ටිකක් මහන්සි වෙන්න වෙයි. ටිකක් නෙවෙයි ගොඩක් මහන්සි වෙන්න වෙයි. එතන ඉන්න සමහර දරුවන්ටත් වඩා අපේ පුතා දුර්වලයි කියල හිතෙනව. ෆිසියොතෙරපිස්ට් නං කිව්වෙ හරියට ට්‍රීට්මන්ට්ස් කරනකොට පුතා ඇවිදියි කියලයි”

ආදිත්‍යා බලාපොරොත්තු සහගත ව කීවා ය.

“ට්‍රේන් කිරිල්ලෙන්ම අනිත් සාමාන්‍ය ළමයින්ගෙ තත්වෙට ගොඩක් ළමයි ඇවිත් තියෙනවලු. සාමාන්‍ය ළමයින්ගෙ පන්ති වලම ඉගෙන ගන්න ළමයිනුත් ඉන්නවලු”

“ඕව ඉතිං ඔය කියන තරං ලේසි නෑ”

විජිනි දෙඋරහිස් හැකිළුවා ය.

“හම්මෝ…ඔහොම ළමයි හම්බ වෙනවට වඩා හොඳයි ළමයි හම්බ නොවී ඉන්න එක”

ආදිත්‍යා ගේ සිත් හි සිහින් රිදුමක සේයා ඇඳී ගියේ ය. නමුත් ඇය කිසිත් නොකියා කර බා ගත්තා ය. සිය දියණිය කෙරේ සඳසීලී තුළ ඇති වූයේ මඳ නොරිස්සුමකි. කොහොමටත් විජිනි කියන්නේ උද්දච්ච ගැහැනු ආත්මයකි.

“මින්දුලව සනීප කර ගන්න පුළුවන් වෙයි ආදිත්‍යා. අපි බලාපොරොත්තු තියා ගමු”

ආදිත්‍යා නැන්දම්මා වෙතට කෘතඥ බැල්මක් හෙලා මින්දුල ව ගෙන මතු මහල වෙත ට පිය ගැට පෙළ නැංගා ය.

“බලං ඉන්න හොඳ වෙනකල්. මදැයි අම්මගෙ මහ ලොකු ලේලි ඉස්ඉස්සර වෙලාම මේ ගෙදරට ගෙනාපු මුණුපුරා”

සඳසීලී දියණිය දෙසට දැඩි බැල්මක් හෙළුවා ය.

“විජිනි. ඔයා තාමත් බබෙක් නැතුවයි ඉන්නෙ. ඒ නිසා දරුවන්ට අපහාස කරන්න එපා”

විජිනි මවට ගස්සා ගෙන එතැනින් නික්ම ගියා ය.

ඒ හැන්දෑවේ ත් සඳැල්ලේ දී ආදිත්‍යා ට අසල්වැසි තුරුණු දෑස් දැක ගත හැකි විය. ඇය දරුවා ද සමගින් එහි යත්දී ත් දුමාල් ගරාදි වැටට බර වී ගෙන හාත්පස නෙතු රඳවාන සිටියේ ය. ආදිත්‍යා ගේ මුහුණේ ඇඳුණු මඳහස් මල වෙනදාට වඩා විකසිත වූයේ ය. නමුත් දුමාල් විතානාච්චි හිතා මතා ම සිනහවකට ඉඩ නො දුන්නේ ය.

ආදිත්‍යා විවාහ වී මේ මැදුරට ආ දින වල ම දුමාල් ගේ ඇස් වලට ඈ හුරු වී තිබිණි. විකුම් ගෙදර නැති වෙලා වල ආදිත්‍යා සඳැල්ලට වී හැඬුවා ය. ඔහු ගේ සෙල්ලක්කාර දිවි පෙවෙත ගැන අසා තිබි ඇය, සිය ජීවිතය පත් නරකාදිය ගැන මුලදී බෙහෙවින් තැවුණා ය. දැවුණා ය. අන්තිමට හිත හදා ගත්තා ය. විකුම් ද ටික ටික වෙනස් වෙමින් හිඳිනා බව ඇය ට දැනිණ. ඔහු රෑ නොවී ගෙදර එනු පෙනිණ. ඇගේ කුසට දරුවෙකු ආවාට පස්සේ ඔහු ගේ පැවැත්ම බෙහෙවින් ම සතුටුදායක විය. ඒ සියල්ල වෙනස් වූයේ මින්දුල ඔටිසම් දරුවෙකු බව දැන ගත්තා ට පස්සේ ය.

හැමදාමත් සිය කුඩා බැල්කනියෙහි හැන්දෑවේ අපර භාගයත් රාත්‍රියේ පූර්ව භාගයත් ගත කළ දුමාල්, විකුම් ගේ බිරිඳ යළි හඬනු දුටුවේ මෑතක ය.

සිය සිනහවට අසල්වැසි තරුණයා ප්‍රතිචාර නො දැක්වූයේ උදේ ඔහු ගේ රියට නො නැගි නිසා යයි සිතූ ආදිත්‍යා කර බා ගෙන මින්දුල ද ගෙන සඳැල්ල දිගේ නිවසේ පිටුපස සඳැල්ල දෙසටබ ඇවිද ගියා ය.

ඒ රාත්‍රියේ විකුම් ගෙදර පැමිණියේ පාන්දර යාමයේ බව ආදිත්‍යා දැන ගත්තේ ඔහු ගේ රිය ගෙමිදුල නතර වන හඬිනි. මින්දුල හිටියේ නින්දේ වන නිසාවෙන් ඇය හෙමිහිට යහනෙන් බැස කාමරයෙන් පිටතට ගියා ය. විකුම් ව සම්මුඛ වූයේ දෙවන මහලේ රූපවාහිනී ශාලාවේ දී ය. ආදිත්‍යා කෙළින් ම සැමියා අභිමුව හිටගෙන ඔහු ගේ මුහුණ දෙස බැලුවා ය. විකුම් ඇගේ ඇස් බැල්ම මගහැරියේ ය.

“පාන්දර තුන වෙනකල් ඔයා නොහෙද ගියේ….මොකද කළේ….”

ඇය ඍජු ව ප්‍රශ්න කළා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content