නිම් නැති නිම්නය 06

එදා සැනසුම් පායේ දිවා ආහාරය වෙලාවේ ඉන් පිටත සාමාජිකයෝ දෙදෙනෙක් වූහ. ඒ කාවින්දි ගජධීර සහ තාරා සේනාසිංහ ය. තාරා සේනාසිංහ වූ කලී ආරාධනා ගේ සොයුරු චින්තක ගේ බිරිඳ ය. ඇය වෘත්තියෙන් පශු වෛද්‍යවරියකි. විවාහ වී දරුවන් ලැබීමෙන් පසු රජයේ රැකියාවෙන් ඉවත් වී, ගෙදර පසෙක ඉදි කරන ලද ගොඩනැගිල්ලක පවත්වාගෙන යන පෞද්ගලික සායනයක සැන්දෑ කාලයේ වැඩ කරයි. හැන්දෑවේ සිට රෑ දහය පසු වන තුරුත් බෙහෙත් ගන්නට බල්ලන් පෝලිම දිගු නිසා හවසට හෙල්ලෙන්නට බැරි ය. උදේ පාන්දර සේනාසිංහ යුවල සැනසුම් පායට ආවේ උඩු මහලේ නිදන චින්තක ලා අවදි කරවන්නේ නැතිව ය. මධුරි ගෙන් ආරාධනා ගැන පුවත දැන ගත් ගමන් තාරා දරු දෙදෙනා මධුරි ගේ භාරයට පත් කොට ආරාධනා බලන්නට එහි ආවා ය.

ආරාධනා හා තාරා නෑනාවරුන් ට වඩා යෙහෙළියන් වාගේ ය. නැත්නම් සහෝදරියන් වාගේ ය. ඔවුන් දෙදෙනා ට කතා කරන්නට බැරි දෙයක් නැති තරමි. විශේෂයෙන් ම තාරා ලෝකය දෙස බලන ආකාරය වෙනස් හා සාමකාමී වන නිසාවෙන්, මීට පෙරත් කාශ්‍යප සම්බන්ධව ඇති වූ සුළු සුළු ගැටළු ගැන ඇය කතා කළේ තාරා සමගිනි. 

“මං කවන්නං…අදනං බත් ටිකක් කන්න ඕන රාධා. නැත්තං අර පොඩි එකාට කිරි දෙන්නෙ කොහොමද…”

කාවින්දි ආරාධනාටත් එක්ක බත් බෙදාගෙන කාමරයට ම ආවා ය. ආරාධනා බෑ නොකියා බත් කට වෙනුවෙන් මුව විවර කළා ය. ඇයට ඈ දැනුණේ තමන් වෙනුවෙන් කිසිත් කර කියා ගත නො හැකි රොබෝවරියක සේ ය. අනුන් ගේ විධාන වලට පමණක් ක්‍රියා කරන රොබෝ වරියක්! එපමණට ම ඇගේ සිත අක්‍රිය ය.

“අරා දන්නවද ගෑනු කෙනෙකුට එක මාසෙකට එක ඩිම්බයයි රිලීස් වෙන්නෙ. හරි කලාතුරකින් තමයි ඒක ටිකක් වෙනස් වෙන්නෙ. අර ද්වී ඩිම්බක නිවුන්නු හැදෙන වෙලාවල් වල වගේ…ඒ කියන්නෙ සම්පූර්ණයෙන් වෙනස් නිවුන් බබාල. සමහර වෙලාවට මේල් ෆීමේල් දෙකේ බබාල. සමහර වෙලාවට එකම ජෙන්ඩර් එකේ පෙනුම වෙනස් බබාල. ඒ වුණාට පිරිමි වෘෂණ කෝෂයක ශුක්‍රාණු මිලියන ගණන් හැදෙනව. ඩේලි විශාල ගාණක් රිලීස් වෙනව. ඒකෙන් කියවෙන්නෙ සොබා දහම ගෑනු පිරිමි මවල තියෙන්නෙ ලිංගික ක්‍රියාකාරිත්වය කියන දේ අඩු වැඩි විදිහට දීල. පිරිමින්ගෙ ලිංගික ක්‍රියාකාරිත්වය වැඩියි කියන එක අපි පිළිගන්න ඕනෙ. ඒ කියන්නෙ අර කැලෑ සත්තු වගේ හැසිරෙන්න පිරිමින්ට අවසර තියනව කියල නෙවෙයි මං මේ කියන්නෙ. අපි සංස්කෘතික මිනිස්සුනෙ. අපිට බුද්ධියක් තියනව. අපි කල්පනා කරල අපිටවත් අපේ සමීප අයටවත් කරදරයක් හිත් වේදනාවක් නොවෙන විදිහට වැඩ කරන්න බැඳිල ඉන්නව. ඒකට තමයි විනය කියන්නෙ. අරා හිතන්නෙපා මං මේ කාශ්‍යප කරපු දේ සාධාරණීකරණය කරන්න හදනව කියල. නමුත් මේ සමාජෙ සිද්ද වෙන හුඟක් දේවල් දිහා බලං ඉඳල මං තේරුං ගත්ත එක දෙයක් තියනව. ඒ පිරිමින්ගෙන් පරමාදර්ශ බලාපොරොත්තු වෙන්න අමාරුයි කියන එක. හැමෝම නෙවෙයි. ගොඩක් අය. තමන්ගෙ මොළයයි බුද්ධියයි අධ්‍යාපනයයි ඔක්කෝම මොහොතකට අමතක කරල වල් වැදෙන්න තමයි හුඟක් වෙලාවට පිරිමි බලන්නෙ. සමහර විට ඒක සොබා දහමෙන් එයාලව නිර්මාණය කරපු විදිහ නිසා වෙන්න ඇති”

“අනේ මේ තාරා අක්ක. වැරැද්ද කළේ අපේ අයිය වුණත් මන්නං ඔය තර්ක වලට එකඟ නෑ”

කාවින්දි අතර මගින් කතාවට බාධා කළේ නො රිස්සුමෙනි. මේ වෙලාවේ ඇයට කාශ්‍යප සමග වන්නේ වචන වලට නැගිය නො හැකි තරම් කෝපයකි.

“මාත් එකඟයි නෙවෙයි බං. ඒත් ඔය කැලෑ ගති තමයි කොච්චර ඉගෙන ගත්තත් සමාජ සත්වයො වගේ හිටියත් එළියට පනින්නෙ. ඒක නිසා අපි ඒක තේරුං ගන්න එක හරි වටිනව. අනිත් එක අරා…අපි මේ ආදරේ කියල හිතං ඉන්න දේත්…අපි හිතන විදිහත් හරි අවුල් සහගතයි”

තාරා කතා කළේ නිවී සැනසිල්ලේ ය. ඇය කතා කරන යමක් අසා ගෙන සිටින්නට ආරාධනා කවදත් ප්‍රිය වූවා ය. ඇයට තමන් ගේ ම කියා දර්ශනයක් තිබූ බැවිනි. ඒ නිවීම නිසාදෝ ඇය ජීවිතය භාර ගත්තේ සැහැල්ලුවෙනි. තර්කානුකූල වූ යමක් ලෙසිනි.

“ආදරේ කියන්නෙ ආදරේට බං. නැතුව එක මිනිහෙකුට කියන එක නෙවේ. අපි කාට හරි ආදරේනං ඒ ආදරේ කොයි තත්වෙකදිවත් වෙනස් වෙන්න විදිහක් නෑ. එයා අපි එකඟ වෙන දේවල් කළත් එකඟ නැති දේවල් කළත්. මං චින්තකට ආදරේනං මං කියන්නෙ…එයා මාව අත් ඇරියත් ඒ ආදරේ වෙනස් වෙන්න විදිහක් නෑ. එයා ආයෙ ආවත් ඒ ආදරේ වෙනස් වෙන්න විදිහක් නෑ. හැබැයි අපි සම්පූර්ණයෙන් වරද්දගෙන ඉන්නෙ. අපි ආදරේ කියල කියන්නෙ අපිටත් ආදරේ පෙරලා ලැබෙන අවස්ථාවකට විතරයි. වෙන කෙනෙකුටයි එයා ආදරේ කරන්නෙ කියල දැන ගන්න මොහොතෙදි අපේ ආදරේ වෛරෙකට හැරෙනව. අර පරණ ආදරේ කොහේ ගියාද කියල හොයා ගන්න බැරි වෙනව. සාප කරනව. හොඳක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව. හැඳි ගෑවිල මක බෑවිල කුඩු පට්ටං වෙලා පලයං කියල ප්‍රාර්ථනා කරනව. මං කියන්නෙ එහෙනං අර මිනිහ විතරක් නෙවේ අපිත් ආදරේ කරල නෑ. අපිට ලැබුණ ආදරේකට ලෝබ වෙලා ඉඳල විතරයි”

“අනේ මේ තාරා අක්ක. ආදරේ කියන්නෙ යන්න දෙන එකටය ආයෙ ආවොත් ඉන්න දෙන එකටය වගේ කවි වලට ජීවිතේ ඇතුළෙ ප්‍රැක්ටිකල් වැලිව් එකක් තියෙන්න විදිහක් නෑ. එහෙම දඩාවතේ ගිහිං එන මිනිහෙක්ට නවතින්න අපි අම්බලං වෙන්න ඕනද…මගෙ අයිය තමයි. ඒත් මං රාධාට කියන්නෙ…ඔයා කැමති තීරණයක් ගන්න. අපි කොහොමද ශුවර් කරන්නෙ එයා ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ කියල. ෆැමිලි ලයිෆ් එකක් කියන්නෙ වැරදි කරන්නයි වැරදි හදා ගන්නයි සමාව දෙන්නයි ආයෙ වැරදි කරන්නයි…මොන්ටිසෝරියක් නෙවේනෙ. ඒක වගකීමක්. තමුන්ගෙ ෆැමිලි එක වෙනුවෙන් වගකීමක් නැති  වග වීමක් නැති මිනිහෙක් ගෑනියෙක් බඳින්නැතුව ඉන්න ඕනෙ. මොකද පවුලක් කියන්නෙ නිකංම කසාදයක් විතරක් නෙවෙයි. එතන දරුවො අලුතෙන් හැදෙනව. අලුත් නෑදෑකං හැදෙනව. එ්ක වෙනම කමියුනිටි එකක්. අපිට අපේ ආසාවල් නිසා උන්හිටි ගමන් ඒ වගකීමෙන් මිදෙන්න පුළුවන්ද…එහෙම කළොත් කැඩිල බිඳිල යන්නෙ කසාදෙ විතරක් නෙවෙයි. අර නෑකං ඔක්කොමත් විනාස වෙනව. අපේ අයිය කරපු බලු වැඩේ නිසා රාධාටයි එයාටයි විතරද මේ ප්‍රශ්නෙ බලපෑවෙ…අපිටත් බලපානව. මට රාධාගෙ මූණ බලන්න බෑ. මේක දික්කසාදෙකින් කෙලවර වුණා කියමු. අපේ බැඳීම් වලට මොකද වෙන්නෙ…රාධා පොඩි කාලෙ ඉඳන් මගෙ යාළුව. අපේ අම්මයි තාත්තයි මට තරංම මේකිට ආදරෙයි. ඒ දරුවො දෙන්නව අපිටත් අයිතියි. රාධා ළමයි දෙන්නත් අරං ගෙදර ගියොත් විනාශ වෙලා යන්නෙ ඒ දෙන්නගෙ කසාදෙ විතරක්ද…අපේ බැඳීම් වලට වගකියන්නෙ කවුද…ඒ වගකීම බාර ගන්න බැරි මිනිහෙක් කවදාවත් කසාද බඳින්න නරකයි. ඇත්ත…නොගැලපෙනවනං වෙන් වෙන එක හොඳයි තමයි. ඒත් මෙතන නොගැලපීමක් තිබුණෙ නෑනෙ. අපි දැක්කෙ නැද්ද….මේකි මොකද්ද කරපු අඩුව…මගෙන්නං කිසිම සමාවක් නෑ අපේ අයියට. ඕකව මට හම්බුණොත්නං..”

හිස කෙලින් තියා ගෙන තමුන් ගේ මතය ගැන දැඩි විශ්වාසයකින් කතා කර ගෙන ගියත්, අන්තිම හරියේ දී කාවින්දි බිඳී ගියා ය. ආරාධනා ට බත් කටක් කවා අහවර ඇය ගවුම් උරහිසෙන් ඇසක තෙත මාත්තු කළා ය. 

“හරි බං. මං මේ හැම දේම කිව්වෙ අරාට තීරණයක් ගන්න බැලන්ස් එකේ හිතන්න කියන්නයි. ඉස්සර ගෑනු අය පිරිමි මොන තරං පිට සම්බන්දකං තිබුණත් පවුල් කඩා ගන්නෙ නැතුව ඉවසුව. ඒත් දැන් ගෑනු එහෙම ඉන්නෑ. ඕකෙ වාසි අවාසි දෙපැත්තක් තියනව. ඒක නිසා අරා හොඳට කල්පනා කරල…සිහි කල්පනාවෙන් හිත එකලාසෙන් කල්පනා කරල තීරණයක් ගන්න. මේ ඔයාගෙ ජීවිතේ නිසා ඔයාටයි ඒකට අයිතිය තියෙන්නෙ”

කාශ්‍යප නික්ම ගියාට ම පස්සේ ආරාධනා කුස පිරෙන්නට බත් ටිකක් කෑවේ එදා ය. නෑනලා දෙන්නා එක්ක සිනහ වෙමින් කතා කරමින් හෝරා කිහිපයක් ගෙවී යත්දී ඇය යම් සැහැල්ලුවකට පත් වෙමින් සිටියා ය. කාශ්‍යප ඇය හා දරු දෙදෙන අතැර නික්ම ගිය බව වඩා පැහැදිලිව දැකිය හැකි සේ සිතිවිලි එකලාස වෙමින් තිබිණ. ප්‍රතික්ෂේප වීමේ ඒ බරපතල රිදුම අතරින්, ඇයට සිය අභිමානය ගැන හැඟීම මෝදු වෙමින් එන අයුරු දැනිණ. නෑනලා නික්ම ගිය පසු, බිඟුනි ව නාවා ඇය දිය නා ගත්තා ය. සිතට කෙසේ වෙතත් ගතට ප්‍රබෝධයක් දැනුණේ ය. ආරාධනා කොණ්ඩයේ තෙත මාත්තු කරමින් ඉස්සරහාට එත්දී රාජිකා මැණිකේ මුණුපුරාව වඩා ගෙන ඉස්සරහා මිදුලේ සක්මන් කරමින් සිටියා ය. ආරාධනා තෙත තුවාය වැලට දාන්නට මිදුලට බැස්සා ය. ඇය ළඟින් හැමූ ශැම්පූ සුවඳ රාජිකා මැණිකේ හිතට සතුටක් ගෙනාවේ ය. 

“මගෙ තූති මැණික තාත්තම්ම එක්ක ඇවිදිනවද…”

ආරාධනා සඳයුරු ගේ පිරුණු කොපුලක් සිප ගත්තේ ය. කිති ගැන්වී ඔහු සිනහ වන්නට විය. බඩ පපුව දැවී යන සංවේදනයක් ඇයට දැනෙන්නට ගති. කවදා හරි දවසක සඳයුරු ලොකු මිනිසෙකු වූ කල තාත්තා ගැන ඔහු ට කිව යුත්තේ මොනවා දැයි ඇයට සිතා ගත හැකි වූයේ නැත.

“එන විදිහකට මූණ දෙමු පුතේ”

කීවා නොව ඇය එසේ සිතුවා පමණකි. ඒ සිතිවිල්ල සුසුමක් ව බැහැර විය. රාජිකා මැණිකේට ඒ ගිනි රස්නය දැනිණ. 

“කොණ්ඩෙ හොඳට පිහදගන්න. තෙත පිටින් දරුවට කිරි දෙන්න හොඳ නෑ”

කවීශ්වර ගේ යතුරු පැදිය පවනක් ව ඇදී විත් පෝටිකෝව යට නතර වූයේ ඒ වෙලාවේ ය. ඔහු අසරුවෙකු සේ ඉන් බිමට පැන ගත්තේ ය.

“පොඩි ළමයි ඉන්නව කියලවත් නෑ. කඟවේනා වගේ වත්ත ඇතුළට එන්නෙත්”

රාජිකා මැණිකේ ආඩපාලියක් කීවා ය. 

“අම්මට ඉතින් මගෙ වැරැද්දක් නොපෙනුණොත්නෙ පුදුමෙ…නේද චුට්ටො…”

ඔහු සඳයුරු ට ලං වූයේ ය. ආරාධනා දෙස නො බැලී ද මීට පෙර ඇය වෙලා ගෙන පැවති අසහනකාරී බව මඳක් තුනීව ගොස් ඇති සේ ඔහු ට දැනිණ. 

“අල්ලන්න එපා දරුවව රට වටේ ගිහිං ඇවිත් විසබීජත් එක්ක”

යළිත් රාජිකා මැණිකේ ගෙන් තරවටුවකි. අම්මා  ගේ විධානය නො සලකා කවීශ්වර සඳයුරු ගේ බඩෙහි සිය මුහුණ ඔබා කිති ගැන්වී ය. බිළිඳා හඬ නගා සිනහ වූයේ ය. ඔහු ව සිනහ ගන්වනු වස් කවීශ්වර යළි යළිත් කිහිප වරක් එසේ කළේ ය. ආරාධනා තුනී සිනහවකින් බලා සිටියා ය. නමුත් ඇගේ සිත තිබුණේ මුළුමනින් එතැන නොවේ. ආයේ කවදාවත් එන්නේ නැති අතීත මතකයක් ළඟ නතරව ය. 

“බඩගිනියි අප්ප”

කියා ගෙන කවීශ්වර ගෙතුළට ගියේ ය. ආරාධනා රාජිකා මැණිකේ අතින් දරුවා ගත්තා ය. 

ඔහු කාශ්‍යප හමු වන්නට ගිය පුවත මේ ගැහැනුන් දෙදෙනා ඉදිරියේ කියන්නට බැරි කමක් කවීශ්වර ට දැනිණ. ඔවුන් දෙදෙනා ම කාශ්‍යප ට වැඩිපුර ම ආදරය කළ ගැහැනුන් ය. ඔහු ව බෙහෙවින් විශ්වාස කළ ගැහැනුන් ය. නමුත් ඔහු ගේ ජීවිතයේ වටිනා ම ගැහැනිය ලෙස කාශ්‍යප අද තෝරා ගෙන සිටින්නේ අම්මා හෝ ඔහු ගේ දරුවන් ගේ අම්මා නොවේ. ඒ ගැහැනිය අතැර ඔවුන් වෙත පැමිණීම කාශ්‍යප විසින් ප්‍රතික්ෂේප කොට සිටියා යි මේ ගැහැනුන් දෙදෙනා ගේ මුහුණු දෙස බලා ගෙන පවසන්නේ කෙසේ ද?

කවීශ්වර බත් කෑවාට වැඩිය කළේ බත් පත අත පත ගාමින් කල්පනා කළ එක ය. දැන් ඉතින් මේ සත්‍යයට මුහුණ දිය යුතු ව ඇති බව ඔහු ට වැටහේ. අම්මා හා තාත්තා සේ ම ආරාධනා ද කවීශ්වර යළි පැමිණෙතැයි බලා සිටිනවා විය හැක. නමුත් කිසි දාක එය එසේ වන්නේ නැති බව දැන් කවීශ්වර ට නම් ඉර හඳ සේ විශ්වාස ය. එසේ නම් ඊළඟ පියවර තැබිය යුතුව තියේ. මරණයක් සිදු වූවත් අවසන් කටයුතු සිදු කිරීමෙන් පස්සේ හෙමි හෙමිහිට හෝ අනෙකුත් ජීවිත සාමාන්‍ය අතට හැරේ. එසේ සිදු විය යුතු ය. නමුත් මේ සිදු වී ඇත්තේ මිය යාමකටත් වඩා සාහසික හැර යාමකි. නමුත් එසේ ය කියා කිසිවෙකු ගේ ජීවිත එක තැන නතර වී පැවතිය හැකි නොවේ.

“ආරාධනා ගැන ඊළඟට ගන්න පියවර මොකද්ද තාත්තෙ…”

හැන්දෑවේ, ගජධීර වත්තේ මඤ්ඤොක්කා පඳුරක් ගලවමින් සිටියදී ඒ වෙතට සමීප වූ කවීශ්වර පොල් ගසකට පිට දී හෙමිහිට විමසී ය. ගජධීර සිය කාරිය නවතා බාල පුත්‍රයා දෙස බැලුවේ ය. 

“ඒ කිව්වෙ…”

“මං අයිය හම්බ වෙන්න ගියා. මං ඌට වැන්දෙ නැති ටික විතරයි ආයෙ ගෙදර එන්න කියල. අයිය ආයෙ එයි කියල බලාපොරොත්තු වෙන්න බෑ තාත්තෙ. ඉතින් ආරාධනා ව මේ විදිහට අපේ ගෙදර නතර කර ගෙන ඉන්න එක…අපි එයාට කරන අසාධාරණයක් නේද…”

ගජධීර ගේ බොර පැහැති ඇස් වල  විසඳුමක සේයාවකුදු වූයේ නැත. නමුත් මේ අර්බුධය බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් සමථයකට පත් කළ නො හැකි වග නම් ඔහු ට දැනෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles