නුඹ තරම් ප්‍රේමයක් – 37

තිස් හත් වැනි නෙත් සැරිය

සිහිනි තෙවෙනි දිනයටද පාසැල් නොගොස් උන්නාය. එහෙත් අයත්මා තෙවෙනි දිනයේ පාසැල් ගියාය. ඒ චත්‍ර සමඟිනි. ඔහු ඇයව ගේට්ටුව අසලින් ඇරලවා යනු කලණ බලා උන්නේ බුදු මැදුර පසෙක සිටය. ඔවුන් දෙදෙනා අතරේ මෙතරම් සමීප සම්බණ්දතාවයක් ඇති වූයේ කවදා පටන්දැයි කලණට සිතා ගන්නට නොහැක. නාට්‍ය තරඟය දිනයේ වුවත් ඔවුන් එතරම් සමීප බවක් පෙනෙන්නට තිබුනේ නැත. එහෙත් එක්වරම මේ සිදුවූ සිදුවීම් වලට පසු ඔවුන් දෙදෙනා කලක පටන් දැන හඳුනන දෙදෙනෙකු සේ සමාජයට මුහුන දෙමින් සිටින්නෝය.

කලණට රිදුමක් දැනෙන්නට ගෙන තිබුණි. තමා හිතා මතාම ඇගේ ඇස් මඟ හැරියාය යන සිතුවිල්ල ඒ රිදුම තීවෘ කලේය. ඇය සැබැවින්ම තමා සමඟ යම් හැඟීමක් බෙදාගන්නට උත්සාහ කලාදෝ යන සැකය කලණගේ හිත මත තද පියවර තනමින් තිබුණි.

චත්‍ර අතින් අයත්මාට සිදුවූවායැයි කියන කරදරය පිළිබඳව අයත්මා නොබියව කතා කළාය. චත්‍ර තමාගේ පෙම්වතා බව ඇය නොකියා කීවාය. ඇය ගුරු විවේකාගාරය තුලදී ඒ පිළිබඳව නොසඟවා කතා කරනු අසා සිටි තමාට වේදනාවක් දැනුනේ ඇයිදැයි කලණ යලි කල්පනා කලේය. අයත්මා සහ චත්‍රගේ සංගමය තමාට රිදවන්නට හේතුවක් තිබිය හැකිදැයි ඔහුට කල්පනා කර බලන්නට අවැසි විය. අර උදෑසන රිදුම් තවත් දැඩිව ඔහු රිදවන්නට ගත්තේය.

සිහිනි පාසැල් නොගොසින් සිටීමෙන් වඩා සිත රිදවා ගත්තේ චත්‍රය. ඔහු අයත්මා ඇරලවා එන විටත් සිහිනි උන්නේ නින්දේය. ඔහු ඇය ඇහැරවන්නට උත්සාහ කිරීම සිත් රිදවීමකින් අවසන් විය.

” කවදා වෙනකල් හැංගෙන්නද චූටි ..? නැගිටිනවකෝ ..කෝ ?? .”

” මට ඉන්න දීලා යන්නකෝ අනේ … මාර කරදරයක් වුනානේ මේක…”

” දැන් තමුසේ දවස් තුනක් නිවාඩු නේද?.. ඔහොම නිවාඩු දාන්න පුලුවන්ද ජොබ් එකේ…”

“බැරි වුනත් කරන්න දෙයක් නෑනේ.. මට ඔලුව කෙලින් තියන් ඉස්කෝලේට යන්න පුලුවන් දෙයක්නේ ඔයා කරලා තියෙන්නේ…”

“අනේ ඕයි මේ.. අර අයත්මාත් අද ඉස්කෝලේ ගියා නම් තමුසේට මොකද බැරි …? තමුසේට මෙතන මොකවත් වෙලා නෑනේ.. තමුසේ මෙතන හත්පොලේ ගාගන්නවනේ..”

“අනේ අය්යා මේ .. කෙල්ලෙක්ට බලහත්කාරකම් කරලා, නිකන් ලොකු කම් කියවන්නෙපා.. අයත්මා දැනට ඔය හේත්තුව දාගෙන අහිංසක මූන පෙන්නගෙන හිටියට ඔයා බේරුණා කියලා හිතන්නත් එපා .. මේවා කොහොමටත් කවදා හරි එළි වෙනවා…අයත්මා කියන්නේ දුර්වල කෙල්ලෙක් නෙවෙයි ඔයා හිතන තරම් …..”

“කට වහනවා චූටි …”

චත්‍ර සිහිනිට පහරක් ගැසුවේය. සිහිනිද චත්‍රට කඩා පැන්නාය. දෙදෙනාගේ ආරවුල නිම වූයේ සන්ධ්‍යා පැමිණීමෙන් පසුවය. සන්ධ්‍යා දෙදෙනාටම බැණ වැදුනාය. සිහිනි අඬමින් නාන කාමරය තුළට වැදුණාය.

අයියා කුමක් කීවද ඇය ඉන්නේ හදවතින්ම බිඳී ගොසිනි. සහන්ගේ මිතුරන්ගේ දුරකතන අංක වලින් පවා ඇයව අවහිර කර දමා තිබුණි. ඇය ව්‍යාජ ගිණුම් සකසාගෙන ඔහුට යැවූ පණිවිඩ වලටවත් පිළිතුරු ලැබුනේ නැත. අයත්මා ගැනද ඇයගේ සිතෙහි වූයේ කෝපයකි. ඕ සියල්ල දරාගෙන නැගී සිටිද්දී ඇය නිසා තමාට වී තිබෙන්නේ සැඟවෙන්නටය.

සහන් විශ්වාසය බිඳ දැමූ බව චත්‍රට පවසන්නට නොහැකි බව සිහිනි වඩාත් පසක් කල ගත්තාය. එහෙත් මේ පිළිබඳව කිසිවෙකුම හෝ දැනුවත් කල යුතු බවද ඕ සිතුවාය. එහෙත් ඒ කවුරුන්දැයි ඇයට තෝරා ගන්නට පහසු වූයේ නැත. සිහිනි උන්නේ සීමාවන් නිර්ණය කර ගත නොහැකි තරමේ පීඩනයකය.

ලොකු තාත්තාගේ ඇමතුම ට චත්‍ර පිළිතුරු දුන්නේ අකමැත්තෙනි. සිහිනිට පහර දුන්නාට චත්‍රගේ හිත ඇත්තේ නොසන්සුන්වය. නංගී මෙතරම් කලබලව ඇත්තේ ලැජ්ජාව නිසාමදැයි චත්‍ර කල්පනා කරමින් උන්නේය.

ඇමතුම ඇසුනේ ඒ අතරේය. කොහොමටත් චත්‍රට ලොකු තාත්තා පිළිබඳව ඇත්තේ යහපත් මානසිකත්වයක් නොවේ. එහෙත් එක දිගට දෙවෙනි වතාවටද ජංගම දුරකතනය නාද විය.

” හෙට අනිද්දා දිහාවට ඇවිල්ලා මාව හම්බෙන්න චත්‍ර ..”

” එන්නම් ලොකු තාත්තේ ….”

” බිස්නස් වැඩ වගේකට ලොක්කා ලබන සතියේ මැලේශියා යනවා.. ඊට කලින් ඇවිල්ලා යන්න පුලුවන් නම් හොඳයි…”

” මම වීකෙන්ඩ් එන්නම් ලොකු තාත්තේ …”

” උඹ මීට කලිනුත් එන්නම් එන්නම් කිව්වාට ආවේ නෑ …”

” මං එන්නම් …”

“හ්ම්ම් …. උඹලගේ මහ දෙන්නාට මේවා තේරෙන්නේ නෑ. ඒකයි මම මේ පස්සෙන් එලවන්නේ…”

චත්‍ර ඇමතුම විසන්ධි කලේය. ලොකු තාත්තාට එවර කුමක් අවැසිව ඇතිදැයි කල්පනා කලේය. ලොකු අයියා දේශපාලනයෙන් ඉවත් වීම සමඟ ඔහුගේ දේශපාලන අරමුණු මුදුන් පමුණවා ගැනීමට තමා යොදවා ගන්නට වුවද නොහැකිවා නොවේයැයි චත්‍ර තීරනය කලේය. එහෙත්, ලොකු තාත්තා ට එවන් දේශපාලනමය අවැසිතාවයක් තමාගෙන් සපුරාගන්නටද අවශ්‍ය යැයි සිතීමත් පැටලීලි සහගතය. සති අන්තයේ ගාල්ලේ ගොස් ලොකු තාත්තා මුණ ගැසී එමියි අවසානයේ චත්‍ර තීරණය කලේය.

අවිශ්ක චත්‍ර සොයා පැමිණියේ කුලී රියකිනි. කුලී රිය හරවා යවා ඔහු නිවෙස තුළට ආවේය. ඒ වෙද්දී චත්‍ර නිවසින් පිටව ගොසිනි. චත්‍ර නිවසින් පිටවුනේ අයත්මා නිවසට ඇරලවන්නටත් එක්කය. ඔහු වේලාසනින්ම නිවසින් පිටව ගියේ ඇය මඟ නොහැරෙන්නටය. අවිශ්ක සීනුව නාද කලද කිසිවෙකු පැමිනීයේ නැත. ඔහු චත්‍රට ඇමතුමක් ගන්නට උත්සාහ කලා පමණි.

