තිස් දෙවැනි නෙත් සැරිය
සති අන්තයේ අයියාගේ සැහැල්ලුව දෙස සිහිනි උන්නේ අවදානයෙනි. කපිලව මඟ හැර ඔහු සෙනසුරාදා සවස ගමනක් යන්නට පිටත්ව ඇති බව දැනගත් මොහොතේ ඕ වහා චත්‍රට ඇමතුමක් ගත්තාය. එහෙත් ඔහු ජංගම දුරකතනයටද පිලිතුරු දුන්නේ නැත. කපිලගෙන් විමසූවද ඔහු යන්නේ කොහිදැයි නොපැවසූ බව කීමෙන් පසු සිහිනි කලබල වූවාය. අයියා යන්නට ඇත්තේ අයත්මා මුන ගැසෙන්නට බව ඇයට ඉන්තේරුවෙන්ම සිතුණි. එහෙත් ඒ වෙනුවෙන් කල යුතු දේ ඇයට සිතාගන්නට හැකි වූයේ නැත. අම්මා සහ අප්පච්චීට යමක් පැවසිය යුතු වග සිතුනද එලෙස පැවසිය යුත්තේ කුමක්දැයි ඇයට වැටහුනේ නැත.
අයත්මා චත්‍ර මුණ ගැසෙන්නට ආවේ අයියාට තිස්ස පන්සල් යන බව පවසාය. අයියා වාහන පාවිච්චියක් නැති නිසා ඔහු ඇ්‍ට ත්‍රී රෝද රතයකම යළි පැමිණෙන්නටද කීවේය. අයත්මා පන්සල අසලින් බසින විටත් චත්‍ර එහි විත් උන්නේය. කොල්ලා උන්නේ සම්පූර්ණ සුදට හැඳගෙනය. කලකට පසු තමා ඇඳුම් ගලපා සැලකිල්ලෙන් සූදානම් වී එලියට බැස්සේද චකිතයක් එක්ක බව සිහි වී චත්‍රට සිනහ නැඟුණි. අයත්මා දුටුවේ සුදට සුදේ ඇඳගෙන සුදු සිනහවක්ද වත් කරමින් සිටිනා චත්‍රවය.
” නියම පොලිටික්ස් පෙනුම…”
ඕ ඔහු අසලින්ම සිටගෙන කීවාය. චත්‍ර ඇය වෙතින් හමන සුවඳින් මොහොතකට පියවි සිහියෙන් මිදී අතරමං වූයේය. ඒ මදිවාට වෙනදට ගෙල පාමුලට වන්නට කර ගුලි ගසා සිටින කොණ්ඩයද අද නිදහසේ වැටෙන්නට හැර ඇත. ගෙවුණු සෙනසුරාදා ඇගේ කොණ්ඩය තිබුනේ කොහොමදැයි චත්‍ර මොහොතකට කල්පනා කලේය.
” ඒයි …”
අයත්මා ඔහුගේ ඇඟේ ගෑවී නොගගෑවෙන තරමට ලං වූයේය. චත්‍ර ඈ අතේ වූ බෑගය ඉල්ලා ගත්තේය.
” මෙච්චර බරට මොනවද කෙල්ල ?…”
” ගිලන්පස …”
අයත්මා තලතුනා හඬකින් කීවාය. චත්‍ර හිස සලා ඒ බව වටහා ගත් බව පෙන්වූයේය. අනෙක් සියලු දේ අයත්මා රැගෙනවිත් තිබුනේ මල් වෙනුවෙන් පින් චත්‍රට ඉතුරු කරමිනි. චත්‍ර නිල් මානෙල්ද, සුදු නෙලුම්ද, සේපාලිකා මල්ද මිලයට ගත්තේය.
” මේ මදිද?.. තව ගන්නද?…”
පිට සක්වලයෙක් දෙස බලා හිඳින්නාක් මෙන් තමා දෙස බලා සිටින අයත්මාගෙන් චත්‍ර විමසුවේ ඉන් පසුවය. අයත්මා සිනාසෙමින් ඉස්සර වෙන්නට චත්‍රට ඉඟි කලාය. චත්‍ර අයත්මා දෙස විමතියෙන් මෙන් බල උන්නේය.
අයත්මා ඔහුට අපහසුවක් නොදැනෙන්නට සියලුම දේ කලාය. චත්‍ර පොඩි කොල්ලෙකු මෙන් අයත්මා පසුපසින් ඇවිද යමින් ඇය පවසන සියල්ලම කලේය. ඇය බුදුන් වැඳ අවස්න වනතෙක් ඇය අසලින්ම හිඳ උන්නේය.
දෙදෙනා යළි පන්සල් භූමියෙන් පිටතට ආවේ පැයකුත් අඩ හෝරාවක් ගෙවී ගියාට පසුවය.
අයත්මා චත්‍ර දෙස බලා සිනාසුනාය.
” මොකෝ ?…”
” මන්ත්‍රීතුමා ඇමති වෙන්න නම් ඔහොම බෑ…. දැන් පාර්ලිමන්ට් ඉලෙක්ශන් ඉල්ලනවා නම් එහෙම පන්සලක් බැඳගන්න වේවි ….”
චත්‍ර දෙතොල් නොපිට පෙරලා ඇයට ඉඟි කලේය. ඒ අතරේ කැබ් රියේ දොර ඇයට ගොඩ වන්නට හැරියේය. ඇය නංවා අනෙක් පසින් පැමිණ කැබ් රියට ගොඩ වුණේය. කැබ් රිය පන ගන්වා ගත්තේය
” මං නොමිනේශන් එපා කීවා අයූ .. මේ පාර පාර්ලිමන්ට් ඉලෙක්ශන් එකට මම ඉල්ලන්නේ නෑ … මම ජනවාරි වල පලාත් සභා ඉල්ලන්න හිතුවා….”
අයත්මා චත්‍ර ගේ තීරණය විශ්වාස කරන්නට අකමැතිව මෙන් ඔහු දෙසම බලා උන්නේය. චත්‍ර දේශපාලනය කිරීම පිලිබඳව ඔහුගේ වර්තමාන නියමයන සහ පිළිපැදීම් ගැන පවසද්දී අයත්මා අසා උන්නේ ලය පිරී යන තරමේ උද්දාමයක් සමඟය. තමාගේ යැයි දැනෙන අයෙකුගේ යහපත් ආකල්ප පවා කෙනෙකුගේ ජීවිතය එතරම් අමන්දානන්දයට පත් කරන බව දැන් අයත්මාට වැටහෙන්නේය.
” ඔච්චරටම හොඳ වෙන්නත් එපා… ඒක පොලිටික්ස් වලට හරියන් නෑ ..”
අයත්මා ඉන් පසුව කීවාය. චත්‍ර සිනාසුනේය.
” මං ඒ කිව්වේ මගේ හොඳ සියයට පනස් එක විතරයි.. නරක සියයට හතලිස් නවය ඔයාට හොරෙන් තියන් ඉන්නේ… මට බයයි… පොලිටික්ස් කරන එකෙක්ට කැමතිම නෑ කිව්ව කෙල්ලෙක්ට කොහොමද ඩාර්ක් සයිඩ් එක කියන්නේ ?…”
චත්‍ර ඇස් උස්සා ව්‍යාජ ස්වරයක්ද ගලපවාගෙන කීවේය. අයත්මා ඒ කතාවට චත්‍රට සරදම් සිනහවක් පෑවා පමණි. තිස්ස වැව පේන මානයේ හිඳ ඉර බැස යන දසුනත් අයත්මාගේ දෑස් වලින්ම දකිමින් චත්‍ර උන්නේ උන්මාදනීය සතුටු විලක ගිලීගෙනය. ඔහුට දැනෙන්නේ තමා වෙනමම ලෝකයකට පිවිසුම් දොරටු සොයාගෙන ඇති බවය
” තව ටිකක් ඉඳලා යන්න බැරිද?..”
” අයියා දෙපාරක් කෝල් කරානේ …”
” එහෙනම් මං එන්නම් ඇරලවන්න ….”
” තව ටික දවසක් මෙහෙම ඉන්නකෝ චත්‍ර … අපි අයියාට කිව්වාට පස්සේ ඕනි වෙලාවක් ….”
” ඉතින් අද කියමු.. මම කියන්නම් …”
” අද කොහොමද කියන්නේ?…”
” මොකද්ද අවුල ?…”
අයත්මා කිසිත් නොපවසා උන්නාය. සැබැවින්ම අයියාට මේ ගැන පවසන්නට නොහැකියාවක්ද නැත. එහෙත් එය මෙතරම් ඉක්මනින් පවසන්නට ද නොහැක.
” දැන්ම බෑ….”
චත්‍ර සිත රිදවා ගත්තේය. ඇතැම් විට අයත්මාට තමා සමඟ වන සම්බන්ධතාවයේ දිග පලල පිළිබඳව කිසිඳු අදහසක් නැතිවා විය යුතුය. ඇය මේ තමා සමඟ් කතා බහ කලාට, යන්නට එන්නට උන්නාට මේ සම්බන්ධතාවයට නමක් දමා අවිශ්කට කියන්නට අදිමදි කරන්නේ එබැවින් විය යුතුය. එය ඇගේ ජීවිතයය. ඇගේ තීරනනය. තමාට කල හැකි කිසිවක් නැත. චත්‍ර අයත්මා ත්‍රී රෝද රියකට නැංවූයේය.
නිවස පේන මානයට වනතුරුම පසුපස්සෙන් ආවේය. එහෙත් අයත්මා නිවසට පැමිණි වග පවස්න්නට ගත් ඇමතුම් එකකටවත් පිළිතුරු නොදී මඟ හැරියේය. අයත්මා අහිමිවීමේ බිය ඔහු පුරා පැතිරී ගොස් තිබුණි.
අයත්මා අවසානයේ තීරනයක් ගත්තාය. රාත්‍රී ආහාරයද ගෙන, කාමරයටද ගොස් අවසානයේ ඕ යලි අයියාට ඇමතුමක් දී සාලයට ගෙන්වා ගත්තාය. එවිට රාත්‍රී නවයට ආසන්නව තිබුනත් අවිශ්ක උන්නේ චත්‍ර සහ අයත්මා ගැන වූ කල්පනාවක් එක්කමය. ගලපා පටන් ගන්නට තැනක් සිතා ගන්නට නොහැකිව වටෙන් පිටින් එබෙමින් උන්නාය.
අවිශ්ක කොහොමටත් උන්නේ සියල්ල දැනගෙනය. සියල්ල වටහාගෙනය. ඔහු චත්‍රට කෙටි පණිවිඩයක් තැබුවේය.
” උඹ ඉන්නේ එලියේ නම් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න වරෙන් ….”
චත්‍ර උන්නේ කිනම් ගැටයක් ගසා හෝ අයත්මා දකිමියි බලාපොරොත්තුවෙනි. තමා ඇගේ ඇමතුම් මඟ හරීමෙන් පසුව ඇයද තම තුම් මඟ හරින්නට ගත් නිසා චත්‍ර කලබලවී උන්නේය. දැන් මේ සිටින්නේ උසස්පෙළ පන්තියක සිටින පොඩි කොල්ලෙකි. කෙලෙසකින් හෝ තම පෙම්වතිය දකින්නට උත්සාහ කරන තරුන කොල්ලෙකි.
ඔහු නිවසින් පිටත්වී අයත්මාගේ නිවෙස දෙසට එමින් සිටියදී අවිශ්කගෙන් පැමිණි කෙටි පණිවිඩය ඔහුට වටහා ගන්නට හැකි වූයේ නැත. ඔහු වහා අයත්මා ඇමතුවේය. ඇය ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර දමා තිබුණි. අවිශ්කට ඇමතුමක් ගත්තේ ඉන් පසුවය. එයට පිළිතුරු වෙනුවට ලැබුනේ යළි කෙටි පණිවිඩයකි.
” උඹ ගෙදර නම් මම උබට ටිකකින් ගන්නම් බං… අවුලක් නෙවෙයි …..”
” මම ලඟ ඉන්නේ එන්නම් …”
චත්‍ර පිළිතුරු යැව්වේය.. අවිශ්කට සිනහ නැඟුණි.
” කවුද අයියේ ?..”
” ඇයි ?..”
අයත්මා අමනාපය පෙන්වා ගත්තාය.
“ඔයා මං කියන එක අහගෙන ඉන්නේ නැහැනේ.. ෆෝන් එක ඔබ ඔබ හිනාවෙනවා විතරනේ….”
” අහන්න දෙයක් කියන්න එපැයි .. තමුසේ කරන්නේත් කෙකර බාන එකනේ …”
අවිශ්කද ඇයට කියෙව්වේය. අයත්මාට එයට දෙන්නට පිළිතුරු තිබුණේ නැත,
විනාඩි පහක් ගෙවෙන්නට වූයේ නැත. අවිශ්ක දොර විවෘ ත කරගෙන මිදුලට බැස්සේය. නැවතුනු කැබ් රියේ හඬ අයත්මාට හඳුනාගන්නට නොහැක්කේ නැත.
| අපේක්ෂා ගුණරත්න |