ගී තරු තරගයට ඉදිරිපත් වී සිටි දහස් ගණනක් අයදුම්කරුවන් අතරින්, විටින් විට සිදු වූ තරග හා විනිශ්චයන්ගෙන් නොකඩවා තරගකරුවන් ඉවත් කෙරිණි. දහස් ගණනක් අතුරින් දෙසිය දෙනෙකු තෝරා ගැනුණේ එලෙසිනි. රූපවාහිනිය ඔස්සේ විකාශය වීම ඇරඹුණේ තෝරාගත් දෙසීය දෙනාගෙන් පසු තරඟාවලියයි. එහි චන්දුල ගී ගයන දෙසිය දෙනාගේ වටයේ දී ඔහු ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබුවේ ය. කෙසේ වෙතත් එය රූගත කෙරුණේ රූපවාහිනියේ ප්‍රචාරය වීමට පෙරයි. එබැවින් චන්දුල ඉදිරි වටය සඳහා තේරී ඇති බව වත්තේ අය කලින් ම දැනගත්හ. නමුත් ඔහු රූපවාහියේ ගී ගයනවා දකින්නට හැම කෙනෙකු තුළ ම වූයේ ආශාවක් හා උනන්දුවකි. වත්තේ වෙනත් කිසිවෙකු තුළ එවන් සිහිනයක් නොවූ නිසා ඔවුන් ගේ සිත් වල ඊර්ෂ්‍යාවක් වූයේ ද නැත. එබැවින් ආරංචිය ලද මොහොතේ පටන් කවුරුත් බලා සිටියේ රාත්‍රිය උදා වන තුරුයි. ඒ ඔවුන්ගේ එකෙකු එහෙව් ජයග්‍රහණයක් ලැබූ හා රූපවාහිනියේ තරග වදින ප්‍රථම අවස්ථාවයි.
“අයිය සිංදු කියනව පොඩි කාලෙ ඉඳලම අහල තිබුණට මෙහෙම කවදාවත් දැකල නෑනෙ. ඒක නිසා අද රෑට ඒක ටීවී එකේ බලන්න පුළුවන් කියල හිතෙද්දිත් දැනෙන්නෙ පුදුම සතුටක්. ඇත්තටම ඒක අමුතු ගැස්මක්”
දවාලේ ගඟුල් එක්ක දුරකතන කතා බහක දී පාරුල් කීවා ය. ඒ ගැස්ම ඒ මොහොතේ ඇගේ ස්වරයේත් මොනවට දැවටී තිබිණ.
එපමණකි. එයින් පසුව රාත්‍රිය උදා වී තරගය නැරඹීම සිදු වන්නේත් සාමාන්‍ය පරිදි ම යයි කවුරුත් සිතා සිටින්නට ඇත. සැබවින් එය ඊට වඩා වෙනස්ව දැකීමේ හීනයක්වත් ඔවුන්ට නොවූ බව සහතික ය. ජුලී කල් ඇතිව ම උමා සමග එක්ව ඇන්ටනාව කරකවමින් කුඩා රූපවාහිනී තිරයේ තිත් අඩු කොට තරමක් පැහැදිලි රූප රාමු දැකිය හැකි සේ එය සැකසීමට උත්සාහ කළහ. වත්තේ බොහෝ ගෙවල් වල එය සිදු වූයේ ය. ඔවුන්ට මේ මංගල රාත්‍රියකි. තරගය නරඹත්දී කන්නට උමා පූරි ද හදන්නට සූදානම් කොට තිබිණ.
චන්දුල වෙනදා වාගේ ම ටැංකියට බැස රෙදි ඇපිල්ලුවේ ය. ඔහු ගේ හිතේ බලාපොරොත්තුවක්, කුඩා ආලෝක පුංජයක් සේ හිතේ ඈත කොනක දැල්වෙනු දැනේ. ඇතැම් විට එහි එළිය තීව්‍ර වී දීප්තිමත් වේ. ඇතැම් විට මළානික එළියක් නිවී නො නිවී තිබෙනු පෙනේ. සැබවින් ඔහු සිටින්නේ බලාපොරොත්තු වලින් හැංගීගෙනයි. බලාපොරොත්තු වලට ඔහු තුළ ඉසියුම් බියක් වේ. ඒ බිය බලාපොරොත්තු බිඳ වැටේවී කියා ය. බලාපොරොත්තු බිඳ වැටීමෙන් පසු වේදනාව දරා ගන්නට අසීරු වෙතැයි කියා ය. ඒ වේදනාවන් මරණීය බව ඔහු අත්විඳ තිබේ.
ගී තරු තරගය ගැන පමණකුදු නොව උමා ගැන ද ඔහු සිතන්නේ එහෙම ය. ලැබෙනවාට වඩා නො ලැබෙන්නට තිබෙන අවස්ථාවන් ගැන සිතා ය. ඔහු ට දැන් තිබෙන්නේ බිඳුණු රිදුණු සිතකි. ඇගේ හිතත් එහෙම වෙනවා කියා හිතන්නටත් ඕනෑ නැති නිසා ඔහු ඈ මගහරිමින් සිටියේ ය. නමුත් දැන් බලාපොරොත්තුවේ ආලෝක පුංජයක් ඈතින් දැල්වේ!
උමා ට චන්දුල අවනත ය. ඇය බලවත් වෙත්දී ඔහු ගේ හිතේ නටාශා යනු නො ගිනිය හැකි තරම් ක්ෂුද්‍ර අංශුවක් වී යයි. ප්‍රේමය යනු හුදු ගනුදෙනුවක් නොවී කුදු මහත් හැඟීමක් වෙත්දී එය වඩා වඩාත් ගැඹුරු වීමට ගනී. විසෘත වීමට ගනී. උමා යනු ප්‍රේමය වෙනුවෙන් මුළුමහත් ඇයව ම පරිත්‍යාග කරනා ගැහැනියකි. චන්දුල ට ඒ උමා බරැති ය. නමුත් ඒ බර හැඟීමට ඔහු කැමති ය. රෙදි අපුල්ලන කොල්ලෙකු ලෙස අල්ලා ගන්නට බිය වූ ඇගේ අත, තරුවක් වූවොත් අල්වා ගත හැකි වනු ඇත්ද කියා හිතී නො හිතී යන වෙලාවල් තිබේ. නමුත් තරු තියෙන්නේත් සිහින අතරේ ය. අතරමගින් හීන බිඳී යා හැකි ය. සිහින නිමා වීමට පෙර අවදිය සිදු විය හැකි ය!
හැන්දෑවේ වෑන් රියක් ලොන්ඩරි වත්තට ආවේ ය. වීදුරු සේ දිළිසෙන අලුත් පන්නයේ වෑන් එක ගැන කාගේත් අවධානය යොමු විය. කවුරුත් එබිකම් කොට බැලූහ. එය නතර වූයේ පාරුල් ගේ ගෙදොරකඩයි. ගෙතුළ උන් ගෑනු ළමයින් දෙදෙනා සේ ම ජුලී අත්තම්මා ද නළල රැලි නංවා ඇස් කුඩා කොට බැලූහ. රියෙන් බට තරුණයන් දෙතුන් දෙනෙකු ලොකු රූපවාහිනී පෙට්ටියක් ඔසවාගෙන ගෙතුළට පැමිණියහ.
“ගඟුල් සර් කිව්වෙ හයිකරල එන්න කියල”
ඔවුහු පැවසූයේ එපමණකි. ස්ත්‍රීහු මුව අයා බලා සිටියදී ඔවුහු රූපවාහිනිය සවි කළහ. ඇන්ටෙනා රහිතව පැහැදිලි රූපරාමු නැරඹිය හැකි රවුටරයක් වහ වහා සවි විය. රූපවාහිනිය තරු වැඩසටහන විකාශය කෙරෙනා නාලිකාව මත සුසර විය. ඉතාමත් කෙටි කාලයකදී ඒ සියල්ල සිදු වී වෑන් රිය නික්ම ගියේ ය. ස්ත්‍රීන් තවමත් තම තමන්ගේ විශ්මිත ලොවක හුදෙකලා වීගෙන ය.
ඒ සා දැවැන්ත රූපවාහියක් තබා ගැනීමට තරම් ඉඩක් ඔවුන්ගේ කුඩා ඉස්තෝප්පු කැබැල්ලේ නොමැත. ඊටත් වඩා ඒ වගේ කුඩා ගෙදරකට එහෙව් රූපවාහිනියක් නො ගැලපෙන්නේ ය. යමක වටිනාකම පෙනෙන්නට නම් එය ඊට ගැලපෙන තැනෙක තැබිය යුතු වෙයි.
“ඒකට කමක් නෑ. චන්දුල සින්දු කියනව බලන්න හැමෝම ආස ඇතිනෙ. එහෙම ප්‍රෝග්‍රෑම් එකක් ලොකුවට ලස්සනට බලන්න ඕනෙ. ඒක හරියට දැනෙන්නෙ එතකොට. චන්දුල යන්නෙ කොයි වගේ පාරකද කියල කාටත් පේන්නෙ එතකොට. දැනට අපිට ඕනෙ ඒ පාරෙ ලස්සන බලන්නනෙ. ඩෙස්ටිනේශන් එක වැදගත් තමයි. අපි ඒක එදාට බලමු”
ගඟුල් ගේ හඬ දුරකතනය ඔස්සේ ඇදී ආවේ මුණිවර සරක් මෙනි. දැන් දැන් ඔහු පාරුල් ගේ හදවතට වඩාත් බරට දැනේ.
ආරංචිය ලොන්ඩරිවත්ත පුරා පැතිර යන්නට වැඩි වෙලාවක් ගියේ නැත. තරු වැඩසටහන බලන්නට චන්දුල ගේ නිවස ඉදිරිපිටට පැමිණෙන බලාපොරොත්තුවෙන් ගෙවල් වල ගැහැනු කල් ඇතිව රෑ බත පිසූහ. දරුවන් ඉක්මනින් නිදි කළහ.
ගඟුල් ආවේ අඳුරත් ආලෝකයත් එකට මුහුන් වෙමින් තිබි තඹ පාට හෝරාවකයි. පාරුල් ගේ මූණ තොරණක් වාගේ එළියයි කියා උමා ඇගේ කනට කොට රහසින් කීවා ය.
“අනේ මේ ඉන්න අප්ප”
කියා විලියෙන් කියත්දී පාරුල් ගේ කම්මුල් තව තවත් රතු වෙමින් පැවතිණ. ගඟුල් චන්දුල සමග එක් වී රූපවාහිනිය මිදුලට පෙනෙන සේ දොරකඩ ම තැබුවේ ය. එතකොට මිදුලේ සිට විශාල පිරිසකට එය නැරඹිය හැකියි. එහිදී ගෙතුළට ගමන් බිමන් ඇනහිටින නිසා අල්ලපු ගෙදර තේ සූදානම් කිරීමට කටයුතු කරනා ලදී. නගරාධිපතිතුමා රෑ කෑමට නතර වූවොත් කියා චන්දුල සයිවර් කඩයට තෝසේ හා වඩේ ඇනවුම් කළේ ය.
ලොන්ඩරි වත්තට ඉහළින් රන් තැටියක් සේ සඳ පායා ආවේ ය. වහින්නට නම් එපා යයි උමා කාලි මෑණිට හිතින් කණ්ණලව් කළා ය. රෑ බෝ වන විට වත්තේ වෙහෙසකර මුහුණු රංචු වශයෙන් චන්දුල ගේ ගේ ඉදිරියේ රොක් වන්නට වූහ. අඹ සෙවනේ බංකුව කුඩා දරුවන් කල් ඇතිව ම අයිති කරගෙන සිටියහ. සමහරු තමන්ගේ ප්ලාස්ටික් පුටුව ගෙදරින් ම ගෙන ආහ. පිරිමි වැඩිපුර පාරේ ඇනතියාගෙන හිඳගත්හ. සිද්ධිය ආරංචි වී ශාරුක් ද පාපැදියෙන් පැමිණ සිටියේ ය.
ශාරුක් ලවා මෙගා බීම බෝතල් කිහිපයක් ගෙන්වා නගරාධිපතිතුමා වතු ජනතාවට සංග්‍රහ කළේ ය.
“අපරාදෙනෙ සර් බීම ගෙන්නුවෙ. නංගිල තේ හදන්න ලෑස්ති කරන්නෙ හිටියෙ”
චන්දුල ඒ ගැන අහේතුකව කණගාටු වූයේ ය.
“කමක් නෑ චන්දුල. පස්සෙ තේ බොමු. තව වෙලා තියනවනෙ ප්‍රෝග්‍රෑම් එක පටං ගන්නත්…”
ඒ නම් කදිම රාත්‍රියකි. ගඟුල් ව පාරුල් ට පෙනුණේ ඉන්දියානු සිනමා පටයක සිදුහත් ට රඟපෑ නම නො දන්නා නළුවා වාගේ ය. ඔහු සිනහ වෙවී සිටියේ ය. වත්තේ මිනිසුන් සමග සුහද ව කතා කරමින් සිටියේ ය. සිය බල සීමාවෙන් චන්දුල වන් දක්ෂ තරුවක් බිහි වීම ගැන ආඩම්බරයෙන් කතා කළේ ය. ඔහු තරු මාවතේ පෙරට ම ගමන් කරනු දැකීම සිය ආශාවක් බව නො සඟවා කීවේ ය.
රිදී හා ජුලී රූපවාහිය ආසන්නයෙන් ම පුටු දෙකක් තබාගෙන ඇස් පිය නො සලා බලාගෙන සිටියහ. මේ තරම් ලොකු රූපවාහිනියක් මීට පෙර ඔවුන් ඇහැටවත් දැක නැත!
පාරුල් මේ සියල්ල බලා සිටියේ සියල්ල අතරේ ම හිඳ පිටස්තර තැනක සිටයි. එතකොට ඇයට ඒ සියල්ල විවිධ කෝණ වලින් හා හැඩතල වලින් දැකිය හැකි විය. පොඩි කාලේ වෙසක් බලන්නට තොට ළඟ තෙක් පයින් ගිය දවසක වාගේ නිදිමත අතරින් දැනෙනා චමත්කාරයක් ඇය වින්දා ය. තොරණ් පොලේ දී සෙනග ගොඩ අතරේ දැනුණ හැඟීම මේ දැනුත් වත්තේ මිනිසුන් අතරේ දී ඇයට දැනේ. පිරිස තොරණේ කතාව දෙස බලා සිටියා සේ වත්තේ මිනිස්සු විසල් රූපවාහිනී තිරය දෙස බලා සිටිති. ළමයින් නලා පිඹිනා හඬ, කඩල කරත්තයක් ළඟදී දැනුණ සුවඳ, සරුවත් වීදුරුවක තිබූ කස කසා ඇටයක් දත් දෙකකට හසු කොට සපත්දී දැනුණ සංවේදනය පවා මේ මොහොතේ ඇයට දැනේ. මිහිරි නොස්ටැල්ජියාවක අතරමං වී ඇය පාර සොයමින් සිටි වෙලාවක ගඟුල් ඈ වෙත සමීප වූයේ ය.
“සතුටුයිද…”
ඒ හඬ කොයි තරම් හදවත් පටක විනිවිද ගියේ ද යත් යුවතිය ගේ දත් ඇඳි එකට හැපී ටකස් හඬක් ඇති විය. ඇගේ ඇස් වල සීතල තෙතමනයක් වූයේ ය. රාත්‍රී සීතලට අදාල නොවනා සීතලකින් ඇය වෙව්ලා ගියා ය. පාරුල් සිටියේ සුදු මල් ඉහිරුණ ලා දම් පාට රෙද්දකින් අත් බෝරිච්චි කොට මැසූ චීත්ත ගවුමක් හැඳගෙනයි. ඒ ගවුම උමා විසින් ම මසා මිතුරියගේ උපන් දිනය දා තිළිණ කරන ලද්දකි. ඒ වගේ ගවුමක් හැඳි විට ගෑනු ළමයෙකු ගේ පෙනුමෙහි දැකිය හැකි අහිංසක බව වඩාත් තහවුරු වන සේ පාරුල් පිට මැදට කොණ්ඩය තනි කරලක් ව ගොතා දමා සිටියා ය. වරලට අල්වා ගත නො හැකි වූ අක්බමර රොදවල් මඳ සුළඟ සමගින් මඳ පමණට දඟ කළේ ය. පිරුණු කොපුල් වල ලා රත් පැහැයක් ඉහිර තිබිණ. සතුටුයි කියා වචන වලින් නො කීවා ට ඇගේ ඇස් ද මඳහස ද බැල්ම ද හඬ නගා එය පවසමින් තිබිණ.
“ඔයා වගේ ජනාධිපති කෙනෙක් නෙවෙයි… අගමැති කෙනෙකුත් නෙවෙයි… ඇමතිල ටිකකුත් නෙවෙයි… ඔයා වගේ හිතන තව නගරාධිපතිල කීප දෙනෙක්වත් මේ රටට බිහි වෙනවනං… ඒත් එහෙම බලාපොරොත්තුවක් තියං හිටපු ඔයත් දේශපාලනේ දිගටම රැඳෙන්න උනන්දුවක් නෑනෙ ඉතිං…”
පාරුල් මිමිණුවේ සිහිනයක් අතර හිඳයි. ගඟුල් ඇගේ දෑසට එබී ඒ සිහිනය දකිමින් සිටියේ ය.
“ඔයා කියන්නෙ මං දිගටම පොලිටික්ස් කරන්න ඕන කියලද… බලමු…”
“ආස නැති දෙයක් කරන්න කියල නෙවෙයි. පොලිටීශියන්ස්ල කියන්නෙ ඇත්තටම මෙච්චර කාලෙකට මං ආස නැතිම කට්ටියක්. ඒත් ඔයා වගේ මොඩ්ල්ස් කීපයක්හරි තියනවනං… අනිත් අයට බලං හැදෙන්න…”
ගඟුල් ගේ මුව කොනකට මඳහසක් ආවේ ය. බලාගෙන හැදෙන්නට නොව එවන් කෙනෙකු ඉස්මතු වුවහොත් කරටියෙන් ම කඩා දැමීමට සූදානමින් දේශපාලන හස්ත රාශියක් දිගු වී තිබෙනා බව ඔහු මේ වෙලාවේ පාරුල් ට පවසන්නට ගියේ නැත.
තරගය ආරම්භ විය. චන්දුල ට පෙර එක් තරගකරුවෙකු ගීයක් ගැයුවේ ය. නමුත් කිසිවෙකු ඔහු ගේ අවධානය දිනා ගන්නට සමත් නොවූයේ, කාගේත් උනන්දුව කොයි මොහොතේ චන්දුල ගී ගයාවි ද යන කාරණය මත රැඳී පැවති නිසාවෙනි. ඊළඟට පැමිණෙන්නේ ඔහු බව වැඩසටහන ඉදිරිපත් කරන්නා වෙතින් පැවසිණ. ලොන්ඩරි වත්ත ම ඇසිල්ලකින් කඩි ගුලක් සේ ඇවිස්සී මොහොතකින් නිශ්චල විය. චන්දුල තිරය මත දිස් වූයේ ලොන්ඩරිවත්තේ කොල්ලෙකු නොව බොලිවුඩයේ ගජ ඉලන්දාරියෙකු සේ ය. බෙල්ලෙන් පහළට තරමක් දිගු වූ කොණ්ඩය ද ඔහු ගේ මන බන්ධනීය උස ද හැඳ උන් ලා කහ පැහැති කුර්තා ඇඳුමට කදිමට පෑහිණ.
“ඇස රැඳුණ රැඳුණ තැන් වල මුව මඬල හිනැහුණා…ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා…”
කාටවත් හුස්මක් වැටුණේ නැතිවා විය යුතු ය. උමා පපුව මැද තද කරගත්තා ය. ලොන්ඩරි වත්ත කිසි දා ඒ තරමට නිශ්චල වී නැත. ඇසුණේ චන්දුල ගේ හඬ පමණකි. රිදී ගේ වැහැරුණු කම්මුල් තලා දිග නතර කළ නො හැකි කඳුළු දෙපෙළක් ගලා ගියේ ය. ඇගේ දෑස් ඉදිරියේ මැවි මැවී පෙනුණේ තරුණ සිසිර ඇල්ලගේ ගේ රුවයි. හදවත හාරාගෙන කිඳා බහිනා ඔහු ගේ හඬයි. පාරුල් සුරතින් මුව වසාගෙන හැඟුමන් දරා ගත්තා ය. නමුත් ඇගේ ඇස් වේගයෙන් ඇසිපිය සැළුවේ ය. ඇයට ඕනෑ වී තිබුණේ අයියා බදාගෙන හඬන්නටයි. පේළි ගෙදර යාබද නිවසෙහි ඉණි වැටට අඩමාන හේත්තුවක් දමාගෙන චන්දුල පුරවා ගත් හදකින් රූපවාහිනිය දෙස බලා සිටියේ ය. මේ ඔහු දැයි ඔහුට ම විශ්වාස නැත!
නගරාධිපතිතුමා දෑත් පපුවෙහි බැඳගෙන ඒ හැම දසුනක් දෙස සාවධාන ව බලා සිටියේ ය. ඔහු ගේ මුහුණ මත මඳහසකි. ගෙදර හැම කෙනෙකුට ම හොඳ ම දේවල් දී ඔවුන් ගේ සතුට බලා නිහඬ සතුටක් විඳිනා තාත්තා කෙනෙකු ගේ සන්සුන් මන්දහාසය එයයි. මුළු කොළඹ ම ඔහු ගේ පවුල සේ මේ මොහොතේ ගඟුල් විජයවීර ට දැනෙන්නට විය.
ලොන්ඩරි වත්තට සැතපුම් ගණනාවක් ඈතින් ඉන්නා තාත්තා කෙනෙකු පුටුවෙන් නැගිටවී තිබිණ. කොයි තරම් තදින් ඔහු ගේ සර්වාංගය ගැහුණේ ද යත්, ඇද වැටේවියි බියෙන් ඔහු බිත්තිය අල්වාගෙන සිටියේ ය!