ගැහැණියකගේ මහ කෑ ගැසුම් හඬකින් ඔහු තිගැස්සී ගියේය.

” අනේ රත්තරනේ …. සුදු බබා ……”

ඒ කෑ ගැසුම් හඬ නැගෙන්නේ උඩු මහලෙන් බව වහා වටහා ගත් අවිශ්ක අඩියට දෙකට පඩි පේළි දෙකම අවසන් කලේය. පලමු කාමරයෙන්ම එබෙද්දී ඔහු දුටුවේ සිහිනයකින්වත් දකින්නට බලාපොරොත්තු වූ දසුනක් නොවේය.

සිහිනි විදුලි පංකාවට දැමූ සාරියකින් දිවි තොර ගැනීමට උත්සාහ කරමින් උන්නාය. ඇගේ දෙපයින් අල්ලා ඕ ඔසවන්නට උත්සාහ කරමින් උන්නේ නිවසේ උදව්වට උන් කාන්තාව බව අවිශ්කට සිහි විය. අවිශ්ක අඩියට දෙකට එතැනට පැන්නේය. කාන්තාවට වඩා උස්ව සිටින සේ සිහිනි එසෙව්වාය.

” මේසේ ඇදලා ඒක උඩ නැගලා සාරිය කපන්න ..ඉක්මනට …”

“බුදු කපිල මල්ලියේ ….”

ඇය එලෙස කෑ ගසමින් දිව්වාය. ඉන් පසුව පිහියක්ද රැගෙන විත් මේසය ඒ දෙසට ඇද්දාය.

“ඉක්මන් කරන්න ඇන්ටි …”

ඉන් පසුව ඕ වහා මේසයට ගොඩ වී සාරිය කපා දැම්මාය. අවිශ්ක සිහිනිව එහෙමම් බිම දිගා කලාය.

“චත්‍රට කෝල් එකක් දෙන්න ….”

එලෙස අණ කරන අතරේ අවිශ්ක යුහුසුළුව ගැට ලිහා දැමේය. සිහිනිගේ වත රතුව ගොස් තිබුණි. දහඩියෙන් පෙඟී ගොස් තිබුණි. අවිශ්ක වහා ඇය කෙලින් කරවාගෙන තමා වෙතට නතු කරගත්තාය. ඒ අතරේ ඔහුද දෙපා විහිදුවා බිම ඉඳගත්තේය. සිහිනි පියාට ගුලි වෙන පොඩි කෙල්ලක මෙන් අවිශ්කගේ තුරුලටම වූවාය. ඕ උන්නේ ඔහුගේ දෙපා අතරට වන සේය. ඇයට එවෙලෙහි අවැසි වූ සියල්ල අවිශ්කගේ උණුසුමේ විය.

” මුකුත් වුනේ නෑ.. මුකුත් වුනේ නෑ ..ශ් ශ් …”

වේගයෙන් හුස්ම අල්ලමින් තම බාහු වල පැටලී සිටින යුවතියව අස්වසන්නට අවිශ්කට අපහසු වූයේ නැත. මේ අයත්මාම බව ඔහුට සිතන්නට හැක.

” පොඩි සර් ආන්සර් කරන්නේ නෑනේ සර් …”

” කමක් නෑ … කෝ අංකල්ලා…”

“දානේ ගෙදරක ගියා .. දැන් ඒවි .. කපිල එක්කම ගියේ.. මට ඒකත් අමතක වුනා සර් …”

” හරි..කලබල කරන්නෙපා .. ඇන්ටි බබාට රස්නේට කෝපි එක්ක වගේ හදන්නකෝ …. දැන් හරි…කලබල වෙන්න දෙයක් නෑ…”

“ඉස්පිරිතාලේ ගෙනියන්න ඕනි නැද්ද සර් ?…”

“නෑ .. එහෙම මුකුත් නෑ.. මම යාලුවෙක් ඉන්නවා මගේ ගෙන්නගන්නම් මෙහෙට .. එහෙම චෙක් කරගමු.. මෙවෙලේ හොස්පිට්ල් ගෙනිච්චොත් කතන්දර ගොඩක් වෙනවා …”

අවිශ්ක ඇගේ හිස පිරිමැද්දේය. සිහිනි වන් අහිංසක යුවතියක් ජීවිතය තොර කර ගන්නට උත්සාහ කිරීම වටහා ගැනීම අපහසු නැත. චත්‍ර අලලා පැතිරෙන් කතාව නිසා ඇතිවන ලැජ්ජාව ඇයව මානසික පීඩනයක හෙලා ඇතිවා විය යුතු බව අවිශ්ක සිතුවේය.

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles