කදෝකිමි ඇස් -44

0
2971
කදෝකිමි ඇස්

ආරණ්‍යා එදා රාත්‍රියේ දී අම්මාගේ පුස්තකාල කාමරයට ආවේ අම්මා සමඟ කතාබහක යෙදෙන්නට ය.කියන්නට බොහෝ දේ තිබිණ.අසන්නට අපමණ දෑ තිබිණ.ඇය අම්මාගේ මුහුණ දෙස බලා සිටියේ ඒ සියල්ල සිතේ දරාගෙන ය.

“සුදු මැණික ඇයි?”

මේකලා අසන්නේ පරිගණක තිරය දෙස බලමිනි.ඇය උපැසට යටින් තමන් දෙස බලන බව ආරණ්‍යාට සිතේ.ආරණ්‍යා අම්මා දෙස එක එල්ලේ බැලුවා ය.

“මං අද මේඝ අයියා මුණ ගැහෙන්න ගියා අම්මා.”

මේකලා කලබල නොවූවා ය.අම්මාගේ අමතර පන්ති අහවර වන තුරු වතුර බටය ඇදගෙන මල් පැලවලට වතුර දමනා නව යෞවනියක ඇයට සිහි වේ.මහේන්ගේ ආඩම්බරකාර සිනාව පිපෙන්නේ ඉනික්බිතිව ය.ඒ මල් යායට ඉහත්තෙන් ය.එවැනි අතීතයක් අත දරා සිටි අම්මාට දියණිය ගැන අහිතක් නොදැනේ.

“නීෂාගෙ දුව එක්ක තිබ්බ ප්‍රශ්නෙ ඉවරද මේඝගෙ?”

නීෂා නම් ගැහැනිය අම්මාගේ පමණක් නොව මහේන් සේනාධීරට ද කළේ අසාධාරණයක් බව දැන් ආරණ්‍යා දන්නී ය.අම්මා නේහා ගැන අනුකම්පා නොකරන්නට නීෂා හේතුවක් බව ද ඇය දනියි.

“සහස්ගෙ කෝලං එක්ක ඇදුණොත් මිසක් ඒ ප්‍රශ්නෙ ඉවරයි අම්මා.”

ආරණ්‍යා කියන්නේ ඒ ෆෝ කඩදාසියක අපිළිවෙල කුරුටු බලියක් අදිමිනි.හිස ඇතුළේ එවැනි අපිළිවෙල කතා බොහොමයක් බව ඇය ඉන්පසු සිතුවා ය.

“ඔයාලා මොනවා හරි ගැන කතා කරගත්තද?”

මේකලාගේ ප්‍රශ්නයට ආරණ්‍යා පිළිතුරු දුන්නේ සංයමයකිනි.තවම මේඝට ඈ හොඳ මිතුරියකි.ඔහු අද අම්මාගේ සහ මහේන්ගේ අතීතය ඇයට පැවසූ නමුත් මේ බැඳීම යා යුතු මඟ ගැන කිසිවක්ම නොපැවසී ය.ජීවිතය ගැන තීරණයක් ගන්නට කාලය පැමිණ ඇතැයි තමන්ට සිතෙන බව අම්මාට පැවසූ ආරණ්‍යා අපිළිවෙළ කුරුටු බලිය කාමරයේ ඇති කඩදාසි ඉවතලන බඳුනට දැමුවා ය.

“මං මේඝට ආදරෙයි අම්මා..”

ආරණ්‍යාගේ වචන පැහැදිලි උල්පත් ජලයක් මෙන් ය.ඒවා බොහෝ පැහැදිලි ය.ඇය කිසිවක්ම නොසඟවා කතා කරන අන්දම මේකලා බලා සිටියේ සෙනෙහසිනි.

“ඔයායි මහේනුයි අතරෙ තියන සම්බන්දෙ මොකක්ද?”

ආරණ්‍යාගේ අත්තම්මා මේකලාගෙන් ඒ ප්‍රශ්නය අසා වසර තිස් ගණනක් ගෙවී අවසන් ය.මහේන්ට ලියූ පෙම් හසුනක් පොත් ගොනුවේ පොතක් අතර සැඟවී තිබියදීම මේකලා එදා අම්මාට දුන්නේ සැර පිළිතුරකි.

“ඒ හොටු කොල්ලා එක්ක මට මොන සම්බන්දකංද? කතා කරාම කතා කරනවා.”

ප්‍රේමය වැනි කාරණා සම්බන්ධයෙන් අම්මා දැරුවේ නම්‍යශීලී අදහස් නොවීම එදා එවැනි විශාල බොරුවක් කරන්නට හේතුවක් වූ බව මේකලා අදටත් විශ්වාස කරයි.ආරණ්‍යා කියන්නේ දියණියක බව පළමු ස්කෑන් පරීක්ෂණයෙන් දැනගත් දා පටන් ම මේකලාට ඕනෑ වූයේ ඇගේ හොඳම මිතුරිය වන්නට ය.ඒ ප්‍රාර්ථනාව ඕනෑවටත් වඩා සාර්ථක වූ බව හැඟෙන්නේ මෙහෙම මොහොතකදී ය.මේකලා මුදු ලෙස දියණියගේ සුරත පිරිමැද්දා ය.

“ඔයා වගේ ලස්සන උගත් කෙල්ලෙක්ට ආදරේ නොකරන්න මේඝටත් හේතුවක් නෑ පුතේ..”

ආරණ්‍යා අම්මා දෙස බලා හුන්නේ දරාගත නොහැකි ආදරයකිනි.

“ශිෂ්‍යත්වෙ පාස් වෙලා යන ඉස්කෝලෙ තේරුවෙ ඔයා.ඒ ලෙවල්ස් වලට කරන සබ්ජෙක්ට්ස් තේරුවෙ ඔයා.ඔයාගෙ ඇඳුම් තෝරාගන්නෙ ඔයා.මටත් ඇඳුම් තෝරලා දෙන්නෙ ඔයා.ඔයාගෙ හැම තේරීමක්ම නරක නෑ කියලා මං දන්නවනෙ සුදු මැණික.ඒ තේරීම් වලට වඩා මේ තේරීම වෙනස් තමයි.ඒත් ඔයා මේ පාරත් වැරදි නෑ පුතේ.මං ඔයාගේ තීරණේට ආශිර්වාද කරනවා..”

මවකගේ ආශිර්වාදය තරමට දියණියකට ලැබිය හැකි උතුම් දෙයක් නොවේ.ඒ හැඟීම හදවතේ පුරවා ගත් ආරණ්‍යා අම්මාගේ කාමරයෙන් පිටතට ආවේ සැනසිලිදායක හදවතකිනි.ඇයට හඬන්නටත් හිනැහෙන්නටත් ඕනෑ විය.ඇයට ඒ දැනෙන හැඟීම කොහේ හෝ ලියා තබන්නට ඕනෑ විය.සඳැල්ලට වී අන්ධකාරයේ තනි වී අනාගතය ගැන සිහින මවන්නට ඕනෑ විය.

ප්‍රේමය! ඈ ඒ මිහිරි හැඟීමෙන් පිරී සිටින්නී ය.ඈ කවි දහසකත් මල් සහසකත් මිහිරියාව දරා සිටියේ ඒ නිසාම ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here